Sunday 12th of July 2020

English Tamil
Advertiesment


ක්‍රමයේ යථාර්ථය


2020-02-29 1979

(වික්ටර් අයිවන්)

දැන් රටේ ගරා හැලෙමින් තිබූ සමස්ත ක්‍රමය තිබෙන්නේ බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. විවිධ හේතු නිසා විටින් විට ඇතිවූ දෝෂ නිවැරදි කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අවශ්‍ය තරම් දියුණු දේශපාලන පරිකල්පනයක් රටේ දේශපාලනතන්ත්‍රයට, නිලධරතන්ත්‍රයට බුද්ධිමතුන්ට හෝ සමාජයට නොතිබුණි. ඒ නිසා ඇතිවූ ඊළඟ ප්‍රතිඵලය වූයේ දෝෂ ගල්ගැහුණු දේවල් බවට පත්වී සමස්ත ක්‍රමය ගඳ ගහන තරමට කුණුවූ තත්ත්වයකට පත්වීමය. ලංකාවේ ක්‍රමය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. එහිදී පවා ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඔස්සේ සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට ඒ සියලුදෙනා සමත් වී නැත. එම තත්ත්වය තුළ විය හැකි එකම දේ හොඳටම ගරා හැලුණු හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන සමස්ත ක්‍රමය අප ඇස් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්ත්වයකට පත්වීමය.

දේශපාලන ක්‍රමයද සංකීර්ණ යන්ත්‍රයක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය යන්ත්‍රයක් පවා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමේදී නියමිත කාලයකට වරක් සර්විස් කිරීමට අවශ්‍ය අඩකට එනවා සේ ම දෝෂ ඇතිවූ විට අලුත්වැඩියා කිරීම්ද අවශ්‍ය වේ. දේශපාලන ක්‍රමයටද සර්විස් කිරීම් සේ ම රෙපයාර් කිරීම් ද අවශ්‍ය වේ. එම මූලික අවශ්‍යතා දෙක නොසලකා ක්‍රියාකළහොත් යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනීමට නියමිත කාලයට පෙර යන්ත්‍රය ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයකට පත්විය හැකිය.

දේශපාලන ක්‍රමය

සාමාන්‍යයෙන් නූතන කාලයේදී දේශපාලන ක්‍රමයක ආයු කාලය ගණන් ගත්තේ දශකවලින් නොව ශතවර්ෂවලිනි. ලෝකයේ පැරණිතම දේශපාලන ක්‍රමය ඇත්තේ බි්‍රතාන්‍යයටය. එය අවුරුදු 1427ක තරම් පැරණිය. ඊළඟ පැරණිතම ක්‍රමය තිබෙන්නේ ස්විට්සර්ලන්තයටය. එහි ආණ්ඩුක්‍රමය 727ක් තරම් පැරණිය. එහි තිබෙන්නේ බි්‍රතාන්‍යයේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නොව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය එකට මුසු කළ ආණ්ඩු ක්‍රමයකි. ඇමරිකානු ආණ්ඩු ක්‍රමය අවුරුදු 233ක් පැරණිය. ලංකාවට නිදහස ලැබී ගෙවී ගිය අවුරුදු 72 තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් ඇති කරගෙන තිබෙන අතර, මේ වනවිට අවුරුදු 42ක් පරණ 2 වැනි ජනරජ ව්‍යවස්ථාවද සාර්ථක රාජ්‍යය පාලනයක් සඳහා යොදාගත නොහැකි අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රමයක පැවැත්ම ගණන් ගතයුත්තේ ශතවර්ෂවලින් වුවද විධිමත් ලෙස සකස් කර නොගත් අවශ්‍ය අවස්ථාවලදී සර්විස්වලින් හා රෙපයාර්වලින් තොරව අවිධිමත් ලෙස නඩත්තු කළ දේශපාලන ක්‍රමයක් ශතවර්ෂ ගණනාවක් පවතිනවා වෙනුවට දශක කිහිපයකින් වුවද කඩා බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

