Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


පරිසරය ගැන ගෝලීය දැනුමක් නොමැති දේශපාලුවන් වෙතටයි..!


2020-02-19 1431

අතිශයින්ම ඔක්සිජන් එපා කියන අයට පමණයි 

 

ජාතික ආරක්ෂාව වගේම පාරිසරික ආරක්ෂාව ද තහවුරු කරනු 

 

අනාගත පරපුර වත්මන් පරපුරේ සිරකරුවන් නොවිය යුතුය 

 

ගෝලීයව සිතා දේශීයව ක්‍රියා කරමු

 

 ගෝලීය දැනුම නොමැති ජනප්‍රිය නායකයන්ව ගෝලීයකරණය මගින්ම ගිළ ගනු ඇත 

(දේශප්‍රිය නානායක්කාර)
 

"අපට පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයන් නැත.අපට අවශ්‍ය වී ඇත්තේ පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය නැති රටක් නිර්මාණය කිරීමටයි." "we don't want to protect the environment. we want to create a Country where the environment does not need protecting.”

වැඩවසම් වාදය සහ කොමියුනිස්ට් වාදය,ඇතුළු අනෙකුත් අධිකාරිවාදී සමාජ ක්‍රම පද්ධතීන්ට වඩා ගෝලිය බහුතර ජනයා, ධනවාදය තෝරා ගන්තේ භෞතික පරිභෝජනයට ඇති ගිජු බව නිසාම නොව ,නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඇති අපේක්ෂාවන් ද හේතුවෙනි. අලුත් සහශ්‍රකයේ දී ලෝවැසි ජනයා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව යහපත් පරිසර පද්ධතියක් පිළිබදව ද අපේක්ෂාවන් ඇති කර ගෙන ඇත්තේ අද්‍යකාලීන තෙවන පරම්පරාවේ මානව අයිතිවාසිකම් අතරට පිරිසිදු පරිසරයකට ඇති අයිතියද මානව අයිතිවාසිකමක් වශයෙන් යෝජනා ගත කිරීමෙනි .

ඊට හේතු වී ඇත්තේ, තිරසාර ඵලදායී පාලනයෙන් බැහැර වන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය හා සබැදුණු අන්තර් ජාතික ධනපති පංතියේ (Transnational capitalist class ) මුල්‍ය ප්‍රාග්ධන ආයෝජන හෙවත් ධන වාදයේ සංවර්ධන ක්‍රියාවලියයි.ධනවාදී සංවර්ධනය පෘථිවි ජෛව ගෝලීය පද්ධතියට මෙන්ම මානව සංහතියේ තිරසාර ප්‍රගමනයට සංකීරණ හා තීව්‍ර පීඩාවන් ජාලයක්ම ජනිත කර ඇත්තේ මානව හා මුලික අයිතිවාසිකම්වල සමාජීය හා පුද්ගල පරිහරණීය වටිනාකම් වෙත ද අන් කවරදාටත් වඩා තීව්‍ර තර්ජන ඇති කරමිනි.

අද්‍යතනව අතිශයින්ම උග්‍රව පවතින පාරිසරික ගැටලුවට ප්‍රධාන වුයේ මිනිස් ඉතිහාසයේ නොවූ විරූ තරමේ සමාජ අසමානාත්මතාව හා අනාගත පරපුරෙහි ස්වභාවික උරුමයන් නොසලකා හැරීම ආදී කරුණුවලින් පිරුණු පැරණි බටහිර සංවර්ධන ආකෘතියයි.අද්‍යතනව පැරණි බටහිර සංවර්ධනය ප්‍රතික්ෂේප වෙමින් පවතී.එම හේතුවෙන් අද්‍යතන ගෝලීය ජන සමාජය සිසාරා පාරිසරික ආරක්ෂණය හා එහි වටිනාකම් අන්තර් පාරම්පරික සාධාරණත්වය දක්වා ප්‍රසාරණය වෙමින් තිබීම නව සහශ්‍රකයේ දක්නට ඇති ඉතා වැදගත් දේශපාලන හා නෛතික වර්ධනයකි. 

“දැනුම නැති විට කම්කරුවෝ ආරක්ෂා විරහිතය. දැනුම ඇති විට ඔව්හු බලවේගයක්ය" යනුවෙන් වී.අයි ලෙනින් මාක්ස්වාදය උපුටා දක්වමින් ලියා ඇත. ඒ අයුරින්ම පරිසර ආරක්ෂණය සහ එහි වටිනාකම් පිළිබදව ද, ඊට අදාළ ග්‍රාමීය,ප්‍රාදේශිය,දේශීය,කලාපීය සහ ගෝලීය ආරක්ෂණ නෛතික උපකරණ ද,විශ්ව සම්මුතීන් පිළිබද අවබෝධය වගේම දැනුම ද නොමැති සිවිල් සමාජයට පරිසර සුරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීම අභියෝගයක් වී ඇති බව ඉතා පැහැදිළිව දක්නට හැකිය.

ග්‍රාමීය,ප්‍රාදේශිය,දේශීය ,කලාපීය සහ ගෝලීය දැනුම ඇති සිවිල් සමාජය පරිසර ආරක්ෂණයේ බලවේගයක් බවට නිරායාසයෙන් පත් වනු ඇත්තේ සැබවින්ම දැනුම යනු බලය වන හෙයිනි. බලය සහ දැනුම ඇති සිවිල් සමාජයට දෘෂ්ටිමය,උපායමය සහ සංවිධානාත්මක ප්‍රතිපත්ති කෙරෙහි ජන සමාජයට සේම දේශපාලනයට ද තිරසාර චාරිත්‍ර හදුන්වාදීම කළ හැකිය. අද්‍යකාලීනව නුතන විද්‍යාව සහ නව්‍ය තාක්ෂණවේදය ද, පෘථිවි ජෛව පද්ධතියේ වගේම මානව වර්ගයාගේ ඇති ස්වභාවික ඒකාබද්ධතාවය පසක් කරමින් තිබීම ඊට තවත් අනුබලයක් වී ඇත.

මේ අතර ඉපදුණු සෑම මනුෂ්‍යයෙක්ම පරිසරයේ සෑම අංශවලටම බරක් ලෙස සලකන මැල්තීසියානු විශ්ලේෂකයෝ,පරාග පෝෂණය ඇණ හිටීම,වනාන්තර විනාශය, භුමිය කාන්තාර බවට පත් වීම,මතුපිට පස සේදී යාම,ජල පෝෂක කලාප දුෂණය වීම,ඕසෝන් ස්ථරය පළුදු වීම,හරිතාගාර වායු එක්රැස් වීම, ජීව විවිධතාවය පිරිහීයාම,අම්ල වැසි, උත්තර ගෝලයේ ග්ලැසියර් දියවීම,  පෘතුවිය උණුසුම්වීම, සිසිල්විම, අදුරුවිම,මුහුදු ජල මට්ටම් ඉහළ යාම,සාගර ජලය ආම්ලියකරණය,සාගර ජල ගුල්ම ප්‍රවායන්හි උණුසුම් සහ සිසිල්වීමේ ක්‍රියාව ඇණ හිටීම,කොරල් පර විනාශ වීම,ස්වභාවික වාෂ්පීකරණයට ඇති වී ඇති සහ ඇති වන බාධා,අහිතකර ඇල් ගී ව්‍යාප්තිය,මත්ස්‍යයින්ගේ ශරීරයේ රස දිය වර්ධනය වීම, අප ද්‍රව්‍යවලින් පිරුණු වාතය,උග්‍ර වෙමින් පවතින ජල අර්බුදය,ජීව විශේෂ බිද වැටීම,අහිතකර කෘෂි සතුන් සහ ශාක පැළෑටි වර්ග ව්‍යාප්ත වීම,වඳ වීමේ තර්ජිත ජිව විශේෂ, ඇතුළු පරිසර දුෂණ සියල්ලටම වග කිව යුත්තේ වැඩි වන ජන ගහන පීඩනය යැයි පවසති.

ගෝලීය ජන ගහන විශ්ලේෂකයෝ පවසනුයේ ජන ගහනය නිවැරදිව දියුණු කර ගැනීමට පාලකයන් අසමත්වීමෙන් ජන ගහනය අනෙකුත් සියලු පාරිසරික සහ ආර්ථික ප්‍රතිලාභ ගිළ දමනු ඇතැයි යනුවෙනි .

ආර්ථික විද්‍යාඥයෙකු බවට පසුව හැරුණු ඉංග්‍රීසි ජාතික පුජකවරයෙකු වූ තෝමස් රොබර්ට් මැල්තස් (Thomas Robert Malthus) 1798, දී ඔහුගේ ජන ගහන ප්‍රතිපත්ති පිළිබද කෘතියේ ද, (An Essay On The Principle Of Population ) පෝල් අර්ලික් සහ ඈන් අර්ලික්,ඔවුන්ගේ ( Population Explosion, Paul R,Ehrlich ,Anne H. Ehrlich ) "ජන ගහන බෝම්බය"යන අදහස දෙන කෘතියේද තර්ක කරනුයේ ගෝලය පුරා ජන ගහන වර්ධනය තිරසරව පාලනය කළ යුතු බවයි. 

ඔවුන්ගේම තවත් කෘතියක් වූ “කොකා සහ නගුල” යන අදහස දෙන (The Stork And The Plow) කෘතියේ විස්තර කරනුයේද ජන ගහන වර්ධනය නිසා ඇති වී තිබෙන ගෝලිය අයුක්තිය පිළිබඳවයි.ඇමරිකානු උප ජනාධිපතිවරයෙකු වූ "ඇල් ගෝර්" ද  (Al Gore) ඔහුගේ “අර්ත් ඉන් ද බැලන්ස්” (Earth In The balance) නැමැති ග්‍රන්ථයේ ද විස්තර කරනුයේ පෘතුවි ගෝලිය පරිසරය ආරක්ෂා කිරිමට නම් පළමු වන උපාය මාර්ගික ඉලක්කය විය යුත්තේ ජන ගහන ස්ථාවරත්වය ළගා කර ගැනීම බවයි.

