Friday 4th of December 2020

English Tamil
Advertiesment


අරාජකත්වය හා අධිකරණය


2020-03-07 2516

(වික්ටර් අයිවන්)

නව ජනාධිපතිවරයාගේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූ දූෂණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව යහපාලන ආණ්ඩු පාලන කාලයේදී පවරන ලද නඩු ඉවත් කරගැනීමට බලවත් ලෙස අවශ්‍ය වී ඇතත්, ඊට අධිකරණයේ සහාය නොලැබීම තුළ ආණ්ඩුව හා අධිකරණය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එම නඩු හබවලට පැටලී සිටි සමහර අය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධියේ ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද මැතිවරණ වේදිකාවලදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටියේය.

නව ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම යහපාලන ආණ්ඩු කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා ත්‍රි පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේ එය නඩු හබවලට පැටලී සිටින ඒ සියලු දෙනා මුදාගත හැකි පහසු මාර්ගයක් ලෙස සලකා විය හැකිය. මෙම ජනාධිපති කොමිසම හිටපු නාවික හමුදාපතිවරයකු වන වසන්ත කරන්නාගොඩගේ හා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන ඩී.පී.කේ. දිසානායකගේ පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොමිසම ඒ ගැන කරන පරීක්ෂණය අවසන් වන තෙක් විභාගයට ගැනීම අත්හිටුවන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. විශාල මැතිවරණ ජයග්‍රහණයකින් පසුව නව ආණ්ඩුව වෙනුවෙන් දෙන එවැනි නියෝගයන් නීතිය නොසලකා නීතිපතිවරයා භාරගනු ඇතැයි කොමිසම විශ්වාස කළා විය හැකිය.

එහෙත් නීතිපතිවරයා කොමිසමේ එම නියෝගය භාරගත්තේ නැත. කොමිසම පරීක්ෂණ කොමිසමක් පමණක් බවද, ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති නීතිපතිට එවැනි නියෝග දීමේ බලයක් කොමිසමට නැති බවද තම දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබෙන්නේ විමර්ශනයේදී ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කොටගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බවද නීතිපතිවරයා කොමිසමට දැනුම් දුන්නේය. නීතිපතිගේ එම ස්ථාවරයට අභියෝග කිරීමේ හැකියාවක් කොමිසමට නොතිබුණි. එය නව ආණ්ඩුව අධිකරණය සමග ඇති කරගත් පළමු ගැටුම ලෙස සැලකිය හැකිය. උදයංග හා කරන්නාගොඩ

අධිකරණයට අදාළ ඊළඟ සිද්ධිය ඇතිවූයේ අධිකරණය මගහැර දීර්ඝ කාලයක් ලංකාවෙන් පිටවී සිට ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ලංකාවට පැමිණි රාජපක්ෂ පවුලේද සමීප ඥාතියකු වන උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු කටයුතු සැලසුම් කර තිබුණු බව පෙනෙන්නේ උදයංග වීරතුංගට අපහසුතාවකින් තොරව ඇප ලබාගත හැකි තත්ත්වයක් සහතික කිරීම සඳහාය. මහේස්ත්‍රාත් රංග දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාවට නගන ලද එම වැඩසටහන දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළා පමණක් නොව, ඇප ලබාදීමද ප්‍රතික්ෂේප කළේය. ඉන්පසුව එම නඩුව විභාගයට ගැනුණු 2 වන දිනයේදී පොදු දේපළ පනත යටතට ගැනෙන වැරදි සඳහා තම අධිකරණයට ඇප නියම කළ නොහැකි බැවින් නඩුව අවසන් වන තෙක් විත්තිකරු රක්ෂණ බන්ධනාගාරයේ තබන බවද ප්‍රකාශ කළේය.