දැන් ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේද එවැනි අවුලකටය. සාමාන්‍ය යන්ත්‍රයක් මුළුමනින් බිඳ වැටීමකට ලක්වූ පසු එම යන්ත්‍රය වෙනුවට ඒ සමාන වෙනස් යන්ත්‍රයක් සමහරවිට ඊටත් වඩා හොඳ යන්ත්‍රයක් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. එහෙත් රටක දේශපාලන ක්‍රමයක් බිඳ වැටුණු පසු ඒ වෙනුවට සදා නිමා කළ දේශපාලන ක්‍රමයක් වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාවක් නැත. එය ගොඩනගා ගත යුත්තේ ඒ රටේ මහජනයාය. එය සරල හෝ පහසු දෙයක් නොව දුෂ්කර හා සංකීර්ණ දෙයකි.

අයාලේ ගිය ගමන

ලංකාවට දියුණු චින්තනයක් නොතිබීමේ ප්‍රශ්නය නිදහස ලැබීමෙන් පසුවත් ලංකාවේ සමාජ දේශපාලනය හා ආර්ථිකය කෙරෙහි බලපෑවේය. නිදහසෙන් පසුව වැඩවසම්, ඉඩම් බුක්ති ක්‍රමය හා ඒ ආශ්‍රයෙන් පැවති වැඩවම් සේවා ක්‍රමය අහෝසි කිරීමක් සිදු නොවූ අතර කුලභේදයට තිබෙන පිළිගැනීමද අහෝසි කිරීමක් සිදු නොවීය. එසේම වර්ග හා ආගම් අතර යහපැවැත්මක් ඇති කිරීමට හේතුවන ලෙස නූතන ජාතිය ගොඩනගා ගැනීමක්ද සිදු නොවීය. ඒ නිසා දේශපාලන ක්‍රමය ගොඩ නැගී තිබුණේ ශක්තිමත් අත්තිවාරමකින් තොරවය.

නිදහස ලබාගෙන තිබුණේ එකදු ලේ බිඳුවක් හෝ නොසොල්වා වුවත් නිදහස ලැබී වසර 10ක් ගතවන විට ජාතිවාදී කලකෝලාහලද ඉන්පසු තවත් වසර 20ක් යන විට ප්‍රචණ්ඩ අරගල මාවතට රට තල්ලු වී එක දිගට වසර 30ක් මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්ව තිබුණි. සිංහල දකුණේ දෙමළ උතුරෙහි ඇතිවූ ප්‍රචණ්ඩ තරුණ කැරලි කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපෑවේය.

රටේ පැවති එම දීර්ඝ අශීලාචාර වටපිටාව සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථික ක්‍රමය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. එම තත්ත්වය සමස්ත ක්‍රමය අවුල් කොට බෙලහීන කිරීමටත්, දූෂිත කිරීමටත් හේතුවිය. කැරලිකරුව් සේ ම කැරලි මර්දනය තුළ ආරක්ෂක හමුදාවක්ද උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහරින ලදි. විශාල පිරිසක් මරණයට පත්වූ අතර කායික වශයෙන් මරණයට පත් නොවී ඉතිරි වූ සියලුදෙනාද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරනයට පත් කිරීමට හේතුවිය. එම බිහිසුණු සමාජ වටපිටාව තුළ රාජ්‍ය පාලනය පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. එම තත්ත්වය සමස්ත රාජ්‍යයද එහි ආයතන ක්‍රමයද අකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබුණි. දකුණේ සිංහල හා උතුරේ දෙමළ කැරලි දෙක ප්‍රමාද වී හෝ පරාජය කරන්නට රාජ්‍ය සමත් වුවද එම කැරලිවලින් රාජ්‍යයටද බරපතළ හානි සිදුවී රාජ්‍යය බෙලහීන කොට ජරාජීර්ණ කිරීමට හේතුවී තිබුණි.

අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව විකෘති වී ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබූ සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ලෙස ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කිරීම සමස්ත ක්‍රමයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් එම අවශ්‍යතාව තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් රාජපක්ෂ ආණ්ඩුව සේ ම ඉන්පසු බලයට පත් යහපාලන ආණ්ඩුවද අසමත් විය.

එම ආණ්ඩු දෙකම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණමගහැර සුපුරුදු කොල්ලකාරී ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑම තුළ සමස්ත ක්‍රමය කඩා බිඳ වැටෙන තත්ත්වයකට වර්ධනය වී යැයි කිව හැකිය. දැන් රට තිබෙන්නේ ඇතිවන්නට නියමිත එම විනාශයේ මුව විටය.

වාහන මේනියාව

මා මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගතකර තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය ඇතුළු සමස්ත ක්‍රමයේ ඇතිව තිබුණු පරිහානිය ගැන කරන සොයා බැලීම් හා ඒ සඳහා කරන ලිවීම් සඳහාය. මාගේ සමහර අත්දැකීමේ මේ ප්‍රශ්නය වඩා හොඳින් තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විය හැකිය.

මන්ත්‍රීවරුන්ට මහජන වියදමෙන් ලොකු ආදායමක් උපයාගත හැකි ආකාරය සුපිරි වර්ගවල වාහන ලබාදෙන ක්‍රමය ලංකාව බංකොළොත් කිරීමට හේතුවූ සාධක අතුරින් සංකේතාත්මක වැදගත්කමක් තිබෙන සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙම දූෂිත ක්‍රමය ආරම්භ කළේ ජනාධිපති ජයවර්ධන විසිනි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන මොනම රටකවත් දක්නට නැති දූෂිත හා අවලස්සන ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය.

පස් වසරකට වරක් වාහනයක් ලබාදීමේ සැඟවුණු පරමාර්ථය වූයේ මන්ත්‍රීවරයාට වාහනය විකුණා ගැනීමෙන් ලොකු ආදායමක් උපයා ගැනීමේ ක්‍රමයක් ඇති කර දීම මගින් මන්ත්‍රීවරයා තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීමය. පසුව මෙම දූෂිත ක්‍රමය රජයේ උසස් නිලධාරීන් සඳහාද යොදා ගන්නා ලදි. වසර පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙනවාට අතිරේකව නිලධාරීන් විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ තුන් හාරසීයක් වටිනා වාහනයක් රුපියල් ලක්ෂ 10කට පමණ මිලදී ගෙන ගෙදර ගෙන යා හැකි ක්‍රමයක් ස්ථාපිත විය. ක්‍රමයෙන් උසස් නිලතල දරන දේශපාලකයන් පරිහරණය කරන වාහනවල ස්වභාවයද පරිහරණය කරන වාහනවල ප්‍රමාණයද විස්මජනක ලෙස ඉහළ ගියේය. ජනාධිපති හා අගමැති පරිහරණය කරන වාහනවල මිල ලක්ෂ 1000ට වැඩිවන විට ජනාධිපති, අගමැති හා ඇමතිවරුන්ගේ වාහන සංචිතවල ඇති වාහන සංඛ්‍යාවද ඉහළ ගියේය.

ඇමතිවරුන්ට නිල කාර්ය මණ්ඩලයක් ලබාදී තිබියදී ඊට අතිරේකව ප්‍රධාන නිලධාරීන් හයදෙනකුගෙන් හා තවත් සේවකයන් 28 දෙනකුගෙන් සමන්විත පුද්ගලික කාර්ය මණ්ඩලයක් ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි.මෙය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් නැති ඉතාම වියදම් අධික දූෂිත ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරීන් 6 දෙනාටද නිල වාහනවලට අතිරේකව වසර 5කට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලදි. මන්ත්‍රීවරයා තෘප්තිමත් තත්ත්වයක තබා ගැනරැබොහෝ විට ඇමතිගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරීන් හයදෙනා ඇමතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත විය. එවිට ඇමති පවුලකට වසරකට ලැබෙන තීරු බදු රහිත පර්මිට් ගණන් 07ක් බවට පත්විය.