අප විසින් පසු කරන ලද 1970,1980,1990 සහ 2000 දශකවලට සාපේක්ෂව වර්තමානයේ පාරිසරික,ආර්ථික,අධ්‍යාපනික,කාර්මික තාක්ෂණික,තොරතුරු තාක්ෂණික සහ සෞඛ්‍යමය,ආදී ක්ෂත්‍ර ඇතුළු ගෝලීය දේශපාලනික ආර්ථික තරගකාරිත්වය වඩාත් තීව්‍ර වී ඇති අතර ඒ සියල්ල ගෝලීය දැනුම මතම තීරණය වන බව ද ජනයා අමතක නොකළ යුතු ඉතා වැදගත් කාරණයකි. 

ගෝලීය පාලක පන්තිය (Global Ruling Class) පිළිබද වෘත්තීමය දැනුම ඇති දේශපාලනඥන්ට පමණක් ගෝලීයකරණයට දේශීයත්වය ඇතුළත් කොට රටට ඵලදායී අයුරින් ගෝලීයකරණය මෙහෙයවිය හැකි වනු ඇත.ගෝලීය දැනුම නොමැති ජනප්‍රිය නායකයන්ව ගෝලීයකරණය විසින් ගිළ  ගනු ඇත.

1972 දී ගෝලීය ප්‍රජාවගේ අනාගත ඉරණම පිළබදව සාකච්ඡා කෙරුණු  ජාත්‍යන්තර ප්‍රකාශනයක් වශයෙන් හැදින්විය හැකි, ඇමරිකානු පරිසර විද්‍යාඥවරියක් වූ දොන්ඇල මැඩොස් සහ ප්‍රකට ඇමරිකානු විද්‍යාඥයෙකු වූ ඩෙනිස් මැඩොස් (Donella Meadows and Dennis Meadows) යන විද්‍යාඥවරුන් විසින් රචනා කරන ලද "වර්ධනයේ සීමාවන්" යන අරුත් දැක්වෙන The Limits To Growth කෘතිය විසින් ඇති කරන ලද කම්පනය තව දුරටත් ප්‍රසාරණය වුයේ මෙකී වර්ෂයේදීම ඇමෙරිකානු ජනාධිපති ජිමි කටාර් විසින් පත් කරන ලද කමිටුවක් විසින් එළි දක්වන ලද “වසර 2000 දී ලෝකය” (Global 2000 Report /ISBN 0-08-024616-8/ISBN 0 -08 -024617-6 ) නැමති විශ්ව පාරිසරික ප්‍රකාශනය හේතුවෙනි .

පිරිහීම කරා වේගයෙන් ගමන් කරවමින් තිබු පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය අවබෝධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1960 දශකයේ මැද භාගයේ සිට ගෝලයේ වැඩි මනත් රටවල්වල පරිසර නීති සම්පාදනය වූයේ 1960 -1970 දශකය ලෝක පරිසර දශකය වශයෙන් ද නම් කිරීමෙනි. මානව චින්තනයේ අනවබෝධය හේතු කොට ගෙන පාරිසරික සංරක්ෂණය සහ ආර්ථික සංවර්ධනය යනු එකිනෙකට ප්‍රති විරුද්ධ කාරණා දෙකක් ලෙස 1970ට පෙරදී සලකන ලද නමුත් පසු කාලයේදී පාරිසරික සංරක්ෂණය සහ ආර්ථික සංවර්ධනය යනු එකිනෙකින් පෝෂණය වන්නාවූත්,එකිනෙක මත රදා පවතින්නාවූත් එකම ක්‍රියාවක් බවට එකිනෙකට අන්තර් ග්‍රහනය වූයේ මානව සංහතියේ දැනුම සේම අවබෝධය මත 1970 න් පසු ඇතිවූ යථාර්ථාවබෝධය හේතුවෙන් බව සදහන් කළ යුතුය.වෙනත් ආකාරයට සදහන් කළොත්, අප සිතිය යුත්තේ පුරුදු පරිදි නොව සුදුසු පරිදි බව 1970න් පසු මිනිසාට අවබෝධ විමෙනි.

උක්ත අවබෝධය ගෝලීය මට්ටමින් විමර්ශනය කිරීමේදී, 1972 දී "ස්ටොක්හෝම්" නුවර පවත් වන ලද මානව පරිසරය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සමගාමීව ගෝලීය පරිසර නීතිය ජාත්‍යන්තර නීතියේ සනිටුහන් වී වර්ධනය වීම ආරම්භ වූ බව සැලකීම සුදුසුය. (The United Nations Conference on the Human Environment . Stockholm, Sweden from June 5–16 in 1972. ) "ස්ටොක්හෝම්" සම්මේලනයෙන් පසු,1982 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ස්වභාධර්මය පිළිබද ජගත් ප්‍රතිපත්තිය වැනි විශ්ව ව්‍යාප්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පමණක් නොව ඉතා පුළුල්වූත්,විවිධවූත් පාරිසරික ක්ෂේත්‍රයන් ආවරණය කෙරෙන ගෝලීය යෝජනා රාශියක් ද ඇත. (Declaration of the United Nations Conference on the Human . legal.un.org/ avl/ha/dunche/html )

අපේ පොදු අනාගතය (Our Common Future 1987- www.un-documents.net/our-common-future.pdf ) නමැති පරිසරය සහ සංවර්ධනය පිළිබද ගෝලීය වාර්තාව මගින් පරිසරය සහ සංවර්ධනය පිළිබදව ජගත් ප්‍රජාවගේ පසු බැසීම් වගේම හැකියාවන් මනා ලෙසත් සමබරවත් හදුනාගන්නා ලදී.පොදු ජිවිත බැදීම් ක්‍රියාශීලි කිරිමටත්, කඩිනම්ව සොබා සම්පත් විනාශ වීයෑම අවම කිරීමට සහ පරිසර දුෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය ගෝලීය ප්‍රජාවගේ සහයෝගිතාවය උක්ත වාර්තාවෙන් තවදුරටත් අවධාරණය කරන ලදී.

“තිරසාර සංවර්ධනය” යනු අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ හැකියාව අනතුරට පත් නොවන පරිදි අද්‍යතන අවශ්‍යතා සපුරා ගන්නා සංවර්ධනය යැයි උක්ත වාර්තාවෙන් අර්ථ නිරූපණය කර ඇත.සැබවින්ම 21 වන සිය වස ආර්ථික සංවර්ධනයේදී "ආසියානු සිය වස" ලෙස හැදින්වූවත් ගෝලීය පාරිසරික සුරක්ෂණයේ දී හදුන්වනුයේ "තිරසර බවෙහි සියවස" වශයෙනි.
උක්ත සංකල්පයේ ප්‍රධාන කරුණු 02 කී ,
01.) අවශ්‍යතා සංකල්පය:- විශේෂයෙන්ම, අධිගාමික ප්‍රමුඛත්වයක් හිමිවිය යුතු ගෝලයේ අඩු අදායම් ලාභීන්ගේ අත්‍යවශ්‍යතා පිළිබද අවධානය ප්‍රධානව ස්වකිය ජිවනෝපාය හේතුවෙන් ක්‍රමයෙන් තුනී වන පරිසරයක ඇති කුඩා ග්‍රාමීය සමාජයේ සිට අපරාධ සහ දරිද්‍රතාවය විසින් ජීවන ගුණය හායනයට ලක් වී ඇති නාගරික ප්‍රදේශ දක්වා වූ අති විශාල පරාසය සිසාරා වූ සමස්ත ප්‍රජාවන් සම්බන්ධයෙන් ම තිරසාර බව ක්‍රියාත්මක විය යුතු බව හා ඊට අදාල තිරසර විසදුම්.

02.) අද්‍යතන හා අනාගත අවශ්‍යතාවයන් සපුරාලීමට ස්වභාවික පරිසරයට ඇති හැකියාව කෙරෙහි උචිත තාක්‍ෂණික හා සමාජීය දායකත්වය ප්‍රධානව පාරිසරික සුරක්ෂණයත්,සමාජීය සමානාත්මතාවත් යන කාරණා දෙකම අනාගත පරපුරට එකවර දායාද කළ හැකි භෞතික යටිතල ව්‍යුහයන් සහ අනෙකුත් අවශ්‍යතා ඉහළ නැංවීම නොහොත් සංවර්ධනය.

තිරසාර සංවර්ධන සංකල්පයේ දී පරිසරය හා ආර්ථික ක්‍රියාවලිය අතර ඇති ඒකාග්‍රතාව (Integrity) හා සමාජීය සමානාත්මතාව (Social equity) මෙන්ම ආර්ථික ක්‍රියාන්විතය අනාගතයට විස්තීරණ කිරීම (Futurity) කෙරෙහි ද තීව්‍ර අවධානය යොමු වී ඇත.

සමස්ත වැදගත් භාවිකතනයන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ "ස්ටොක්හෝම්" සම්මේලනයට දශක 02 කට පසුව පරිසරය හා සංවර්ධනය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මේලනය 1992 ජුනි මාසයේදී "රියෝ ද ජැනෙයිරෝ" නුවර දී රැස්වීමය. (UNCED.www.eoearth.org/view/article/156773/) 1972 දී "ස්ටොක්හෝම්" සම්මේලනයට පෙර වුවද ,දේශීය දේශසීමා අභිභවා ක්‍රියාත්මක වූ පාරිසරික ආරක්ෂණ ගෝලීය නෛතික විධිවිධාන තිබිණි. එක්සත් ජාතීන්ගේ 21 වන සහ 22 වන මුලධර්මයන් විශේෂයෙන්ම අද්‍යතන ගෝලීය පරිසර නීති පද්ධතියේ අත්තිවාරමයි. 

(https;//en.wikipedia.org…/List_of_United Nations Security Council Re..) “ඒ ඒ රටවල අධිකරණ බලය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හේතුවෙන් වෙනත් රාජ්‍යයන්ගේ හෝ ජාත්‍යන්තර අධිකරණ පාත්‍රතාවෙන් පිටත පරිසරයට හානියක් නොවීමට සහතික වීම” සියලුම රාජ්‍යන්ගේ වගකීම බව 21 වන මුලධර්මය මගින් නියම කර ඇත.