මේ නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වසර 5ක් තරම් කාලයක් එම සිද්ධිය ගැන පරීක්ෂණ භාරව ක්‍රියා කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාරුකර යවා පරීක්ෂණයට කිසිදු සම්බන්ධයක් නැති පොලිස් නිලධාරියකු මගිනි. පරීක්ෂණය භාරව ක්‍රියා කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම නඩුවට සම්බන්ධ කරන ලෙස පිස්කල් කෙනෙකු මගින් යවන ලද නිවේදනය භාර දුන් බවට වාර්තා නොවන නිසා එම නිලධාරීන් දෙදෙනා නැවත මෙම විමර්ශනයට අනුයුක්ත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝගයක්ද නිකුත් කර තිබෙන්නේය. ඊළඟ වැදගත් සිද්ධිය ඇතිවූයේ ජනාධිපති කොමිසම මැදිහත්වීමට උත්සාහ කළ නඩුවක් ලෙස සැලකිය හැකි පුද්ගලයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය විභාග කරන ත්‍රි පුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙබරවාරි 24 වැනිදා එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. එම නඩුවේ විත්තිකරුවකු වූ හිටපු නාවික හමුදාපතිවරයකු වූ කරන්නාගොඩ තුන්වැනි වරටත් අධිකරණය ඉදිරියට පැමිණවීමට පොලිසිය අසමත් වී තිබුණි.

එහිදී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විවෘත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ නාවික හමුදාවේ උසස්ම නිලයක් හෙබවූ 14 වැනි විත්තිකරු අධිකරණය මගහැර සිටීම සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවන බවය. අදාළ විත්තිකරුට සිතාසි භාරදීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජා විය යුතු බව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරුවරිය වැඩිදුරටත් කියා තිබෙන්නේ ඒ ගැන අධිකරණය අප්‍රසාදය පළකරන බවත් නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතු බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණු විමර්ශන ලිපිගොනුව ජනාධිපති කොමිසමේ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති කොමිසම වෙත ලබාගෙන ඇති බවත්, ඒ මගින් නඩුවේ ඉදිරි කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බවත්, පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් පෙන්වාදීමෙන් පසුව එම විමර්ශන ලිපිගොනුව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය. එම නියෝගයේ පිටපතක් ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යැවීමටද නියෝග කළේය.

අධිකරණයේ රිදී රේඛා

අලුත් ආණ්ඩුවක් බලයට පත්වූ පමණින් එම ආණ්ඩුවට සම්බන්ධ සමහර පුද්ගලයන්ට අදාළ අධිකරණයේ ඇසෙන නඩු වහා අවසන් කරන ක්‍රමයක් නීතියට අනුව තිබිය නොහැකිය. මේ සිද්ධීන් තුනේදී නීතිපතිවරයා ඇතුළු විනිසුරුවරුන් නීතිය නොසලකා අලුත් ආණ්ඩුව සතුටු කරන හීන දීන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් එය අධිකරණයේ මළගම සංකේතවත් කරන සංසිද්ධීන් බවට පත්වන්නට ඉඩ තිබුණි.

එම සිද්ධීන් තුන එකට ගත් විට රටේ තිබෙන අන් සියලු ආයතන ක්‍රම නැගී සිටීමට දරන උත්සාහයකින් තොරව මුළුමනින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වය ඉදිරියේ අධිකරණය ඊට වෙනස්ව සිය ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා බලවත් උත්සාහයක නිරත වී සිටින බව පෙනේ.

විවාදයට හේතුවී තිබෙන බොහොමයක් නඩුවල පරීක්ෂණ මෙහෙයවන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒවා අපරාධ පරීක්ෂණ විෂයෙහිලා කෙරුණු දැවැන්ත පරීක්ෂණ ලෙස සැලකිය හැකිය. සමහර පරීක්ෂණවලට හිටපු ජනාධිපතිවරයාගෙන් වෙනත් දේශපාලන බලවතුන්ගෙන්ද බලපෑම් එල්ල වුවත් එම බලපෑම්වලට යට නොවී පරීක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට ගලා ගියේය. නව ආණ්ඩුව බලයට පත්වූ වහාම පොලිස් කොමිසමක් තිබියදීම රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින් බුල්ඩෝසර කර දමන ලදි.

එහෙත් ආණ්ඩුවක් වෙනස් වූ පමණින් අධිකරණය ඉදිරියේ ඇසෙන මහජන වැදගත්කමක් තිබෙන නඩු අත්හරින තරමට ලංකාවේ අධිකරණය නිවට නියාලු නොවන බව සනාථ කිරීමට අධිකරණය සමත්වීම, තිබෙන ගණ අඳුර මැද පහළ වූ රිදී රේඛාවක් ලෙස සැලකිය හැකිය. රට තිබෙන්නේ පූර්ණ අරාජකත්වයකට තල්ලු වී යමින් තිබෙන ඓතිහාසික අවස්ථාවකය. මහජනයා තේරුම් ගෙන නැතත්, ලංකාවේ සමස්ත ක්‍රමය තිබෙන්නේ කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන කාලයේදීම හෝ එසේ නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණයට පසු බොහෝ කල් යන්නට පෙර පූර්ණ බිඳ වැටීමක් සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට අරාජකත්වයකට තල්ලු විය හැකිය.

