Monday 6th of July 2020

English Tamil
Advertiesment


බොරුව ප්‍රතිපත්තියක් කර ගත් දේශපාලනයේ අවසානය අත ළඟය


2020-02-29 2934

(මහින්ද හත්තක)

බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍යයක් සේ පිළිගැනේයැයි කතාවක් පවතී. එය මඳක් වෙනස් කොට දේශපාලකයන් විසින් බොරුවක් නැවත නැවතත් කීමෙන් එය ප්‍රතිපත්තියක් වන්නේයැයි පිළිගත හැකිය. යහපාලනයැයි හැඳින්වූ ආණ්ඩුව ඉවත් කොට පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව එහි මැති ඇමතිවරුන් කියන බොරු අපට හැඳින ගත හැක්කේ එය ජාතික ප්‍රතිපත්තියක් වී ඇති ආකාරයෙනි. 2015 දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ දී කලින් පැවති රාජපක්ෂ පාලනය භාණ්ඩාගාරයේ ඉතිරි කර තිබුණේ කැරපොත්තන් පමණියැයි පැවසිණ. දැන් ගෝඨාගේ ආණ්ඩුව පවසන්නේ ද භාණ්ඩාගාරයේ කිසිත් ඉතිරි කොට නැතිය යන්නයි.

භාණ්ඩාගාරයේ මුදල් නැති නිසා පසුගිය ආණ්ඩු සමයේ සේවා ලබා ගත් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට මුදල් නැත. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි නිසා මුළු මහත් ජනතාවටම එළඹෙන අලුත් අවුරුද්ද සැමරීමට මුදල් නැති වනු ඇතැයි ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකුව සිටි දැනට උසස් අධ්‍යාපන ඇමති මෙන්ම කැබිනට් ප්‍රකාශකයකු වන බන්දුල ගුණවර්ධන මහතා කියයි. මුදල් ඇමති අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය පාලන සමයේ ණය ගෙන සංවර්ධන වැඩ කටයුතු කිසිත් නොකර කාබාසිනියා කර ඇති නිසා මුදල් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි කියයි. මුදල් හිඟය උග්‍රවීමෙන් ණය මුදල් නියමිත ආකාරයට ආපසු ගෙවීමට නොහැකිව ණය සහනයක් ලබා දෙන මෙන් ඉන්දියාවට බැගෑපත්වීමට ඔහුට සිදුවිය. ඉන්දියාව එම ඉල්ලීමට එකඟවන්නේ නම් චීනයෙන් ද එවැනි සහනයක් බලාපොරොත්තු විය හැකියැයි ඔහු ප්‍රකාශ කෙළේය. රටේ බංකොළොත්භාවය ලෝකයටම කියාපාන මෙම තත්ත්වයට හේතු වූයේ ද මේ රටේ පාලකයන් ජනතාව රැවටීමට දිගින් දිගටම කී බොරු නිසාය.

එක බොරුවක් වැසීමට තවත් බොරු ගොන්නක් කීමට සිදුවීම ද මෙම සංස්කෘතියේම අංගයකි. එක අතකින් පසුගිය ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට මුදල් ප්‍රතිපාදනය නොකළ බවට චෝදනා කරන නව ආණ්ඩුව ප්‍රතිපාදනයක් නැති වියදම් සිය ව්‍යාපෘති ලෙස ඉදිරිපත් කරයි. අවම අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ තරුණියන් ලක්ෂයකට සහ රැකියා නැති උපාධි සහ ඩිප්ලෝමාධාරීන් පනස් දහසකට වහාම විශ්‍රාම වැටුප් සහිත රැකියා දීමට යෝජනා කරයි. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට මුදල් නැතිනම් මෙවැනි ව්‍යාපෘතියකට මුදල් ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