එසේ වුවද,එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා ජාත්‍යන්තර නීතියේ මුලධර්මයන්ට අනුකුලව, “ඒ ඒ රටවල පාරිසරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් තම තමන්ගේ සම්පත් යොදා ගැනීමට රාජ්‍යයන්ට ඇති ස්වාධිපත්‍යයම හිමිකම”ද උක්ත මුලධර්මය මගින් අනුමත කර ඇත. 22 වන මුලධර්මය මගින් 21 වන මුලධර්මයට ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් ලබාදීම සදහා වඩාත් නිශ්චිත අයිතිවාසිකම් සහ යුතුකම් නියම කර ඇත. (Principle 21,Stockholm Declaration.op.cit.at 5.) -www.unep.org/documents.multilingual/default.asp- 

ගෝලීය පරිසර නීතිය ස්ථාපිත වී ඇත්තේ සන්ධාන හා වෙනත් ජගත් පත්‍රිකා අනුවය. සත්තාවී ක්ෂේත්‍රයන් පිළිබදව අවධානය යොමු කිරීමේදී ස්ටොක්හෝම් සමුළුවෙන් පසුව ගෝලීය පරිසර නීතියේ වර්ධනය දෙයාකාරය .පළමු අවස්ථාවේදී එකසත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය (UNEP) හා මානව පරිසරය පිළිබද ක්‍රියාකාරි සැලැස්ම ඉදිරිපත් කරන ලදී. දෙවනුව කාර්මික ක්‍රියාවලියෙන් හා දරිද්‍රතාවය හේතුවෙන් ද ඇතිවෙන ජල දුෂණය ,වායු දුෂණය සහ පස දුෂණය පිළිබද නීතිමය ලේඛන ඉදිරිපත් කරන ලදී .

1958 අප්‍රියෙල් 29 වැනිදා සාගර නීතිය පිළිබද පළමු රැස්වීමෙන් අනතුරුව ක්‍රමිකව හා කඩිනම්ව උක්ත ක්ෂේත්‍රය විකාශය නොවුවත් සමුද්‍රික පරිසර සංරක්ෂණය පිලිබදව 1984 දී සාගර නීති ප්‍රඥප්තිය හදුනවා දෙන ලදී. (On 29 April 1958, as recorded in the Final Act (A/CONF.13/L.58, 1958, UNCLOS, Off. Rec. vol. 2, 146 ) , උක්ත ප්‍රඥප්තියට අනුව පොදු මුලධර්මයන් හා වෙරළ ආශ්‍රිත රාජ්‍යයන් හා ධජ රාජ්‍යන් අතර නීති සම්පාදනය සහ බලතල සහ නිතී බලාත්මක කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබද විධිවිධානයන් නියම කර ඇත. (http://en.wikipedia.org/wiki/flag-stat )

තෙල් ගැලීම මගින් සාගරයන් දුෂණයට ලක් වීම සමබන්ධයෙන් නැව් තෙල් මාර්ගයෙන් සාගරය දුෂණය වීම වැළැක්වීමේ 1954 ජාත්‍යන්තර ප්‍රඥප්තිය - (sedac.ciesin.org/entri/texts/pollution.of sea.by.oil 1954.html ) හා තෙල් දුෂණ අලාභහානි පිළිබද සිවිල් ආධිනතාව පිළිබද 1969 ජාත්‍යන්තර ප්‍රඥප්තිය ,මහා සාගරයන්හි තෙල් දුෂණ අලාභහානි වෙනුවෙන් වන්දි ගෙවීම සදහා ජගත් අරමුදලක් පිහිටුවීමේ 1971 ජගත් ප්‍රඥප්තිය ඇතුළු මහා පරිමාණ තෙල් දුෂණ විනාශයන් හේතුවෙන් මුහුණ දුන් තීව්‍ර අනතුරුවල අත්දැකීම් හේතුවෙන් තෙල් දුෂණය පිළිබද අවධානයෙන් සිටීම හා ප්‍රතිචාරය මෙන්ම සහයෝගය පිළිබද ප්‍රඥප්තියක් ද1990 දී ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානය (International Maritime Organization IMO) විසින් සම්මත කර ගන්නා ලදී .

1972, සමුද්‍රික දුෂණය වැළැක්වීමේ පණති න් අපද්‍රව්‍යන්ගෙන් සාගරය දුෂණයට ලක්වීම වැළැක්වීමේ නීති ඛණ්ඩයත්, නෞකා මාර්ගයෙන් සිදුවන දුෂණය වැළැක්වීමේ 1973 ජාත්‍යන්තර සම්මුතියත්, (https://en.wikipedia.org/wiki/oil pollution Act of 1973 ) ක්‍රියාත්මක වන අතරම ප්‍රාදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේදී උතුරු අත්ලාන්තික් සාගරය හා උතුරු මුහුද ආරක්ෂා කිරීම සදහාද සන්ධාන ඇත. එයින් සමහරක් වනුයේ නෞකා හා ගුවන් යානාවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මගින් සිදු වන සාමුද්‍රික දුෂණය වැළැක්වීමේ 1972 සම්මුතිය හා 1974 ගොඩබිම් කාරකයන් හේතුවෙන් සිදුවන සමුද්‍රික දුෂණය වැළැක්වීමේ සම්මුතිය ඇතුළු ඊසාන දිග අත්ලාන්තික් සාමුද්‍රික පරිසරය ආරක්ෂා කිරීමේ සම්මුතියට අමතරව සෑම ආකාරයකම දුෂණය වැළැක්වීම සදහා වෙනත් සර්වව්‍යාපී සන්ධානයන්ද ක්‍රියාත්මකව ඇත. (sedac.ciesin.org/…/marine.pollution.dumping.ships.aircraft.….)

ඊට නිදසුන් වශයෙන් මධ්‍යධරණී මුහුද දුෂණයෙන් ආරක්ෂා කිරීමේ 1976 සම්මුතිය. (Mediterranean pollution Conventions EPIL 9 ( 1986 ),264-6 ) 1978) කුවේට් ප්‍රාදේශීය සම්මුතිය හා සමුද්‍රික ජෛව සම්පත් ආරක්ෂා කිරීමේ සම්මුතිය ද දැක්විය හැක. (Convention on fishing and conservation of living resources of the high seas http://treaties.un.org/Pages/ViewDetails.aspx?src=TREATY.) උක්ත සම්මුතියේ බලාත්මක කාර්යපටිපාටිය ඒ ඒ රජ්‍යයන් වෙත සැතපුම් 200 අනන්‍ය ආර්ථික කලාප හදුන්වා දීමෙන් පසුව දුර්වල වී ඇති බව සදහන් කළ යුතුය . 1992.හෙල්සින්කි ජල සම්මුතිය යනු ගංගා හා විල් ද ,ජාතික දේශසීමා අභිබවන ජලමාර්ග හා ගෝලීය විල් ආරක්ෂා කරලීමේ නෛතික ක්‍රියාපටිපාටියයි - (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes (ECE Water Convention), Helsinki,).

මෙවැනි පත්‍රිකා රාශියක් ඇති අතර ඒ අතරින් යුරෝපයට පමණක් බල පැවැත්වෙන සන්ධාන කිහිපයක් වනුයේ 1960 කොන්ස්ටන්ස් විල දුෂණයෙන් ආරක්ෂා කිරීමේ සම්මුතිය .1961 මොසෙල් ගංගාව ) Moselle River) දුෂණයෙන් ආරක්ෂා කරගැනිම සදහා කොමිසමක් පිහිටුවීමේ පළමු ප්‍රධාන පත්‍රිකාව ද ILM 34 (1995),851 හි බලාත්මක මියුස් (Meuse ) සහ (Scheldt ) ෂෙල්ට් ගංගාවන් පිළිබද බෙල්ජියම ,ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ගිවිසුම ඉන් ප්‍රධානය .

උක්ත ගෝලීය ප්‍රයත්නයේදී, රයින් ගංගාව (Rhine River) දුෂණයෙන් ආරක්ෂා කරගැනීමේ 1963 ජගත් කොමිසම හා රයින් ගංගාව රසායනික දුෂණයෙන් ආරක්ෂා කිරීම පිළිබද 1976 සම්මුතිය හා රයින් ගංගාව ක්ලෝරයිඩ් දුෂණයෙන් ආරක්ෂා කිරීමේ සම්මුතිය සහ 1987 රයින් නදී ක්‍රියාකාරීත්ව ව්‍යාපෘතිය ද ඉතා තීරණාත්මක නෛතික බල ගැන්වීමකි . (iea.uoregon.edu/.../view_treaty.php….)

ආසියාවේ නිදසුනක් වනුයේ, මිකොන් (Mekong ) ගංගාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කාම්බෝජය, ලාඕසය,තායිලන්තය හා වියට්නාමය අතර සහයෝගිතා ගිවිසුමයි. උක්ත ගිවිසුම ඉතා වැදගත් සහයෝගිතා ගිවිසුමකි. ( ILM 34 (1995), 864 . Cambodia-laos-thailand-vietnam:agreement on the ..Jstor..www.jstor.org/stable/20698467…)

උක්ත ක්ෂේත්‍රයේ ගෝලීය නෛතික ක්‍රියාපටිපාටිය හා බලගැන්වීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර එහි මුලික පියවර ජාත්‍යන්තර ජල මාර්ගින්ගේ යාත්‍රණ නොවන ප්‍රයෝජන පිළිබද නීතිය සම්බන්ධයෙන් වගන්ති කෙටුම්පත් ඉදිරිපත් කිරීමය. (United Nations Convention on law of the sea (UNCLOS) www.eoearth.org/view/article/156775/)

වායු දුෂණයට අදාලව තවමත් ඇත්තේ බහුපාර්ශවීක එක් ගිවිසුමක් පමණය .එනම් ,දිග දුර අධිදේශසිමා වායුදුෂණය පිළිබද 1979 ජිනීවා සම්මුතියයි .( Convention on Long-range Transboundary Air pollution www.unce.org/env/lrtap_h1.html ) යුරෝපයේ සමස්ත රාජ්‍යයන්ද එක්සත් ජනපදය හා කැනඩාව උක්ත සම්මුතියේ පාර්ශවයෝ ය (EMEP) . උක්ත සම්මුතිය 1984 ,1985 1988 ,1991 ,1994 යන මුලපත්‍රයන් මගින් සංශෝධනය කර ඇත.