ඇති වන්නට යන එම කඩා වැටීමට ගොදුරු නොවී මෙම අර්බුදය තුළ සිය ස්වාධීනත්වය, අපක්ෂපාතීභාවය හා ගෞරවය වර්ධනය කරගැනීමට හේතුවන ක්‍රියාකාරීත්වයක් මගින් සිය පැවැත්ම රැක ගනිමින් ශක්තිමත් කරගැනීමට ලංකාවේ අධිකරණය සමත් වෙතොත්, අරාජකත්වයක් යටතේ ඉන් මහජනයාට සිදුවන හානිය අවම කරමින් අරාජකත්වයේ අඳුර දුරලීමට පුරෝගාමී කාර්යයක් ඉටු කිරීමට අධිකරණයට පුළුවන්කම ලැබෙනු ඇත. රට පූර්ණ බිඳ වැටීමකට ලක්වන තත්ත්වයක් ඇති වෙතොත් රජය හා සමස්ත ආයතන ක්‍රමය ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම පැවරෙනු ඇත්තේ දේශපාලකයන්ට නොව මහජනයාටය. මේ අර්බුදයේදී බිඳ වැටීමකට ලක් නොවී සිය පැවැත්ම ශක්තිමත් කරගැනීමට අධිකරණය සමත් වෙතොත්, ප්‍රතිනිර්මාණ කාර්යයේදී මහජනයාට මගපෙන්වීමේ පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කිරීමේ හැකියාවද අධිකරණයට ලැබෙනු ඇත.

අධිකරණයේ පරිණාමය

ලංකාවට නූතන අධිකරණ ක්‍රමයක් උරුම වූයේ බි්‍රතාන්‍ය පාලන කාලයේදී 1833දී ක්‍රියාත්මක කරන ලද කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණවල ඵලයක් වශයෙනි. ඊට පෙර තිබුණේ පොදු එක ක්‍රමයක් වෙනුවට යුරෝපීන් සඳහා එක ක්‍රමයක්ද, ස්වදේශිකයන් සඳහා තවත් ක්‍රම ගණනාවක්ද යනාදී වශයෙනි. ඒ කාලයේදී රටේ ප්‍රධාන විධායකයා ලෙස ක්‍රියා කළ ආණ්ඩුකාරයාටද විශාල අධිකරණ බලයක් තිබුණි.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ආණ්ඩුකාරයාට තිබුණ අධිකරණ බලය නැති කොට, අගවිනිසුරුවරයාට තිබුණු රටේ ප්‍රධාන විධායක මණ්ඩලය නියෝජනය කිරීමේ අයිතිය අහෝසි කොට අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයේ හා තවත් කනිෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති කළේය. සියලුම පහළ අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන එක අධිකරණ ක්‍රමයක් බවට පත් කළේය.

ඒ සමග වර්ග, කුල, ආගම් හෝ පන්ති භේදයන්ගෙන් තොරව සියලුදෙනා නීතිය ඉදිරියේ සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇතිවිය. ඒ නිසා ලංකාවට නවීන හා ප්‍රශස්ත අධිකරණ ක්‍රමයක් ලැබුණි. ඒ සමග අවශ්‍ය අවස්ථාවලදී රටේ සිටි බලවත්ම පුද්ගලයා ලෙස සැලකිය හැකි ආණ්ඩුකාරවරයාට එරෙහිව පවා තීන්දු දීමට මැලි නොවන අධිකරණ ක්‍රමයක් රටේ ස්ථාපිත විය. බ්‍රේස්ගර්ඞ්ල් නඩුවේදී බ්‍රේස්ගර්ඞ්ල් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා දෙන ලද නියෝගය නීතියට පටහැනි බව අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් තීන්දු කිරීම ඒ කාලයේ අධිකරණයේ පැවති ස්වාධීනත්වය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි.

අධිකරණයේ පරිහානිය

නිදහසට පෙර අධිකරණ සේවයේ නිරත විනිසුරුවරුන්ගෙන් බහුතරයක් යුරෝපීන් වූ අතර අධිකරණ සේවයේ නිරත ස්වදේශික විනිසුරුවරුන් අතරින්ද බහුතරයක් බර්ගර් ජාතිකයන් විය. මේ දෙපිරිසම ලිබරල් චින්තනයෙන් පෝෂණය වූ පිරිසක් ලෙස සැලකිය හැකි අතර නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ අධිකරණයේ කාර්යභාරය ගැන මනා අවබෝධයක් ඔවුන්ට තිබුණි.