මේ ආණ්ඩුව බලයට පත් විගසම උපයන විට ගෙවීම සහ වටිනාකම් අගය මත අය කරන වැට් බදු වැනි බදු වර්ග කීපයක අනුපාතය අඩු කර තවත් සමහර ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කෙළේය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන් ආකාරයට මෙම බදු අඩු කිරීම නිසා රජයට ඇස්තමේන්තු කළ ආදායමෙන් තුනෙන් එකක් අහිමි වේ. මෙම හිඟය පියවා ගන්නා ආකාරය මෙතෙක් දක්වා නැත. බදු පහත දැමීම නිසා ආයෝජකයන් වැඩියෙන් ආයෝජනය කිරීමට පෙළඹීමෙන් නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථික වර්ධනයක් වනු ඇතැයි අනාවැකි පළ කළ ද එවැන්නක් තවම දැකිය නොහැකිය. පොරොන්දු වූ ආකාරයට බඩු මිල පහත වැටීමෙන් ජනතාවට ලැබෙන්නේයැයි කි සහනය ද මෙතෙක් ලැබුණේ නැත. ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන දර්ශකයක් වූ කොටස් වෙළෙඳපොළෙහි අලුත් වර්ධනයක් නොපෙනේ.

ජනතාව රැවටීමේ අලුත්ම උත්සාහය වූයේ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට ගත් උත්සාහයයි. මැතිවරණයක් පැවැත්වීමක් වැනි අවස්ථාවක ඡන්දයෙන් තේරී පත්වන නව රජයක් යටතේ නව අයවැයක් සම්මත කර ගන්නා තෙක් රජයේ වියදම් පවත්වා ගැනීමට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවෙන් විවාදයක් නැතිවම සම්මත වන්නකි. ඊට හේතුව නව ව්‍යාපෘති කිසිවක් නොමැතිව පවත්නා වියදම් ඒ ආකාරයෙන්ම සිදු කිරීම විවාදයට කරුණක් නොවන නිසාය. එහෙත් මෙවර එසේ වූයේ නැත. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා දැක් වූ ආකාරයට අතුරු සම්මත ගිණුමට විරුද්ධවීමේ සූදානමක් විපක්ෂයේ තිබිණ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඔවුන්ගේ විරෝධතාවය ණය ගැනීමේ සීමාව වැඩි කිරීමේ යෝජනාවක් ද ඊට ඇතුළත්ව තිබීම ය. දැනටමත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක සිටින ආණ්ඩුව තව තවත් ණය ගැනීම වැළැක්විය යුතුය.

නව ලිබරල් වාදය රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය වීමත් සමග සීමාවකින් තොරව ආනයනය සිදුවීමත් විදේශ මුදල් ගනුදෙනු සිදුවීමත් නිසා ගෙවුම් ශේෂයේ හිඟයක් 1977 සිටම වාර්තා විය. මෙම හිඟය පියවා ගැනීමට සිදුවූයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ නිර්මාපකයන් වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ලබා ගැනීමෙනි. එම ආයතනවලින් ගත හැකි ණය සීමාවද ඉක්මවා ගිය නිසා වාණිජ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ගැනිමට සිදුවිය. තිස් අවුරුදු යුද සමයේ ආරක්ෂක වියදම් පියවා ගැනීමට සිදුවූයේ ද දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් ණය වලිනි. 2018 වසර අවසන් වන විට මෙසේ ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52 ද ඉක්ම වීය. මෙම වසරේදී ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් ණය වාරික සහ පොලි වශයෙන් ආපසු ගෙවීමට නියමිතව ඇතත් එය ගෙවා ගැනීමට නොහැකි නිසා ණය ලබා දුන් රටවලින් සහන ඉල්ලා සිටීමේ නින්දාවට ලක්වීමට සිදුවිය.

