Saturday 11th of July 2020

English Tamil
Advertiesment


කරූ කෘතහස්ථ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විනා දේශපාලකයෙකු නොවේ


2020-02-29 1961

විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් කරූට තහනමක්-දේශපාලනයෙන් විශ්‍රාම ගනු බැහැ

 

ඍජුව කතා කිරීමටයි-ක්‍රියා කිරීමටයි-තීන්දු ගැනීමටයි කරූට හයිය ආවේ මෙහෙමයි

 

මාදුළුවාවේ සෝභිත හිමි දුටු කරූගේ ජීවන දර්ශනය මෙන්න

 

කරූට කළ අපරාධයට වන්දි ගෙවා ඉතිහාසය නිවැරදි කරනු

 

 

(සුජිත් මංගල ද සිල්වා)

කරු ජයසූරිය යනු දේශපාලකයෙකු හෝ පරිපාලකයෙකු නොව තුන් කල් විනිවිද දකින දුරදර්ශී,කෘතහස්ථ සහ ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ කතා නායක කරු ජයසූරිය මහතාගේ චරිතාපදාන කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බ්‍රහස්පතින්දා (27) පැවැති උත්සවයේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේද කීය.

කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා කරනවා. ඔවුන්ව විවේචනය කරනවා. පසසනවා. හැබැයි මා මෙතනට ආවේ පරිපාලකයෙක් හෝ දේශපාලඥයෙක් ගැන කතා කිරීමට නොවේ. කරූ ජයසූරිය චරිතය ඒ දෙකට ලඝු කිරීමට සිදු වූයේ නම්, මම ඔහුගේ පොත වෙනුවෙන් පවත්වන මෙම උත්සවයේ දේශනය නොකරන්න තිබුණා. මම ආවේ "sates man" කෙනෙක් ගැන කථා කරන්නයි.

"sates man" යන වචනයට ගැලපෙන ආසන්න සිංහල යෙදුම වශයෙන් මට හමු වන්නේ දූරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා යන්නයි. අපගේ විශ්ව විද්‍යාල ප‍්‍රජාව නියෝජනය කරමින් කරූ ජයසූරිය නම් දූරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා ගැන ඔබ ඉදිරියේ මම කතා කරන්නේ ආඩම්බරයෙන්.

දේශපාලඥයෙක් කියන්නේ දේශපාලනය වෘත්තියක් වශයෙන් කර ගෙන යන පුද්ගලයෙකු ලෙසට සරලව හඳුනා ගැනීමට පුළුවන්.පරිපාලකයෙකු යනු යම් ශිල්පීය ගුණයක් සහිතව නිල තනතුරක් දරන්නෙක්. එහෙත් රාජ්‍ය තාන්ත‍්‍ර‍්‍රිකයා යනු කවරෙක් ද..? කෙටියෙන් කියනවා නමි රාජ්‍ය තාන්ත‍්‍රිකයා යනු දුර දැක්මක් ඇතිව තමන්ගේ රටේ සමාජයේ යහපැවත්ම වෙනුවෙන් කැප වන විචක්ශණශීලි ලෙස සමාජ ගැටලු දෙස බලන්නෙක්.

19 වන සියවසේ විසූ විශිෂ්ඨ ජර්මානු දේශපාලන විද්‍යාඥයකු වන බියන්ස්ලිට අනුව උසස් සහ විශ්වීය සමානත්වයකින් ක‍්‍රියාවට නැගිය යුතු දේශපාලනය අයත්වන්නේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ටයි. මන්ද උසස් ලෙසත් සමානත්වයෙන් යුක්තවත් මිනිසුන් වෙතට ගෙන යා යුතු භාවිතාවක් වශයෙන් දේශපාලනය ක‍්‍රියාවට නැගිය හැක්කේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට පමණක් බැවිනි.

කරු ජයසූරිය නැමති චරිතයේ මා දකින්නේ අද යුගයේ එබදු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. එම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නිහාල් ජගත්චන්ද්‍ර විසින් මෙම පොත හරහා එළියට ගෙන තිබේ ද යන්න පිළිබඳව අපි සාකච්ඡා කරමු.කරූ ජයසූරිය යන චරිතය දූරදර්ශි ප‍්‍රවින පරිණත රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස මෙම පොත හරහා හඳුන්වා දෙන්නේ කෙසේ ද..?

