Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


සජිත්ගේ සන්ධානය එජාපයට මළ දානයක්-එකම විකල්පය අලියා


2020-02-20 3329

එජාපය වැනසීමට ගිය සජිත්ගේ කුමන්ත්‍රණය මහින්දගෙන් මාට්ටු

 

කුමන්ත්‍රණයේ මහ මොළකරු කිලී-න්‍යායාචාර්ය පාඨලී 

 

"සජිත් යටතේ එජාපයට අබ සරණයි-ආණ්ඩුවට බුදු සරණයි"

 

තනිවම ඉල්ලා හැකි නම් පාර්ලිමේන්තු එන්නැයි පාඨලී චම්පිකට අභියෝගයක් 

 

"මනෝ-දිගා-හකීම්" කල්ලියට එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ විරෝධය 

 

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කල්ලිය ගැන අඹන්වල ඥානාලෝක හිමිගේ හෙළිදරව්ව මෙන්න   

(සුජිත් මංගල ද සිල්වා)

 

මහ මැතිවරණයට තරඟ කළ යුතු "ලකුණ" සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබීම සහ ඒ හේතුවෙන් උද්ගත වී තිබෙන අභ්‍යනතර අර්බුදය මත එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ මේ වන විට දේශපාලන වශයෙන් අනාථ වී සිටියි.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ "අලියා" ලකුණ අත හැර සිය නායකත්වයෙන් යුතු සමගි ජාතික බලවේගය යටතේ පොදු ලකුණකින් මහ මැතිවරණයට තරඟ කළ යුතු බවට විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ඔහුගේ පාර්ශවය තරයේ අවධාරණය කර සිටීමය.

කෙසේ නමුත් අවසානයේදී, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ "හංසයා" ලකුණ යටතේ සමගි ජාතික බලවේගයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පාර්ශවයන් මූලික එකඟතාවයකට පැමිණියත්,යම් කිසි දේශපාලන පක්ෂයක ලකුණක් මෙසේ ලබා ගැනීමට අදාළ නීතිමය තත්ත්වය,ඒ සඳහා වන ක්‍රියාවලිය සහ ඊට ගත වන කාලය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලබා දී තිබෙන උපදෙස් හේතුවෙන් "ලකුණ" සම්බනධයෙන් එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින අර්බුදය වඩාත් උග්‍ර අතකට හැරී තිබේ.

සමගි ජාතික බලවේගය වෙනුවෙන් සිය "හංසයා" ලකුණ අත හැරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟ වුණත් එම දේශපාලන පක්ෂය එසේ කිරීමට අදාළව විරෝධතා තිබේ නම් එම විරෝධතා ගොනු කිරීම සඳහා ඡන්ද දායකයින් වන ජනතාවට නිශ්චිත සහ සැලකිය යුතු කාලයක් ලබා දීමට නීතියට අනුව සිදු වන බව තමා හමුවීමට බදාදා (19) සවස මැතිවරණ කොමිසමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,එම පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ සමගි ජාතික බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින්ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබේ.

එසේම යම් දේශපාලන පක්ෂයක් තවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මෙසේ සිය "ලකුණ" අත හැරියාට පසු ඒ මොහොතේ සිට ඉදිරියට අවුරුදු පහක් ගත වන තුරු එම දේශපාලන පක්ෂයට සිය සුපුරුදු ලකුණ ලබා ගැනීමට නොහැකි වන බව ද මහින්ද දේශප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හමුවේ දැනුම් දී ඇත.

මේ අතර සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "lankanewsweek" සමග පැවසුවේ, එසේ සිය "ලකුණ" අත් හළ අදාළ දේශපාලන පක්ෂයට අවුරුදු පහක් ගතවීමෙන් පසුව හෝ සිය සුපුරුදු "ලකුණ" යළි ලබා ගත හැක්කේ ඒ වන විට අදාළ ලකුණේ අයිතිය හිමි දේශපාලන පක්ෂය එම "ලකුණ" යළි භාරදීමට එකඟ වුණොත් පමණක් බවය.