බොරුව රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත්තේ මෙම අර්බුදයේ දීය. දැනට පාලන බලය ලබා ගත් සියලු දෙනා ගෙවීමට ඇති ණය පසුගිය ආණ්ඩුවෙන් මුදල් කාබාසිනියා කිරීමෙන් ඇති වූ බවට චෝදනා නැගීම පුරුද්දකි. කලින් පාලන බලයේ සිටි අය 2015 දී පාලන බලය භාරගත් විට ඊට පෙර සිටි පාලකයන්ට එල්ල කෙළේ මෙවැනිම චෝදනා ය. දෙපාර්ශ්වයම තමන් ණය ගත්තේ රටේ සංවර්ධනයට යැයි පවසන අතර අනෙකා ඒවා ලබා ගත්තේ යටිමඩි ගසා ගැනීමට යැයි චෝදනා කර ගනිති. සංවර්ධනයැයි හැඳින්වෙන්නේ අධිවේගි මාර්ග ඉදි කිරීම, වරාය ගුවන් තොටුපොළ ඉදි කිරීම වැනි දේ නම් ඒවැනි දේ ඉදි කර නැතැයි කිසිවෙකුට චෝදනා කළ නොහැකිය. රාජපක්ෂ යුගයේ ඉදිකළ අධිවේගී මාර්ග මෛත්‍රි- රනිල් පාලන සමයේ විවෘත කළ අතර රනිල්- මෛත්‍රි පාලන සමයේ ඉදි කළ අධිවේගී මාර්ග දැන් ගෝඨාභය විවෘත කරයි. එහෙත් ගැටලුව වන්නේ සමරු ඵලකයේ නම සඳහන් වන්නේ කාගේද යන්න නොව ණය ගෙවන්නේ කෙසේද යන්නයි. මීට පෙර දක්ෂිණ අධිවේගි මාර්ගය ඉදිකිරීම සහ නඩත්තු වියදම් ගණන් බැලීමේ දී ගාස්තු වශයෙන් අය කරන මුදල ණය වාරිකයෙන් අඩක් හෝ පිරිමසා ගත නොහැකි බව හෙළි විය. යටිතල පහසුකම් වැඩි දියුණුවීම නිසා ආර්ථිකයේ කිසියම් වර්ධනයක් වූ බවක් දළ ජාතික නිෂ්පාදිතයෙන් පෙන්නුම් කරන්නේ නැත.

මෙම ණය ලබා ගැනීම සහ ඒවා වියදම් කිරීම ආර්ථික වර්ධනයට දායක නොවූ බවට එක නිදසුනක් දැක්වීම ප්‍රමාණවත් ය. රාජපක්ෂ පාලන සමයේ මහත් ඉහළින් වර්ණනා කළ ආයෝජනයක් වූයේ රටේ විදුලි බල අර්බුදයට විසඳුමක් වශයෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තුනක් ඉදි කිරීමය. මේ සඳහා ලබා ගත් ණය ඇමරිකානු ඩොලර් බිලියන 1.35කි. එය විවෘත කිරීම සැමරීමට බලාගාරයේ පින්තූරයක් සහිත මුදල් නෝට්ටුවක් ද නිකුත් කෙරිණ. එහෙත් මෙම විදුලි බලාගාර තුන දිගින් දිගටම බිඳ වැටෙන නිසා මෙතෙක් කිසිම අවස්ථාවක් මාස තුනක් එක දිගට ක්‍රියාත්මක වූයේ නැත. පසුගිය සතියේ පුවත් පතක සිරස් තලය වූයේ ද එම බලාගාර නවීකරණයෙන් පසුව ද සිදු වූ බිඳ වැටීමකි. මත්තක ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නෙලුම් කුළුණ වැනි ඉදි කිරීම වල ප්‍රතිලාභ ගැන කිව යුත්තේ එයයි. ආර්ථිකයට දායකත්වය නැති එම ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය පොලි සමග ආපසු ගෙවීමේ බර පැටවෙන්නේ ජනතාව මතය.