මෙම ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දීමට යන විට එංගලන්තයේ රජු සහ පාර්ලිමේන්තුව අතර 17 වන ශත වර්ශයේ පැවති ගැටුම පිළිබදව මතක් වෙනවා. එහිදී එංගලන්ත රජු ඉදිරියේ කතානායකවරයා ක‍්‍රියා කළ ආකාරය සහ ඔහු සිය මන්ත‍්‍රීවරුන් රැක ගැනීමට ඉදිරියට පැමිණි ආකාරය පිළිබද කතන්දරය මතක් කළ යුතුමයි.අපි අද කතා කරන”පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල ඉතිහාසය” ආරම්භ වන්නේ එම සිදුවීම මතයි.

2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම මෙම පොතෙහි පිටු 459 සිට 481 දක්වා විග‍්‍රහ කොට තිබෙනවා. මෙම කොටස පටන් ගන්නේ, "කරූ අගමැතිකම එපා කියයි" යන පරිච්ඡේදය යටතේයි. ඒ අනුව ඔහු අගමැතිකම ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාත්, මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් හමු වී පවත්නා අර්බුදය නිම කර ගැනීමට සාකච්ඡා කළ බව පොතේ දක්වනවා.

උපුටා ගැනීම පිටුව 460 -

"මම එම දෙපාර්ශවයට වෙන වෙනම කරුණු පැහැදිලි කිරීමෙන් පමණක් නොනැවතී එක වතාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාත් කැඳවා ගෙන ජනපති හමුවීමට ගොස් මේ බව කියා සිටියා. මම එහිදී ඔවුන් දෙපොලටම පෙන්වා දුන්නා මේ තත්වය වහාම සමනය කර නොදුන්නහොත් ආණ්ඩුව තුළ ලොකු අවුලක් ඇති වීමට තිබෙන අවදානම ගැන, ඒ අවස්ථාවේ ඔවුන් දෙපොළම ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූවත් එම සංහිඳියාව පැවතුණේ ඉතාමත් සුළු කාලයයි.

" මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම අගමැතිකම ලබා දීමට ඇවිටිලි කළ ආකාරය පිටුව 461න් උපුටා ගත හොත්, "කරූ මට බෑ මේ තත්ත්වය යටතේ රනිල් එක්ක ආණ්ඩුව ගෙනියන්න. ඒ නිසා ඔයා අගමැතිකම භාර ගන්න. මම හෙටම ඔයා අගමැති හැටියට පත් කරන්නම්." යනුවෙන් එහි සඳහන් වනවා.

මෙම පොතට අනුව කරු ජයසූරිය එම යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබෙන්නේ ජනමතයකින් තොරව එවැනි තනතුරු ලබා ගැනීමට අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නොමැති බව ජනපතිවරයා හමුවේ ඍජුව ප්‍රකාශ කරමිනුයි. නමුත් 2018 ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කළ බව දැන ගත් විට කරූ ජයසූරියගේ චිත්ත සන්තානයේ ඇති වූ සිතුවිලි මේ ග්‍රන්ථයේ 464 වැනි පිටුවේ මෙලෙස ගෙන හැර දක්වා තිබෙනවා.

"ඒ සිද්ධිය දැන ගත්තට පස්සේ මගේ සිතට පුදුම කම්පනයක් ඇති වුණා. මොකද එය ව්‍යවස්ථා විරෝධී හා සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් ලෙසයි එය මට පෙනුණේ." මේ තත්ත්වය මත රාජ්‍ය නායකයා හමු වී කතානායකවරයා මේ සම්බන්ධ සිය ස්ථාවරය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස එඩිතරව මැනවින් ප‍්‍රකාශ කරන ආකාරය 466 වැනි පිටුවේ මෙලෙස සඳහන් වනවා. "නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අභිනව අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වුව ද ඔහු ඉතා ඉක්මනින් තමාට පාර්ලිමේන්තුවේ අති බහුතරය තිබෙන බව තහවුරු කළ යුතුයි. එහෙම නැති වුණොත් මට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්න බැහැ. ඒ අනුව මගේ විරුද්ධත්වය මට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න වෙනවා යි"

සිය විරෝධය සහ ස්ථාවරය මෙලෙස ජනාධිපතිවරයාගේ මුහුණටම කියා පෑමෙන් පැහැදිළි වන්නේ කරු ජයසූරිය මහතාගේ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය සහ එඩිතරකමයි.මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ හැල හැප්පීම් සහ මහජන නියෝජිතයන්ගේ නිර්ලජ්ජිත හැසිරීම් මේ ග්‍රන්ථයේ 478 වැනි පිටුවේ මෙලෙස ගෙන හැර දක්වා තිබෙනවා.

