Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


ජනපතිවරයා හිර වී සිටින අවුලක තරම


2020-02-21 3775

ජනපති පමණක් නොව මුළු රටම තිබෙන්නේ අවුලකය 

 

එක්කෝ අගමැති අයියා ජනපති මල්ලීට යටත් විය යුතුය- නැති නම් ජනපති මල්ලී අගමැති අයියාට යටත් විය යුතුය

 

ක්‍රමයට එරෙහි රැඩිකල් විප්ලවයකින් රට ගොඩනගන හැටි 

 

රට වසා ගෙන සිටින අවලස්සන චිත්‍රය මැකීමට ජනපතිට නොහැකි ඇයි 

 

19 යනු ව්‍යවස්ථාවට පටහැනි  සටකපට ලියැවිල්ලක්

 

අපේක්ෂා මිලිනවීම සහ නව අපේක්ෂා

(වික්ටර් අයිවන්) 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ පරම අපේක්ෂාව වී තිබුණේ යැයි කිව හැකිය. තමන් තෝරා පත් කර ගන්නට යන ජනාධිපතිට විධායක බලයක් නැති බව ඒ ජනයා දැන නොසිටියේය. සාමාන්‍ය ජනතාව තබා ජනාධිපති අපේක්ෂකයන්වත් ඒ ගැන හරි හැටි දැන සිටියේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ පමණින් රටේ සිදුවන සියලු වැරදි අවසන් වී ලංකාව ලස්සන සිංහල බෞද්ධ දේශයක් බවට පත්වනු ඇතැයි ඒ බොහෝ දෙනකු කල්පනා කළ බව පෙනේ. දෙමළ මුස්ලිම් ජනයා එක පොදියට එජාපයෙන් තරග කළ සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කරන තත්ත්වයක් තුළ පවා ගෝඨාභය රාජපක්ෂට පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවූයේ සිංහල බෞද්ධ ජනයා අතර ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති කරගෙන තිබූ එම අපේක්ෂාවන්ගේ විශාලත්වය නිසාය.

එහෙත් නව ජනාධිපතිවරයා ධුරයට තේරී පත්වී මාස තුනක් තරම් කාලයක් මේ වනවිට ගතවී ඇතත්, නව ජනාධිපතිවරයාට තමන්ගේ චාම්කම පෙන්වනවා හැර ලංකාව වසාගෙන තිබෙන අවලස්සන චිත්‍රයේ වෙනසක් ඇති කිරීමට හේතුවන එකදු වැදගත් පියවරක්වත් ඉදිරියට ගැනීමට හැකිවී නැත. නව ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාව වන විට රටේ සියලු දේවල් තිබුණේ උපරිම මට්ටමට කුණුවූ අවුල්සහගත තත්ත්වයකය. සමාජ ක්‍රමය තිබුණේ මුළුමනින් අවුලට ගිය තත්ත්වයකය. ආණ්ඩුක්‍රමය සේ ම රටේ ආයතන ක්‍රමය තිබුණේද දූෂණයෙන් කුණුවූ අවුල්සහගත තත්ත්වයකය. ආර්ථිකයේ කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන අංශ තිබුණේද විශාල ප්‍රමාණයකට බිඳ වැටුණු තත්ත්වයකය. විදේශ ණය සේවා ප්‍රශ්නය තිබුණේද විසඳාගත නොහැකි තරම් උග්‍ර තත්ත්වයකය. ඒ වන විට රට තිබුණේ දක්ෂ කළමනාකරුවකුට සරල විසඳුම්වලින් රට පාලනය කළ හැකි තත්ත්වයක නොව, ලොකු ශල්‍ය කර්මයකින් තොරව රට පාලනය කළ නොහැකි තත්ත්වයකය. රට යහපත් තත්ත්වයක තිබුණේ නම් රට පාලනය කිරීමට අවශ්‍ය දක්ෂතා ජනාධිපතිවරයාට තිබෙන්නට ඇතත්, ජනාධිපතිවරයා අතට පත්ව තිබුණේ එවැනි පාලනයක් පවත්වාගෙන යා හැකි රටක් නොව, ලොකු ශල්‍යකර්මයකින් තොරව ගොඩගත නොහැකි රෝගී රටකි. ලොකු ශල්‍ය කර්මයක අවශ්‍යතාව පිළිබඳ පරිණත දැක්මක් ජනාධිපතිවරයාට නොතිබුණේය. එය ජනාධිපතිවරයාට පමණක් ආවේණික සීමාසහිතකමක් නොව, ජනාධිපතිවරණයට තරග කළ අන් සියලු අපේක්ෂකයන්ටද ආවේණිකව තිබූ පොදු දුර්වලතාවක් ලෙස සැලකිය හැකිය.