උක්ත 1979 ජිනීවා සම්මුතියට පසුව අත්සන් තබන ලද ගිවිසුම් පිළිබද අධ්‍යනයට iea.uregon.edu/ වෙබ් අඩවියට සහ www.ijc.org/rel/agree/air.html වෙබ් පිටුව සහ https://en.wikipedia.org/…/List_of_international_environmen… agreements පිවිසීමෙන් පළල් දැනුමක් උපයා ගැනීමට හැකි වනු ඇත .

1992 දී සංවර්ධනය හා පරිසරය පිළිබදව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගෝලීය ගිවිසුම් ගණනාවක් ක්‍රියාත්මක ඉතා වැදගත් තවත් ක්ෂේත්‍රයක් වනුයේ ස්වභාවධර්මය ආරක්ෂා කිරීම හා ජෛව වර්ගයන් සංරක්ෂණයයි. ශ්‍රී ලංකාව වැනි අතිශයින්ම කුඩා රටවල් ඇතුළු සමස්ත ගෝලීය රාජ්‍යයන් ඒකරාශී කළ උක්ත සමුළුවේ සම්මුතීන් කිහිපයක් අනුමැත වූ අතර “ජෛව විවිධත්ව ගිවිසුම” එහිලා තීව්‍ර වැදගත් කමක් ඇති සම්මුතියකි .ගෝලීයව ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ඉතා ඉහළ පංගුවකට උරුම කම් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට ජෛව විවිධත්වය සුරැකීම සදහා වූ මෙම ප්‍රකාශනයේ වගන්තිවල ඇති නෛතික වැදගත්කම කියා නිම කළ නොහැකිය .

ශ්‍රී ලංකාව “ජෛව විවිධත්ව දැවෙන කේන්ද්‍රයක්” (Biodiversity Hotspot-Western Ghats & Sri Lanka) ලෙස 1988 සිටම නම් කර ඇත. එසේ නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශීය හා දේශීය සනාල ශාක නොහොත් බීජ,ශාක,හා පර්නාංග ඇතුලත් ශාක පංති - (Endemic Vascular Plants) – 1500 කින් සමන් විත ව තිබු මුත් එම මුල් වාසභුමියේ පැවති සත්ත්ව හා ශාක විශේෂ සංඛ්‍යාවෙන් 70 % ක් 1988 ට වන විටදීත් වදවී ඇති හෙයිනි . (Agenda 21- Conservation of Biologica DiversUnited…www.unep.org?Documents/Defaul t.asp?DocumeniD=52&ArticleiD .

ජෛව විද්‍යාත්මක විවිධත්වය අනුව (Biological diversity-Gene-species-systems) විශේෂයෙන්ම දිය කුකුලන්ගේ පරිසරය ඇතුළු ගෝලීය වැදගත් කමක් ඇති තෙත්බිම් පිළිබද 1971 සම්මුතිය හා , Convention on Wetlands of International Importance, especially as Wate(Ramsar Conventionrfowl Habitat, Ramsar, 1971.) ජගත් සංස්කෘතික ස්වභාවික දායාදයන් ආරක්ෂා කිරීම පිළිබද 1972 සම්මුතින් ද ඉතා වැදගත්ය. (World Heritage Convention ,Convention Concerning the Protection of the World Cultural and Natural Heritage, Paris, 1972.)

අනතුරට භාජනය වී සිටින වන ජීවී හා වන ශාක විශේෂයන් පිළිබද ජාත්‍යන්තර වෙළෙදාම් පාලනය කිරීමේ 1973 සම්මුතිය - (www.britannica.com/…/Convention-on-International-Trade-in-E… Species of wild Fauna Flora) - සංක්‍රමණය වන සත්ත්ව වර්ගයන් සංරක්ෂණය කිරීම පිළිබද 1979 සම්මුතිය හා 1979 යුරෝපිය වන ජීවින් හා ස්වභාවික පරිසර භුමි සංරක්ෂණය කිරීම පිළිබද සම්මුතිය ද තල් මසුන් දඩයම් කිරීම පිළිබද ව දැක්වෙන අවධානය හේතුවෙන් ගෝලීය ගිවිසුම් කිහිපයක් ම ද උක්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සම්මුති ගත වී ඇත .

ඊට අමතරව තව දුරටත් අනතුරුදායක අපද්‍රව්‍යන් ප්‍රවාහනය හා ඉවත් කිරීම පාලනය කරන 1989 බැසල් සම්මුතිය ( Basel Convention ) හා අනතුරුදායක අපද්‍රව්‍යයන් අප්‍රිකාවට ආනයනය කිරීම තහනම් කරන හා ඒවා අප්‍රිකාව තුළ කලමනාකරණය පිළිබද අප්‍රිකානු සමගි සංවිධානයේ 1991 බමාකෝ සම්මුතිය ඉන් සමහරෙකි . (www.unep.org/delc/BamakoConvention )

සාමකාමී ජන සුභ සිද්ධීය සදහා ප්‍රයෝජනයට න්‍යෂ්ටික බලය යොදා ගැනීමේදී ඇතිවන වගකීම් ද ගිවිසුම් කිහිපයකට හේතු වී ඇත. උක්ත ගිවිසුම් මගින් ක්‍රියාකරවන්නන් ගේ සිවිල් වගකීම පිළිබද නීති පමණක් වන අතර රාජ්‍යම ය වගකීම් පිළිබද ව නීති පනවා නොමැත .ඊට අදාලව 1960 සහ 1963 සම්මුතීන් මෙන්ම න්‍යෂ්ටික අලාභහානි පිළිබද සිවිල් වගකීම 1963 වියනා සම්මුතිය හා න්‍යෂ්ටික ද්‍රව්‍ය සමුද්‍රික ප්‍රවාහනය පිළිබද සිවිල් වගකීම් පිළිබද 1971 සම්මුතිය ප්‍රධානය .

උක්ත සියලු ගිවිසුම්,චෙර්නොබිල් ( Cher nobyl ) ව්‍යසනයෙන් උද්ගත වූ ප්‍රශ්න සහ අර්බුද හමුවේ අසාර්ථක වූ හෙයින් ,ඒ සම්බන්ධයෙන් නව නීති ඇති කර ගන්නා ලදී .( UN Chronicle 33 (1996 ),78 .9 ) . උක්ත සියලු ගිවිසුම් හා සම්මුතීන් අතරේ විශේෂ සම්මුතියක් වනුයේ ,පරිසරය ප්‍රතිසංස්කරණය කිරීමේ තාක්ෂණ ක්‍රමයන් යුද්ධමය හෝ වෙනත් අහිතකර පරමාර්ථයන් සදහා යොදා ගැනීම තහනම් කර ඇති සම්මුතියයි .
(Convention on the Prohibition of Military or Any Other Hostile Use of Environmental Modification Techniques1977 , www.un-documents.net/enmod.htm)

දෙවන ගල්ෆ් යුද්ධයෙදී ,පරිසරය අගතිකාරී ලෙස ප්‍රයෝජනයට ගනිමින් එය යුධ උපක්‍රමයක් ලෙසට යොදාගන්නා - (තෙල් ආකාර වලට ගිනි තැබීම ,අරාබි බොක්ක තෙල් දුෂණයට භාජනය කිරීම ) - බවට ඉරාකයට එරෙහිව චෝදනා එල්ල විය.උක්ත චෝදනා විමසුමට ලක් කොට සිදු වී ඇති අලාභහානි වෙනුවෙන් වන්දි ඉල්ලීම් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම මගින් සලකා බලනු ලැබිණි.සන්නද්ධ අරගලයකදී ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති රීති පිළිබද වැඩි උනන්දුවක් උක්ත ක්‍රියාවලිය හේතුවෙන්උද්ගත විය. (https://weblearn.ox.ac.uk/...USNWC Blue _Book _vol_69_1996_chxl..)

සන්නද්ධ ගැටුම්වලදී පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1992 දී සම්මත කරන ලද අභියෝජනාවක් මෙසේ වේ. යුද්ධමය අවශ්‍යතාව අනුව සාධාරණ නොවන හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කෙරෙන පාරිසරික විනාශය අද්‍යතන ගෝලීය නීතියට පටහැනි බව පැහැදිලිය යනුවෙනි . (UNGA Res 47/37 of 25 November 1992 )

ඕසෝන් ස්ථරය සංරක්ෂණය වැනි නව්‍ය අවශ්‍යතා වෙනුවෙන්ද සම්මුතීන් ඇත . කේලාරෝෆියුරෝ කාබන් (CFCs,Chlorofluorocarbon) පිට කිරීම හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශයට ලක් වෙමින් ඇති බව අවබෝධ වීම හේතුවෙන් 1985 මාර්තු 22වන දින ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම පිළිබද වියනා සම්මුතිය ඇති කරගන්නා ලදී . (The Vienna Convention for the protection of the Ozone Layer – ozone.unep.org/en/treaties…/Vienna-convention-protection-ozone-layer )111 ඕසෝන් ස්තරය පිළිබද වූ ගිවිසුම් පිළිබදව වැඩිමනත් අධ්‍යනයට පිවිසෙන්න .https://www.epa.gov/…/international-treaties-and-cooperation .

හරිතාගාර හේතුවෙන් පෘතුවිය උණුසුම් වීම ,සිසිල් වීම ,අදුරුවිම ආදී දේශගුණික විපර්යාසයන් පිළිබදව ද සම්මුතීන් ඇත. ජෛව විවිවිධත්වය සංරක්ෂණය හා අප්‍රිකානු මහද්වීපය ට බලපා ඇති වන විනාශය හා කාන්තාර ව්‍යාප්තවීමේ අර්බුදය ඇන්ටාක්ටිකාව පිළිබද සම්මුතියට පරිසර සංරක්ෂණ මුල පත්‍රයක් මගින් ඇතුලත් කරන ලදී . ඉන් අමතරව වෙළෙදාම හා පොදු තීරුබදු පිළිබද පොදු එකගතාවයේ (Gatt) හා ලෝක වෙළෙද සංවිධානයේ (WTO ) ප්‍රමන්තරණයන් හමුවේ පරිසර ආරක්ෂාව හා ගෝලීය වෙළෙදාම් පාලනයට ද අවධානය යොමු වී ඇත. (WTO Committee on Trade and the Environment –Toward Environment Reform AJIL 89 (1995), 423-39 ).

