Saturday 24th of October 2020

English Tamil
Advertiesment


අධික රස්නයෙන් ​ඔබේ සිරුර බේරාගන්න


2020-03-08 1469

රටම ගිනි වද්දමින් පැතිර යන අධික උණුසුම, රටේ ජනතාවට මරණයේ සීතල දෑත් දිගුකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන්, පරිසරවේදීන්, දේශගුණික බලපෑම් ගැන උනන්දුවක් ඇති අය ඇතුළු බොහෝ දෙනා පෙන්වා දෙති.

මේ දිනවල මෙසේ පැතිර යන ගෝලීය දැඩි රස්නයේ බලපෑම එල්ල වී තිබෙන අවදානම් පිරිස් වන කුඩා දරුවන්, වියපත් වැඩිහිටියන් සහ දිගුකාලීන විවිධ රෝගාබාධවලින් පීඩා විඳින රෝගීන් ආරක්ෂා කර ගත යුතු බව ද එම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කර සිටිති.

දිවයින පුරා විශේෂයෙන්ම බටහිර සහ දකුණුදිග වෙරළ තීරයන්හි පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සෙල්සියස් අංශක තුන හතරකින් වැඩිවීමක් පෙන්වන අතර මෙම අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය ගැටලු‍ ගණනාවක් පැන නැගී තිබෙන බව ඔවුහු දක්වති.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට පවතින අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට, වැඩිමහලු‍ පුද්ගලයන්ට, එළිමහනේ රැකියා කරන අයට, දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන අයට තදින්ම බලපෑ හැකිය.

එහිදී විශේෂයෙන්ම ආතතිය, නිදිමත ගතිය, වැඩ කිරීමට අකැමැතිවීම වැනි (Heat Stress), මස්පිඬු පෙරළීම (Heat Cramps), සිහි කල්පනාව නොමැති වීම (Heat Stroke) මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට (Heat Rash) මෙන්ම හෘදය රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීම මෙම කාලය තුළ උත්සන්න වීමක් සිදුවෙයි. ඇතැම් අයෙකු හෘද රෝගියෙකු හෝ වෙනයම් නිදන්ගත රෝගයක් නිසා මියගිය බව පෙනී ගිය ද එහෙත් සැබවින්ම සිදුව ඇත්තේ අධික උෂ්ණත්වය එම රෝගියා කෙරෙහි බලපෑම නිසා, ඔහු හෝ ඇය මරණයට පත්වීම බව යැයි ද මෙහිදී බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන කරුණු අතර වෙයි.

පවතින මෙම අධික ගෝලීය උණුසුම් තත්ත්වය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවත්, ලෝකයේ රටවල් කිහිපයකම සැලකිය යුතු පිරිසක් මෙම අධික රස්නය හමුවේ මියගොස් සිටින බවත්, මිය යමින් සිටින බවත් මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසන්නීය.

මේ දිනවල මෙසේ පවතින අධික රස්නය ජනතාවට බලපාන්නේ කවර ආකාරයෙන් දැයි අපි ඇයගෙන් විමසුවෙමු.

“සැබවින්ම අධික රස්නයක් දැන් රටේ තියෙනවා. ආර්ද්‍රතාවයේ ඇතිවන වෙනස්කමුත් සමග අපේ ශරීරයේ දහඩිය එළියට යාමේ ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා. මනුෂ්‍යයන් විදියට අපිට උෂ්ණත්ව යාමනයක් සිද්ධ වෙන්න ඕනේ. අපිට බැහැ පරිසරයේ උෂ්ණත්වය වෙනස් වනවිට අපේ උෂ්ණත්වය වෙනස් කරගන්න. ඒක කරන්න බැරි වීම තුළින් නොයෙකුත් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා.

ප්‍රධාන වශයෙන්ම ආර්ද්‍රතාවයේ ඇතිවෙලා තියෙන වෙනස්කම් හින්දත් අපිට උෂ්ණත්වය වැඩියෙන් දැනෙනවා. සාමාන්‍යයෙන් අපි උෂ්ණත්වය වැඩි පරිසරයකදී අපේ උෂ්ණත්වය ශරීරය ඇතුළදී නියත මට්ටමක තියාගන්නේ වැඩියෙන් දහඩිය පිටවීම තුළින්නේ. එතකොට දහඩිය පිටවෙන්න අවස්ථාවක් නැතිවුණාම අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යන්න තියෙන හැකියාව වැඩිවෙනවා. ඒක අපිට බොහෝම අපහසුතාවක් විදියටයි දැක්කේ.”‍