වංචා දූෂණ සහ හොර මැරකම් කතාබහට ලක්වන්නේ මෙවැනි පසුබිමක ය. රාජපක්ෂ පාලන සමයේ මෙවැනි ‘සංවර්ධන ව්‍යාපෘති’ ආශ්‍රයෙන් සිදු වූ හොරකම් සහ වංචා ගැන කළ පරීක්ෂණ දැන් ගෝඨාභය පාලනය යටතේ දැක්වෙන්නේ තමන් අපහසුවට ලක් කිරීමට යොදා ගත් බොරු සේය. යහපාලනය යටතේ ද මෙම වංචා සහ හොර මැරකම් ගැන සිදු කළ පරීක්ෂණ නිමා කොට නීති ක්‍රියා මාර්ග නොගැනීමෙන් ඔවුන් ද කර ඇත්තේ බොරුවකි. අඩුම වශයෙන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීම සහ බොරු ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කොට රටින් පිටව යෑමට තැත් කිරීමේ දී අත් අඩංගුවට පත්වූ නායකයා සම්බන්ධයෙන් නිති ක්‍රියා මාර්ග නොගැනීමෙන් කර ඇත්තේ බොරුවකි. බොරු ජාතික හැඳුනුම් පත් අංකයක් ඉදිරිපත් කොට බැංකු ගිණුමක් විවෘත කිරීම සම්බන්ධයෙන් ද නඩු නොපැවරීමෙන් ද සිදුව ඇත්තේ බොරුවකි.

දූෂණ වංචා ගැන කෙරෙන හෙළිදරවු අපට බොරු වුවද සමහර විට වෙනත් රටවලට බොරු වන්නේ නැත. එයාර් බස් ගනුදෙනුව ගැන ඇති පළහිලව්ව එවැන්නකි. ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා දහයක් මිලදී ගැනීමට එවකට කතානායක වූ චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ දී අත්සන් කළ ගිවිසුම යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග අවලංගු කිරීම එකල ඒකාබද්ධ විපක්ෂය හැඳින්වූයේ බරපතළ පාඩුවක් සේය. ඒ ගිවිසුම ඒක පාක්ෂිකව අවලංගු කිරීමේ දී දඩ මුදලක් ගෙවීමට සිදුවීමය. ඇත්තෙන්ම එය පාඩුවකි. එහෙත් එම ගනුදෙනුව පිටුපස ඊටත් විශාල පාඩුවක් සිදුව ඇති බව හෙළිවූයේ විදෙස් රටක නඩු තීන්දුවක් නිසාය. එම නඩු විභාගයේ දී මෙම ගනුදෙනුවට එළඹීමේ දී ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 16ක කොමිස් මුදලක් සිංගප්පූරුවේ බැංකු ගිණුමක් හරහා එයාර් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට ගෙවීමට නියමිතව තිබු බව හෙළි විය. දැන් තමන්ට අපහාස කිරීමේ අරමුණෙන් එයාර් ලංකා ගුවන් සමාගමේ කටයුතු පරික්ෂා කිරීමට කොමිසන් සභා පත් කරන්නේයැයි චෝදනා කළ අයගේ නිහැඬියාව පුදුමසහගත ය.

යුද සමයේ දී සිදු වූ මිග් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය ද මෙවැන්නකි. එය හෙළිදරවු කිරීම වෙනුවෙන් ලසන්ත වික්‍රමතුංගට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. එම ඝාතනය හෝ එම ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග තවම අවසන්ව නැත. ඝාතන සිද්ධිය ගැන පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන් වංචාකාරීන්, අපරාධකරුවන් සේ හංවඩු ගසා තිබුණ ද සිද්ධිය සම්පූර්ණයෙන්ම යටපත් කළ නොහැකිය. දිය යට සැඟවීමට තැත් කරන ටෙනිස් බෝලයක් සේ නැවත නැවතත් කරළියට පැමිණේ. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව ආපසු සිය රටට නොපැමිණි හිටපු තානාපතිට පසුගියදා ලංකාවට පැමිණීමට සිදුවූයේ ඩුබායි අධිකරණයෙන් ඔහු පිටුවහල් කිරීමට නියෝග කිරීමෙනි. මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අවශ්‍ය වුවද එම පරීක්ෂණ තවදුරටත් සිදුවේ ද යන්න බරපතළ සැකයකි. රටේ පවතින නීතිය නොසලකා රාජ්‍ය නායකයාට ඇති ඥාති සම්බන්ධතාවය මත ඔහු නිදහස් කිරීමට පොලිසිය ගත් උත්සාහය වැළකී ගියේ මේ රටේ අධිකරණය තවමත් යුක්තිය පසිඳලීමට කැපව සිටින නිසාය. පාලකයන්ට යුක්තිය ඉටු කිරීමට අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ.

