Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


පිටකොටුවෙන් පලතුරු ගන්න එපා


2020-02-07 1250

උදේ වරුවේ මහ වීදියේ තිබූ වැඩට, කන්තෝරුවලට යන එන්නන්ගේ කලබැගෑනිය හමාරව ඇතත් හරස් පාරවල කලබලය තවමත් අහවර වී නැත. එක පෙළට නවතා ඇති ලොරි රථවලින් සමහරක හට්ටි ගසා තිබෙන සීනි, පරිප්පු, මිටි නාට්ටාමිලාගේ කරපිටින් තොග ගබඩා වලට ඇදේ. ගබඩාවල අඳුරු මුලුවල ටික දවසක් ගොඩ ගැසී සිටි හාල්, සීනි, පරිප්පු මුට්ට තවත් පිරිසකගේ දහදියෙන් තෙත්ව ගිය පිට මත බැවීගෙන පැමිණ දුර ගමනක් යාමට ලොරි තුළට වදී. ඒ අතරතුරදී සැමන් පිරවූ පෙට්ටිද ලොරියට පැමිණේ.හතර වන හරස්වීදිය එකම කලබැගෑනියකි. මෙහි නාටාමි වර්ග දෙකක් දවසේ ගතමනාව සරිකර ගැනීමට එහෙට මෙහෙට මුට්ට කරගසාගෙන යති එති. කලබලයේ නිර්මාතෘවරුන් ඔවුහුය.

අල පරිප්පු බී ලූනු මිටි ගොඩවල් අතර මැද මේසවලට ඉඳගෙන සිටින සුදෝ සුදෙන් සැරසී නළලත රතු පොට්ටුවක් හෝ ඉරි තුනක් සලකුණු කළ මුදලාලිලා කළමනාකරුවෝ ගණන් පොත් සටහන් කරති. වෙළෙඳසල් තුළින් ඇදී එන කට්ටකුමංජල් හා හඳුන්කූරු සුවඳ දිරිය මිනිසුන්ගේ පා සටහන් වලින් ගොහොරු වූ වීථියෙන් නැගෙන මඩ ගඳ මිශ්‍ර කුණු වූ බී ලූනු ගඳ මඳකට සමනය කරයි.‘සායිඩ් සායිඩ්’ කාඩ්බෝඩ් පෙට්ටි මහ ගොඩක් පැට වූ අත් කරත්තයක් තල්ලු කරගෙන එන කළු කෙසඟ පුද්ගලයෙක් මහ හඬින් කෑගසයි. කරත්තය ඇඟේ වැදුණහොත් අඩි ගණනක් ඈතට කුණු මඩේ පෙරළීයනවා සිකුරුය. ඔහුගේ ශරීරයට අනුව නම් මෙවැනි බරක් ඇදගෙන යනවා යැයි සිතීමට අපහසු නමුත් බඩගින්න හා නිවසේ වෙසෙන දරු පැටවුන් සිහිවන විට ගතට දැනෙන ජවයෙන් දෝ ඔහු කරත්තයක් සමඟ සෙනඟ ගොඩේ නොපෙනී යයි.