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන අන්දමට මෙම තත්ත්වය යටතේ සිදුවන ශාරීරික අපහසුතාවයන් ද බොහෝය. එහිදී කැරකිලි ගතිය, ක්ලාන්ත ගතිය, අධික මහන්සිය වැනි දේ වෙති. පොඩි දරුවන්, වයස්ගත අය, කය වෙහෙසවා එළියේ වැඩ කරන අය එනම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අය, ගොවි මහත්වරුන්, ට්‍රැෆික් රාජකාරි කරන නිලධාරීන්ට මේ ආදී පිරිස් වෙත කෙරෙන බලපෑම වැඩිය. නිදන්ගතව දීර්ඝකාලීනව ලෙඩ රෝග තියෙන අය (උදා: හෘද වස්තුවේ අසනීප තියෙන අය) මේ තත්ත්වය තුළ ඒ අයගේ ශරීරය ඇතුලේ, අවශ්‍ය කාරණා කරගැනීමේ අපහසුතාවන් ඇතිවන අතර ඔවුන්ට තියෙන රෝගී තත්ත්වය තවත් වැඩිවීමේ බලපෑම ද මෙහි ඇත.

“අපේ ශරීරයේ යම්කිසි උෂ්ණත්ව මට්ටමක් තියෙනවා. මේ උෂ්ණත්වය අපිට හරියට පාලනය කරගන්න බැරිවුණු ගමන්ම ලොකු සෞඛ්‍ය ගැටලු‍ ඇතිවෙනවා. විශේෂයෙන්ම මේ ඇතිවෙලා තියෙන තත්ත්වය යටතේ සමහර මිනිසුන්ට දැඩි අපහසුතාවන් වන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වනවිට දහඩිය වශයෙන් එළියට යවලා තමයි ඇඟ ඇතුළ සිසිල් කරන්නේ. නමුත් අර්ද්‍රතාවයේ ඇතිවුණ ප්‍රශ්න නිසා දහඩිය එළියට යාමක් සමහර වෙලාවට වෙන්නේ නැහැ. එතකොට ඒක බොහොම අපහසු තත්ත්වයක් වෙනවා. ඈලි මෑළි දුබල ගතියක්, නිදිමත ගතියක් වැනි දේ වෙනවා. ඒ වගේම කය වෙහෙසා වැඩ කරන තත්ත්වයන් යටතේ දහඩිය පිටවීමක් සිදුවෙනවා. එතකොට උෂ්ණත්වය වැඩිවන කොට, දහඩිය පිටවෙනකොට දහඩියත් එක්ක වතුර සහ ලවණ වැනි දේවල් පිටවෙනවා.

පොඩි දරුවන්ට වගේම ලොකු අයටත් සමේ රතුපාට බිබිලි (Heat Rash) ඇතිවෙනවා. ඊට අමතරව (Heat Stress) කියලා ක්ලාන්ත ගතියක් වැනි තත්ත්වයන් මූලික අවස්ථාවේ දී වෙනවා. ඒ වගේම මස්පිඬු වේදනාවක් (Heat Cramps) වැනි දේ වෙනවා. විශේෂයෙන්ම ලවණවල තියෙන අසමතුලිතතාව නිසා. දහඩිය වැඩි වශයෙන් පිටවනවිට ලවණ එළියට යාමේ ප්‍රවණතාව වැඩියි. මේක තවදුරටත් තිබුණොත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට පවා බලපෑම් වන්න පුළුවන්. එසේම මස්පිඬු වේදනාවකදී ලු‍ණු ලබා දීමක් නොකළ යුතු අතර වතුර පමණක්ම ලබාදීම ඉතාම වැදගත්.”‍

මෙම පවතින තත්ත්වයන් උද්ගතවීම තුළ මරණය පවා සිදුවීම විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.

“ලෝකයේ රටවල්වල අපි දන්නවා මේ වගේ උෂ්ණත්වය වැඩි කාලපරාසවල මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩියි. විශේෂයෙන්ම අවදානම් කාණ්ඩවල ඉන්න අය. හැබැයි කවුරුත් කියන්නේ නැහැ මෙයා මේ මැරුණේ අධික රස්නය නිසා කියලා. රටවල්වල මිනිස්සුන්ගේ මරණ ප්‍රමාණය බැලු‍වහම මැරෙන්නේ හෘද රෝගයකින් වෙන්න පුළුවන්, නමුත් ඒක අධික රස්නය නිසා වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් මේ කාලවලදී වැඩියි.” විශේෂඥ වෛද්‍යවරිය පවසන්නීය.

