Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


ජනපති - අගමැති අතර සීතල යුද්ධයක්


2020-02-23 3559

යහ පාලනයේ දින 100ත් එක්ක පොහොට්ටුවේ දින 100 ට හැරෙන්නවත් බැහැ 

 

ජනතාව කබලෙන් ලිපට වැටිලා

 

බඩු මිල සියයට සියයකින් වැඩි වෙලා 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ වන විට සීතල යුද්ධයක් ඇති වී තිබෙන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර පැවති උත්සවයකට එක් වෙමින් මේ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය.  

ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ රටේ ජනතාව මේ වන විට කබලෙන් ලිපට වැටී අන්ත අසරණ වී සිටිනවා.යහ පාලන ආණ්ඩුව සිය දින 100 ඇතුළත  පාර්ලිමේන්තුවේ ආසන 45ක් තියා ගෙන රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා.19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් මන්ත‍්‍රීවරුන්  45ක් තියා ගෙන ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තා. 

යහ පාලන ආණ්ඩුවේ අපට එහෙම කරන්න පුළුවන් වුණේ නිසි කළමණාකාරිත්වයක් තිබුණ නිසා. නමුත් මේ ආණ්ඩුවේ දින සියය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියයට සීයකින් ඉහළ ගිහින්. අප රැකියා දුන් අය පවා ඉවත් කරලා. මෙහෙමයි මේ අය ආණ්ඩු කරන්නේ.
මේ ආණ්ඩුව මුදල් නැහැ කියලා මාස 3ක් යන්න කලින් පාර්ලිමේන්තුවේදි කෝටි 1088කට ඉල්ලීමක් කළා ණය ගෙවන්න. සංවර්ධන සහ ණය වශයෙන්  කොටස් දෙකක්  තිබුණා. අවසානයේදි ආණ්ඩුව ඒක ඉල්ලා අස් කර ගත්තා. අපි පැරැද්දුවේ නැහැ. තව තව ණය ගන්න අපේ ඡන්දය දෙන්න අප සූදානම් නැහැ. 

සති දෙකකට කලින් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් අවුරුදු 3ක ණය විරාමයක් ඉල්ලුවා. අපි 2020 වසරේ අපේ‍්‍රල් මාසය වෙන තුරු රජයේ වියදම්වලට අවශ්‍ය මුදල් වෙන් කරලයි ගියේ. සංවර්ධනය, අධ්‍යාපනය, කෘෂිකර්මය, විදුලි බල සහ පොහොර සහනාධාරය වැනි සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන් කළා. මැතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් අපට පැවසුවා ලබන වසරේ අපේ රට ගෙවීමට ඇති සියලුම ණය මුදල් වෙන් කර අවසන් බව. 

අපේ කාලයේ ජීවන වියදම් කමිටුවක් තිබුණා. සතියකට වරක් භාණ්ඩ මිල පිළිබඳව එහිදී අප සාකච්ඡා කරලා ජනතාවගේ ජීවත් වීමේ ප‍්‍රශ්නවලට අවදානය යොමු කළා. නමුත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ ළඟ දී බැදුම්කර පිළිබද විවාදයක් තිබුණා. පසුගිය ආණ්ඩුව 2015ට කලින් බැදුම්කර සමඟ සෙල්ලම් කරලා මිලියන ගණනාවක පාඩුවක් කළා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි කතා කළා. අද පොහොට්ටුවට නැවත ඡන්දයක් ඉල්ලන්න පුළුවන්  කිසිම වැඩක් මේ වන තෙක් කරලා නැහැ. බොරුවට රැකියා ඉල්ලුම් පත්‍ර බෙදනවා විතරයි. ඉදිරි මැතිවරණයේදි අපිට මේ සියල්ල නැවත වෙනස් කරන්න පුළුවන්.  

අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමි වන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස  හිටපු හමුදා නිලධාරියෙක් පත් කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස් කළා. පැහැදිලිවම ආණ්ඩුව අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා. 
 

Advertiesment