Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජාතිකත්වය 


2020-02-12 2039


ජාතිකත්වය අපට ලැබුණේ බටහිරින් නොව දුටු ගැමුණුගෙන්
 

 

 
(මහාචාර්ය නලින් ද සිල්වා)

 

මේ ජනාධිපතිවරණ වසරක්.ශ්‍රී ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල.ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි.ඩිමොක්‍රටික් පක්‍ෂය නැවතත් "සැන්ඩර්ස්" කෙනකු සොයන එකක් නැහැ."සැන්ඩර්ස්ලා", එංගලන්තයේ "කෝබින්ලා" බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්.අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා.එහෙත් එය අද ලෝකයේ නැහැ.

ශ්‍රී ලංකාවේ බොරැල්ල කනත්ත ළඟ "ශ්‍රී ලංකා තායි" ගැයූ පිරිස අතර නම් සමහර විට ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙන්න පුළුවන්. ඒත් ඔවුන් දෙමළට සමාන තැනක් දෙන්න කියල ජාත්‍යන්තරවාදීව කෑ ගැහුවත් නිකමටවත් දෙමළ ඉගෙන ගන්නේ නැහැ. ඔවුන් ඒ "තායි" ගීතය ගයා ඇත්තේ සිංහල අකුරෙන් ලියා ගෙන ඇවිත්..! ජාත්‍යන්තරවාදය හතර වැනි ජාත්‍යන්තරයත් සමග කනත්තට ගිහින්.

2016 ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරන බව මා දැන සිටියා. ඒ අවුරුද්දේ ටික කලක් මා එරට වාසය කළා. එරටත් පඬියන් ඉන්නවා. ඊට අමතරව මිනිසුන් ඉන්නවා. පඬියන්ට වඩා ලෝකයේ හැම තැනක ම මිනිසුන් වැඩියි. පඬියන් අර ගවේෂණ මේ ගවේෂණ මගින් පෙන්නුවා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදිනවා කියලා.

පඬියන් ප්‍රායෝගික යැයි කියමින් ජීවත් වන්නේ තම මනෝ ලෝකවල. ඔවුන්ගේ "මගේ ලෝකය" මනෝ ලෝකයක්. ඒ මනෝ ලෝකය නොලැබුණා ම ඔවුන් තව තවත් මනෝ ලෝකවලට යනවා. අන්තිමට වාස්තවික යථාර්ථය ඇත්තේ මනෝ ලෝකයේ කියා කියනවා. වාස්තවික යථාර්ථය ද්‍රව්‍යමය වෙන්න ඕන කියලා අප කියන්නේ නැහැ. අප කියන්නේ ද්‍රව්‍යමය හරි මනෝමය හරි ඊනියා වාස්තවික යථාර්ථයක් නැති බව පමණයි. බටහිර ගණිතය කියන්නෙත් මිනිසුන්ගෙ, බටහිරයන්ගෙ නිර්මාණයක්.

පඬියන්ට නැතත් මිනිසුන්ට ජාතිකත්වයක් තියෙනවා. අප සමූහවලට අයත් බව අප කියනවා. අපි වෙනුවෙන් අපි. ඒ එක් සමූහයකට තමයි ජාතිය කියා කියන්නේ. පඬියන්ටත් සමූහයක් තියෙනවා. ඒ පඬි සමූහය. ඔවුන් කිහිප දෙනකු එකතු වී හිතළු කතා කරනවා, ලියනවා.

පාසල්වල ආදි ශිෂ්‍ය සමිති තියෙනවා. ඒ යම් පිරිසකගේ සමූහයක්. දේශපාලන පක්‍ෂත් සමුහ. ඒ ඒ සමුහවලට විවිධ අරමුණු තියෙනවා. විරුද්ධ දේශපාලන පක්‍ෂවල ඉන්න අයට එක ම ආදි ශිෂ්‍ය සංගමයක සාමාජිකයන් වෙන්න පුළුවන්. ඒ ඒ සමුහවලට අනන්‍යතා තියෙනවා. පාසල්වල පක්‍ෂවල කොඩි ලාංඡන තියෙනවා. ඒ අනන්‍යතා සංකේත. පාසල් ගීතත් තියෙනවා. ඒ ගීත ගායනා කරන භාෂාත් තියෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධනවාදය හරි ඊනියා දෙවැනි ඉනිම හරි නොවෙයි ප්‍රශ්නය. දෙවැනි ඉනිම දෙරණෙ වැඩක්. ධනවාදය කියන්නෙත් බටහිර නූතනත්වයෙ නිෂ්පාදිතයක්. නූතනත්වයෙන් ඊනියා සමාජ වාදයක් බිහි වෙන්නෙ නැහැ. පශ්චාත් නූතනත්වයක් ඇත්තෙත් නැහැ. පඬියන්ට සමාජවාදය, දෙවැනි ඉනිම කතා කර කර ඉන්න පුළුවන් මාතෘකා පමණයි. නරක ද "සිඳු" ගැනත් කතා කළොත්. ඒක මුහුද වගේ. ඉවරයක් නැහැ.