එක් අයෙකු හෝ කතාවට අල්ලා ගනු රිසියෙන් වටපිට බලමින් හෙමි හෙමින් ඉදිරියට ගියෙමි. වෙන අයෙකුගේ මුහුණ දෙස එක තත්පරයකට නෙත් යොමු කිරීමට කාලයක් නැති සේය. ඔවුහු වැඩෙහි යෙදෙති. පිටකොටුවේ තොග බඩු ගබඩා පිහිටි හරස් වීථිවල නාට්ටාමිලා තුන් වර්ගයක් කුලී කරති.පළමු පිරිස තොග ගබඩාවල නිත්‍ය නාටාමිලා වන අතර ඔවුන්ගේ රැකියාව තමන් අයිති තොග ගබඩාවට වරායෙන් පැමිණෙන ලොරි වලින් බඩු බාගෙන තොග ගබඩාව පිරවීමය. මොවුන් වෙනත් කුලී ගමන්වල යෙදෙන්නේ නැත තවත් පිරිසක් බජාර් එකේ ඕනෑම තොග කඩයකින් ලැබෙන ඇණවුම්වලට අනුව බඩු බෑමේ හා පැටවීමේ යෙදෙති. එහෙත් මොවුන් විසින්ම පනවාගත් සම්මුතියකට අනුව ඒ ඒ වීථි ඔවුනොවුන් බෙදාගෙන වැඩ කරති.තුන් වැනි හරස්වීථියේ මුට්ට කරගසන අය හතර වන හරස් වීථියට නොයති. මේ වීථිවල වැඩකරන නාටාමිලා ප්‍රධාන පාරෙන් වරාය දෙසට හා මෝදර ප්‍රදේශයට හැරී යන අතුරුපාරවල්වල පිහිටි තොග වෙළෙඳසල්වල වැඩට නොයති. මේ සම්මුතිය තුළින් ඔවුනොවුන්ගේ සමගිය ආරක්‍ෂා වෙනවා සේම දවසේ කුලියද බෙදී නොයයි.එහෙත් මෙම සම්මුතිය කඩ කරන නාහෙට නාහන නාටාමිලා බජාර් එකේ නැතිවාම නොවේ. ගහබැණ ගැනීමෙන් නොනැවතී නිතර අතරැඳී තිබෙන මොවුන් සතු එකම ආයුධය වන මුට්ට කරට ගන්නා ලී මිට සහිත වක් වූ යකඩ කොක්ක එකෙකුගේ බඩ පසාරු කරගෙන යන්නේ වලිය දරුණු වූ විටය.

අනෙක් පිරිස දවසේ කුලිය සොයා ගන්නේ කොළඹින් පිට ප්‍රදේශවලින් පැමිණෙන සුළු පරිමාණයේ තොග වෙළෙඳුන් විසින් මිලට ගත් භාණ්ඩ ඔවුන්ගේ ත්‍රීරෝද රථවලට හෝ පිටකොටුවේ ලංගම බස් පොළට පුද්ගලික බස් නැවතුම්පොළට ගෙනගොස් දීමෙනි. බඩු තොගය වැඩි නම් අත්කරත්තයෙන්ද ගෝනි දෙක තුනක් හෝ පෙට්ටියක් නම් කර මතින්ද මොවුහු රැගෙන යති. බඩු මලු කරට ගැනීමට පෙර නිශ්චිත ගාණක් පොරොන්දු නොවූයේ නම් අවසානයේදී මොවුන් විසින් නියම කරන මුදලක් ගෙවීමට ඔබට සිදුවේ. හෙට්ටු කළහොත් මහ සද්දෙන් බැණ වදියි ලැජ්ජාව නිසා ඉල්ලූ මුදල ගෙවීමට බඩු හිමිකරුට සිදුවනු ඇත.හැම නාටාමිලාද එහෙම නැත. සාධාරණව අය කරන්නෝද පිටකොටුව සාවියේ සිටිති. මේ පිරිස් අතරින් බහුතරය ද්‍රවිඩ හෝ මුස්ලිම්ය. මේ දොගොල්ලන් අතර ඇත්තේ හොඳ සමගියකි. එකාට එකෙක් නැති ඉරිසියාකාර, කුහක පිරිස් සිංහලයෝය. ඇතැම් අවස්ථාවක ද්‍රවිඩ හා මුස්ලිම් නාටාමිලා, එකතු වී සිංහල නාටාමිවරු වැඩ කරන වීථි ආක්‍රමණය කරති.

මොවුන්ගේ පිරිස් බලය හමුවේ බොහෝ විට සිදුවන්නේ සිංහල නාටාමිවරු පසු බැසීමයි. එහෙත් දවසේ මෙහෙය හමාර වී රෑට හීන් අඩියක් ගසා පදික වේදිකාවේ එකම තැනක එකට ගුළිවන විට මේ හිත් අමනාපකම්, දඩබ්බරකම් කොහෙන් ගියාද නැත. ඔවුන්ගේ ජීවිත තුළ පැසව පැසවා ඔඩු දුවන රණ්ඩු දබර නැත.කෙසේ හෝ මා පැමිණි රාජකාරියද ඉටුකර ගත යුතුය යන දැඩි අදිටනින් යුතුව ඉදිරිය බැලුවෙමි. වීථි කෙළවර ආසන්නයේ අත් කරත්තයකට හේත්තු වී සිටින තරුණ පහේ පුද්ගලයෙකි. මුහුණේ පැවති ප්‍රිය මනාප බව නිසාම ඔහු සමීපයට ගියෙමි.‘‘වැඩ ඉවරද? ප්‍රශ්නයත් සමගම ඔහුගේ අවධානය මා වෙත එල්ලවිය. පිළිතුරක් නැතත් මුහුණේ ප්‍රශ්නාර්ථයකි. මම අනන්‍යතාවත් අරමුණත් හෙළි කළෙමි. අනතුරුව මතු වූයේ සිනා රැල්ලකි.