වංචා දූෂණ ගැන කරන කතාත් රටේ භාණ්ඩාගාරය හිස්ව ඇති බවට කෙරෙන සාටෝපවත් කතාත් ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බොරුවේම ගුණාංග බව තහවුරු වන්නේ මෙවැනි සිද්ධීන් නිසාය. විශේෂයෙන්ම ලිබරල් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමග වංචා දූෂණ පෙර කවරදාටත් වඩා පෝෂණය වූ බවට අපමණ සාක්ෂි පවතී. මහජන මතය යටපත් කිරීමට මහා පරිමාණයේ වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පත් කොට මහජන මුදල් නැවතත් අපතේ යැවු නමුත් දූෂිත පුද්ගලයන්ට දඬුවම් දීම හෝ වංචා සහගතව අත්පත් කර ගත් ධනය ආපසු භාණ්ඩාගාරයට ලබා ගැනීමට කිසිදු ආණ්ඩුවක් පියවරක් ගත්තේ නැත. විපක්ෂයේ සිටින විට දූෂණ සහ වංචා ගැන කතා කිරීම බලය ලබා ගැනීමට ඉණිමගක් කර ගත්තා පමණි. බලයට පැමිණිවිට තමන් ද එම මග ගැනීම සාධාරණය කරන්නේ කලින් සිටි පාලකයන්ගේ වැරදි ගැන හිස් වදන් පැවසීමෙනි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට ජන වරම් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂත් ඔහු පත් කර ගත් කැබිනට් මණ්ඩලයත් මීට පෙර පැවති ඒවායින් වෙනස් වන්නේ පුද්ගල සහ තනතුරු නාමවලින් පමණි. පසුගිය පාලනයේ සිටි පුද්ගලයන්ද නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට නව ඇඳුම් ඇඳ ගෙන පැරණි ගමන් මගම ගෙන ඇත. එය වඩාත් සුඛ නම්‍ය ආකාරයට වියත් මග ලෙසින්ද හැඳින් වේ.

කෙසේ වුවත් තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින නව පාලකයන්ට බොරු කළ නොහැකි යථාර්ථය වන්නේ රට ආර්ථික අගාධයේ මුව විටටම පැමිණ ඇති බවය. විදෙස් රටවලින් ලබා ගත් ණය නිසි ආකාරයට ගෙවා ගත නොහැකිව සහන ඉල්ලා සිටීමේ අපහාසයට මුහුණ දී ඇත්තේ වෙනත් විසඳුම් කිසිත් නැති නිසා ය. දේශප්‍රේමය, අදීන නායකත්වය, ජාතික උරුමය වැනි වදන්වලින් මෙම බංකොළොත් භාවයෙන් ගොඩ ඒමට නොහැකි ය. එවිට දියේ ගිලෙන මිනිසා පිදුරු ගසේත් එල්ලෙන්නාක් මෙන් ඇම්සීසී ගිවිසුම හෝ එවැනි වෙනත් ගිවිසුම්වල පිහිට පැතීම හැර විකල්පයක් නැත. එම අපකීර්තියෙන් සහ නින්දාවෙන් වැළකිය හැක්කේ සැබැවින්ම වංචා දූෂණවලින් තොර යුක්තිය, සාධාරණත්වය තහවුරු කරන නීතිගරුක සමාජයක් බිහි කිරීමෙන් පමණි. එවැනි සමාජයක මිග් ගනුදෙනුව එයාර් බස් ගනුදෙනුව වැනි ඒවාට ඉඩක් නොමැත.

 
 
-රාවය-

 

Advertiesment