බටහිර රටවල ජාතිකත්වය නැති නම් ජාතිය කියන්නෙත් ඒ නූතනත්වයෙ ම නිෂ්පාදිතයක්. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ධනවාදයට හා බටහිර නූතනත්වයට පෙර ලෝකයේ වෙනත් රටවල ජාතීන් නොතිබූ බවක්වත් ජාතිකත්වයක් නොතිබූ බවක්වත්. චීනයත් සිංහල දේශයත් අවුරුදු දහස් ගණනක් තිස්සේ ජාතික රාජ්‍යය. සිංහලයන් හා චීනුන් ජාතීන්. අප ජාතීන් වූයේ නූතනත්වයට බොහෝ කලකට පෙර.

භෞතික විද්‍යාවේ දී මුළු විශ්වයට ම එක ම නීති දැම්මත් සමාජයීය විද්‍යාවන්හි එහෙම කරන්න බැහැ. එහෙම කරන්න යන සමාජයීය විද්‍යාවන් (ශාස්ත්‍ර කියමු) අසාර්ථක වෙනවා. මාක්ස්වාදය තමයි හොඳ ම උදාහරණය. කාල් පොපර්ට අනුව මාක්ස්වාදය විද්‍යාවක් නොවෙයි. ඒත් කාල් මාක්ස්ට අනුව ඒක විද්‍යාවක්.

සිංහලයන්ට කොඩි රාශියක් තිබුණා. ඊ ඩබ් පෙරේරා ඒ සමහරක් ගැන ලියල තියනවා. ඒ සමහර ඒවා ප්‍රාදේශීය කොඩි. සීතාවක කොඩිය, සබරගමුවේ කොඩිය ආදීි වශයෙන් කොඩි තිබුණා. පවුල්වලටත් කොඩි තිබුණා. මේ කොඩි සත්ව රූප හා වෙනත් ස්වාභාවික වස්තුවල රූප රැගත් ඒවා. ථකුරාර්ථ දේවාදිත්‍ය ලිඳමුලගේ පවුලටත් කොඩියක් තිබුණ. එය නම් තීරු කොඩියක්. ඔවුන් නූතනත්වයේ ද..?

කොහොමටත් සිංහලයන්ට කොඩියක් තිබුණා. ඒ ගැමුණු කොඩිය නැති නම් සිංහ කොඩිය. ඒ සිංහ කොඩියට දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා නිරූපණය කිරීමට තීරු දෙකක් එකතු කර තමයි වත්මන් සිංහ කොඩිය නිර්මාණය කර ගත්තෙ. තීරු නම් නූතනත්වයෙ තමයි..! නූතනත්ව කොඩිවල වැඩිය තියෙන්නෙ තීරු හා කුරුස. එංගලන්ත කොඩිය තනි කුරුසයක්. එම් සී සී ක්‍රිකට් තරගවලදී ඒක දැක ගන්න පුළුවන්. එක්සත් රාජධානි කොඩිය හදල තියෙන්නෙ කුරුස තුනක් එකතු කරලා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිකවාදියෙක්. ඔහු තම කොඩියට ගරු කරනවා. එක්සත් රාජ්‍යවලත් වැඩි පිරිස (ඔවුන් පඬියන් නොවේ) ජාතිකවාදීන්. එංගලන්තයේත් එහෙමයි.බොරිස් ජොන්සනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක් තමයි. මෙවර පැවැත් වෙන ජනාධිපතිවරණයෙදීත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන්න තියෙන ඉඩකඩ ඉහළයි.