‘‘මේ තමයි ජීවිතේ. පාන්දරම වැඩ ටිකක් ආවා ඒක ඉවර කරලා ටිකක් මහන්සි ඇර ගන්නයි මෙතනට වෙලා හිටියේ. හොයාගෙන ගියොත් දවස තිස්සෙම වැඩ තියෙනවා. ඒත් මම වැඩ කරන්නෙ මේ පා​රෙ විතරයි. අනුන්ගෙ වැඩ උදුරගන්න හොඳ නෑ. අපි ඔක්කොම කුලී වැඩ කරන්නෙ ජීවත් වෙන්න දරු පවුල්වලට කන්න දෙන්න.’’ තිස් අට හැවිරිදි පී. සිවා මහතා මට මුණගැසුණේ එසේය. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විවාහක දරු දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. තරුණවිය යන්තමින් පසුකර සිටින මොහු මහපාරට වැටුණේ කෙසේ දැයි මම විමසුවෙමි. ඔහු නැවත වරක් සිනාවිය. අපේ පවුලේ මාත් ඇතුළුව සහෝදර සහෝදරියන් හතර දෙනයි. තාත්තා කළේ කුලී වැඩ අපි ජීවත් වුණේ හරිම අමාරුවෙන්. ඉතින් මගේ ඉගෙනීම අතරමගදී කඩා ගෙන වැටුණා.

ඊට පස්සේ මව්පියන්ට බරක් වෙන්නෙ නැතුව රස්සා හෙව්වා. පිටකොටුවට පය ගහල මේ බජාර් එකට වැටුණේ අවුරුදු 20දී. ඔහු සිතෙන් අතීතයට පියමං කරමින් සිටී. දෑස් කොහේදෝ ඈතකට යොමු වී තිබේ.හරස්වීථියේ කලබලකාරි බව මොහොතකට අමතක වී ඇති සැටියකි.‘‘අම්මට තාත්තට පුළුවන් විදියට සැලකුවා. නංගිලට මල්ලිලට ඉගෙන ගන්න උදව් කළේ මම. මා නොදැකපු මට යන්න බැරිවුණු ලස්සන ලෝකයට අඩිය තියන්නයි. දැන් ඒ අය රස්සාවල් කරනවා. ගෙදරට සලකනවා. යුතුකම් ටික ටික ඉවරවෙනකොටයි මම කසාද බැන්දෙ. ගෑනියෙක් ගෙනැත් දුක් විඳින්න දෙන්න බැහැනේ. අපේ දරුවො මේ වෙනකොට පාසල් යනවා. දුප්පත් අපිට දරුවන්ට දෙන්න පුළුවන් එකම දේ අධ්‍යාපනය විතරයි. මගේ දරුවන්ට මම වගේ වෙන්න ඉඩ දෙන්නෙ නෑ. අපි වගේ අයට මේ සමාජයේ එක අඩියක් හරි ඉහළට යන්න පුළුවන් වෙන්නෙ ඉගෙනීමෙන් විතරයි.