එසේම යම් දේශපාලන පක්ෂයක් තවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සිය "ලකුණ" අත හැරියා කියා ඒ මොහොතේම අදාළ දේශපාලන පක්ෂයට අදාළ "ලකුණ" හිමි නොවන බව ද,මුලින්ම සිදු වනේ එම "ලකුණ" මැතිවරණ කොමිෂන් සභාවේ සංඛේත සංචිතයට ඇතුළු වීම වන අතර එම "ලකුණ" අවශ්‍ය දේශපාලන පක්ෂයට අදාළ "ලකුණ" ඉල්ලා සිටිය හැක්කේ ඊට පසුව බව ද පෙන්වා දුන් ඔහු "ලකුණ" මාරු කර ගැනීමේ මේ ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වනවා පමණක් නොව එම ක්‍රියාවලියේ යම් අවදානමක් තිබෙන බව ද හෙළි කර සිටියේය.

මේ අනුව පැහැදිළි වන්නේ සමගි ජාතික බලවේගය වෙනුවෙන් සිය "ලකුණු" අත හැරීමට එක්සත් ජාතික පක්ෂය හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන දේශපාලන පක්ෂ එකඟ වුණත් එම ලකුණු දෙකෙන් එකක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස පාර්ශවයට හැකි වනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව වන නිසා මේ මොහොතේ තිබෙන එකම විකල්පය වන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ "අලියා" ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීම බවය.

මේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බනධයෙන් මහ සංඝරත්නය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස පාර්ශවය වෙත සිය විරෝධය පළ කරමින්  "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ,සේදවත්ත,පුරාණ රජ මහා විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියෝ මෙසේ පැවසූහ.

"සජිත් ප්‍රේමදාස ප්‍රධාන කල්ලියේ බලපෑමට යටත් වී "අලියා" ලකුණ අත හැරියා නම් එක්සත් ජාතික පක්ෂයට අත් වන දේශපාලන ඉරණම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලබා දී තිබෙන උපදෙස්වලින් පැහැදිළි වනවා.

ඔහුගේ කරුණු පැහැදිළි කිරීමෙන් ඔප්පු වන ප්‍රධානම කාරණය වන්නේ සමගි ජාතික බලවේගය වෙනුවෙන් "අලියා" ලකුණ ඉල්ලමින්ද,එක්සත් ජාතික පක්ෂය යටතේ මහ මැතිවරණයට තරඟ කළ නොහැකි බව කියමින් ද, ඒ සඳහා සිය නායකත්වයෙන් යුතු සන්ධානය යටතේ ඉදිරිපත් විය යුතු බවට බල කරමින් ද සජිත් ප්‍රේමදාස මහතා කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් "අලියා" ලකුණත් විනාශ කිරීමේ මහ කුමන්ත්‍රණයක් බවයි.

මේ කුමන්ත්‍රණයේ මහ මොළකරුවා වන්නේ සජිත් ප්‍රේමදාසගේ ස්වාමියා වන කිලී මහා රාජා වන අතර න්‍යායචාර්යවරුන් වන්නේ පාඨලී චම්පික රණවක,ඉරාන් වික්‍රමරත්න,මලික් සමරවික්‍රම,කබීර් හෂීම්,මනෝ ගනේෂන්,පී දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අන්ත ජාති වාදී,ආගම් වාදී සහ කුල වාදී කල්ලිය බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමග අදටත් සිටින්නේ එදා සිටම "අලියා" ලකුණින් මහ මැතිවරණවලට තරඟ කළ මේ කිසිම ජන පදනමක් නොමැති ඊනියා දේශපාලන නායකයින් නම් සහ ජනතා විමුක්ති පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට නොඑන්නේ නම් 
මහ මැතිවරණයට යන්න අලුත් සන්ධාන-අලුත් ලකුණු කුමකට ද..?

