Friday 5th of June 2020

English Tamil
Advertiesment


ඔක්සිජන් ටැංකියක්...?


2020-03-01 1182

(උපුටා ගැනීම - භාතිය ගොපල්ලවගෙනි)

 

මේ දින වල සමාජ මාධ්‍ය හරහා යන පුවතක් සහ එයින් ලණුව කා මහාපරිමාණයෙන් මේ ශාකය වගා කරමින් කරන්නට යන අනතුරක ඉඟියක් දැනුනු බැවින්(එක්තරා ජනප්‍රිය ස්වාමීන් වහන්සේ කෙනෙකු පවා මහා පරිමාණයෙන් වගා කරන්නට යන බවට දැක්වෙන සටහනක් දුටුවෙමි) මෙම පළ කිරීම සිදු කිරීමට අදහස් කළෙමි.

1.Sansevieria trifaciata නම් Dracenaceae/Asperagaceae කුළයට අයත් ශාක විශේෂයක් පිළිබඳ නාසා ආයතනය විසින් පර්‍යේෂණයක් සිදු කර ඇති බවත්.

2.එමගින් සමහර වායු දූෂක ඉවත් කිරීමේ හැකියාවක් පවතින බවත්

3.එමගින් රාත්‍රී කාලයේදී විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඔක්සිජන් බවට පත් කරන බවත්

4.පැල 15-18 දක්වා ප්‍රමාණයෙන් වර්ග අඩි 1800ක් පමණ පිරිසිදු කිරීමට හැකි බවත්

5.ලෝකයේ වැඩිම ඔක්සිජන් පිට කරන ශාක 5 අතර මේ පැළය සහිත බව

ආදී කරුණු රාශියකින් යුතු පෝස්ටුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ දිගින් දිගටම හුවමාරු වෙමින් පවතී. මේ පිළිබඳව කරුණු එකින් එක විමසා බළමු. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ආලෝකය ඇති විට සිදුවන ආලෝක ප්‍රතික්‍රියාවක් සහ ආලෝකය අවශ්‍ය නොවන තවත් ප්‍රතික්‍රියාවක්(කැල්වින් චක්‍රය) ඇති බවට අඩුම තරමේ සාමාන්‍ය පෙළ විද්‍යාව විශයට ඔබ හදාරා ඇතැයි ඇතැයි අනුමාන කරමි.මෙහිදී ආලෝකය ඇතිවිට ශාක තුලදී හරිතලව වල තයිලකොයිඩ පටල තුළ ඇති ප්‍රභා පද්ධති මගින් ආලෝක ශක්තිය උරාගෙන එමගින් ජල විච්චේදනයට ලක්කිරීමේදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් නිෂ්පාදනය කිරීම සිදු කරයි.එම ඔක්සින් වලින් යම් ප්‍රමාණයක් ශාකයේ ස්වසන ක්‍රියාවලි වලට භාවිතා කරන අතර ඉතිරි ඔක්සිජන් පුටිකා හරහා වායුගෝලයට ලැබේ.

ප්‍රභාසංස්ලේෂණ වේගය ස්වසන වේගයට වැඩි වූ විට වායුගෝලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවේ.මෙම ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවන ATP සහ NADPH ආලෝකය අවශ්‍ය නොවන කැල්වින් චක්‍රයේදී යොදා ගැනේ මෙහිදී ප්‍රතික්‍රියා දාමයක් මගින් කාබන්ඩයොක් සයිඩ් RUBP සමග එක්ව C 6 සංයෝගයක් බවටද එය විච්චේදනයෙන් C3 සංයෝගයක් වන PGA ද එය තවදුරටත් C6 ග්ලූකෝස් බවටද පත්වීම සිදුවන අතර මේ ක්‍රියාවලියේදී ඔක්සිජන් සෑදීමක් සිදු නොවේ.මෙහි කියැවෙන Snake Plant ශාකය වැනි ශුෂ්කරූපී පරිසරවල වැඩෙන ශාක CAM (Crassulacean acid metabolism) ප්‍රභාසංස්ලේෂණ යාන්ත්‍රණය දරණ අතර මෙම ශාක වල තවත් විශේෂත්වයක් වන්නෙ රාත්‍රියට පූටිකා විවෘතවද දහවලට පූටිකා වැසීද තිබීමයි.මෙය ඉහල උෂ්ණත්වය හා දැඩි හිරුඑලිය හමුවේ ජල සංරක්ෂණයට දක්වන අනුවර්තණයක් මෙන්ම ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාවය ඉහල දැමීමටද දක්වන අනුවර්තනයකි.

