Monday 6th of July 2020

English Tamil
Advertiesment


රාවුෆ් හකීම්ලා වැනි ජාතිවාදීන්එක්ක ජවිපෙට ගනුදෙනුවක් නැහැ 


2020-02-24 7110

ජවිපෙ-TNA-මුස්ලිම් කොංග්‍රස් සන්ධාන කතා බොරු 

 

ජවිපෙ පහණින් එළිය බැලීමට රාවුෆ් හකීම්ට ඉඩ නැහැ

 

රාවුෆ් හකීම් පිරිහිලා 

(සුජිත් මංගල ද සිල්වා) 


ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියි. 

ජාතිවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අය සමග ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ගනු දෙනුවක් නොමැති අතර එවැනි අය සමග කිසිසේත් සන්ධාන ගත නොවන බව ද පැවසූ නලින්ද ජයතිස්ස මහතා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

කළුතර නගර සභා භුමියේ සඳුදා (24) පැවැති ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව කියා සිටී නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ජාතික ජන බලවේගය කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඒ පක්ෂ සමග ආණ්ඩු කළ දේශපාලන පක්ෂ සමග හෝ සාකච්ඡා කර නොමැති බවය.

එදා සිට මේ දක්වා රටේ පැවැති සියලුම ආණ්ඩුවල ඇමතිකම් ගණනාවක් දරුවත් රවුෆ් හකීම් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කර ඇති සේවයක් නොමැති අතර අවම වශයෙන් තමාට ඡන්දය ලබා දුන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පවා ඔහුට නොහැකි වූ බව ද නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. 

ජාතික ජන බලවේගය,රටේ ප්‍රධාන විපක්ෂය වීමේ සටන ආරම්භ කළ පසු රවුෆ් හකීම්ලා මෙවැනි අභූත,අසත්‍ය සහ පදනම් විරහිත කට කතා පතුරුවා හරින්නේ එක්සත් ජාතික පක්ෂයේම කොන්ත්‍රාත්තුවක් ලෙස බවට චෝදනා කළ නලින්ද ජයතිස්ස මහතා ජාතික ජන බලවේගය මේ වන විට මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස මැදිහත් වී ඇති තත්ත්වය හමුවේ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය හිමි වෙමින් පවතින බව ද සඳහන් කළේය. 

මුස්ලිම් ජනතාවගේ ආකර්ශනය ජාතික ජන බලවේගයට මෙසේ ලැබීම ඉවසා ගත නොහැකිව රවුෆ් හකීම් මෙවැනි කතා ගොතන අතර මුස්ලිම් නායකයෙකු ලෙස මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කර ගැනීමට නොහැකි තත්ත්වය හමුවේ මෙවැනි උපායන් යොදමින් රවුෆ් හකීම් උත්සහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පහණින් එළිය බැලීමට යැයි ද ඔහු චෝදනා කළේය.

සිය පක්ෂය කවදාවත් ජාතිවාදය, දේශපාලනයට යොදා නොගන්නා බවත්, ජාතිවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අය සමග කිසිසේත් සන්ධාන ගත නොවන බවත් නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

මේ අතර මේ සම්බනධයෙන් කරුණු දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ නිල නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එම නිවේදනය මෙසේය.

"පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක රාවුෆ් හකීම් මහතා කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් පිළිබඳ පුවතක් ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එම පුවතට අනුව රාවුෆ් හකීම් මහතා කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවයි. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බවක්ද ඔහු කියා සිටී. 

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය හුදු රාවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණි. දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජවිපෙ ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙසය."

Advertiesment