Friday 5th of June 2020

English Tamil
Advertiesment


ස්වභාවික දේවලින් සුදු වෙමු


2020-02-23 1283

ස්වභාවික දේවල්වලින් සුදුවෙන එක තමයි හොඳම දේ! එක එක ක්‍රීම් වර්ග ගාලා සල්ලි දීලා ලෙඩ වෙන්න ඕනි නෑනේ. අනික, ක්‍රීම් ගාලා නැවැත්තුවාම වෙන්නේ ආයෙත් පෙර තත්වයටත් වඩා අන්ත විදිහට සම දුර්වර්ණවෙලා අවලස්සන වීම නෙවෙයිද? තමන් අතින් හදාගන්න ශාක සාරමය පිරිසිදුකාරයක් තරම් අනික් කිසිම දෙයක් විශ්වාස නැහැ. රසායනික ද්‍රව්‍යය වලින් හදන දේවල් දිගු කාලයක් භාවිතා කිරීමෙන් වෙන්නේ වෙනත් ලෙඩ රෝගවලට පාර කපා ගැනීමක් විතරයි. පුලුවන් හැමවිටම සොබාවික දෙයින් ලස්සන වගේම නිරෝගී බව රැකගන්න පුලුවන් රහස් කීපයක් තමයි ඔබට හදුන්වා දෙන්න යන්නේ.

අභ්‍යන්තර සත්කාරයක් ලෙස කෝමාරිකා බොන්න

සම ආරක්ෂා කරගන්න පෙති බිව්ව කාලේ ගියා. එක එක පෙති වර්ග ගැනීම ශරීරයට හිතකර නැහැ. කෝමාරිකා කියන්නේ අභ්‍යන්තර සත්කාරයක්. මේ ගුණය කිසිම වෙනත් ඖෂධයක දකින්නට ලැබෙන්නේ නැහැ.

කෝමාරිකා වැඩියෙන් සිසිලස තියන ශාඛයක්. කෝමාරිකා කොලයක්(පිත්ත) හොඳට සූරලා වතුරේ දියකර බීමෙන් බඩවැල් පිරිසිදු වෙනවා. ඒක මුලු සිරුරටම බලපානවා. සිරුරේ විශාලම ඉන්ද්‍රිය ලෙස සැලකෙන සමේ ඇති උෂ්ණ බව නැතිවෙලා සිසිල ඇතිවෙනවා. ක්‍රීම් ගාලා ලබන්න බැරි පැහැපත්වීමක් දද කුෂ්ට නැතිවීමක් කෝමාරිකාවලින් ලබාගන්න පුලුවන්. ගෙදර කෝමාරිකා පඳුරක් හදාගන්න. සතියට දෙවරක් විතර කෝමාරිකා බීමක් හදාගෙන බොන්න. දවල් අවු රශ්මිය අධික වෙලාවට කෝමාරිකා මුහුණේ තවරා ගැනීම හොඳයි. එවිට අව්වෙන් මූණ පිච්චෙන්නේ නෑ. මුහුණට සිසිල ලැබී සමේ ඇති වියලි බවත් නැතිවී යනවා.