පාලනයේ අවුල

මේ නිසා දැන් රට පමණක් නොව ජනාධිපතිවරයාද සිටින්නේ ලොකු අවුලකය. ජනාධිපතිවරයා තෝරා ගත්තේ ලොකු වියදමක් දරා මහජන ඡන්දයෙන් වුවද 19 වැනි සංශෝධනය නිසා එසේ තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයාට තිබෙන්නේ නාමමාත්‍රික බලයක් පමණක් බව ජනාධිපතිවරයා බලයට පත් කළ සිංහල බෞද්ධ ජනතාව දැන නොසිටියේය. ඒ ගැන වන නිවැරදි අවබෝධයක් ජනාධිපතිවරයාටද නොතිබෙන්නට ඇත. තමන් තෝරාපත් කර ගත්තේ මහජනතාව වුවත් තමන්ට පූර්ණ විධායක බලය තබා ආරක්ෂක අමාත්‍යාංශයවත් තමන් වෙත තබාගත නොහැකි බව දැන් ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට ඡන්දය දුන් ජනතාවද ලාවට හෝ ඒ බව දැන සිටිනවා විය යුතුය.

ඒ නිසා ජනාධිපතිවරයාට තමන්ට පක්ෂපාත පාර්ලිමේන්තු බලයක් ඇතිකර ගැනීමට සේ ම 19 වැනි සංශෝධනය අවලංගු කරගැනීමට අවශ්‍ය වී තිබේ. එහෙත් ඒ අරමුණු දෙකම සපුරා ගැනීම ඉතා දුෂ්කර ඉලක්ක දෙකක් ලෙස සැලකිය හැකිය. දැන් ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් සටන් කරන්නට සිදුවී තිබෙන්නේ විරුද්ධ පක්ෂය සමග නොව තමන් බලයට පත් කළ පක්ෂය සමගය.

යහපාලන ආණ්ඩුව හාස්‍යජනක විගඩමක් බවට පත් කිරීමට හේතුවූ ආණ්ඩුවට එක නායකයකු වෙනුවට නායකයන් දෙදෙනකු සිටීමේ අවලස්සන සාධකය වර්තමාන ආණ්ඩුවටත් අදාළය. යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙදෙනාගේ දේශපාලන අපේක්ෂා එක සමාන නොවීය. නායකයන් දෙපළ අතර ගැටුම යහපාලන ආණ්ඩුව හාස්‍යජනක විගඩමක් බවට පත් කිරීමට හේතුවිය. මෙම ආණ්ඩුවේ නායකයන් දෙපළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වුවත් නායකයන් දෙදෙනාගේ අපේක්ෂා අතර ඝට්ටනයක් තිබෙන බව තේරුම් ගැනීමට ලොකු දේශපාලන මහදැනමුත්තකු වීම අවශ්‍ය වන්නේ නැත. එය මේ ආණ්ඩුව බලයට පත් කළ සාමාන්‍ය ජනයාට පවා පෙනෙන දෙයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුවේ සැබෑ නායකයා කවුද යන්න තවමත් තිබෙන්නේ නොපැහැදිලි තත්ත්වයකය.