මෙම දූෂිත ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා ලංකාව දරන වියදම අතිවිශාලය. රජයේ ළමා නිවාසවල ජීවත් වන දෙමාපියන් නැති අසරණ දරුවෙකු වෙනුවෙන් රජය දිනකට වැය කරන්නේ රුපියල් 20ක් වැනි සොච්චම් මුදලකි. මැති ඇමතිවරුන් පරිහරණය කරන වාහනයක මිල රුපියල් ලක්ෂ 500කට වැඩිය.

බණ්ඩාරනායක මැතිනිය

පාර්ලිමේන්තුවට තේරී පත්වන උගත් නූගත් හොඳ නරක කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන ලෝකයේ කිසිම රටක දක්නට නැති මන්ත්‍රීවරුන්ට වාහන දීමේ මෙම දූෂිත ක්‍රමයට විරුද්ධ වී නැත. සාමාන්‍යයෙන් සිදුවනුයේ පාර්ලිමේන්තුව තේරී පත්වන හැම කෙනෙකුම මෙම දූෂිත අවලස්සන ක්‍රමයට අනුගතවීමය.

සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂ නායිකාව වී සිටියදී (1991 වසරේදී) මා ඒ ගැන කරුණු විමසීමක් කර ඇත්තෙමි. වාහන ප්‍රශ්නයද ඇතුළු වෙනත් දේශපාලන ප්‍රශ්න ගණනාවක් සාකච්ඡාවට ලක්වූ එම සාකච්ඡාවට බණ්ඩාරනායක මහත්මියත්, පක්ෂ ලේකම් ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහින්ද රාජපක්ෂ, අනුරුද්ධ රත්වත්ත හා දොස්තර නෙවිල් ප්‍රනාන්දු සහභාගි වූහ.

ජනාධිපති ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ග්‍රහණයට ගැනීම සඳහා ඔවුන්ට වරදාන ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඔබතුමිය චෝදනා කරන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන මොනම රටකවත් දක්නට නැති මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත පර්මිට් ලබාදෙන දූෂිත ක්‍රමයට අනුගත නොවී ශ්‍රීලනිප ඊට විරුද්ධ නොවූයේ ඇයි දැයි මම ඇගෙන් ප්‍රශ්න කළෙමි. ඊට පැහැදිලි පිළිතුරක් දීමේ හැකියාවක් ඇයට නොතිබුණි.

ඇගේ රොස්මිඞ් නිවසේ පැවති සාකච්ඡාවෙන් පසුව එම සාකච්ඡාවට සහභාගිවූවන්ට දහවල් ආහාර වශයෙන් බුරියානි ඇණවුම් කර තිබුණේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. සාමාන්‍යයෙන් මා දහවලට කන ප්‍රමාණය පුංචිය. මා අන් අයට පෙර ආහාර ගැනීම අවසන් කොට අත සෝදා ගැනීමට පැන්ටි්‍රයට ගිය අවස්ථාවේදී නෙවිල් ප්‍රනාන්දුද එහි ආවේය. ඔහු එහිදී සිනාසෙමින් මට කීවේ, “වික්ටර් අයිවන් මැරෙන්නේ යූඑන්පීකාරයන් අතින් යැයි තමා සිතාගෙන සිටියද, වික්ටර් අයිවන් මැරුම් කන්නේ ශ්‍රීලංකාකරයන් අතින් බව” තමා අද දවසේදී තේරුම් ගත් බව කියා සිටියේය. ඒ සමග “අවුරුදු 16ක් පාලන බලයෙන් පිටස්තරව සිටි ශ්‍රීලනිප නායකයන් එජාප නායකයන්ට වඩා කෑදර” බවය.

විජමු ලොකු බණ්ඩාර

මේ කාලයේදීම මට සංස්කෘතික ඇමති වශයෙන් ක්‍රියා කළ විජමු ලොකු බණ්ඩාරගෙන් ඔවුන් ක්‍රමය පවත්වාගෙන යන ආකාරය ගැන ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී ඒ ගැන ඔහු මට අපූරු පාඩමක් කියා දුන්නේය.

