Saturday 26th of September 2020

English Tamil
Advertiesment


සජිත් වෙනුවෙන් රවී හංසයා පරිත්‍යාග කරයි-එජාප අර්බුදය අවසන් 


2020-02-14 8131

සියලු දෙනා එකට එක් වෙයි-ආණ්ඩුවට රතු එළියක් 

 

සජිත්ගේ නව සන්ධානය "හංසයා" ලකුණින් මහ මැතිවරණයට 

 

"හදවත" හැළෙයි-"අලියා" රැකෙයි 

(සුජිත් මංගල ද සිල්වා)


"අලියා" ද "හදවත" ද යන ලකුණ සම්බන්ධයෙන් පැවැති වාද භේද සහ අර්බුද සියල්ල විසඳා ගනිමින් ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජාතික බල වේගය යටතේ "හංසයා" ලකුණින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ ඒකමතික තීන්දු කර ඇත.

මේ ප්‍රශ්නය මෙසේ විසඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී තිබෙන්නේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජාතික බල වේගය වෙනුවෙන් තමාට අයිති දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ලකුණ වන "හංසයා" ලකුණ ලබා දීමට එම පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එකඟතාවය පළ කිරීමත් සමගය.

ඔහු මෙසේ සිය "හංසයා" ලකුණ ලබාදීමට එකඟ වූයේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානවයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පොදු දේශපාලන සන්ධානය වන සමගි ජාතික බල වේගය, මහ මැතිවරණයට තරඟ කළ යුතු ලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා "සිරිකොත" මූලස්ථානයේ සිකුරාදා (14) සවස රැස්වූ දස පුද්ගල කමිටුව හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව භාහිර දේශපාලන පක්ෂයකට "අලියා" ලකුණ ලබාදීමට සහ ඒ වෙනුවෙන් එම ලකුණ අත හැරීමට පක්ෂයට තිබෙන නීතිමය බාධා සම්බන්ධයෙන් ද,එසේ වුණොත් දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට සිය අනන්‍යතාවයට අදාළව අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි අනතුරු,බාධා සහ පාඩු සම්බන්ධයෙන් ද ජනාධිපති නීතීඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා සහ දයා පැල්පොල යන මහත්වරු මෙහිදී මේ කමිටුව හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.

එසේ නම් එක්සත් ජාතික පක්ෂය සහ "අලියා" ලකුණ අනාගතයේදී අනතුරකට පත් විය හැකි කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත යුතු යැයි ඒකමතිකව තීන්දු කළ දස පුද්ගල කමිටුව,මේ අනුව තිබෙන එකම සහ හොඳම විකල්පය වන්නේ ජනාධිපතිවරණ තුනකටම එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වූ රවී කරුණානායකට අයත් "හංසයා" ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීම විනා,කවුරුත් නොදන්නා "හදවත" ලකුණින් තරඟ කිරීම නොවන බව ද අවධාරණය කළේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ "හංසයා" ලකුණින් මහ මැතිවරණයට ද තරඟ කිරීම සියලු දෙනාම අනුමත කළ අතර දස පුද්ගල කමිටුවේ එම ස්ථාවරය පිළි ගනිමින් සිය "හංසයා" ලකුණ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ලබා දෙමින් "ලකුණ" සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ පැවැති අර්බුදය අවසන් කිරීමට රවී කරුණානායක මහතා එකඟ විය.   

Advertiesment