ජනාධිපති මල්ලී හා අගමැති අයියා

19 වැනි සංශෝධනය අනුව විධායක බලය හෙවත් රාජ්‍ය පාලනයේ සුක්කානම හැසිරවීමේ බලය තිබෙන්නේ ජනාධිපති මල්ලීට නොව අගමැති අයියාටය. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා සැලකිය හැක්කේ අගමැතිගේ උපදෙස් මත ක්‍රියා කරන නාමමාත්‍රික ජනාධිපතිවරයකු වශයෙනි. ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනයේ සුක්කානම හැසිරවීමේ බලය අවශ්‍ය නම් ඒ බලය ලබාගැනීම සඳහා ඔහුට බල විරහිත කරන්නට සිදුවනු ඇත්තේ සිය අගමැති අයියාය. එක්කෝ අගමැති අයියා 19 වැනි සංශෝධනය අවලංගු කොට ජනාධිපති මල්ලීට විධායක බලය පවරා දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලනයේදී අගමැති ප්‍රේමදාස වැඩ කළ ආකාරයට හෝ ජනාධිපතිනි චන්ද්‍රිකා පාලනය යටතේ තමන් වැඩ කළ ආකාරයට වැඩ කිරීමට අගමැති අයියා හිත හදාගත යුතුය. එසේ නැත්නම් ජනාධිපති මල්ලී තමන්ට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තු බලයක් ඇති කරගත යුතුය. අගමැති අයියාට 19 වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙන බලය අහෝසි කොට නැවත විධායක බලය ජනාධිපති වශයෙන් තමන් වෙත හිමිකර ගත යුතුය.

එක්කෝ අගමැති අයියා ජනාධිපති මල්ලීට යටත් විය යුතුය. නැතිනම් ජනාධිපති මල්ලී අගමැති අයියාට යටත් විය යුතුය. එසේ නොවුවහොත් ජනාධිපති ගෝඨාභය මල්ලී හා අගමැති මහින්ද අයියා අතර ඇතිවිය හැකි සීතල යුද්ධය සමහරවිට යහපාලන කාලයේදී ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් අතර පැවති සීතල යුද්ධයටත් වඩා හාස්‍යජනක හා විනාශකාරී එකක් බවට පත්විය හැකිය. 19 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනි, අධිකරණය ලබා දුන් මගපෙන්වීම්වලට පටහැනි, ඉතාමත් සටකපට ආකාරයකින් නීතිගත කරගන්නා ලද සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එයට නිසි අවස්ථාවේදී කිසිවෙක් නීතිමය වශයෙන් අභියෝග කළේ නැති නිසා එය ව්‍යවස්ථාපිත නීතියක් බවට පත්ව තිබේ. මොන මොන හේතු නිසා හෝ දැන් බලයට පත්ව සිටින දේශපාලන කණ්ඩායමද එම සංශෝධනයට ආධාර කිරීම තුළ ඊට පසුව හෝ අභියෝග කිරීමට තිබෙන හැකියාව අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිව හැකිය. ව්‍යවස්ථාවට එකතු කර තිබෙන එම සංශෝධනය අනුව රාජ්‍ය බලයේ සුක්කානම හැසිරවීමේ බලය තිබෙන්නේ අගමැති අයියාට මිස සිංහල බෞද්ධයන්ගේ මහා අපේක්ෂාව ලෙස සැලකිය හැකි ජනාධිපති මල්ලීට නොවේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී, ජනාධිපතිවරණයේ දී තමන්ගේ දේශපාලන යාන්ත්‍රණයේ වැදගත් දැති රෝදයක් ලෙස ක්‍රියා කළ වියත් මගෙත් ලොකු පිරිසක් මන්ත්‍රීවරුන් බවට පත්කර ගැනීමේ වුවමනාවක් ජනාධිපතිවරයාට තිබෙන බවක් පෙනෙන්නට ඇතත්, එය පහසුවෙන් සැබෑ කරගත හැකි සිහිනයක් ලෙස සැලකිය නොහැකිය. විය හැකිව තිබෙන දේ වනුයේ ජනාධිපති මල්ලී අගමැති අයියාගේ උපදෙස් අනුව ක්‍රියාකරන නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්වීමය. එවිට නැවත රාජ්‍ය බලය උසුලන රාජ්‍ය නායකයා බවට පත්වනු ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂය.

විසඳුම කුමක්ද?