එසේම ඇය මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පෙන්වා දෙයි. එහිදී අවශ්‍ය ප්‍රමාණයට වතුර බීම ඉතාම වැදගත්ය. වැඩිහිටියකු විසින් අවම වශයෙන් වතුර ලීටර් 2.5 ක් පානය කළ යුතුව තිබේ. එසේම පානය කරන වතුරට කිසිදු විටෙක පැණිබීම ආදේශ නොකළ යුතුය. අව්වට යන සෑම විටකම කුඩයක් රැගෙන යාම අත්‍යවශ්‍යය. බොහෝ පිරිමි අය කුඩ පාවිච්චියට මැළිකමක් දක්වන බැවින් ඔවුන් අවම වශයෙන් තොප්පියක් හෝ පැලඳිය යුතු බව ද ඇය දෙන අවවාදයයි. සැහැල්ලු‍ ළා පැහැති ඇඳුම් ඇඳීමට සැලකිලිමත් වීමට දැඩි රස්නයෙන් බේරීමට ගතයුතු ක්‍රියාමාර්ග වෙයි.

ලංකාවේ දිගින් දිගටම කැලෑ කැපීම සෞඛ්‍යයට වන අහිතකර ලෙස බලපාන තත්ත්වයකි. හරිතාගාර වායු, ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරන විට වන ඝනත්වය වැඩි කිරීම ද ඉතා වැදගත් සාධකයකි. කාබන්ඩයොක්සයිඩ් බොහෝ බලගතු හරිතාගාර වායුවකි. විශේෂයෙන්ම ශාක දිවා කාලයේ දී ඒවා උරා ගැනීමක් සිදුකරයි. එසේම පරිසරය සිසිල්වීම ශාක නිසා සිදුවෙයි. මේ අනුව වනගහනය වැඩි කිරීම ඉතා වැදගත් කාරණයක් යැයි ඇය පැහැදිලි කර සිටී.

“දීර්ඝකාලීනව විසඳුම් ද අපි රටක් විදියට කතා කළ යුතුයි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස. එහි බලපෑම තමයි මේ ලබමින් ඉන්නේ. දේශගුණික විපර්යාස කතා කරද්දි, අනාගතයේදී තවදුරටත් මේ වගේ රස්නේ අධික කාල එනවා. ස්වභාවික අනතුරුවලට වැඩි ප්‍රවණතාවක් තියෙන්නේ. අනාගතය ඒ තරම් හොඳ නැහැ. මෙහිදී අපි හැමෝටම වගකීමක් තියෙනවා මිනිස්සු විදියට මෙහි බරපතළකම අවබෝධ කරගත යුතුයි. අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චියෙනුත් වැළකිය යුතුයි. එය ගෙවල්වල විතරක් නෙමෙයි විශේෂයෙන්ම සෑම ආයතනයකම එයාර් කන්ඩිෂනර් එක වුණත් අවම මට්ටමක තියාගන්න. බලශක්තිය පාවිච්චිය අවම කරගන්න. නාස්තිය අවම කරගන්න. එවිට මේ තත්ත්වය අපිට දීර්ඝකාලීනව යම්කිසි විදියට පාලනය කරගන්න පුළුවන්. කුණු පිච්චීම හැම තැනකම කරනවා. එවිට පරිසරයට කාබන්ඩයොක්සයිඩ් මුදා හැරෙනවා. ඒවාට විකල්ප ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපි අනවශ්‍ය විදියට සම්පත් භාවිත කිරීම තුළින් වන්නේ මේ තත්ත්වය වැඩි වීමයි. අපේ ළමයින්ට තමයි මෙහි අවදානම ඉදිරියේදී වැඩි වන්නේ.”‍ වෛද්‍යවරිය පවසන්නීය.