“ආණ්ඩු පක්ෂයේ අය වශයෙන් අපි හොඳට කනවා. ඉස්මුරුත්තාවට යන්න තරමටම අපිට කන්න ලැබෙනවා. අපි තරමටම නූනත් විරුද්ධ පක්ෂයේ අයටත් හොඳට කන්න දෙනවා. ඊට අතිරේකව විරුද්ධ පක්ෂයේ තෝරා ගත් තවත් පිරිසකට විරුද්ධ පක්ෂයට කන්න දෙන ප්‍රමාණයට වඩා කන්න දෙනවා.”යයි කියමින් එහු එම කතාව අවසන් කළේ “ඒ නිසා රජෝ මේ ආණ්ඩුව වෙනස් කිරීම ලේසි දෙයක් නොවේ” යැයි කියමිනි.

ඉන්පසු බලයට පත් සියලු ආණ්ඩුද ක්‍රියාත්මක කළේ සමහර වෙනස්කම් ඇතිව විජමු ලොකු බණ්ඩාර ප්‍රකාශ කරන ලද එම ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියකි.

රාජ්‍ය නායකත්වයට පත්වීමේ හැකියාව තිබූ හැම නායකයකු පසු පසම පෙනෙන හෝ නොපෙනෙන ලොකු සල්ලිකාරයෙක් සිටියේය. නායකයා දේශීය වශයෙන් යන ගමන් බිමන්වලදී සේ ම විදේශීය ගමන් බිමන් වලදීද සියලු වියදම්වල බරපැන උසුලන්නා වශයෙන් ක්‍රියාකරන්නේ ඔහුය. නායකයාට එම ධනවතා සමග ලොකු බන්ධනයක් තිබුණි. නායකයා ගනු ලබන සියලු තීරණ කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව එම සල්ලිකාරයාට තිබෙන්නේ යැයි කිව හැකිය. කැබිනට් ඇමතිවරුන් බවට පත්වීමට හැකියාව තිබෙන අය පිටුපසද එවැනි සල්ලිකාරයන් සිටින්නේය.

කළු සල්ලි

පක්ෂ නඩත්තු කිරීමේදී පමණක් නොව මැතිවරණවලදීද කළු සල්ලි වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. ජනාධිපති ජයවර්ධන අගමැති ප්‍රේමදාසගෙන් එල්ල වූ බලවත් විරෝධය නිසා තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීම අතහැර, ඒ අවස්ථාව ප්‍රේමදාස අගමැතිවරයාට ලබාදීමෙන් පසු සිදුවූ අපූරු සිද්ධියක් මට අසන්නට ලැබී තිබුණි. ජනාධිපති ජයවර්ධන රංජන් විජේරත්න සිය නිවසට ගෙන්වා ගෙන වසා තිබූ කාමරයක තිබූ දැවැන්ත අල්මාරියක තිබූ සියලු මුදල් මිටි ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස අතට පත් කරන ලෙස රන්ජන්ට දැනුම් දී තිබේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසුද ඔහු ජීවත් වූ සුචරිතයේ රුපියල් කෝටි ගණනක් වටිනා මුදල් නෝට්ටු තිබුණු බව හෙළිදරව් විය. ජනාධිපති ජයවර්ධනගේ අල්මාරියේ තිබූ මුදල් සේ ම සුචරිතයේ තිබුණ මුදල්ද සැලකිය හැක්කේ හොඳ සල්ලි ලෙස නොව, කළු සෙල්ලි ලෙසය.

1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මුදල් ආධාර ලැබුණු ආකාරය දැකගැනීමේ දුලභ අවස්ථාවක් මට හිමිවිය. රුපියල් මිලියනයකට වැඩි මුදල් ආධාර ලබා ගැනීම වෙනුවෙන් වෙන්කර තිබූ දිනක ඇගේ කැඳවීමක් අනුව විරුද්ධ පක්ෂ නායකයාගේ නිල නිවසට ගිය අවස්ථාවකදී මුදල් ආධාර වැඩසටහන අවසන් වන තෙක් එහි තිබුණ කාමරයකට වී සිටින ලෙස ඇය දැනුම්දීම නිසා එම සැණකෙළිය දැකගැනීමේ වාසනාව මට ලැබුණි.