ගෝලීය නෛතික සංවර්ධනයේ සම්භාව්‍යය මාර්ග වන ගිවිසුම් හැරුණ විට “මෘදු නීති” පත්‍රකයන් ද ඇත .උක්ත පත්‍රක 1972 ස්ටොක්හෝම් ප්‍රකාශනය සේ , ප්‍රකාශනයක,අභියෝජනාවක මග පෙන්වීම හෝ නිර්දේශවල හැඩය ගනී .111එම මෘදු නීති පත්‍රිකා අනුගම්‍ය නොවුවත් ,දේශපාලනමය ක්‍රියාකාරිත්වයකට මගපෙන්වීමක් වශයෙන් හෝ පසු කලෙක ඇති විය හැකි ගිවිසුමක් හෝ චාරිත්‍රමය ජගත් නීතියක් වශයෙන් හෝ ,අනුගම්‍ය ජාත්‍යන්තර පාරිසරික නීති හෝ මුලධර්මයන්ගේ ආරම්භක අවස්ථාවක් ලෙස විශාල දේශපාලන මය හා නෛතික වැදගත්කමකින් යුක්තය .

අනෙක් අතට “විශේෂයෙන්ම පාරිසරික ගිවිසුම් වල ස්වරුපය නොගන්නා නමුත් ,ක්‍රියාත්මක වශයෙන් පාරිසරික ප්‍රමිතීන් නියම කිරීම වඩවඩාත් අවශ්‍ය වන වැදගත් විධිබද්ධ රෙගුලාසි ඇතුළත් ගිවිසුම් ද ඇත. ( International Law on the Agenda of the United Nations Conference on Environmental Security ) ඊටත් අමතරව ගුවන් යානා යන්ත්‍ර හා මෝටර් වාහන යන්ත්‍ර සම්බන්ධයෙන් ශබ්ද සීමාවන් හා වායු දුෂණ සීමාවන් නියම කරන නීතිරීති ද මිට නිදසුන්ය .

ජාත්‍යන්තර නීතියක් මාර්ගයෙන් හෝ ජාත්‍යන්තර සංවිධානයන් මාර්ගයෙන් හෝ පරිසරය හෝ “ජෛව ගෝලය” සමස්තයක් වශයෙන් ආරක්ෂා කරන සර්වව්‍යාපී නෛතික උපකරණයක් නොමැත . “පාරිසරික ආරක්ෂාව” නැමති සංකල්පය තව දුරටත් සංගත සර්වව්‍යාපී ප්‍රමිතිකරණයට ඇතුල් කළ යුතුය . මක් නිසාද යත් සම්මුති සම්පාදන ක්‍රියාව වසර දෙකේ සිට පහ දක්වා කල් ගත වීමත් එම හේතුවෙන් සමහර සම්මුතීන් යල් පැනීමට ලක් වී ඇති බව දක්නට තිබීමය.

එක් උදාහරණයක් වනුයේ ක්ලොරෝෆියුරෝ කාබන් පිට කිරීම අඩුකිරීම සදහා මොන්ට්‍රියල් මුලපත්‍රය මගින් 1987 දී නියම කළ සීමාව උක්ත මුලපත්‍රිකාව බලාත්මක දිනය වන විටම යල් පැන තිබීමය. (https://en.wikipedia.org/wiki/Montreal Protocol) උක්ත මොන්ට්‍රියල් ගිවිසුමේ අඩංගු නොවූ ක්ෂණික ක්‍රියාමාර්ගයක් තුලින් ,එනම් ඕසෝන් ස්ථරය ආරක්ෂාකිරීම පිළිබද 1989 මැයි හෙල්සිංකි ප්‍රකාශනය මාර්ගයෙන් ,එම සීමාවන් සංශෝධනය කරන ලදී..(https://en.wikipedia.org/wiki/Declaration of Helsinki) .

අභ්‍යවකාශ නීති ක්ෂේත්‍රය පිලිබදව 1900 -1914 අතර කාලය නීති විශාරදයන් ගේ නෛතික ස්ථිත්‍යය පිළිබද විවිධ සිද්ධාන්ත ඉදිරිපත් කල වකවානුවකි .දෙවන ලෝක යුද්ධයයෙන් පසු ව ජාත්‍යන්තර ආර්ථික නීති පිළිබදවද නෛතික ස්ථිත්‍යය පිළිබද විවිධ සිද්ධාන්ත සාකච්ඡාවට හේතු වූ අතර ඒ අයුරින්ම පරිසර ය ආශ්‍රිත චාරිත්‍රමය ජාත්‍යන්තර නීතියද අද්‍යතනවද සාකච්ඡා අවධියේ දී තව දුරටත් පසු බැසීම කනගාටුවට කරුණකි .

පරිසරය ආශ්‍රිත චාරිත්‍රමය ජාත්‍යන්තර නීතිය සම්ප්‍රදායි නඩු කිහිපයක් පමණක් මත රදා පවතී . එම නඩු අතරින් වඩාත් වැදගත් වන්නේ 1926 දී ආරම්භ වී 1941 දී අවසන් වූ කැනඩාව හා එක්සත් ජනපදය අතර පැවති “ට්‍රේල් සේමල්ටර්” සමථ කරණ නඩුවයි .( legal.un.org/riaa/cases/vol..lll/1905-1982.pdf ) අන් රාජ්‍යයක පරිසරයට බරපතල භෞතික හානියක් සිදුකරන ආකාරයට තම දේශභුමිය යොදාගැනීමට කිසිදු රාජ්‍යයක් දැන දැනම ඉඩදිය නොයුතුය යන මුලික නෛතික ප්‍රමේයය සම්බන්ධයෙන් උක්ත නඩු තීන්දුව වෙත අවධානය යොමු වේ .

ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර ලැනු විල පිළිබද නඩුව ( Lake Lanoux Arbitration www.ecolex.org/ecolex/ledge/view/RecordDetails… )හා කැනඩාව සහ එක්සත් රාජධානිය අතර ගුට් වේල්ල නඩුව (The Gut Dam Arbitration ) ඇතුළු නඩු කිහිපයකම විනිශ්චයන් මගින් උක්ත නිගමනය සනාථ වී ඇත .

පරිසරය යනු සංකල්පයක් පමණක් නොවන බවත් ,ජෛව අවකාශය ,ජිවිතයේ ගුණාත්මකභාවය මෙන්ම , නුපන් පරම්පරාවන්ගේද ඇතුළුව, සමස්ත මානව සංහතියේම සෞඛ්‍ය ඊට අයත් බවත් ,තම තමන්ගේ අධිකරණ බලය හා පාලන බලය යටතේ සිදුකෙරෙන ක්‍රියාකාරිත්වයන්, වෙනත් රාජ්‍යන්ගේ හෝ ජාතික පාලනයෙන් ඔබ්බෙහි පවත්නා පරිසරය වෙත සැලකිල්ල දක්වන බවට සහතික කර ගැනීමේ පොදු ණය යුක්තියක් රාජ්‍යයන් වෙත තිබෙන බව පිළිගැනීම පරිසරය ආශ්‍රිත වර්තමාන ජාත්‍යනතර නීති වාපුෂයයේ කොටසක් බව ජාත්‍යන්තර අධිකරණය පිළිගෙන ඇත .

ජාතික දේශසීමාවන්ට එපිට සිදු කෙරෙන අලාභ හානි පිළිබදව සළකා පොදු සංකල්පයන් හා මුලධර්මයන් ද ඇත . ඉන් සමහරක් වනුයේ ,වෙනත් අයකුට හානියක් සිදුනොවන සේ තමන්ට අයත් දේ පාවිච්චි කරන්න (sic utere tuo ut alienum non laedas ) යන මුලධර්මය “ “අයිතිවාසිකම් අප යෙදුම” පිළිබද සංකල්පය ,දේශභුමිය ඒකාග්‍රතාවය පිළිබද මුලධර්මය හා හා සුහද “අසල්වැසිභාවය” පිළිබද මුලධර්මය ( bon voisinage) යනාදියයි .

1972 ආරම්භයේ සිට විවිධ නිල සංවිධාන මෙන්ම ,නිල නොවන සංවිධාන ද ,ගෝලීය පරිසර නීති සංග්‍රහගත කිරීමේ හා ක්‍රමානුකුලව වර්ධනය කිරීමේ නියුක්තව ඇත .උක්ත සංවිධාන කිහිපයක් වනුයේ අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ආයතනය (Institut de Droit International = Institute of International Law ), ජාත්‍යන්තර නීති සංගමය ,එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසම ,එකසත් ජාතීන්ගේ පරිසර වැඩසටහන(UNEP) සහ ස්වභාවධර්මය සංරක්ෂණ ජාත්‍යන්තර සංගමය ප්‍රමුඛස්ථානයක් උපායගෙන ඇත . ජාත්‍යන්තර නීති සංගමය විසින් 1982 දී ජාතික දේශසීමාවන්ට එපිට සිදුකෙරෙන සාමාන්‍ය දුෂණය පිළිබද අභියෝජනා සම්මත කිරීමේ කාර්යය හි යෙදෙන අතරම පරිසර ප්‍රශ්න ආශ්‍රිත නීති විවිධ ශීර්ෂයන් යටතේ සංග්‍රහගත කිරීමේ කාර්යයේ නියුතුව ඇත .

උක්ත ශීර්ෂයන් කිහිපයක් වනුයේ, සාමයට සහ මානව සංහතියට එරෙහිව කෙරෙන අපරාධ පිළිබද නීති කෙටුම්පත්,ජාත්‍යන්තර ජල මාර්ගයන්ගේ යාත්‍රණ නොවන ප්‍රයෝජනයන් පිළිබද වගන්ති ,ගෝලීය නීතිය මගින් තහනම් කර නොමැති ක්‍රියාවන් තුලින් සිදුවන හානිකර ප්‍රතිපල පිළිබද ජාත්‍යන්තර වගකීම් පිළිබද වගන්ති සහ ජාත්‍යන්තර වශයෙන් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය වගකීම පිළිබද වගන්ති කෙටුම්පත් කිරීම යන ආදියයි.