මොහු උතුම් මිනිසෙකු බව මට පෙනුණි.යුතුකම් දන්නා ජන සමාජය හොඳින් හඳුනාගෙන සිටින පුද්ගලයෙකි. තමන් ජීවත් වන වටපිටාව තේරුම් ගැනීමට උපාධි සහතික අවශ්‍ය නොවේ. වෙහෙස මහන්සි වී වැඩ කරන විට මිනිසුන් ගැන සමාජයේ හොඳ නරක පිළිබඳව හොඳ හැටි තේරුම් ගත හැකි බව ඔහු පසක් කරයි.‘‘දවසකට රු. 1500/-ක් විතර හම්බකරගන්න පුළුවන්. ඊට වඩා හොයන දවසුත් තියෙනවා. මම කුලී වැඩ කරන්නෙ තොග කඩේක එතනට එන වැඩ විතරයි කරන්නෙ වැඩි තණ්හාව ඕන නෑ. ජීවත් වෙන්න අතට මුදලක් ලැබුණොත් ඒ අැති. හම්බකරන හැම සතේම ගෙදරට තමයි. ඇඟේ පතේ අමාරුවට කියල අරක්කු බොන්නෙ නෑ. ඇඟට අමාරු දැනෙන්නෙ මහන්සි වුණාම. දාඩිය දාන්න වැඩකරන අයට ලෙඩ අඩුයි. ඉතින් අරක්කු බීලා ලෙඩ වැඩිකරගන්න ඕන නැහැනේ.

දරුවන්ට කන්න දෙයක් ඉස්කෝලෙට උවමනා පොතක් පතක් අරගෙන දුන්නම. අරක්කුවලින් නොලැබෙන සතුටක් මට දැනෙනවා’’ සිවාගේ කතාවේ මහ අරුතක් ගැබ්ව ඇතැයි මට හැගඟණි. මෙවැනි කතාවක් පිටකොටුවේ නාටාමිවරයෙකු ගෙන් අසන්නට ලැබෙන්නේදැයි සැකයකි. දරුවන්ට අගතියක් වෙතැයි ඡායාරූපයක් නොගන්නා ලෙසටද ඔහු මගෙන් ඉල්ලීමක්ද කළේය.‘‘මේ නාටාමි වැඩේ හැමදාමත් කරගන්න බැහැ. දවසින් දවස අපි වයසට යනවා. දැන් දැන් මුට්ට කරගහනකොට කකුල් දණහිස් කකියනවා. ඒත් මොනව කරන්නද ඇඟේ හයිය තියෙනකම් කරනවා. මම ඔහුගෙන් සමුගතිමි. ඇත්තන්ම මොවුන්ගේ හෙට දවස කෙබඳුද? ගතේ සිතේ වෙර වීරිය සිඳී ගිය පසු ජීවත ගැටගසා ගන්නේ කෙලෙසද? දවස් 365 පුරා වෙහෙස වී වැඩ කරන මොවුන් ඇතුළු අප සමාජයේ බහුතරයක් වන කුලී කරුවන්ට විශ්‍රාම වැටුප් නැත.

අර්ථ සාධක අරමුදල් නැත. එහෙත් ඔවුහුද මේ රටේ මිනිස්සුය. නිකම්ම නිකම් මිනිසුන් නොව වැඩකරන ජනතාවය. දෛවය කොතරම් කුරිරුද? හරස්වීථියෙන් පැමිණ කෙළින් වීථියට ගොඩ වුණෙමි. එතැන අඹ ගොඩක් ඇතිරූ කරත්තයක් ළඟ සිටින මැදිවියේ අයෙකි. ඉදී කහ පැහැයෙන් තට්ටුව මත හිනැහෙන අඹගොඩ තරමට ඔහු​​ගේ මුහුණ පැහැපත් නැත. ඔහු සමඟ කතාවට වැටුණෙමි. ‘‘අඹ තට්ටුව මගේ නෙමෙයි විකුණන හාදයා උදේට කෑම කන්න අතන හෝටලයට ගියා. එයා එනකම් මට බාරදීලයි ගියේ. මමත් පේව්මන්ට් එකේ පලතුරු විකුණනවා. අද උදේ පාන්දරම වැස්ස පටන් ගත්ත නිසා දැම්මෙ නැහැ. වැස්සට තෙමුණත් පලතුරු කුණුවෙනවා.‘‘කුණුවෙන්න දෙයක් නෑ කොළඹ පේව්මන්ට් එකේ වැඩිපුර තියෙන්නෙ කුණු වෙච්ච ඒවා තමයි. මගේ වදන් නිම වෙනවාත් සමගම ඔහුගේ මුහුණ අමුතුවිය. ඔව් මහත්තයගෙ කතාව බොරුවක් නෙමෙයි. ඒත් මම මිනිස්සුන්ට බොරු කරලා විකුණන්නෙ නැහැ. අගනුවර ඇතුළු රටේ සෑම ප්‍රධාන හා උප ප්‍රධාන නගරයකම පාහේ වස විස යෙදූ පලතුරු අලෙවිකරන බවට බරපතළ චෝදනා එල්ලවන කාලයකි මේ. මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි. ඔව් මහත්තයෝ ඒක අැත්ත. මේ අඹවලටත් කාබයිට් ගහලා තියෙන්නෙ. කහ ගැහිලා ඉදිලා වගේ මතුපිටින් පෙණුනට කපලා බැලුවාම ගොඩක් ඒවයෙ තියෙන්නෙ ළා කහ පාටක් මෙලෝ රහක් නැහැ. ඇල්වතුර රසයි. මේ බලන්න කහ පාට අතරින් මේ ළා කොළපාට පුල්ලි මතුවෙන්නෙ බෙහෙත් ගහපුවාමයි. ඒ අතර අඹගොඩ මැද කපා තිබූ හොඳට ඉදුණු අඹයකි. එහි පළුවක් රත් මිශ්‍ර තැඹිලි පාටින් දිලිසේ. ‘‘ඒක හොඳ අඹයක් ගැනුම්කරුවන්ට රස බලන්න දෙන්නෙත් ඒකෙන්.’’