”‍අපිට මේ ලෝකයේ තාපය ඉතා වැදගත්. එය ඉතාමත් ප්‍රයෝජනවත්. එය කොතරම් ප්‍රයෝජනවත් වුණත් අපිට හිරිහැර කරන කාලයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. අපි කුඩා දරුවන් වූ කාලයේ එනම් මීට අවුරුදු 40-50කට කලින් තිබූ උෂ්ණත්වය නෙමෙයි අද තියෙන්නේ. පරිසර උෂ්ණත්වය ඉතාම ඉහළ ගිහින්. එදා තිබූ නිල්වන් ගහකොළ අද නැහැ. ලෝකයේම උෂ්ණත්වය ඉහළ ගිහින්. ග්ලැසියර් දියවෙලා යනවා. මුහුදේ වතුර මට්ටම ඉහළ යනවා. ලෝකයේම තියෙන බලපෑම අපිටත් ලැබිලා තියෙනවා. මුළු ලෝකයම එකම ගම්මානයක් වී තිබෙන නිසා ඒ සියලු‍ බලපෑම් අපිටත් විඳින්න වෙලා තියෙනවා.”‍ අධ්‍යක්ෂ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා මෙම අධික උණුසුම් තත්ත්වය ගැන පවසා සිටියේ එසේය. “මේ අධික උණුසුම මිනිස්සුන්ට ඉතාමත් අහිතකරයි. අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් 37යිනේ. අපේ ඇඟේ උෂ්ණත්වය 37 වෙලා පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 25 වුණාම සීතලක් දැනෙනවා අපේ ඇඟෙන් තාපය එළියට යන නිසා. නමුත් මෙහිදී එසේ නොවේ. එළියේ 37-38-39 වැනි ගාණක තියෙන්නේ. එතකොට අපේ ඇඟෙන් එළියට දාගන්න බැහැ. අපිට ඒක බලපානවා. ඇඟ ඇතුලේ රස්නය එවිට එකතු වෙන්න බලපානවා.

වෛරස් උණකදී හැදෙන උණ තාවකාලිකයි. උණ නගිනවා බහිනවා. නමුත් මේක එහෙම නෙමෙයි එක දිගටම ඇඟේ රස්නය රැඳෙනවා. විශේෂයෙන්ම වයසක අයට වෙන බලපෑම වැඩියි. මේ තත්ත්වයෙන් ගැලවෙන්න අපි කියනවානේ වතුර බොන්න කියලා. නමුත් වයසක අයගේ වතුර බොන එක හරිම අඩුයි. වයසට යනවිට වතුර බොන්න අමතක වෙනවා. දැනෙන්නේ නැති ගතියක් එනවා. ඊළඟට පොඩි අයට. ඒ අයගේ ඇඟෙන් තාපය පිටවෙන්න විදියක් නැහැ. ඊළඟට අව්වේ වැඩ කරන අය. පොලිසියේ රාලහාමි එයාටත් මේක බලපානවා. එයා ඇඳුමක් ඇඳන් ඉන්නේ. සුදු ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාට වඩා කාකි පාට ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාට සිදුවන බලපෑම වැඩියි. ඒක නිසානේ අපි කියන්නේ සැහැල්ලු‍ ළා පාට ඇඳුමක් අඳින්න කියලා.

හමුද‌ාවේ අයට, කම්කරුවන්, ඉදිකිරීම් වැඩ කරන අය. අපි කියන්නේ හෙවණක ඉන්න. තද අව්වට යන්න එපා. සැහැල්ලු‍ ළා පැහැති ඇඳුමක් අඳින්න. සුදු පාට නම් වඩා හොඳයි. කුඩයක් පාවිච්චි කරන්න. දවල්ට වැඩ කරන්නේ නැතුව උදේටයි හවසටයි වැඩ කරන්න පටන් ගන්න. සමහර රටවල උදේටයි රෑටයි වැඩ කරනවානේ. ඩුබායිවල එහෙම වැඩ කරන්නේ රෑට. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදියට මේ රස්නය තව මාස දෙකක් විතර තියෙනවා.” ඔහු සඳහන් කරන අන්දමට මෙම කාලය තුළ බීමට වතුර තරම් හොඳ වෙනත් කිසිදු පානයක් නැත. තමන් යන තැනක වතුර බෝතලයක් ගෙන යාම, අනෙකා සතුව වතුර බෝතලයක් තිබේ ද යන්න විමසා බලා වතුරට විශේෂ අවධානයක් වටිනාකමක් යෙදවීම ඒ මගින් වතුර පානය කරන ලෙසට විශාල පණිවිඩයක් සමාජයට ලබා දීම කළ යුතුව තිබෙන බව ද ඔහු මෙහිදී දැඩිව අවධාරණය කර සිටින කාරණයක් වෙයි. “වතුර බෝතලයක් කිව්වහම ඉන් අදහස් කරන්නේ බෝතල් වතුර නම් නෙමෙයි. ඒවායේ ප්‍රමිතීන් ගැන කියන්න අමාරුයි. නමුත් ලංකාවේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියන විදියට ඔවුන්ගේ එම වතුර සියයට 99ක්ම හොඳයි. ඒ නිසා අපිට ඒ අයගේ වතුර බොන්න පුළුවන් වෙන ටැංකියකට නොයන තාක් කල්. ව

