Monday 21st of September 2020

English Tamil
Advertiesment


දින සියයටම  ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ලැබුණේ රුපියල් පහයි


2020-03-01 7470

මිනිස්සුන්ට වුණේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්

 

යහ පාලනයේ දින 100 කෙතරම් වර්ණවත් ද..?

(සුජිත් මංගල ද සිල්වා) 

 

නව ආණ්ඩුව බලයට පත්වී තෙමසක් ඉක්ම ගොස් ඇතත්, පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීම හැරුණු කොට ඇඟට දැනෙන කිසිම සහනයක් ජනතාවට ලබා දීමට ජනපතිවරයාට සහ අගමැතිවරයාට නොහැකි වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.
 
කෙසේ නමුත් යහ පාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් ද තබා ගෙන සිය දින සියය ඇතුළත දී විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවා සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන අතර ඇඟට දැනෙන සහන රැසක් ජනතාවට ලබා දුන් බව ද හෙතම පෙන්වා දුන්නේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර, බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති දානමය වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව ජන මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්ය.  

මහ මාර්ග සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස මහනුවර දිස්ත්‍රික්කයට සහ එම ජනතාවට සිදු කළ මෙහෙවර අගයා මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත මහ සංඝ රත්නය උපහාර තිළිණයක්ද පිරිනැමූහ.    

එහිදී ජන මාධ්‍ය හමුවේ වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

"මේ රජය බලයටපත් වෙලා මාස 03කට වැඩියි. මේ අය එක වැඩක් කළා. ඒ තමයි පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීම.ඒ තමයි මේ ආණ්ඩුව ජනතාවට දුන්නු ලොකුම සහනය.ජනතාවට මතක ඇති අපේ ආණ්ඩුවේ දින 100 කාලය. අපි ඉන්ධන මිල අඩු කළා. රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් දහ දාහකින් වැඩි කළා. සමෘද්ධි සහනාධාරය දෙගුණ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා. අපි මන්ති‍්‍රවරු 45ක සුළුතරයක් තියා ගෙන තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ දී ලබා ගනිමින් ව්‍යවස්ථාවත් සංශෝධනය කළා. මේ වගේ අපි නිසි කළමණාකාරිත්වයෙන් වැඩ කරලා පෙන්නුවා.

මේ අය බලයට පත් වුණොත් රටටත් ජනතාවටත් මේ දුක්කිත ඉරණම අත් වන බව ජනාධිපතිවරණ කාලයේ දී අපි ජනතාවට කිව්වා.නමුත් විශ්වාස කළේ නැහැ.යහ පාලන ආණ්ඩුව ලෙස අපට කෙතරම් අමාරුකම් තිබ්බත්,අප බඩු මිල පාලනය කරලා, වැටුප් වැඩි කරලා, පාසල් දූ දරුවන් රක්ෂණය කරලා විශාල වැඩ කොටසක් කළා.ඒ අනුව ජනතාවට සිද්ධ වුණේ ඉගුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්. ජනතාවට මේ ප්‍රශ්න දැනෙන්න  ඕන. ඉදිරි මහ මැතිවරණයේදි මේ තත්ත්වයන්ට ජනතාව පිළිතුරු දේවි කියා අපි විශ්වාස  කරනවා."

මෙහිදි යහ පාලන ආණ්ඩුව භාණ්ඩාගාරය හිස් කොට නව රජයට භාර දුන් බවට ආණ්ඩුව කරන චෝදනා සම්බන්ධයෙන් ජන මාධ්‍යවේදින් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේ කීය.  

"අපි අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් වෙන් කළා 2020 අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් සඳහා. සංවර්ධන කටයුතු, සේවක වැටුප්, ණය ආදි සියල්ලට මුදල් වෙන් කරලයි අපි ආවේ. ඉතින් මේ අර්බුදය මහ භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නේ.ඒ මන්ද මහ භාණ්ඩාගාරයේ සමහර නිලධාරින් මේ ආණ්ඩුවට මුදල් පෙන්වන්නේ නැහැ.ඒවා හංගනවා. රජය මේ පිළිබඳව සොයා බැලිය යුතුයි.  අපි භාණ්ඩාගාරය හිස් කළා නම් කොහොමද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ." 

ජිනිවා මානව හිමිකම් කොමිසම සඳහා සම අනුග‍්‍රහය දැක්වූ  යෝජනාවෙන් නව රජය ඉවත් වීම පිළිබඳවද ජන මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු ලබා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, 

"අපේ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඒ අයත් එකක් සාකච්ඡා කරලා අපි ඒක කළමණාකරණය කර ගත්තා.අදාළ යෝජවවලින් ඉවත් වෙන එක බොහොම ලේසි වැඩක්. ඉවත් වෙන එක නෙමෙයි කරන්න ඕනෑ. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා සංශෝධනය කළ යුතු වගන්ති තිබෙනවා නම් ඒවා ඉවත් කර ගන්න කටයුතු කීරීමේ වැරැද්දක් නැහැ. සම්පූර්ණ යෝජනාවෙන් ඉවත් වෙනවා කියන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට විරුද්ධව ගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ. ජාත්‍යන්තරය සමඟ අමනාප වුණොත් ඇති වන ඵල විපාක ගැන අපි කවුරුත් හොදින් දන්නවා." 

Advertiesment