Sunday 12th of July 2020

English Tamil
Advertiesment


රවී අත්අඩංගුවට ගැනීමට යාම දේශපාලන කුමන්ත්‍රණයක්


2020-03-04 5758

කුමන්ත්‍රණය පිටුපස ඇති අදිසි හස්තය මෛත්‍රී ද..?

 

නීතිපතිගේ ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගොන්නක්

 

 වෝහරිකයෙන් නිදොස් කෙරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ කෙසේද..?

 

වෝහාරික විගණන වාර්තාව මගින්, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව නිදොස් කොට නිදහස් කරනු ලැබූ හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් යැයි නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා අවධාරණය කර සිටියි.

එමෙන්ම රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට කර ඇති ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගණනාවක් තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා මෙසේද කීය

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් පුළුල් සහ ගැඹුරු ලෙස කරුණු විමර්ශනය කරමින් ලොව පිළිගත් ජාත්‍යන්තර විගණන ආයතනයක් වන "B.D.O" ආයතනය මගින් නිකුත් කෙරුණු වෝහාරික විගණන වාර්තාව මගින් හිටපු මුදල් අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නිදොස් කොට නිදහස් කර තිබෙන බව මුළු රටම දන්නවා.

එසේ තිබියදී මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කිරීමේ සිද්ධිය විශාල ප්‍රෙහෙලිකාවක්,බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් සහ ආන්දෝලනාත්මක සිද්ධියක් බව කිව යුතුයි.

වෝහාරික විගණනය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය සැණින් මෙසේ අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් වගේම දේශපාලන පළි ගැනීමක් බව සක්සුදක් සේ පැහැදිළියි.පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වය හමුවේ නීතිපතිවරයාගේ මේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවේ දී අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ද එක්සත් ජාතික පෙරමුණට සහ රවී කරුණානායක මහතාට අහිමි වී ගොස් තිබෙනවා.

එමෙන්ම හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට කර ඇති ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගණනාවක්ම තිබෙන බව පැහැදිළියි.

ඒ කියන්නේ ලිඛිත නියෝගයේ නීති කෘත්‍ය අංකය වන B 82866/2018 යන අංකය ද,එම මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිදු වූවා යැයි දක්වා තිබෙන 2016.03.29 සහ 2016.03.31 යන දිනයන් ද,එම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවල මුහුණත වටිනාකම ලෙස දක්වා තිබෙන රුපියල් බිලියන 36.98 සහ රුපියල් බිලියන 15 යන සංඛ්‍යා පවා වැරදියි.

එසේ නම් මේ කරන්න යන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ රවී කරුණානායක මහතා දේශපාලන වශයෙන් දඩයම් කරමින් ඔහුගෙන් දේශපාලන වශයෙන් පළි ගැනීම නොවේද..? එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණය,සමගිය සහ අනාගතය වෙනුවෙන් මේ මොහොත වන විටත් ඇප කැප වෙමින් විශාල භූමිකාවක් කරන රවී කරුණානායක ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙකු බව කිව යුතුයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වන "ලකුණ" සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ අර්බුදය මතු වූ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලකුණ වන "හංසයා" සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජාතික බලවේගයට පරිත්‍යාග කිරීමට පවා ඔහු පියවර ගත්තේ ඒ නිසයි.එමෙන්ම දේශබන්දු කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙන රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ ජාතික නායකයා බවට පත් කරමින් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන පාර්ශව එකට එකතු කර පක්ෂය කැඩී බිදී යාමට ඉඩ නොතබා සමගි කිරීමේ සටනේ නියමුවෙකු ලෙස මේ මොහොතේ ක්‍රියා කරන්නේ ද රවී කරුණානායක මහතා බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ.

රවී කරුණානායක මහතාට එරෙහි මේ දේශපාලන කුමන්ත්‍රණය දියත් වන්නේ ඔහු කරන මේ භූමිකාව නිසා විය හැකි අතර මේ කුමන්ත්‍රණය පිටුපස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටිය හැකි බවට දේශපාලන කරළියේ විවිධ කතා සහ ආරංචි මාර්ග ද පැතිර යන බව අපට දැන ගන්නට තිබෙනවා.

Advertiesment