“ජාත්‍යන්තර නිතිය අනුව තහනම් නොවන ක්‍රියාවලින් ඇතිවන හානිකර ප්‍රතිපල සදහා ආධිනතාව” සංග්‍රහගත කිරීමේ උත්සාහයක්ද අද්‍යතන ව ක්‍රියාත්මකය. එකසත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති දශකයේ ක්‍රියාවලියට ගෝලීය පරිසර නීතියේ අනාගත වර්ධනය ද මහා මණ්ඩලය විසින් ඇතුලත් කර තිබීම ඉතා වැදගත්ය .

එකසත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ කාර්යයන් සංවර්ධනය පිළිබද 1981 මොන්ටෙවිඩේයෝ ව්‍යාපෘතිය හා පරිසර නිතිය පිළිබද කාලීන විචාරණය වැදගත් අවශ්‍යතාවයක් වනුයේ ජනගහන වර්ධනයත් පාරිසරික සම්පත් ක්ෂය වීමත් එකම වේගයකින් සිදුවන හෙයිණි . (www.unep.org >OzonAction>Montevideo Programme ) නීතිමය අවශ්‍යතාවන් වෙනුවෙන් “තිරසාර සංවර්ධනය ” යන සංකල්පය විධිමත් ලෙස ප්‍රකාශය ට පත් කිරීමෙන් සම්මේලනය ගෝලීය පරිසර නීතියේ වර්ධනයට ඓතිහාසික අවස්ථාවක් මානව සංහතියට දායාදය කළ බව පොදු පිළිගැනීමයි .

21 වන සියවසේදී වඩා අවධානය යොමුවී ඇති දේශගුණික විපර්යාස පිළිබද සම්මුති අධිකාරිය එ:ජා: මහා මණ්ඩලය විසින් පිහිටුවන ලද ස්වාධින මණ්ඩලයක් වන අන්තර් රාජ්‍ය ප්‍රමන්ත්‍රණ කමිටුව විසින් නිර්මිතය . ගෝලීයව රාජ්‍යයන් 154 ක් හා යුරෝපා ප්‍රජාව විසින් අත්සන් තබන ලද උක්ත සම්මුතියේ අපරානුමතින් 50 ක් ඇතිව 1994,මාර්තු 21 වැනි දා සිට බලාත්මක විය . (The Role of Risk Analysis in the 1992 framework Convention on climate Change)

උක්ත සම්මුතියේ පොදු අරමුණ නම් ,කාබන්ඩයොක්සයිඩ් පමණක් නොව සමස්ථ හරිතාගාර වායු වර්ග වායුගෝලයේ සංකේන්ද්‍රීය වීම නියාමනයට ඇතුලත් කර ගැනීමයි .ජාතික හරිතාගාර ලේඛන හා මුදාහැරීම් සිමා කරන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කෙරෙහි බලපෑම් නිරීක්‍ෂණය හා පාලනයට අවශය ක්‍රියාපටිපාටියන් සම්මුතිගත කර ඇත . ( National green house inventories ageis.climatechange.gov.au ) උක්ත ක්‍රියාන්විතය සදහා අවශ්‍ය වන වියදම් දැරීමට සම්මුතිය විසින් තාවකාලිකව පිහිටුවාගත් මුල්‍යමය විධිවිධානය වන ගෝලීය පරිසර අරමුදල සදහා රටවල් 168 කට වැඩි පමණක් අත්සන් තබා ඇත. (https://en.wikipedia.org/wiki/Global_Environment_Facility )1993 දෙසැම්බර් 29 සිට බලාත්මක වූ උක්ත සම්මුතිය ජිව විද්‍යාත්මක විවිධත්වය සංස්කරණය කරමින් එය තිරසර ලෙස පරිහරණය කිරීමටත් ,එය පරිහරණය කිරීමෙන් අත්වන් ලාභ ප්‍රයෝජන සාධාරණ ලෙස බෙදාගැනීමටත්,ජෛව තාක්ෂණය පාලනය කිරීමත් අරමුණ වී ඇත. උක්ත සම්මුතිය යටතේ විවිධ කරුණු අනුව ක්‍රියාත්මක වන අංශ 30 කට වඩා ඇත . (https://en.wikipedia.org/…/Convention_on_Biological_Diversi… )

ඊටත් අමතරව තව දුරටත් පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් අනුගම්‍ය නොවන කාර්ය සැලැස්මක් වන 21 වන න්‍යාය පත්‍රය ආංශික ගැටළු මෙන්ම අන්තර් ආංශික කරුණුද අඩංගු පරිච්ඡේදයන් 40 ක් ඇත .ඊට වායුගෝලය ,සාගර ,මිරිදිය ජලාශ, හා භුමි සම්පත් ඇතුලත්ය .අන්තර ආංශික විෂයන් යටතේ දරිද්‍රතාවය,ජනගහන වර්ධනය ,මානව සෞඛ්‍ය ,මුල්‍ය පහසුකම් හා තාක්ෂණ ක්‍රම පැවරීම වැනි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විධි ඇතුලත් ආයතනික ගැටළු සහ නෛතික අවශතාවයන් හා කාන්තා පක්ෂය ,ළමා පරපුර ,ස්වදේශික ජනවර්ග ,හා රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහිද අවධානය යොමු වී ඇත .

ගෝලීය නෛතික පත්‍රකයන් සම්බන්ධයෙන් 21 වන න්‍යාය පත්‍රය සිව් වැදෑරුම් ය . (01) අදාල ගෝලීය නීතිය විවරණය කිරීම හා ඇගයීම ; (02) ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන තව දුරටත් වැඩි දියුණු කිරීම (03) ගෝලීය නීති සම්පාදක ක්‍රියාවලියට සියලුම රටවල් පලදායි සහභාගීත්වය .(04) ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රමයන්ගේ විවිධත්වය හා සාර්ථකත්වය පිලිබදව ද තීව්‍ර අවධානය යොමු වී ඇත .

ගෝලීය පාරිසරික නීති සම්පාදනයේ අනාගතය රදා පවතින්නේ පරිසර ආරක්ෂාව හා ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තීන් ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක මෙහෙවර සම්බන්දයෙන් රියෝ ප්‍රකාශනයේ ඇතුළත් කරුණු කොතරම් සාර්ථකත්වයක් කරා ප්‍රගමනය වේද යන අපේක්ෂාව මතය . රියෝ සම්මේලනයේ නියම ප්‍රතිපල සම්බන්ධයෙන් විවිධ තක්සේරු ඇත . සම්මේලනයෙන් අපේක්ෂිතය ඉටු නොවූ බව දරන කොටසක් මෙන්ම යම් තරමක හෝ සේවයක් ඉටු වූ බව පිළිගන්නා වශයෙන් දෙකොටසක් ඇත .ජාත්‍යන්තර වශයෙන් නීතිමය වශයෙන් අනුගම්‍ය වන පරිදි රියෝ සම්මේලනයේදී සම්මත වුයේ පත්‍රකයන් 02ක් පමණි. එනම් ,දේශගුණ ය පිළිබද සම්මුතිය හා ජෛව විවිධත්වය පිළිබද සම්මුතියයි .

මානව සංහතිය “තිරසාර සංවර්ධනය පිළිබද අවධානයේ හරය” වන බවත් ,ස්වභාවධර්මය සමග සාමයෙන් සෞඛ්‍යදායක වුත් , නිර්මාණශිලිවුත්,ජිවිතයක් සදහා හිමිකමක් මානව සංහතියට ඇති බවත් රියෝ ප්‍රකාශනයේ 01 වන මුලධර්මය ප්‍රකාශ කර ඇත. 03 වන මුල ධර්මය “අන්ත්ර් පාරම්පරික සාධාරණත්වය ” සදහන්ව ඇත .04 වන මුලධර්මය පාරිසරික සුරක්ෂිත භාවය “සංවර්ධන ක්‍රියාදාමයේ ඒකාග්‍ර අංශයක් බව ප්‍රකාශ කර ඇත . ස්ටොක්හෝම් ප්‍රකාශනයේ 21 වන මුලධර්මයෙන් නියම කරන ලද පරිදි ජාතික දේශසීමා ඔබ්බෙන් සිදුකෙරෙන පාරිසරික අලාභහානි තහනම 02 වන මුලධර්මය මගින් සනාථ කර ඇත .

උක්ත තහනම දේශභුමික ස්වාධිපත්‍යයේ හා ඒකාග්‍රතාවයේ සීමාවක් ඇති කරන මුලධර්මයක් ලෙස චාරිත්‍රමය නීතිය වශයෙන් පිළිගන්නා මුත්, එය අදාල වන්නේ අන්තර් දේශ සිමා අලාභහානිය “බරපතල “ වුවහොත් පමණය . රියෝ ප්‍රකාශනයේ 18වන හා 19 වන මුලධර්මයන් හි සදහන් තොරතුරු සැපයීම හා වාර්තා කිරීම රාජ්‍යන්ගේ අන්නෝන්‍ය වගකීම්ද චාරිත්‍රමය ජාත්‍යන්තර නිතිය යටතේ පිළිගැනෙන පටිපාටිමය නීතින්ය. 10වන මුලධර්මයෙන් පොදු සහභාගිත්වය ද 15වන මුලධර්මයෙන් සුරක්ෂිත භාවය ද 16වන මුලධර්මයෙන් දුෂකයා විසින් අලාභය ගෙවිය යුතුය යන ප්‍රතිපත්තියද 17වන මූලධර්මයෙන් පරිසර බලපෑම් ඇගයීම් කෙරෙනු ඇත .

ජාතික නෛතික පත්‍රකයන් සම්බන්ධයෙන් 21 වන න්‍යාය පත්‍රය කරුණු 04 ක් පිලිබදව කඩිනම් අවධානය යොමු කර ඇත .1) අදාල ජාත්‍යනතර නීතිය විවිරණය කිරීම හා ඇගයීම 2) ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන හා අනුකුලතා විධිවිධාන තවදුරටත් වැඩි දියුණු කිරීම.3) ජාත්‍යනතර නීති සම්පාදක ක්‍රියාවලියට සියලුම රටවලට පලදායි සහභාගිත්වය හා 4) ආරාවුල් නිරාකරණය කිරීමේ ක්‍රමයන්ගේ විවිධත්වය හා සාර්ථකත්වය “ගෝලීය පරිසර නීති සම්පාදන” ක්ෂේත්‍රය තුළ අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන කොමිසමේ අදාල වැඩසටහන පුළුල් ලෙස මින් විස්තර වී ඇත .