"මම දන්න හැටියට අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙනත් කිසිම දවසක මේ වගේ අප‍්‍රසන්න සිද්ධියක් ඇති වෙලා නෑ. මට ආරංචියි සමහර සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇසිඞ් ගහන්නත්, මඟදී මට බෝම්බ ගහන්නත් සූදානමින් සිටියා කියලා" ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබදව අනාගත පරපුර ලියන විට සහ කිය වන විට වඩා වැඩියෙන් කතා කිරිමට සිදු වනුයේ එදා කතානායක ලෙස පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය වෙනුවෙන් කරු ජයසූරිය කි‍්‍රයා කළ ආකාරයයි.

මේ අරගලය අතිශය සුවිශේෂි අරගලයක් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් ද එම ආයතනය සතු ව්‍යවස්ථාදායක බලයට එරෙහිව කි‍්‍රයා කරන විට කරු ජයසූරිය එම ආයතනයේ ගරුත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් පෙනි සිටිමයි. එඩිතරව සහ නොබියව ගැටුම් සේම අර්බුදවලට මුහුණ දුන් ආකාරය මා දකිනුයේ කතානායක වරයා සොඳුරු ආඥාදායකයෙකු ලෙස ඇතැම්විට හැසැරුණු බවයි.දෙමව්පියන්ගෙන් දායාද ලෙස බෞද්ධ සහ ජාති හිතෛෂී හැඟීම් මත කරු ජයසූරිය මහතාගේ ජීවිතයේ ඒ සොඳුරු ආඥා දායකත්වය,ස්වීයත්වය සහ පෞර්ෂත්වය ගොඩනැගුණු ආකාරය මේ ග්‍රන්ථයෙන් මානව විස්තර කෙරෙනවා. කරූ ජයසූරිය මහතාගේ ළමා විය පිළිබඳව ග්‍රන්ථයේ 33 වැනි පිටුවේ දී කතුවරයා ඉතාමත් රසවත් ආකාරයට විස්තර කරන අතර එහි එක් කරුණක් පිළිබඳව මා සිත් ගත්තා.

"තම මව සූප්පුවෙන් කිරී බීම නතර කරන්නැයි තම පුතාට කීව ද, සිඟිත්තා ඇඬූ කඳුළින් කියා සිටියේ තමාට සූප්පුවෙන් කිරී බීමට නොහැකි නම්, තමා පාසලට අඩියක්වත් නොතියන බවයි" ගැටුම් පිළිබඳව විශ්ලේෂණයේ දී ගැටුමට සම්බන්ධ පාර්ශව විවිධ ස්ථාවර පවත්වා ගෙන යන අතර කරූ ජයසූරිය ද පෙර කී ආකාරයට ජනාධිපතිගේ මුහුණටම ඍජු ලෙසම සිය මතය ප‍්‍රකාශ කළේ ඔහුගේ පෞර්ෂත්වය නොඑසේ නම් ස්වීයත්වය මත තද ස්ථාවරයන්හී පිහිටා ක්‍රියා කිරීමේ ගුණය නිසයි.

මේ වන විටත් දිග හැරෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේදි ද ඔහු ගන්නේ එවැනිම ස්ථාවරයක්. ඔහු වෙත පැම්ණෙන දෙපාර්ශවයටම ඔහු ඍජුව සහ තරයේ කියා සිටින්නේ එකම කරුණයි.ඒ මුලින්ම සමගි වී එකට එක්ව ඔබ දෙපාර්ශවයම මගෙන් ඉල්ලීමක් කළ හොත් ඒ ගැන සිතා බැලීමට තමාට හැකි බවයි. මෙවැනි නිවැරදි සහ තද ස්ථාවර මත පිහිටා කී‍්‍රයා කිරිම කරු ජයසූරියගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වන අතර වත්මන් තරුණ පරපුරට වගේම අනාගත පරම්පරාවට ඔහුගෙන් ගත හැකි හොඳ ආදර්ශයක් වන්නේ ජන වර්ග අතර එකමුතුකම වෙනුවෙන් ඔහුට තිබෙන අපේක්ෂාව සහ ඒ වෙනුවෙන් ඔහු කරන මැදිහත්වීම්,කැප කිරීම් සහ ක්‍රියාකාරකම් ආදියයි.මෑතකදී පවා මහ නා හිමිවරුන් හමු වීමෙන් අනතුරුව ජන මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට වැසියන් ජන වර්ගය මත හෝ ආගම් මත බෙදී යාමේ ප‍්‍රවණතාවය ඉතා කණගාටුදායක බවයි.