එවිටම මෙන් අඹ කරත්තයේ හිමිකාර තරුණයා එතැනට පැමිණියෙන් ඔහු මාවත් ඇදගෙන වෙළෙඳසල් දෙකක් අතර හිදැසකට රිංගා ගති. ඔහු නමින් එම්. ස්මයිල් අබ්දුල්ලාය. පදිංචිය අල්ලපු වැටේ ගුණසිංහ පුරයේය. වයස අවුරුදු 48කි. විවාහක දරු දෙදෙනෙකුගේ පියෙකි. පිරිමි දරුවන් වන දෙදෙනාම පාසල් යති. වැඩිමලා 9 වසරේ ඉගෙනුම ලබන්නේය. ‘‘මම ඉපදුණේ හැදුණේ වැඩුණේ මේ ගෙන්දගම් පොළොවෙමයි. මේකෙ කෙරෙන ඕනෑම හොඳ නරක දේම මම දන්නවා. තරුණ කාලෙදීමයි පලතුරු විකුණන ජොබ් එකට බැස්සෙ. දහදුරා වැඩකරලා මිනිස්සු රවටනවට මුළා කරනවට වැඩිය හොඳයි සාධාරණ දෙයක් කරලා ජීවත්වෙන එක. මම කලින් මහත්තයට කීව දේවල් අඹ ලෑල්ලෙ කොල්ලට ඇහුණ නම් අඹ කපන පිහිය මගෙ බඩ හරහා යයි. ඒකයි මෙතනට ආවෙ අපි දැන් කන්නෙ බොන්නෙ වස තමයි මහත්තයෝ.’’ඔහු යළිත් මට අවශ්‍ය මාර්ගයට වැටුණු බව පසක් වූයෙන් මුනිවත රැකිමි.‘‘දැන් බලන්න ඇපල් මෙහේට එනකොට කොච්චර කලක් යනවද? මේවයෙ පිට පොත්ත දිලිසෙන්නත් බෙහෙත් ගහනවා සමහර ඇපල්වල ප්ලාස්ටික් ඇසට නොපෙනෙන ද්‍රවයක් තියෙනව දිලිසෙන්නෙ ඒ නිසයි. හොඳට බලන්න ඔය පිටකොටුවෙ කඩවල එල්ලලා තියෙන ඇපල් මලුවලට තට්ටුවෙ තියෙන දොඩම් නාරංවලට මැස්සෙක් වත් වහන්නේ නෑ. ඇයි ඒ ? වස බෙහෙත් නිසා.