මුහුණේ අවපැහැවීම් දුරු කරන සුදු හදුන් සහ කහ

සුදු හදුන් කුඩු ස්වල්පයකට අමු කහ අල මිශ්‍ර කරලා වතුර බින්දු කීපයක් දාලා පල්ප් එකක් වගේ හදාගන්න. ඒක හොඳින් මූණ සෝදාගෙන තෙතමාත්තු කරගැනීමෙන් පසුව තවරාගන්න. අතේ ගෑවුනොත් කහපාට ඉවත් කිරීම නම් තරමක් අපහසුයි. ඒ නිසා අත් වැස්මක හෝ උපකරණයක් භාවිතා කරන්න. ඇස්වල ගාගන්න එපා. මූණෙ තියෙද්දිම ඒවා වේලෙනවා. පැයකට වගේ පස්සෙ හෝදලා දාන්න. කහපාට ඔබේ ඇඳුම්වල ගෑවෙන්න පුලුවන්. ඒ නිසා මේ වෙලාවට වෙනම ඇඳුමක් ඇඳීම සුදුසුයි. මේක ටික දවසක් ගෑවාම මූණේ තියන කළු ලප මැකී යනවා. සුදු හඳුන්වල තියෙන වර්ණයත් සිසිලත් හොඳින් සමට උරාගන්නවා. මූණෙ අවපැහැවීම් නැතිකර පැහැපත් කරනවා. කහ වල ඇති විෂබීජ විනාශ කිරීමේ ශක්තිය නිසා මූණෙ තියන කුණු දූවිලි මත රැදී කුරුළෑ ඇති කරවන ක්ෂුද්‍රජීවීන් විනාශ වෙනවා. කහ කියන්නේ පැහැපත්කාරයක්. ක්‍රීම් හදන අය කහ වර්ණය රසායනිකවයි ක්‍රීම් සමඟ එකතු කරන්නේ.අපි රසායනික දෙයින් මිදිලා ස්වාභාවිකව සුදු වීමට උත්සාහ කරමු.

හිස කෙස් සඳහා කොහොඹ සහ ගොඩපර වලින් පිරිසිදුකාරකයක්

කොහොඹ කොළ සහ ගොඩපර ගෙඩි සමව ගෙන කොටා හිස් කබලේ සිට කෙස් අග දක්වාම හොඳින් ගාන්න. පසුව ඉටි බෑගයක් භාවිතා කර කෙස් සියල්ල උඩට කර ඔලුව සම්පූර්ණයෙන් වැසෙන සේ බැඳගන්න. විනාඩි තිහකින් පමණ හොඳින් සෝදාහරින්න. සබන් සහ ෂැම්පො වෙනුවට මෙය භාවිතා කළ හැකියි. විශේෂයෙන් හිසේ ඇති ඉස් හොරි නැතිකරයි. කෙස්වල කලුවර්ණය වැඩි කරයි. රසායනික නොවන පිරිසිදු කාරයක් වන කොහොඹ නිසා හිස කැක්කුම නැති කරයි. ඇස් පෙනීම වැඩිකරයි. කෙස්වලට ලැබෙන ඖෂධීය ගුණය නිසා කෙස් වඩවයි.

බෙල්ලේ තද කළු පාට මකන පේර කොල

ඔයාගෙ බෙල්ලත් කලු පාටවෙලා ද? අලියන්ගෙ වගේ රැලි වැටිල ද? ආය දුක් වෙන්න ඕනි නෑ. පේර ගහකින් හොඳට මෝරපු තද කොල පාට පේර කොල ටිකක් කඩාගන්න. ඒවා එකින් එක වෙනවෙනම හොඳට හෝදන්න. පස්සේ පිරිසිදුවට කොලටික අඹරාගන්න. නැත්නම් පුංචි අත් වංගෙඩියකින් කොටාගන්න. වතුර යන්තන් එකතුකරගන්න. ඇඹරෙන්න අපහසුයි වගේ නම් වතුර ටිකක් එකතු කළත් නරක නැහැ. මෙහෙම අඹරාගත්ත පේර කොල හොඳට ගුලියක් විදිහට අතට ගුලිකරගන්න පුලුවන් විදිහට හදාගන්න ඕනි. දැන් ඒවා හොඳට කොන්ඩෙ උඩට කරලා බැඳගෙන බෙල්ල පුරාම ගාන්න. පපුවේ ඉහළ කොටස පිටේ ඉහළ කොටසත් ආවරණයවන පරිදි. දැන් පැයක් වගේ කාලයක් අව්වට යන්නේ නැතුව ඉන්න. පසුව හොඳින් සෝදාහරින්න. මේ ක්‍රමය හැකි සෑම විටම කරන්න.සතියකට දෙවරක් තුන්වරක් වගේ කරන්න පුලුවන්නම් මාසෙකදි ලොකු වෙනසක් අත්දකින්න ලැබෙයි.කරලම බලන්නකෝ මොනතරම් ලොකු වෙනසක් වෙයි ද කියලා.

 

 
අරුණ අමරසිංහ
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කිරින්ද- පුහුල් වැල්ල

 

Advertiesment