සියලු ජාතීන් සහ ආගමිකයින් ද සියලු තරාතිරම් නියෝජනය කරන ජන කොට්ඨාශ අතර ද සමගිය,සහජීවනය සහ සමානාත්මතාවය වෙනුවෙන් කරු ජයසූරිය කුඩා කල සිට ක්‍රියා කළ ආකාරය ග්‍රන්ථයේ 34 වැනි පිටුව දී කතුවරයා මනාව පැහැදිළි කරනවා.කරූ ජයසූරිය කන්දගමුව විද්‍යාලයේ ඉගෙනුම ලබන විට තමා ගම්මුලාදෑනියාගේ පුත‍්‍රයා වූවත් දෙමළ දරු දැරියන් වගේම කම්කරු පවුල්වලට අයත් අසරණ දරු දැරියන් සිටිය ද ඒ සියලු දෙනාටම ඔහු එක සේ සමානව සැලකූ අන්දම කතුවරයා ඉතා රසවත් ලෙස මේ පොතෙන් විස්තර කරනවා.

කුඩා කල පැවැති එම චරිත ලක්ෂණ අපගේ ඒ පරිණත සහ දූරදර්ශී රාජ්‍ය තාන්ත‍්‍රිකයා වන කරු ජයසූරියගේ ජීවිතයේ අදටත් හඳුනා ගැනීමට තිබෙනවා.දේශපාලනයේ දි ඔහු තමාගේ කියා කල්ලියක් හෝ තමාගේ කියා අනුගාමිකයන් හෝ හෙන්චයියන් හදා ගත්තේ නෑ.ඒ සියල්ල ළදරු වියේ සිටම මතු වූ ගුණාංගයි. මේ ගුණාංග එකින් එක විස්තර කිරීමට කාලය හරස් වන බැවින් මේ ස්ථානයේ සිටින යොවුන් මන්ත‍්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම ග්‍රන්ථයේ ඇති කරුණු සහ සිද්ධීන් විචාරශීලීව අධ්‍යනය කරන ලෙසයි.

මෙම ග්‍රන්ථයේ තිබෙන තවත් රසවත් කතාවක් මෙම සභාවේ සිටින යොවුන් පාර්ලාමේන්තුවේ මන්ත‍්‍රිතුන්ලාට ද පොදුයි කියා මට සිතෙන අතර එම කතාව 76 වැනි පිටුවේ මෙසේ සඳහන් වනවා.

"දැන් ඔන්න මම සති අන්තයේ හවස් වරුවේ මෝටර් සයිකලයෙන් ගෙදර යන කොට කඩවත රංමුතුගල හරියේ දි පාරෙන් ටිකක් එහාට වෙන්න පොඩි කදු ගැටයක් උඩ තියන ගෙයක් පේනවා. එතනදි මට හිතෙනවා මම කවදා හරි කසාද බදින්නේ මෙන්න මේ ගෙදරින් තමයි කියලා..."

ඉතිරි ටික දැන ගන්න පොත කියවලා බලන්න. කරු ජයසූරියගේ ආදර අන්දරය, විවාහය,ආදරණීය සැමියාගේ භුම්කාව සහ සෙනෙහෙ බර පියෙක් ලෙස කටයුතු කළ ආකාරය ද මේ පොතින් පාඨකයාට පැහැදිළි කරනවා. ඔහු විදේශීය රටවල් සමඟ සිදු කරන ලද රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු, විශේෂයෙන් කතා නායක ධූරයට පත් වූ පසුව ඔහුට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම් ආදිය වගේම බෞද්ධ නායකයෙකු ලෙස මහ නා හිමිවරුන් ඔහු ගැන කියන කතා, පාර්ලිමේන්තුවේ ඔහු කරන ලද කතා ආදියෙන් ද ඇතුළත් වූයේ නම් මෙම පොත තව තවත් වර්ණවත් වී රසවත් වනු ඇතැයි මට සිතෙනවා.