හොඳම ඇපල්, මිදි, දොඩම්, ඉස්සෙල්ලම යන්නෙ සුපර් මාර්කට් වලට, එහිදී යන්තම් නරක් වෙනකොට ඉවත් කරනවා ඒව පිටකොටුවට සප්ලයි කරන කට්ටියක් වෙනම ඉන්නවා. ඒ ඇපල් තමයි සීයට 5යි කියලා ප්ලාස්ටික් දැල් මලුවල දාලා එල්ලලා තියෙන්නෙ.ඒවා අතරෙ ගෙඩියක් දෙකක් කුණුවෙලා පිටින් නොපෙනුණාට ගෙඩිය කැපුවාම ඇතුළ කහට පාටයි, රසයක් නැහැ. අද කොළඹ ඇපල් ගෙඩියක් කොස්ට් වෙන්නෙ රු. 16/-යි. පෙට්ටියක ගෙඩි 150, 130 වගේ ලොකු පොඩි කළවමේ තියෙනවා රු. 3000/-ක් 4000/- අතරෙයි මිල වදින්නෙ. අපි ඒවා අරගෙන සයිස් කරලා විකුණනවා. මමත් ඇපල් විකුණනව. මේව පුංචි දරුවන්ට නම් දෙන්න හොඳම නෑ. ඈත ගම්වලින් කොළඹට එන අය විතරක් නෙමෙයි නගරබද අයත් කොළඹින් මේ වස සල්ලි දීලා අරගෙන ගෙදර දරුවන්ට කවනවා ගමේ ගහෙන් වැටෙන වෙරළු ගෙඩිය, ජම්බුගෙඩිය පොළොවට කුණුවෙනවා.අබ්දුල්ලාගේ කතාව ඉන්තේරුවෙන්ම සත්‍යයකි. ගමේ ගෙදර වත්තේ වැටෙන කෙසෙල් කැන කඩයට විකුණා මහා පරිමාණ බහුජාතික සමාගම් හරහා නෙත පිනා යන ලෙසට ඇසුරුම්කර එවන පැකට්ටුවේ බලන්න. ලස්සන කහ පැහැයෙන් එන කෙසෙල් කෑමට ගන්නා ජාතියකි අපි. ගෙදර වත්තේ මහා ගල් තලාව මත ඔහේ හැදෙන ගල් අන්නාසි ගෙඩිය කපුටන්ගේ ආහාරයට ඉඩහැර සුපර් මාර්කැට්ටුවෙන් වස යෙදූ අන්නාසි කිලෝ ගානට මිලට ගන්නා අප මහ පුදුමාකාර ජාතියක් වෙමු.කොළඹින් ගෙනෙන විස ඇපල් ගෙඩියට වඩා ගමේ ගස්වල හැදී ඉදී බිම කුණු වී යන ලාවුළු ගෙඩියේ විටමින් පෝෂ්‍ය පදාර්තවලින් අනූන බව නොදන්නා නොවැටහෙන ජාතියක් වෙමු අපි.

‘‘කොස් ගෙඩියටත් වස ගහන රටක් මේක. මදුළු ගලවලා ඒවා වැසිකිළි හෝදන්න ගන්න දියරයක ඔබලා ගත්තාම පැහෙනව විතරයි ඉදෙන්නෙ නැහැ. සතියක් වුනත් තියාගන්න පුළුවන්. මේක ලංකාවෙ අපේ අයියලාගෙ සොයා ගැනීමක්. තව කෙසෙල් ඉදවන්න එත්පෝන් කියලා වසක් ගහනවා. එතකොට කෙසෙල් කැන ඉදෙන්නේ පහල ඉඳලා උඩට. ටික ටික කෙසෙල් කැනක් සාමාන්‍යයෙන් ඉදෙන්නෙත් ඒ විදියට නිසා ගැනුම්කරුවන්ට අමුත්තක් දැනෙන්නේ නැහැ.අැපල් දොඩම්, අන්නාසිවලටත් මේ බෙහෙත ගහනවා. මේක වතුරෙ දියවුණාම දැනගන්න බැහැ ඇල්වතුර පාටමයි. ඔය රෙඩ් ලේඩි කියලා රතට රතේ ඉදිලා තියෙන ගස්ලබු ඉදවන්න බෙහෙත් ගහනවාමයි. ගහේ තියෙනකොට ගහටත් කෘමිනාශක ගහනවා. මේවා ඇතුළේ ඇට නැති නිසා පැළ කරන්න පිටරටින් එන බීජම ගන්නත් ඕන.කාබයිට් ඇඟිලිවලට අරගෙන උඩ ඉඳන් පහළට ඉරි ඇදඟෙන යනවා. කහ පාට වෙන්නෙ ඒ ඉරි දිගට විතරක් නිසා. මිනිස්සු හිතන්නෙ ස්වභාවිකව ඉදිලා කියලයි.