රාත්‍රී කාලයේදී මෙහිදී විවෘත වූ පූටිකා කරහා CO2 ශාක පත්‍ර තුලට ඇතුල් වන අතර C 3 සංයෝගයක් වන PEP කාබොක්සිලේස් සමග C 4 සංයෝගයක් වන OAA ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් බවට පත්වේ.මෙම OAA,මැලික් ඇසිඩ්බවට පත්වී ශාක සෛල තුල රික්තක තුලට සංචිත වේ.දහවල් කාලය තුලදී පූටිකා වැසී පවතින අතර මෙම මැලේට(C 4) පයිරුවේට(C3) බවට පත්වන අතර එහිදී CO2 නිෂ්පාදනය වීමක් සිදුවේ වේ.මේ නිසා දහවල් කාලයේ පූටිකා විවෘතවී කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් උරාගැනීමක් අත්‍යාවශ්‍ය නොවේ.මෙහිදී සෑදෙන කාබන්ඩයොක්සයිඩ් ඉහත දැක්වූ පරිදි සාමාන්‍ය C 3 යාන්ත්‍රණයටම එකතු වී ග්ලූකෝස් නිශ්පාදනය කරන අතර ඊට අමතරව සෑදුණු පයිරුවේටද සංචිත කිරීම සිදුවේ.දහවල් කාලයේ නිපදවන ඔක්සිජන් රාත්‍රී කාලයේ පූටිකා විවෘත වීමේදී මෙන්ම දහවල් කාලයේදී පූටිකා හැර උච්චර්මය හරහා පවා වායුගෝලයට එක් විය හැක.එම නිසා රාත්‍රී කාලයේදී කාබන් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවනවා යන්න වැරදි කරුණකි.

මීලඟට නාසා ආයතනය මගින් සිදු කළා යැයි කියන පර්‍යේෂණය ගැන සලකා බලමු එහි ලින්ක් එක පෝස්ටුවේ පහලින් දක්වන්නම්.

මෙම පර්‍යේෂණ පත්‍රිකාව අධ්‍යයනයේදී ගෘහස්ථ වායු දූෂණය අවම කිරීමට එක් ක්‍රමයක් ලෙස සංවෘත පරිසරයක් තුළදී ශාක වර්ග කීපයක් තවත් සක්‍රිය කළ කාබන් පෙරණ,ෆෑන් ආදී සංයුක්ත පද්ධතියක් පර්‍යේෂණයට ලක් කර ඇත.(පද්ධතියේ චායාරූපයක් පහතින් දක්වා ඇත.)

මෙහිදී විෂ සහිත සංයෝග ලෙස සැලකෙන බෙන්සීන්,ෆෝමැල්ඩිහයිඩ් හා ට්‍රයික්ලෝරො එතේන් යන සංයෝග විවිධ ආකාරට මෙම සංවෘත පද්ධතිය තුළ පර්‍යේෂණ වලට බඳුන් කර එක් එක් ශාකය මගින් ඒකක පෘෂ්ඨ වර්ගඵලයකට අවශෝෂණය කළ විෂ ප්‍රමාණය ගණනය කර ඇත.මෙහිදී යොදාගත් ජර්බෙරා වර්ග ඩ්‍රැසීනා වර්ග උණ වර්ග ආදී ශාක මෙන්ම මේ මතභේදයට තුඩු දුන් Sanseveiria trifasiaca ශාකය අයත් ඝනයට අයත් වෙනත් විශේෂද සමහර විෂ සඳහා සතුටුදායක ප්‍රතිඵල පෙන්වා ඇත.තවද මෙම ශාක වල පත්‍ර සහිතව මෙන්ම රහිතවද මේ සම්බන්ධයෙන් පර්‍යේෂණයට බඳුන් කර ඇත.