ඔහුට විරුද්ධ ව ගෙනා දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයෙ දි පරාජය වුණා. සෙනෙට් මණ්ඩලයෙ බහුතරය රිපබ්ලිකන්. ඒ්ක ඇත්ත. රිපබ්ලිකන් කියන්නෙ ඒබ්‍රහම් ලින්කන්ගෙ පක්‍ෂය. ඩිමොක්‍රටික් පක්‍ෂය සමග කියන විට රිපබ්ලිකන් කියන්නෙ දක්‍ෂිණාංශික පක්‍ෂයක්. බටහිර රටවල ජාතිකත්වයට වඩා නැඹුරු වන්නේ දෂිණාංශික පක්‍ෂ. ආසියාවෙ එහෙම නොවෙන්න පුළුවන්. යටත් විජිත වාදයට විරුද්ධ වීම සමග ජාතිකත්වය වම සමග බැඳීමක් අපේ රටවල තියෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සාමාන්‍ය දේශපාලනඥයකුට වෙනස්. ඒ නිසා ඔහු අතින් සාමාන්‍යයට විරුද්ධ දේත් වෙනවා. හොඳ ම උදාහරණය තමයි පසුගිය දා ඔහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙ කතානායකවරියට අතට අත දී ආචාර නොකිරීම. මට එවෙලෙ මතක් වුණෙ රනිල් වික්‍රමසිංහ කිලිනොච්චි ගිහින් නෝවේ තානාපතිට අතට අත නොදීම. රනිල් වික්‍රමසිංහත් සාමාන්‍ය නොවන (අසාමාන්‍ය නොවෙයි) දක්‍ෂිණාංශික දේශපාලනඥයෙක්. සාමාන්‍යයට විරුද්ධ යන විට බටහිර වැඩියෙන් ම රිදෙන්නෙ ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට. ඔවුන් හිතන්නෙ තමන් නූතනත්වයෙ මුර බල්ලන් කියා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝග ගෙන ඒමට එක් හේතුවක් වුණෙ ඔහුගෙ සාමාන්‍ය නොවන හැසිරීම. දෝෂාභියෝග යෝජනාවෙ එහෙම දෙයක් කිය වුණෙ නැහැ. එහෙම තමයි දේශපාලනය. කොහොමටත් ඉංගිරිසි සම්භවයක් තියෙන ඇමරිකානුවන්ට අවශ්‍ය ජාතිකත්වයක්.ඩොනල්ඩ් ට්‍රම්ප් එය නියෝජනය කරනවා.ඩොනල්ඩ් ට්‍රම්ප් හා බොරිස් ජොන්සන් එකතු ව වැඩ කරාවි. නුතනත්වයෙ ප්‍රධානීන් ඇංග්ලො සැක්සන්වරුන් මිස වෙනත් යුරෝපීයයන් නොවෙයි. ඉතාලියෙන් ආරම්භ වුණු නූතනත්වය තහවුරු වුණෙ එංගලන්තයෙ.

නූතනත්වය කියන්නෙ අවසාන විග්‍රහයෙ දි ජාතිකවාදී සිදු වීමක්. නූතනත්වයෙ ආරම්භයෙ එක්තරා අවස්ථාවක පාප් වහන්සේගේ ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයට විරුද්ධ ව නැගිටීමක් වුණා. මාටින් ලූතර් එහි නියමුවෙක්. එය බටහිර සිදු වුවක්. බටහිරයන් ප්‍රංශ විප්ලවයේ නිදහස, සමානත්මතාව, සහෝදරත්වය යන පාඨය ඔස්සේ ගිය චින්තකයන් නිසා ජාතිකත්වයෙන් තරමක් ඈත් වුණා. පොදුවේ ගත් කල ප්‍රංශ චින්තකයන්ගේ ලෝක මනෝ ලෝක. කාල් මාක්ස් ද ඒ නිසා පාර වැරදුණු චින්තකයෙක්. එහෙත් දැන් නැවතත් බටහිරයන් ජාතිකත්වයට එමින් සිටිනවා. යුරෝපීයන් ජාතිකත්ව මතවලට ආකර්ෂණය වෙනවා. ඒ ඇංග්ලො සැක්සන්වරුන් අනුගමනය කරමින්.

මා කියන්නේ අප ඩොනල්ඩ් ට්‍රම්ප්වාදීන් විය යුතු බව නොවෙයි. ඇතැමුන් කියන්න බැරි නැහැ අප දෙවැනි ඉනිම අමතක කරල කියලා. මා කලිනුත් කිවුවෙ දෙවැනි ඉනිම දෙරණෙ ප්‍රශ්නයක් කියලා. බටහිර සංකල්පවලින් අප නොමග යන්නෙ නැහැ. අප නූතනත්වය ප්‍රතික්‍ෂෙප කරන්නෙත් නැහැ. එහෙත් නූතනත්ව ආධිපත්‍යයට යට වෙන්නෙත් නැහැ.

ජාතිකත්වය අපට ලැබුණේ බටහිරින් නොවෙයි. ජාතිකත්වය අපට ලැබුණේ ගැමුණු රජුගෙන්. අප නූතනත්වයෙන් අපට ගන්න පුළුවන් දේ අර ගෙන අපේ කර ගන්නවා. බටහිර රටවල ජාතික රාජ්‍ය ඇති වීමත් සමගයි තම අනන්‍යතාව පෙන්වීමට ඔවුන්ට ජාතික කොඩි ජාතික ගී අවශ්‍ය වුණේ. ඒවාට විවිධ ආගමික පසුබිම් තියෙනවා. අප වත්මන් ජාතික කොඩිය ලෙස තීරු කොඩියක් හරි කුරුස කොඩියක් හරි ගත්තෙ නැහැ. අප කෙළේ ගැමුණු කොඩිය සකස් කිරීමක් පමණයි.

බටහිරයන් කැමති නැහැ ඔවුන්ගෙන් තොර ව අපට ජාතික රාජ්‍ය තිබූ බවවත් පිළිගැනීමට. ඒ නිසා තමයි මාටින් යක් චීන රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස හඳුන්වන්නෙ. අපට තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යය. එයත් ඒකීය රාජ්‍යයක් මෙන් ම ජාතික රාජ්‍යයක්.


 

Advertiesment