යට තට්ටුවේ සල්ලි පෝලිම මෙහෙයවන ලද්දේ අනුරුද්ධ රත්වත්තය. චන්ද්‍රිකා සිටියේ උඩ තට්ටුවේය. එක දානපතියෙකුට වෙන් කළ කාලය විනාඩි දෙක තුනක් තරම්වත් නොවීය. මුදල් පාර්සල් සමග දානපතියන් චන්ද්‍රිකා වෙත ආවේ එක්කෙනකුට පසු එක්කෙනෙක් යනාදී වශයෙන් අනුපිළිවෙළකටය. එහි එන දානපතියන්ට මා නොපෙනුණද කාමරේ සිටි මට ඔවුන් පෙනුණේය.

පරිත්‍යාගකරුවන්ගේ පෝලිම අවසන්වීමෙන් පසු අනුරුද්ධ උඩ තට්ටුවට පැමිණි අතර කාමරයේ සිටි මමද එළියට ආවෙමි. මිලියනයේ පාර්සල් තිහ හතළිහක තරම් ප්‍රමාණයක් සැටියේ පුටු මත ගොඩ ගසා තිබුණි. පරිත්‍යාග ලබාගන්නා විට එය ලේඛනගත කිරීමක් හෝ පරිත්‍යාග දෙන ලද අයට රිසිට් පත් නිකුත් කිරීමක් සිදු නොවීය. මේ සල්ලි පරිත්‍යාග කළ අයට ඒ වෙනුවෙන් ආපසු දෙන්නේ මොනවාදැයි මම ඇඟට පතට නොදැනී චන්ද්‍රිකාගෙන් ඇසුවෙමි. මගේ ප්‍රශ්න කිරීම ඇගේ කෝපයට හේතුවිය. සල්ලි නැතිව ඉලෙක්ෂන් කරන්නේ කොහොමදැයි ඇය පෙරළා ප්‍රශ්න කළේ ඇය තුළ පහළ වූ කෝපයද පෙන්නුම් කරන ස්වරුපයකින් කීවාය. එහෙත් ඒ පිළිතුරෙන් පසුව ඇය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්විය.

එය මුදල් ආධාර ලබාගැනීම වෙනුවෙන් වෙන් කළ එක දිනක් සඳහා පමණක් ලැබුණු මුදල් ලෙස සැලකිය හැකිය. එය දේශපාලන පක්ෂ ඡන්ද කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා එක ක්‍රමයකි. වෙනත් ක්‍රමද ඇතත්, ඒවා විස්තර කිරීමට ඉඩක් නැත. මේ ක්‍රමය දූෂිත හා නීතියට පටහැනි බව අමුතුවෙන් කිවයුතු නැත.

වත්කම් බැරකම් නීතිය

මා හිතන අන්දමට දූෂණය මර්දනය කිරීමට ලංකාවේ තිබෙන බලවත්ම මෙවලම වත්කම් හා බැරකම් නීතියයි. එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් වඩා බලවත්ය. එය ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගනිමින් අයථා ලෙස වත්කම් උපයා ගෙන ඇති අය නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා යොදා ගත හැකි ඉතාමත් ඉදිරිගාමී හා ප්‍රායෝගික දර්ශකයක් සහිත නීතියක් ලෙස සැලකිය හැකි වුවත් එහි ලංකා අනුවාදය සකස් කර තිබෙන්නේ වැරදි කර තිබෙන අයට පැනයාමට කවුළු දෙකක්ද තිබෙන ආකාරයටය.