එහෙත් නිදහස ලැබීමත් සමග යුරෝපීයයන් පමණක් නොව ස්වදේශීය ජනවර්ගයක් ලෙස සැලකිය හැකි බර්ගර්වරුන්ද ලංකාව අතහැර යාම නිසා අධිකරණයද මුළුමනින්ම වාගේ ස්වදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් බවට පත්විය. එහෙත් එම ස්වදේශීය විනිසුරුවරුන් ලිබරල්වාදී චින්තනයෙන් පෝෂණය වූ පිරිසක් නොවීය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණයේ කාර්යභාරය ගැන මනා වැටහීමක් ඔවුන්ට නොතිබුණි. බලයට පත්වන ආණ්ඩු ක්‍රියාවට නගන ප්‍රතිපත්තිවලදී ඒවාහි හරි වරද නොසලකා ඒවාට ආධාර කරන අධිකරණ සම්ප්‍රදායක් ඒ සමග ඇතිවිය.

ලංකාව හිමිකරගනු ලැබූ නිදහසට ආවේණික හිස් බවද ඒ කෙරෙහි බලපෑවේය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය ප්‍රජොතන්ත්‍රවාදයේ වැදගත් මූලික සංකල්ප මහජනයා අතර පතළ කරන ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කළද එවැනි දෙයක් ලංකාවේ නිදහස් ව්‍යාපාරය වෙතින් සිදු නොවීය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සමාජ චින්තනයේ ලොකු විපර්යාසයක් ඇති කළද ලංකාවේ නිදහස් ව්‍යාපාරය සමාජ චින්තනය කෙරෙහි එවැනි බලපෑමත් ඇති කළේ නැත. ඉන්දියාව බි්‍රතාන්‍යයෙන් තමන්ට ලැබුණු අධිකරණ ක්‍රමය ඒ ආකාරයෙන්ම කර ගසාගෙන ඉදිරියට ගෙන ගියේ නැත. ඉන්දියාව ලෝකයේ තිබෙන සියලු වැදගත් අධිකරණ ක්‍රම සැලකිල්ලට ගනිමින් තමන්ට ගැළපෙන නව අධිකරණ ක්‍රමයක් ඇතිකර ගත්තේය. ඉන්දියාවේ ව්‍යස්ථා සම්පාදන මණ්ඩලය නිර්මාණය කළ නව අධිකරණ ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සලකන ලද්දේ නිදහස් අරගලය විසින් මුදාහරින ලද සමාජ විප්ලවය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන යන වැඩසටහනේ භාරකරුවා වශයෙනි. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය හා ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනූ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන ඉන්දියාවේ අධිකරණයට අධිකරණය වෙත පැවරෙන සමාජ කාර්යභාරය පිළිබඳව දියුණු දැක්මක් උරුම කර දුන්නේය.

එකතැන පල්වීම හා නැගී සිටීම

එහෙත් ලංකාවේ නිදහස් ව්‍යාපාරය හෝ ලැබූ නිදහස ලංකාවේ අධිකරණයට එවැනි දියුණු දැක්මක් ලබා දුන්නේ නැත. ඒ නිසා ලංකාවේ අධිකරණය නඩු අසන ආයතනයක් ලෙස ක්‍රියා කළා මිස ආණ්ඩුකරණ ක්‍රියාවලියට ආලෝකය ලබාදෙන ආයතනයක් ලෙස ක්‍රියා කළේ නැත. 1956 පැන නැගුණ භාෂා ප්‍රශ්නයේදී ජයග්‍රාහී දේශපාලන ප්‍රවාහයේ අදහස් ආරක්ෂා කරන්නකු ලෙස ක්‍රියා කළා මිස යුක්තිය ඉටු කරමින් ආණ්ඩුකරණයේ ගමන් මග නිවැරදි මාවතකට යොමු කිරීමට සමත් නොවීය.