UN Commission on Sustainable Development (CSD) නොහොත් තිරසාර සංවර්ධන කොමිසම පිහිටුවීමේ උත්සවයේදී එවක එක්සත් ජනපද උප ජනාධිපති ඇල් ගෝර් - (Albert Arnold "Al" Gore 45th Vice President of the United States from 1993 to 2001 ) - විසින් පවත්වන ලද ප්‍රධාන දේශනයේදී කළ පහත සදහන් ප්‍රකාශය ගෝලීය ජන සමාජයට වැදගත් වනුයේ ධනවාදී සංවර්ධනයේ අමිහිරි සත්‍ය එහිදී විස්තර වන හෙයිණි. (www.icsu.org>what we do> projects and Activities)

“සංවර්ධිත රටවල් වල පුරවැසියන් වෙත මම ප්‍රකාශ කරනුයේ ගෝලීය පරිසරය වෙත අපි අසමානුපාතික බලපෑමක් ඇති කරමු .අපගේ ජනගහනය මුළු ලෝක ජනගහනයෙන් හතරෙන් එකකටත් අඩුය .එහෙත් ලෝකයේ අමුද්‍රව්‍ය වලින් හතරෙන් තුනක් අපි පරිභෝජනය කරන්නෙමු .ලෝකයේ ද්‍රව්‍යමය අපද්‍රව්‍ය වලින් හතරෙන් තුනක් නිපදවන්නෙමු .එම තත්වය සරලව මෙසේය :- එක්සත් ජනපදයේ උපත ලබන ළමයෙක් ඔහුගේ හෝ ඈගේ ජීවිත කාලය තුළදී ඉන්දියාවේ උපත ලබන ළමයෙකු මෙන් තිස් ගුණයකට වැඩි බලපෑමක් පෘතුවි පරිසරය වෙත ඇති කරයි .මෙම අසමානුපතික බලපෑම සම්බන්ධයෙන් වගකීමක් ධනවත් රටවලට පැවරේ .”

ගෝලීය පාරිසරික නීති සම්පාදනයේ අනාගතය රදා පවතිනුයේ පරිසර ආරක්ෂාව හා ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති න් ඒකාබද්ධ කිරීමේ දුෂ්කර ගෝලීය මෙහෙවර සම්බන්දයෙන් රියෝ ප්‍රකාශනයේ අඩංගු කාර්යයන් කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන හැකියාව මතය .උක්ත වගකීම අද්‍යතනව තීරණාත්මකව පවතිනුයේ පැරිස් ගිවිසුම මතය. 2020 දී බලාත්මක වන උක්ත ගිවිසුම ට අද්‍යකාලීන රාජ්‍යන් 177 ක් අත්සන් තබන ලද්දේ 36 මිහිකත දිනය යෙදී තිබු 2016 අප්‍රියෙල් 22 වෙනි දින දීය .(https://en.wikipedia.org/wiki/paris_Agreement)

1992 දී අත්සන් තැබූ කියෝතෝ සම්මුතියෙන් Kyoto Protocol පසු The Paris Agreement (French: L'accord de Paris) is an agreement within the framework of the United Nations Framework Convention on Climate Change (UNFCCC). ගෝලීය ජන සමාජය ටත්, පෘතුවි ජෛව සමාජයන්ටද වඩා වැදගත් සම්මුතිය වනුයේ පැරිස් සම්මුතියයි
ගෝලීය පරිසරය සංරක්ෂණය හා “තිරසාර සංවර්ධනය” පිළිබද සංකල්පය අතර පවත්නා සම්බන්ධතාවය ගැන උතතරාර්ධ ගෝලීය රාජ්‍යයන් හා දක්ෂිණාර්ධ ගෝලීය රාජ්‍යයන් අතර ඇති වී තිබෙන පිබිදීම පහත කරුණු අනුව තව දුරටත් ප්‍රසාරණය වෙමින් ඇත්තේ රාජ්‍යකරණට ද නව්‍ය සංකල්ප යෝජනා කරමිනි .( https://en.wikipedia.org/wiki/Earth_Summit_2002 )
අර්ථාන්විත ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති ,ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ක්‍රම ,රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයන් පිළිබද ප්‍රමාණවත් විනිවිදභාවයක් ඇතිකිරීම ,මුල්‍යම වගකීම, සංවර්ධනය සදහා වෙළෙදපොළ සුහද පරිසරයක් ඇති කිරීම ,දුෂණ හා වංචා වැළැක්වීමේ පියවර සහ නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් වලට ගරුකිරීම යනාදී “ප්‍රබුද්ධ රාජ්‍යකරණය - (https://en.wikipedia.org/wiki/Good governance) - පිළිබද මූලධර්ම ද “තිරසාර සංවර්ධනය” සංකල්පයට සම්බන්ධ කිරීමට දරණ ප්‍රයත්නය ඉතාම කාලෝචිත මෙන්ම ගෝලීය දේශපාලන සංස්කෘතියට නව නෛතික සිද්ධාන්ත මෙන්ම දේශපාලන චාරිත්‍රමය වටිනාකම් හදුන්වාදීමක් වශයෙන්ද දර්ශනය වේ.

නීති මූලධර්මවල සදහන් වනුයේ නීතියේ සහනය අවධානයෙන් හා පරික්ෂකාරිව සිටින්නාටය යනුවෙනි . (Vigilantibus Et Non Dormientibus Lex Succurrit ) ගෝලීය අවබෝධය ඇතිව කැපවීමෙන් ක්‍රියාත්මක වන කුඩා කණ්ඩායමකට පවා පවතින ක්‍රම වෙනස් කළ හැකි බවට ඇති උදාහරණ අපමණය . ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරිසර හිතකාමී දේශව්‍යාප්ත පරිජනයාට (අනුගාමිකයන්ට ) ලෝක සම්මුතීන් හා නෛතික උපකරණ පිළිබද අවබෝධය අතිශය වැදගත් වනු ඇත . කුමක් නිසාද යත් , උක්ත අවබෝධය නිසා නීතියේ අවධානය හා පරික්ෂාව රටේ පාරිසරික පද්ධතියේ වටිනාකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ආකාරයට කඩිනමින් බලාත්මක කර ගැනීමට සිවිල් පරිජනයාට ඇතිවන හැකියාව නිසාවෙනි. එසේ වනුයේ කලින් පැමිණි පුද්ගලයා නීතියේ වැඩි සැලකිල්ලට ලක්වන බවට ඇති නීතිමය සම්ප්‍රදාය අනුවය . (Qui Prior Est Tempore Potior Est Jure) .

“ගෝලීය වශයෙන් සිතන්න - දේශීය වශයෙන් ක්‍රියා කරන්න” Think Globally – Act Locally යන තේමාව පරිසරය හා සංවර්ධනය පිළිබද ලෝක කොමිසන් සභා වාර්තාව නොහොත් ඉහත සදහන් කළ “අපේ පොදු අනාගතය” නැමති කෘතියෙන් ගෝලීය මානව සමාජයට යෝජනා කර ඇත . උක්ත තේමාව නියෝජනය කරනුයේ ගෝලීය ව්‍යාපෘතියක් වූ තිරසාර සංවර්ධනය ට මිනිස් සංහතියම යොමුකර ගැනීමයි .අද්‍යතන ගෝලීය ප්‍රජාවේ ප්‍රගතිය වෙනුවෙන් යෝජිත ප්‍රබල දැක්මක් වශයෙන් උක්ත වැකියෙන් ප්‍රකාශිත අර්ථය තේරුම් ගැනීමට සියලු ජනයාට නොහැකිවුවත් ඊට හැකියාව ඇති පරිජනයා ඒ සදහා කැපවීම රටේ අනාගතයට අතිශය වැදගත් වනු ඇත .

සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධ විවිධ ක්ෂේත්‍රය න් පිලිබදව පමණක් නොව ගෝලීය පරිසරය සම්බන්ධයෙන්ද උක්ත වැකිය වඩාත් අර්ථාන්විතය .අද්‍යකාලීනව කිසිදු ජාතියකට සමාජ, ආර්ථික පමණක් නොව පාරිසරිකව වශයෙන් පමණක් නොව දේශපාලනිකව පවා හුදකලාව පැවතිය නොහැකිය .අද්‍යතනව ජාතිකත්වය මෙන්ම ප්‍රාදේශීකත්වය ද ,එමෙන්ම ගෝලීයකරණය ද එක සේ ජාතියක ප්‍රගතිය කෙරෙහි ඉතාමත් තීව්‍රවැ බලපානු ලබයි . අද්‍යකාලීනව ලොව පුරා ඇතිවූ බොහෝ ජාතික ගැටලු ජාතික මට්ටමෙන් ම විසදීම අපහසු බවට ලෝකය පුරා ඇති අත්දැකීම් බොහෝය .ලොව සිසාරා වැඩිමනත් ජාතික ගැටලු ගෝලීය ප්‍රවේශයකින්ම විසදා ගත යුතු තරමට ම ජාතිය යන්න බොහෝ සෙයින් ලිහිල් වී ජාත්‍යන්තරයට විවෘත වී ද ඇත .
ගෝලීය ව නොසිතා පරිසරය ගැන යථාර්ථවාදීව කල්පනා කල නොහැකිය .පරිසරයට දේශ සිමා නොමැතිවා සේම, අද්‍යකාලීන ලෝකයේ ආර්ථික ,අධ්‍යාපනික ඇතුලු සමාජ සංවර්ධනයේදී සම්ප්‍රදායික රාජ්‍ය සංකල්පය යටතේ සකස් වුණු දේශ සිමා ඉක්මවා ගිය ගෝලීය ප්‍රාග්ධන මුල්‍යකරණයේ අධිතාක්ෂණික ක්‍රියාවලිය තුළ දේශසීමා කොතරම් දුරට ප්‍රායෝගික වශයෙන් වළංගුද යන්න බරපතල ලෙස සලකා බැලෙන දේශපාලන කරුණක් බවට පත් ඇත .