රාජ්‍ය බලය මෙහෙයවිය යුත්තේ ජනාධිපති ගෝඨාද නැතිනම් අගමැති මහින්දද යන ප්‍රශ්නය හෝ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ පරණ දූෂිත අයද නැතිනම් අලුත් උගත් අයද යන ප්‍රශ්න ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුම් ලබාදෙන ප්‍රශ්න ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ අර්බුදයේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ සමස්ත රාජ්‍යයද, සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමයද තවදුරටත් ඉදිරියට යා නොහැකි උපරිම තත්ත්වයකට ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබීමේ ප්‍රශ්නයයි. පාර්ලිමේන්තුවට අලුත් උගත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීම හෝ සරල ආණ්ඩු පෙරළියක් හෝ උඩින් පල්ලෙන් කරන සරල ප්‍රතිසංස්කරණ හෝ ඊට විසඳුමක් වන්නේ නැත. එය විසඳා ගන්නට හැකිවනු ඇත්තේ සමස්ත ක්‍රමය ශල්‍ය කර්මයකට ලක් කිරීමය.

එම ශල්‍යකර්මය ව්‍යවස්ථාදායකයට හෝ සාම්ප්‍රදායික දේශපාලනතන්ත්‍රයට කළ නොහැකිය. ඇතිවී තිබෙන ජරාජීර්ණ තත්ත්වය ඒ සියලුදෙනාගේ වගකීම් විරහිත දූෂිත ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයකි. ජනාධිපතිවරුන් සේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රටේ පාලන අධිකාරිය මෙහෙයවන්නන් වශයෙන් තමන් භාරයේ තිබෙන පොදු දේපළ නීතියට පටහැනිව අයථා ලෙස පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන අතර එය සමස්ත අර්බුදයට බලපා තිබෙන ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඒ සියලුදෙනා සැලකිය හැක්කේ රටේ පවතින කාලකණ්ණි තත්ත්වයට වගකිවයුතු ප්‍රධාන වගඋත්තරකරුවන් වශයෙනි. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේද මහජනයාටය. කොහොමටත් රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේද මන්ත්‍රීවරුන්ට නොව මහජනයාටය. එය මහජනයාට අහිමි කළ නොහැකි බලයකි. රාජ්‍යයේ බිඳ වැටීමක් ඇතිවූ විට එය කවර ආකාරයකට ප්‍රතිසංවිධානය කරගත යුතුද යන්න අවසාන වශයෙන් තීරණය කිරීමේ බලය තිබෙන්නේද මහජනයාටය.

ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීම

ක්‍රමයේ සැබෑ පරිවර්තනයක් සඳහා මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත යුත්තේ කෙසේද? ඒ සඳහා යොදා ගත යුතු ක්‍රමවේදය කුමක්ද? එම පරිවර්තන ක්‍රියාදාමයට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් හෝ සාම්ප්‍රදායික දේශපාලනතන්ත්‍රය සම්බන්ධ කරගන්නේද නැද්ද යන ප්‍රශ්නය කෙටියෙන් සලකා බැලීම වැදගත්ය.

ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම ඇතුළත් කරගන්නා එහෙත් ඔවුන්ට ලැබෙන පංගුවට වැඩි නියෝජනයක් මහජන නියෝජිතයන්ට ලබාදෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඇතිකර ගත හැකිය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වෙනත් රටවල් යොදා ගත් ක්‍රමද සැලකිල්ලට ගනිමින් සුදුසු ක්‍රමවේදයක් ඇති කරගත හැකිය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට පහත සඳහන් බලතල තිබිය යුතුය.

1. ක්‍රමය වෙනස් කර ගැනීම සඳහා යොදා ගැනෙන සංක්‍රමණීය කාලපරිච්ඡේදය තුළ නීති සකස් කිරීමේ, කරුණු සොයා බැලීමේ, ප්‍රතිපත්ති සකස් කිරීමේ හා සැලසුම් කිරීමේ ද ඒවා ක්‍රියාවට නැගීමේද බලතල එම ව්‍යවස්ථාදායක මණ්ඩලයට තිබිය යුතුය.

2. පරිවර්තන වැඩසටහන සඳහා සියලුම වැදගත් අංශවල කරුණු සොයා බැලීමේ, ප්‍රශ්න කිරීමේ, පරණ ක්‍රමය වෙනුවට දූෂණයෙන් තොර නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන කාර්යක්ෂම හා ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සැලසුම් කිරීමේ හා එම සැලසුම් කරන ලද ක්‍රමය ස්ථාපිත කිරීමේ බලය එයට තිබිය යුතුය.

3. සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම ගැනද, කරුණු සොයා බැලීම හා ප්‍රශ්න කිරීමේ බලයද කුල භේදයට තිබෙන පිළිගැනීම මුළුමනින් අහෝසි කොට වර්ග හා ආගම් අතර සංහිඳියාවක් ඇතිවන ආකාරයට නූතන ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒවා ස්ථාපිත කිරීමේ බලයද එයට තිබිය යුතුය.

4. නව දේශපාලන ක්‍රමයක් හා සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමන තෙක් රාජ්‍යයේ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳවත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට පැවරෙන කාර්යභාරය විස්තර කෙරෙන හා නව ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තෙක් ක්‍රියාත්මක වන සංක්‍රමණීය ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ හා නීතිගත කිරීමේ බලය එයට තිබිය යුතුය.

5. නව ආණ්ඩුක්‍රමයක සැකිල්ල වෙනුවෙන් ඇතිකර ගන්නා මූලධර්ම එකඟතාව අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ බලය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තිබිය යුතුය. එය ආරම්භ විය යුත්තේ පැරණි ව්‍යවස්ථාදායකය විසුරුවා හැර ඇති කරගත් නව ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාදායකය සඳහා මැතිවරණයක් පවත්වා පරණ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීන් වෙනුවට අලුත් ව්‍යවස්ථාදායකයට තේරී පත්වූ අලුත් මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට එකතු කර ගැනීමෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරගනිමින් එය නීතිගත කිරීමෙන් පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පැවැත්ම අහෝසි විය යුතු අතර එතැන් සිට නව ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය බලය දැරීමේ හා හැසිරවීමේ බලය නව ව්‍යවස්ථාදායක මණ්ඩලයට හිමිවිය යුතුය. මහජනයාගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයද ඒ සමග අවසන් වී අවශ්‍ය අවස්ථාවලදී මහජනයාට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මැදිහත්වීමේ බලයක් ලැබෙන විධිවිධාන සහිත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් එතැන් සිට ක්‍රියාත්මක වනු ඇත.

මහජනයාගේ කාර්යභාරය

රාජ්‍ය, එහි දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය හා ආර්ථික ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීම මහජනයාගේ වැඩක් බවට පත්කර ගැනීම අවශ්‍ය වනුයේ ඒ සඳහා වන අවසාන ව්‍යවස්ථාපිත බලය තිබෙන්නේ මහජනයාට නිසා පමණක් නොව, පසුගාමී ආකල්පවලින් යුතු හා ලංකාවේ අර්බුදය විසින් හිරිවැටුණු තත්ත්වයකට පත්කර තිබෙන ලංකාවේ පුරවැසි සමාජය නවීන ලෙස සිතන දියුණු හා සක්‍රීය පුරවැසි සමාජයක් බවට පත්කිරීමට එවැනි මහජන වැඩසටහනක් හේතුවන නිසාය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය තෑගි ලැබුණු දෙයක් මිස ලංකාවේ මහජනයාගේ සාමූහික ක්‍රියාකාරී උත්සාහයකින් දිනා ගන්නා ලද දෙයක් නොවීය. නිදහස ද තෑගි ලැබුණු දෙයක් මිස මහජනයා දිනාගන්නා ලද දෙයක් නොවීය. ලංකාවේ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය මහජනයාගේ ක්‍රියාකාරී මැදිහත්වීමෙන් ඇති කරගත් දේවල් නොවීය.