තුර ගොඩක් බොන එක ඉතාම වැදගත්. හමට දහඩිය දැම්මට පස්සේ දහඩිය වාෂ්ප වෙන්න තාපය උරාගන්නවා. තාපය උරාගත්තට පස්සේ තමයි දහඩිය වාෂ්ප වෙන්නේ. එතකොට ඇඟේ උෂ්ණත්වය බහිනවා. ඇඟෙන් දහඩිය දාන්න වතුර තියෙන්න ඕනේ. වතුර නැති වුණොත් දහඩිය දාන්නේ නැහැ. මුත්‍රාවල පාට ළා පාට වෙනකම් වතුර බොන්න ඕනේ. හැම වෙලාවෙම තමන්ගේ මුත්‍රාවල පාට ළා පාටට තියාගන්න ඕනේ. එතකොට වතුර බොන ප්‍රමාණය හරි. මුත්‍රා කහ පාට වෙලා, දැවිල්ල නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. යම්කිසි අයෙකු යම්කිසි අවදානමක ඉන්නවා කියලා තේරුණොත් ප්‍රථමාධාර දීම වැදගත්. සිසිල් ස්ථානයකට ගෙනයාම, ඇඳුම් බුරුල් කිරීම, මස්පිඬු වේදනාව කියලා කිව්වොත් ලු‍ණු දෙන්න එපා. වතුර පමණක් දෙන්න. මේ විදියට සාමාන්‍ය ආකාරයට ප්‍රථමාධාර දෙන විට ඔවුන් සාමාන්‍ය තත්ත්වයට යනවා. නමුත් එහෙම නැතුව තවදුරටත් තත්ත්වය වර්ධනය වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්.

පවතින මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ මෙන්ම කාලගුණ දේශගුණ විපර්යාස පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන අංශවලින් ද අපි විමසීමක් කළෙමු. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී මෙසේ පිළිතුරු දුන්නාය. “සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල්, මැයි කියන්නේ ලංකාවට රස්නය පවතින මාස තුනක්. නමුත් දැන් විශේෂයෙන්ම අපි දන්නවා හරිතාගාර වායූන් එක්කලා ගෝලීය උණුසුම කියල එකක් අපි දන්නවානේ. ඒ ගෝලීය උණුසුමත් එක්කත් උණුසුම වැඩිවෙලා තියෙනවා. නමුත් අපි ගත්තොත් පසුගිය ජනවාරි මාසෙ තමයි ගොඩාක්ම සිසිල් මාසය. නමුත් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ දී හැම තැනකදීම උෂ්ණත්වය ගැන වාර්තා වුණා. ඒකට එක් හේතුවක් ගෝලීය උණුසුම වෙන්න තිබුණා. තවත් වෙන්න පුළුවන් අපි විශ්ලේෂණය කරලා බැලු‍වහම ලංකාව අවට තියෙන මුහුදෙත් සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් තමයි පසුගිය මාස දෙක තුළ තිබුණේ. ඒකත් මේ උෂ්ණත්වය වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඊසානදිග මෝසමේ ඉඳලා දැන් ඉස්සරහට නිරිතදිග මෝසම පටන් ගන්නවා මැයි මාසේ අග වෙනකොට. ඒ අතර කාලෙට කියන්නේ අන්තර් මෝසම් කාලය. මෝසම් දෙක අතර හුවමාරු වෙන කාලය. ඒ කාලයේ දී ලංකාව හරහා විශේෂ සුළං රටාවක් නැහැ. ගොඩක් වෙලාවට සුළඟ නිශ්චලව තමයි පවතින්නේ. එසේ නැතහොත් වේගය හුඟාක් අඩුයි. ඒකත් එක්ක උෂ්ණත්වයත් ඇවිල්ලා අපේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවුණාම, ඒකෙන් දහඩිය වාෂ්පීකරණයට පත් නොවුණහම ඇතිවන ගැටලු‍ තමයි තියෙන්නේ. 

 

 

ලංකාදීප

Advertiesment