ඇමරිකානු පාරිසරික විශ්ලේෂක ( founder of the Worldwatch Institute, and founder and president of the Earth Policy Institute ) ලෙස්ටර් රසල් බ්‍රවුන් (Lester Russel Brow ) විසින් 1972 දී රචනා කරන ලද දේශ සිමා රහිත ලෝකය යන අදහස දෙන World Without Borders කෘතියේද, 2007 වසරේ ඉතා වේගයෙන් අළෙවි වූ කෘතිය බවට පත් වූ වේල්ස් ජාතික ලෝක ප්‍රකට කතෘ වරයකු වන කෙන් පොලිට්ස් (Ken Follett) විසින් රචිත අවසන් නොවන ලෝකය යන අදහස දෙන World Without End ග්‍රන්ථයේද, දෙවන ලෝක යුද්ධ සමයේ නිර්භය ලේඛනයේ යෙදුණු 1972 නොබෙල් ත්‍යාගලාභී ජර්මන් ජාතික හෙන්රික් තියඩෝර් බෝල් (Heinrich Theodor Böll ) ගේ නමින් ජර්මනියේ කොළ පක්ෂයට (German Green Party, ) සම්බන්ධ හෙන්රික් බෝල් පදනම (Heinrich Böll Foundation ) විසින් ප්‍රකාශිත The world comes to one country නැමති කෘතියේ ද, යුරෝපා රටවලට පිඩනයක් වී ඇති දේශපාලනික , දේශගුණික සරණාගත ජනයා මුල් කරගත් සමාජ ව්‍යාපාරයක් වන 21 වන සියවසේ විශ්ව ගම්මාන සංකල්පය (21st Century Cosmopolis ) ඉදිරිපත් කරන ස්ටීවන් කොලට්‍රෙලා ගේ ( Steven colatrella ) අගුණිතය වී ඇත්තේ මෑත අනාගතයේදී ජාතික රාජ්‍යයන් අහෝසි වී විශ්ව ගම්මාන ඇති වන බවයි . (https://www.popularresistance.org/what-could-a-world-withou… )

උක්ත සියලු පුරෝකථනයන් වඩා සමීප වනුයේ පාරිසරික සුරක්ෂණය හා සමබන්ධ ක්‍රියාවලියන්ටය . මක් නිසාද යත් ,දේශගුණික විපර්යාස රට රටවල දේශ සිමා පිළිබදව නොතකනවා පමණක් නොව ඔබ පොහොසත්ද ,දුප්පත්ද ,ළමයෙක්ද ,වැඩිහිටියෙකද යන්නද නොතකයි .එම නිසා දේශගුණික විපර්යාස යනු ගෝලීය තර්ජනයක් වන අතර ඊට මුහුණ දී ජයගැනීමට නම් අප සියලු දෙනා එකමුතුව සැළසුම් සහගතව ක්‍රියා කළ යුතුය. "climate change does not respect border,It does not respect who you are,rich or poor,small and big. Therefore ,this is what we call global challenges with require global solidarity ". United Nations Secretary-General Ban ki-moon .

දේශපාලන ස්වාධිනත්වය අත්කර ගැනීමෙන් පසු පුර්ව ගෝලීයකරණ ක්‍රියාවලියේ දායකත්වයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදු විය .විශේෂයෙන්ම පරිසර සුරක්‍ෂණය කිරීමේ ක්‍රියාවලියේදී හොදින්ම අවබෝධ වූ කාරණයක් වනුයේ පරිසරයට දේශ සිමා වලංගු නොවන බවත් ,පරිසරය පිළිබද ඕනෑම කාරණයකදී ම එය ගෝලීය ප්‍රවේශයකින් ම මෙහෙය විය යුතු බවයි .එබැවින් අන් සියලුම කටයුතුවලට ප්‍රථමයෙන් සංවර්ධනය දිගු කාලයක් පවත්වාගැනීමට හැකි වන පරිදි සංවර්ධනයේ පදනම ලෙස සැලකෙන පරිසරයේ සුරක්‍ෂණය ස්ථාවර කර ගැනීම ජාතික අවශ්‍යතාවයකි . පාරිසරික වශයෙන් වගකීමක් සහ සමාජීය වශයෙන් පිළිගත හැකි පුළුල් වූ තිරසාර යටිතල ව්‍යුහයක් මත ගොඩනැගෙන ආර්ථික සංවර්ධනයේ අත්තිවාරම විය යුත්තේ පරිසර සුරක්ෂණයයි .සැබවින්ම මිනිසා එසේ නැතහොත් ගෝලීය මානව ප්‍රජාව ජාත්‍යන්තර ප්‍රවේශයකින් "ගෝලීය ගැටලු" හැදිනගත්තේ පාරිසරික ක්ෂේත්‍රයෙනි .

19 සියවසෙන් පසුව පරිසර සුරක්ෂණය පිලිබදව ජගත් සංවිධාන මෙන්ම ගෝලයේ නොයෙක් කලාපවලද සංවිධාන හා ආයතන රාශියක් බිහි විය . 1948 දී ආරම්භ කරන ලද "ස්වභාවධර්මය සංරක්ෂණය" (International Union for Conservation of Nature - (IUCN) සදහා වූ ජාත්‍යන්තර සංගමය ජගත් පරිසරය ගෝලීයකරණය කිරීම සම්බන්ධයෙන් පුරෝගාමී ආයතනය විය . උක්ත ආයතනය ලෝකයේ සියලුම රටවල පරිසරය සුරක්ෂණය සම්බන්ධයෙන් කාලීන හා අත්‍යවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී .1980 දී උක්ත ආයතනය 'ලෝක සංරක්ෂණ ක්‍රමෝපාය' (1980 - World Conservation Strategy,New York ) එළිදක්වමින් සමස්ත ජාතින්ට එම මුලධර්ම මත ස්වකිය රටවල සංරක්ෂණ ක්‍රමෝපායන් සකස් කර ගැනීමට මුලික පදනම යෝජනා කරන ලදී .බොහෝ රටවල් උක්ත මග පෙන්වීම අනුව ස්වකිය ජාතික සංරක්ෂණ ක්‍රමෝපායන් සකස් කරගත් අතර එම මුල්ම රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද විය .'ජාතික සංරක්ෂණ උපාය මාර්ග '( National Conservation Strategy - (1980) නැමති ප්‍රකාශනය ඒ අනුවය .

අද්‍යකාලීනව දේශපාලනික වශයෙන් විවිධ ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සංවිධාන සහ ආයතන සමග ශ්‍රී ලංකාව දක්වන සබදතා මෙන්ම දායකත්වයන් ඇතුලු හවුල්කාරීත්වය ද ඉතා ප්‍රකටය . එක්සත් ජාතීන්ගෙන් (United Nations) පළමුව ද ඉන් පසුව ප්‍රතිසංස්කරණ හා සංවර්ධන පිළිබද ජාත්‍යන්තර බැංකුව (ලෝක බැංකුව - IBRD ) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) හරහා ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යනතර කම්කරු සංවිධානය (ILO) ලෝක වෙළෙද සංවිධානය (WTO) නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය (NAM) ප්‍රාදේශීය සහයෝගිතා පිළිබද දකුණු ආසියාතික සංගමය (SAARC) යනාදී වශයෙන් නොයෙක් වූ ගෝලීය ආයතන සමග ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනුයේ කුඩා ජාතියක් වුවත් හුදකලා නොවී ගෝලීය ප්‍රජාව සමග අත්වැල් බැදගෙනය . එමෙන්ම මානව සංහතියේ පැරණි ජාතියක් වශයෙන් සමාජ ,සංස්කෘතික ,ආගමික ,පාරිසරික ආදී නොයෙකුත් ක්ෂේත්‍රවල පරිහරණිය වටිනාකම් හා මානව හා පාරිසරික චාරිත්‍ර පිලිබදව ගෝලීය ප්‍රජාවට ආදර්ශයක් ද වෙමිනි .

ජර්මනියේ පොට්ස්ඩම් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා සහ දේශගුණික විද්‍යාඥ මහාචාර්ය ජෙරල්ඩ් හෝ ප්‍රකාශ කරනුයේ අපට දේශගුණික විපර්යාස පාලනය කර ගත හැකිය .ඒ කෙසේද යත් අප ඒ සදහා සුදානම් වීමෙනි යනුවෙනි . We can handle climate change if we're prepared for it .

සැබවින්ම පාරිසරික හා දේශගුණික විපර්යාස පාලනය කළ යුත්තේ ජන සමාජය දැනුවත් කිරීමෙන් සහ ඊට අදාල නෛතික උපකරණ වඩා ශක්තිමත් කිරීමෙනි .එම නිසා අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය දරන වගකීමට සමානවම රටේ පරිසරය ආරක්ෂා කිරීමට ඇති නෛතික මුලධර්ම තීව්‍ර කිරීම ජාතික අවශ්‍යතාවයක් බව නැවත නැවත සදහන් කළ යුතු නැත.  පාරිසරික ත්‍රස්තවාදීන්ට එරෙහිව පළමුවද, දෙවනුව වෙළෙද පොළ නියාමනයෙන්ද, තෙවනුව පරිසර හිතකාමී සංවර්ධන සංකල්ප පිළිබදවද, දේශපාලන හා රාජ්‍ය මැදිහත්වීම කඩිනම් හා බලාත්මක විය යුතුය. උක්ත ජාතික අවශ්‍යතාවය තව දුරටත් ප්‍රමාද වීම දැවෙන ජාතික ප්‍රශ්නයක් පමණක් නොව අතිශය සංකීරණ අර්බුදයක් බවටද පත් වනු ඇති බව මෙහිලා සටහන් තැබීම වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරටද වැදගත් වනු ඇත .අනාගත පරපුරට වත්මන් පරපුර භාරදෙන “ප්‍රාග්ධනය”විය යුත්තේ අනාගත පරපුර කිසිදු අයුරකින් වත්මන් පරපුරේ තීරණවල සිරකරුවන් බවට පත් නොකිරීමට වග බලා ගැනීමය .


 

Advertiesment