එම තත්ත්වය ලංකාවේ පුරවැසියන්ගේ පසුගාමී ආකල්ප, ආත්මාර්ථකාමීත්වය හා හිරිවැටුණු තත්ත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. රට ගලවා ගැනීම ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන සමාජ, දේශපාලන ක්‍රමය හා ආර්ථික ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමේ බැරෑරුම් වගකීම මහජනයාට ලබාදෙමින් ඒ සඳහා ඔවුන්ට දැනුම ලබාදෙන, මගපෙන්වීම් ලබාදෙන ක්‍රමයක් ඇති කළ විට හිරිවැටුණු තත්ත්වයක සිටින ජනයා අවදි වී ඔවුන්ගේ අත්වලින් වඩා හොඳ ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගනු ඇත. එහිදී ඒ සඳහා ඔවුන්ට යෙදෙන්නට සිදුවන සාමූහික උත්සාහයන් හා මහජන සංවාදයන් ජන ජීවිතයේ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන කුණුවීම සුවපත් කිරීමට හේතුවනු ඇති අතර නූතන ආකල්පවලින් යුතු ප්‍රබුද්ධ සමාජයක් ඇති කිරීමටත් හේතුවනු ඇත. ඒ මගින් ඇති කරන වැදගත්ම ප්‍රතිඵලය වනු ඇත්තේ රාජ්‍ය, දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමයද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද ඔවුන් විසින් ඔවුන්ගේ අත්වලින්ම හදාගනු ලැබූ දේවල් නිසා ඒවා කෙරෙහි දැඩි ආත්මීය බැඳීමක් ඇතිකර ගනිමින් රට මුල් කරගත් පොදු හැඟීමකින් එකට බැඳුණු සමාජයක් ඇතිවීමය. එම ක්‍රියාවලිය තුළ කොන් කරනු ලැබූ හා ආන්තික තත්ත්වයක සිටින සියලුදෙනාටම සමාන ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

අපේක්ෂා කළ හැකි ප්‍රතිඵල

සමස්ත ක්‍රමය වෙනස් කරගැනීම සඳහා නිර්මාණාත්මකව යොදා ගත හැකි මහජන ව්‍යවස්ථා සම්පාදනය හෝ සහභාගි ව්‍යවස්ථා සම්පාදනය වශයෙන් හැඳින්වෙන මෙම ක්‍රමවේදය ලංකාවේ කරන්නට යන අලුත් අත්හදා බැලීමක් නොව, වෙනත් රටවල් ගණනාවක් විසින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙන පිළිගත් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. අත්හදා බලා ඇත්තේ 1980දී නිකරගුවාවේ, 1988 බ්‍රසීලයේ හා උගන්ඩාවේ, 1994 දකුණු අප්‍රිකාවේ, 1997දී එරිත්‍රියාවේ හා 2002දී උගන්ඩාව යන රටවලය.

මේ ආකාරයට සමස්ත ක්‍රමයේ ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා කිසියම් දීර්ඝ කාලයක් ගතවිය හැකි වුවත්, සමස්ත ක්‍රමයේ පැවති ගැඹුරු වෙනසක් සඳහා ක්‍රියාවට නගන මහජන වැඩසටහනක් වෙතොත්, ලංකාව එවැනි වැඩසටහනකට අවතීර්ණ වන මුල් අවස්ථාවේ සිටම ප්‍රපාතයට යන ගමනක් වෙනුවට වේගයෙන් ඉහළ යන නව ගමනකට ලංකාව අවතීර්ණ වනු ඇති අතර එය රටේ මහජනයාගේ සේ ම අන්තර්ජාතික ප්‍රජාවගේද ආකර්ෂණයට හේතුවන ක්‍රියාදාමයක් බවට පත්වනු ඇත.

එවැනි නව ගමනකදී භේදයකින් තොරව ලෝක බලවතුන් දකුණු අප්‍රිකාවට ආධාර කළා සේ ලංකාවටද ආධාර කරනු ඇත. එය ඇති කරන වාසිදායක ලෝක වටපිටාව රටට ඉසිලිය නොහැකි මහා බරක් බවට පත්ව තිබෙන විදේශ ණය ප්‍රශ්නය නිර්මාණශීලී ලෙස විසඳා ගැනීමට අවශ්‍ය නව ඉඩ ප්‍රස්ථා හිමිකර දෙනු ඇත.

එවැනි පරිවර්තන වැඩසටහනක් රටේ මහජනයා අතර ලොකු උද්දාමයක් හා පිබිදීමක් ඇති කිරීමට හේතුවනු ඇත. ඒ සමග රටේ හැම වැදගත් දෙයක් දෙසම විචාරශීලී ලෙස බැලීමට මහජනයාට තිබෙන හැකියාව වර්ධනය කොට සමාජය ප්‍රබුද්ධ සමාජයක් බවට පත්කිරීමට හේතුවනු ඇත. ඒ සමග එම ක්‍රියාවලිය රටට ප්‍රබුද්ධ නව නායකයන් උරුම කර දීමටද හේතුවනු ඇත.

Advertiesment