අධිකරණයේ පැවති මෙම එකතැන පල්වෙන ස්වභාවය කිසියම් ප්‍රමාණයකට වෙනස් වූයේ 1977න් පසුවය. එය හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමි කරගෙන සිටි පාලක පක්ෂය අධිකරණයට ඉතාමත් අශෝභන ලෙස ඇඟිලි ගැසූ, බිහිසුණු ලෙස පහර දුන් අඳුරු කාලපරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. එහෙත්, අධිකරණය ආණ්ඩු පක්ෂයේ දේශපාලන අතකොලුවක් නොවී සිය ස්වාධීනතාව කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂා කරගනිමින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා පුළුල් කිරීමට හේතුවන භූමිකාවක් රඟපෑමට සමත් විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ පුද්ගලික මිත්‍රයකු වූ නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට ගෙනාවේ ඔහු හරහා අධිකරණය තමන්ගේ දේශපාලන අතකොලුවක් බවට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි කියන අපේක්ෂාවෙන් විය හැකිය. එහෙත් නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත්වූ මොහොතේ සිටම ජනාධිපති ජයවර්ධන හෝ ඔහුගේ ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට අධිකරණයේ ස්වාධීනතාව හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. ආණ්ඩුවෙන් අධිකරණයට බිහිසුණු පහර එල්ල වුවද ඒ යුගය නිදහසින් පසු ලංකාවේ අධිකරණයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකිය.

ගෞරවය හිමිකර ගැනීම

අගවිනිසුරු සරත් සිල්වා අතට අධිකරණය පත්වන තෙක් අධිකරණය සිය ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන ගමනක යෙදී සිටියේය. අධිකරණයේ ඒ ගමන මුළුමනින් ආපස්සට හවන ලද අධිකරණ නායකයා ලෙස සැලකිය හැක්කේ සරත් නන්ද සිල්වාය. අධිකරණයට තිබූ ගෞරවය නැත්තටම නැති කළ පුද්ගලයා අගවිනිසුරු සරත් නන්ද සිල්වා ලෙස සැලකිය හැකිය.

ලංකාවේ සියලු වෘත්තීන් මුළුමනින් හෝ කිසියම් විශාල ප්‍රමාණයකට ගෞරවය අහිමි කරගෙන තිබෙන අතර අහිමි කරගෙන තිබෙන එම ගෞරවය බලහත්කාරයෙන් ඇති කරගත හැකි දෙයක් නොව, ගෞරවනීය පැවැත්මක් ඇතිකර ගැනීමෙන් පමණක් නැවත ලබාගත යුතුව තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය.

විනය පාලන විෂයේදී ස්වයං පාලන බලයක් භුක්ති විඳින සියලු වෘත්තීයවේදී ආයතන වැරදි කරන සිය වෘත්තීය සගයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන තත්ත්වයක් නොපවතී. ඒ අර්ථයෙන් ගත් විට වර්තමානයේ අධිකරණ සේවා කොමිසම එම ආයතන අතරින් ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස සැලකිය හැකිය. අඩුපාඩුකම් තිබිය හැකි වුවත් වැරදි කරන විනිශ්චයකාරවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ගැන සොයා බලන ක්‍රමයක් ක්‍රියාත්මකවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් කොමිසම දැඩි පියවරක් ගනු ලැබූ අතර පක්ෂපාතී නඩු තීන්දුවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක පගාවක් ගත් දිසා විනිසුරුවරයකුට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයකු විසින් අවුරුදු 16ක සිරදඬුවමක් ලබාදීමේ පුවතක්ද මෑතදී අසන්නට ලැබුණි.

විනිසුරුවරුන් අතර ඔවුන්ගේ අත්වල කැත කුණු තවරා ගත් අය සිටී නම් ඔවුන් සේවයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍යය. සරත් නන්ද සිල්වාගේ කාලයේදී බරපතළ වැරදි කරන විනිසුරුවරුන් පවා ආරක්ෂා කරන පිළිවෙතක් අධිකරණ සේවා කොමිසම අනුගමනය කළේය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්න සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශන දෙකකි. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරය හොබවන කාලයේදී ඔහු පාතාල ලෝකයේ අපරාධකරුවන්ද ඇසුරු කළේය. සරත් අඹේපිටිය විනිසුරුවරයා ඝාතනය කළ නවුෆර් විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ පවත්වන උත්සව කටයුතුවලදී ඒ සඳහා අවශ්‍ය බර පැන උසුලන ආධාරකරුවකු ලෙස ක්‍රියා කළේය. චන්ද්‍රිකාගේ පාලන කාලයෙන් පසු එළැඹුණු මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීද අධිකරණයට බිහිසුණු පහරදීම් එල්ල වූ යුගයක් ලෙස සැලකිය හැකිය.

 

Advertiesment