තමා මවා පාන තරම් සිංහල බෞද්ධ පදනමක් තිබෙනවා නම් ජාතික හෙළ උරුමය යටතේ මහ මැතිවරණයට තනිවම ඉල්ලා සිය සිංහල බෞද්ධ ජන පදනම පෙන්වා හැකි නම් පාර්ලිමේන්තු එන්නැයි පාඨලී චම්පික මහතාගෙන් අප ඉල්ලා සිටිනවා.ඔහුට තිබෙන සිංහල බෞද්ධ ජන පදනමේ තරම ජනාධිපතිවරණයේ මහරගම ආසනයේ ඡන්ද ප්‍රතිඵලයෙන් හෙළි වුණා.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට තනිවම ඉල්ලා පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජනයක් ලබා ගෙන සිය ශක්තිය සහ ජන පදනම ඔප්පු කරන්නැයි රවුෆ් හකීම්,මනෝ ගනේෂන් සහ පී දිගම්බරම් යන අයට ද අප අභියෝග කරනවා.ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ත්‍රස්තවාදී සහ සිංහල බෞද්ධ විරෝධී චෝදනා එල්ල වුණේ මේ මුස්ලිම්,දෙමළ සහ සිංහල අන්තවාදී නායකයින් නිසයි.එම නිසා ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් යාම එම පක්ෂයට ආශීර්වාදයක් වන අතර මුස්ලිම්,දෙමළ සහ සිංහල බෞද්ධ නායකයින් තව දුරටත් බාහිරින් ආනයනය නොකර සිය පක්ෂය අභ්‍යන්තරයෙන්ම නිර්මාණය කර ගැනීමට එම පක්ෂය පියවර ගත යුතුයි.

ඇත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මේ කල්ලිය එක්සත් ජාතික පක්ෂයට මහ පිළිලයක් බවට පත් වී තිබෙන අතර එම පක්ෂය දැන්වත් එම ශාපයෙන් ගැළවිය යුතුයි.සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මේ කරමින් සිටින්නේ ඔහුගේ තාත්තා වන රණසිංහ ප්‍රේමදාස මහතා පක්ෂයට කළ විනාශයමයි.දේශපාලනයේ හය හතර කියා ඉඳුල් කට ගෑ දවසේ සිටම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කොල්ල කා ගැනීමට සජිත් ප්‍රේමදාස කරන කුමන්ත්‍රණ මේ වන විට සියලු දෙනාටම මහ මානසික වදයක් වෙලා.

ජනපති අපේක්ෂකකම ඉල්ලුවා දුන්නා.පරාදයි...විපක්ෂ නායකකම ඉල්ලුව දුන්නා.හැබැයි වැඩක් නැහැ...ආණ්ඩුවට එරෙහිව විපක්ෂ නායකවරයා කළ යුතු කාර්ය භාරය පාර්ලිමේන්තුවේ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ.නව දේශපාලන සන්ධානයේ නායකත්වය ඉල්ලුවා.දුන්නා...හැබැයි අලුතින් කිසිම දේශපාලන පක්ෂයක් එම සන්ධානයට එකතු කර ගන්න බැරි වුණා.නව සන්ධානයට ලකුණක් හොයා ගන්න බැරි වුණා.අන්තිමට "හදවත" හොයා ගත්තා.ඒ ලකුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළා.ඒ මන්ද මැතිවරණ කොමිසම අනුමත කර තිබෙන ලකුණු අතර "හදවත" ලකුණ නැහැ.දේශපාලන පක්ෂයකයට ලකුණක් තෝරා ගත යුත්තේ මැතිවරණ කොමිසම අනුමත කර තිබෙන ලකුණු අතරින් බව නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසවත් මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාරවත් දැන ගෙන ඉඳලා නැහැ.නව දේශපාලන සන්ධානයට තවම ව්‍යවස්ථාවක්වත් ඇත්තේ නැහැ.ඒ අනුව මහ සංඝ රත්නය ලෙස අපට කියා සිටීමට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ එක්සත් ජාතික පක්ෂයට "අබ සරණයි-ආණ්ඩුවට බුදු සරණයි" කියා තමයි.

                

Advertiesment