කොළඹ සිල්ලරට පලතුරු විකුණන අය ඇපල් රට නාරං දොඩම් ඇරෙන්න අනෙක් සෑම පලතුරක්ම ගන්නේ පිටකොටුවේ මැනිං මාර්කට් එකෙන්. පිට පළාත්වලින් එන්නෙත් බෙහෙත් ගහලමයි. ඉක්මනින් ඉඳව ගන්න මෙහෙදිත් බෙහෙත් ගහනවා. කාබයිට් ගහන කෙසෙල් නම් හඳුනාගන්න ලේසියි. හොඳට ගෙඩිය පිරිලා තියෙනවා. කහම කහ පාටයි. ඒත් කන කොට ඇල් වතුර රසයි. අබ්දුල්ලා ද පලතුරු මිලට ගන්නේ මැනිං වෙළෙඳ පොළෙනි. මම නම් වස ගහන්නේ නෑ හැබැයි ගොවියො මොන මොනව ගහනවද කියලා නම් දන්නේ නෑ. කෙසෙල් නම් මම විකුණන්නෙම නැහැ. අන්නාසි අඹ වගේ දේවල් තමයි වැඩිපුරම විකුණන්නේ. බෙහෙත් ඕන නෑ. බාස්කට් එකක් ඇතුළට දාලා හඳුන්කූරක් පත්තු කරලා හොඳට වහලා තිබ්බාම උදේ වෙන කොට ඉදෙනවා. සුපර් මාකට්වල නම් හොඳ පලතුරු තියෙනවා හැබැයි ඒව ගණන් වැඩියි.අගනුවර ඇතුළු ලංකාවේ ඕනෑම නගරයකට අලෙවි කරන කිලෝ ගණනට කිරා දෙන කිලෝ පේර විශේෂය වස ගෙඩියකි. මෙය ගසේ තිබෙන කාලයේ සිටම කෘමිනාශක ඉසිය යුතුය. නොඑසේ නම් කෘමි සතුන්ගෙන් අනේක විධ කරදර පැමිණේ.

කොළඹට ආවට පස්සේ කල් තබාගන්න බෙහෙත් ගහනවා. බෙහෙත් වලින් තැම්බිලා ඉදිලා වැඩි වෙන කොට කෑලි කපලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා මල්ලක් පනහ ගානේ බස් වලට ගෙනැත් විකුණන්න වෙනමම පිරිසක් ඉන්නවා. කුණු වුණු කොටස් කපලා දාලා හොඳ ටික පෙති කපනවා හැබැයි මේ පේර වලට කවමදාවත් පණුවො ගහන්නේ නෑ. බෙහෙත් වල විස නිසා. පිටකොටුවේදී එසේත් නොමැති නම් තදාසන්න නගරයක දී ඔබ බස් රථයේදී රු. 50/- ට මිලදී ගන්නා ලුණු කුඩු මිරිස් කුඩු ඉසින ලද රස පේර මල්ල වස මල්ලක් බවට තවත් කුමන කතාද? අබ්දුල්ලා තවත් බොහෝ දේ මා හා කියා ගෙන ගියේය. ඒ ඔහු පවසන දෑ අනුව සමස්ථ පිටකොටුව හා අවට ප්‍රදේශයම මිනිසුන්ට වස කවන පාරාදීසයකි. ඇපල් ගෙඩියේ පටන් බිරියානි පැකට්ටුව දක්වාම ජනතාව මුදල් දී ශරීර ගතකර ගන්නේ වස විසය. ඔහුට සමු දී වීථියෙන් පිටව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ දෙසට පැමිණෙයෙමි. බෝ ගස අසල එක යායට පැතිර ගිය කඩ පෙළේ එල්ලී සිටි ඇපල් මලු හා කහම කහ පාට රට දොඩම් මළු ඔලොක්කු වට මෙන් මා හා සිනා සෙමින් ගැණුම්කරුවන් ගේ ගමන් මලු තුළට රිංගා ගනිමින් සිටියේය. අපේම මිනිසුන් ගැන මට මහා දුකක් දැනුණි.

 

 

අරුණ අමරසිංහ

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

 

Advertiesment