එහෙත් එහි වරද කතුවරයාගේ නොවේ.එහි වරද ඇත්තේ මේ පොතට පාදක වු චරිතයේ යි. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස ක්ෂේත‍්‍ර ගණනාවක් පුරා විසිරුණු කරූ ජයසූරිය චරිතය එක් පොතකින්, පරිච්ඡේද කිහිපයකින් කෙසේ නම් ලියා හමාර කරන්න ද..? එනිසාවෙන් නිහාල් ජගත්චන්ද්‍ර මේ ගත්ත උත්සාහය ප‍්‍රශංසනීයයි.

කරු ජයසූරියගේ මනුස්සකම නැති නම් මානව හිතවාදිකම,අවංකකම සහ අනෙකාට සවන්දිමේ ගුණාංගය නිසාම මේ උත්සවයට කොපමණ පිරිසක් පැමිණ ඇත් ද..? මේ ග්‍රන්ථයට ඔහුම ලියා ඇති පසු වදනින් ඔහුගේ එම ගුණාංග වගේම බුදු දහමින් පෝෂණය වූ ඔහුගේ ජීවන දර්ශනය මානව පැහැදිළි වනවා. ඒ සටහන මෙසේයි... යම් දිනෙක කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි නොදෙන කිසිදු නිතිඥයෙකු පෙනි නොසිටින නඩුවකට මුහුණ දිමට සිදු වනු ඇත.

සොබා දහම නැමති විනිසුරු දෛවයේ විත්ති කුඩුවට නංවා අසන එම නඩුවේ සාක්ෂි දිමට සිටින එකම සාක්ෂිකරු හෟදය සාක්ෂිය පමණකි. එදිනට හෟදය සාක්ෂිය තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ජිවත්වන නිර්දෝෂි මිනිසෙකු විම මාගේ දර්ශනය විය.

" එදා 2015 දි ජනාධිපතිවරණය සදහා මාදුළුවාවේ සෝභිත හිම්ගේ පළමු තේරිම කරු ජයසූරිය වූයේ ඔහුගේ මේ ජීවන දර්ශනය උන්වහන්සේ මනාව අවබෝධ කර ගෙන සිටී නිසා විය හැකියි.මාදුළුවාවේ සෝභිත නා හිමිගේ එම යෝජනාව යථාර්ථයක් වී කරු ජයසූරිය මේ රටේ ජනාධිපති වුණා නම්...මදක් සිතන්න...ඒ ගැන තක්සේරු කිරීම ජනතාවට භාරයි. එමෙන්ම කරූ ජයසූරිය චරිතයෙන් කල්ලි වාදයක් හෝ දෙබිඩි පිළිවෙතක් හෝ "Deal" දේශපාලනයක් අප දකින්නේ නෑ.නමුත් එම අවර ලක්ෂණ බොහෝ දේශපාලඥයන් අතර දක්නට ලැබෙනවා.ඔවුන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ලෙස හදුන්වන්නට අපට නොහැක්කේ ඒ නිසායි.

කරූ ජයසූරිය නම්, යුග පුරුෂයාගේ චරිතය, වර්තමාන දේශපාලන නායකයන්ගේ ආධ්‍යාත්මය සකස් කරන විශිෂ්ට චරිතයක් බව මේ පොත ඔස්සේ හඳුනා ගත හැකියි. එනිසාවෙන් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය තන්ත‍්‍රයේ යුග පුරුෂයාණෙනි.., ඔබට විශ‍්‍රාම සුවයක් දිය නොහැකිය. ඔබ අපේ පරම්පරාවටත්, ඊළඟ පරම්පරාවටත් යා යුතු දේශපාලන මාර්ගය තව දුරටත් පෙන්වා දිය යුතු නොවේ ද..? විශේෂයෙන් අද ජරාජිර්ණ තත්ත්වයට පත් වි තිබෙන දේශපාලනය සහ සමාජ චර්යාව වෙනස් කිරිම සඳහා සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට සාධනීය මැදිහත් වීමක් කරන ලෙසට ඔබට සිවිල් පුරවැසියන් ලෙස අපි බල කර සිටින්නෙමු.

 

Advertiesment