මෙම පර්‍යේෂණ වල අවසන් නිගමනයන් ලෙස අඩු ආලෝකය අවශ්‍ය මෙම ගෘහස්ථ ශාක සක්‍රිය කාබන් පෙරණ සමග සංවෘත පරිසරයන්ට සමාන ගොඩනැගිලි වල ගෘහස්ථ වායුදූෂක ඉවත් කිරීමට යම් විභවයක් දරණ බවද ,මෙම ශාක වල මුල් සහ පස ආශ්‍රිත ප්‍රදේශය මෙම වාෂ්පශීලී සංයෝග ඉවත් කිරීමට නිරාවරණයෙන් වැඩි ප්‍රථිඵලයක් ලැබෙන බවටද. ෆෑන් සහිත සක්‍රිය කාබන් පෙරණද විශාල ප්‍රමාණයෙන් දූෂක ඉවත් කිරීමේදී එම පද්ධති වල කොටසක් ලෙස යොදා ගත හැකි බවද දක්වා ඇත.

මේ පිළිබඳ පර්‍යේෂණ තවදුරටත් සිදුවන අතර පුද්ගලයෙකුට මිය නොගොස් ජීවත් වීමට නිශ්චිත ශාක ප්‍රමාණයක් හෝ ගෘහස්ථ පරිසරයකට අවශ්‍ය ශාක ප්‍රමාණයක් දක්වා නොමැත.

මේ පරිද්දෙන් විසිතුරු මල් කරුවන් විසින් පැළ විකුණා ගනීමේ අරමුනෙන් පවත්වා ගෙන යන ව්‍යාජ ප්‍රචාර හමුවේ පැළ ලක්ෂ ගණන් සෑදීමට නව ව්‍යාපෘති පවා ආරම්භ කර ඇති බව දැකීම හාස්‍යයට කරුණකි.මෙම ශාකය විදේශීය විසිතුරු ශාකයක් ලෙස ගෘහශ්‍රිතව භාවිතා කිරීමේ ගැටළුවක් නැති අතර මහා පරිමානයෙන් සාමාන්‍ය බාහිර වගා කිරීමට යෑම නුවණට හුරු නොවේ.ඒ මන්ද යත් මෙය ආක්‍රමණශීලී විය හැකි වල් පැලෑටි වල ලක්ෂණද(Weedy Characters) ඇතැම් රටවල පෙන්වා ඇති බැවිනි නාසා ආයතනයේ නම ගාවා විකිපීඩියා ලින්ක් එකක් දුන් පමණින් පොල් ලෙලි ගසා,අඹරා ලණුව ගිලීමට මුග්ධ නොවන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම ශාකය ගැන විස්තරය ලෙස ඔවුන් ඉදිරිපත් කරන විකිපීඩියා ලින්ක් එකේම මම ශාකය ගෘහස්ථ වායු දූෂණයට ප්‍රායෝගිකව යොදාගැනීමට කාර්‍යක්ෂමතාව අඩු බවත්.වල් පැළෑටියක් ලෙස ලක්ෂණ දක්වන බවත්.ගෘහස්ථ සුරතලුන්ට ඇතැම්විට සුළු වශයෙන් විෂ සහිත විය හැකි බවත් පහත ස්ක්‍රීන් ශොට් එකක රතු පැහැයෙන් රවුම් කර දක්වා ඇත.

මෙම කරුණු මාගෙ පුද්ගලික මතය වන අතර විමසා බලා තීරණයක් ගැනීම ඔබ සතු බවත්.මා රැකියාව කරන ආයතනය මේ සම්බන්ධව වගකීමක් නොදරණ බවත් කාරුණිකව දන්වා සිටිමි.යම් කරුණක් වැරදි නම් දන්වා සිටීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටින අතර නිවැරදි කිරීමට කටයුතු කරමි.

 

Advertiesment