මුලදී වත්කම් බැරකම් ප්‍රකාශවලට ප්‍රවේශවීමට තිබුණු දොරටු වසා තිබුණි. මා පළමුවරට එම දොරටු විවෘත කරගනු ලැබූ පුද්ගලයා ලෙස සැලකිය හැකිය. 1991දී පමණ මා දුරකතනයෙන් පාර්ලිමේන්තු ලේකම්වරයා අමතා එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමට අවශ්‍ය බව කී විට අධිකරණ නියෝගයක් රැගෙන එන ලෙස ඔහු මට කීවේය. හැම තැනකම ක්‍රියාත්මක වූ තත්ත්වය ඊට සමාන විය. 1994 පොදු පෙරමුණෙන් මැතිවරණ ප්‍රකාශනයට වත්කම් බැරකම් නීතිය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ප්‍රතිපත්තිය ඇතුළත් විය. එය එසේ වූයේ මගේ බලපෑම් නිසාය. එහෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කළේ නැත.

කේ.බී. රත්නායක කතානයක ධුරයට පත්වීමෙන් පසුව වත්කම් බැරකම් නීතිය විස්තර කරන ලිපියක් සමග පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. නීතිය පෙන්වා දීම ගැන මට ස්තුතිය පළ කරන ලිපියක් එවමින් මට අවශ්‍ය වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ගාස්තු ගෙවා ලබා ගන්නා ලෙසත්, ඒ ගැන පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දී තිබුණු බවත් එහි සඳහන් විය. ඒ අනුව මට අවශ්‍ය පිටපත් මා ලබා ගත්තෙමි. එය එම විෂයට පාර්ලිමේන්තුවේ දොරටු විවෘත කෙරුණු පළමු අවස්ථාව විය. ඉන්පසු මම 1999 ජනාධිපතිවරණ කාලයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායකටද නීතිය පැහැදිලි කරන එවැනි ලිපියක් ලියා රු. 5000ක චෙක්පතක් සමග චන්ද්‍රකාගේ හා රනිල්ගේ නාමයෝජනාවලදී භාරදෙන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ඉල්ලා සිටියෙමි. මැතිවරණ කොමසාරිස්වරයා මට ඉතුරු මුදල් සමග එම ප්‍රකාශන දෙකේ සහතික පිටපත් එවා තිබුණි. ජනාධිපතිවරණවල නාමයෝජනාවලදී ජනාධිපති අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගන්නා සම්ප්‍රදායක් ස්ථාපිත වූයේද මා ඇති කළ හබයක් නිසාය. වත්කම් බැරකම් නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් කවරෙකුගේ හෝ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින අවස්ථාවකදී බලධාරියා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉල්ලා සිටින ප්‍රකාශයේ සහතික පිටපතක් ඉල්ලුම්කරුට ලබාදිය යුතුය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයට අගමැති රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ලබාගැනීමට අධිකරණයට යන්නට සිදුවීමේ පුවත අසන්නට ලැබුණු විට මා තුළ ඇතිවූයේ විස්මයකි.

වත්කම් බැරකම් ප්‍රකාශවලට ප්‍රවේශවීමේ දොරටුව විවෘත කරගැනීමට මා සමත් වුවත් එම නීතියේ තිබෙන රිංගා යෑමට ඉඩ ලැබෙන කපොලු දෙක වැසීමට හේතුවන ලෙස එම නීතිය ප්‍රතිසංස්කරණය කරවා ගැනීමට ද මා විශාල උත්සාහයක් දරා ඇතත්, යහපාලන ආණ්ඩුව දක්වා වන කිසිම ආණ්ඩුවක් එම කපොලු දෙක වැසීමට නම් ඉඩ දුන්නේ නැත. එය සිය දිවි නසා ගැනීමක් වැනි ක්‍රියාවක් බව ඒ හැම ආණ්ඩුවක්ම නිවැරදි ලෙස දැන සිටියා විය යුතුය. මගේ මතය අනුව එම නීතියේ තිබෙන එම කපොලු දෙක වැසීමෙන් පමණක් අයථා ලෙස ධනය රැස් කරගෙන සිටින හැම කෙනකුම කොටු කළ හැකිය.

 

 

Advertiesment