Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


කිරිඇල්ලගේ මතය මහින්ද පිළි ගනී-මධ්‍යම අධි වේගය කොටසක් අගෝස්තුවේ ජන සතුයි


2020-02-07 6664

"කුරුණෑගලට පැයයි-මහ නුවර ගමන පැය දෙකකින් අඩු වෙයි" -කිරිඇල්ල-

 

"මීරිගම-කුරුණෑගල කොටස අගෝස්තුවේ විවෘත්ත කරනවා" -මහින්ද-

  

(සුජිත් මංගල ද සිල්වා)

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍යම අධි වේගී මාර්ගයේ දෙවන කොටසේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර විවෘත්ත කිරීමෙන් රටේ ආර්ථිකයට සහ මගී ජනයාට අත් වන ප්‍රතිලාභ සම්බනධයෙන් හිටපු සභා නායක සහ මහ මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දරන ස්ථාවරය අනුමත කරමින් 2020 අගෝස්තු මාසය වන විට එම මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර තිබේ.

හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේදී කළ කතාව පිළි ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මධ්‍යම අධි වේගී මාර්ගයේ දෙවැනි කොටස 2020 අගෝස්තු මාසයේ දී ජන සතු කිරීමට රජය පියවර ගන්නා බවය.

යහ පාලන රජය මගින් 90%ක් වැඩ අවසන් කර ඇති මධ්‍යම අධි වේගී මාර්ගයේ දෙවැනි කොටස කඩිනමින් ජනතා අයිතියට පත් කළොත් කොළඹ සිට කුරුණෑගලට පැයකින් ළඟා විය හැකි වන අතර මහ නුවරට පැමිණීමට ගත වන කාලය පැය දෙකකින් අඩු වන බව පෙන්වා දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සහ මහින්ද රාජපක්ෂ මහතා ඊට දුන් පිළිතුර මෙසේය.     

"මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරයේ 90%ක් ඉතිහාසයේ පළමු වරට ඉතා කෙටි කලක් ඇතුළතදී අවසන් කිරීමට එක්සත් ජාතික පෙරමුණු යහ පාලන රජය සමත් වුණා.

ඒ අනුව යහ පාලන රජයේ ප‍්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතියක් වූ මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ  කොටස කඩිනමින් අවසන් කොට විවෘත කරමින් සුවහසක් මගී ජනයාට සෙත සැලසීමටත් රටේ ආර්ථිකය නගා සිටුවීමටත් පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය සහ මහ මාර්ග සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මම ඉල්ලා සිටිනවා.

යහ පාලන රජය සමයේ මධ්‍යම අධි වේගී මාර්ගයේ මෙම දෙවන කොටසේ ඉදිකිරීම් 90‍්‍%ක්  අවසන් කොට තිබුණා.ඉතිරි 10‍්‍% කොටස කඩිනමින් විවෘත කරන්නේ නම් ජනතාවට නව මාර්ග දෙකක් ඔස්සේ මහනුවරට පැමිණීමට හැකි වනවා.එමෙන්ම එම තත්ත්වය රටේ ආර්ථිකයට වගේම සමාජ සංවර්ධනයට ඍජුවම බලපානවා.

මධ්‍යම අධි වේගී මාර්ගයේ පළමු සහ තෙවන කොටස්වල ඉදිකිරීම් ප‍්‍රමාදයි.එහෙත් එම අධි වේගී මාර්ගයේ, මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කිලෝ මීටර්  40ක කොටසෙන් කිලෝ මීටර් 38ක් ම අවසන් කිරීමට යහ පාලන රජය සමත් වුණා.ඒ අනුව ඉතිරි කිලෝ මීටර් දෙකක කොටස ඉක්මනින් අවසන් කරන්නේ නම් මීරිගම සිට කුරුණෑගල හරහා හෝ පස්යාලේ සිට මීරිගම සහ කුරුණෑගල හරහා හෝ මහ නුවරට පැමිණීමට මගී ජනයාට අවස්ථාව උදා වනවා. 

එසේ වුණොත් මේ මාර්ගය ඔස්සේ කුරුණෑගලට පැයකින් ළඟා විය හැකි වන අතර කොළඹ සිට මහ නුවරට පැමිණීමට ගත වන  කාලය පැය දෙකකින් පමණ අඩු වනවා.

දකුණු අධි වේගි මාර්ගය අවසන් කළ හැකි වූයේ එවක රජයට දෙවතාවත් ජන වරම හිමි වූ නිසායි.නමුත් යහ පාලන රජය මාර්ගය සිතියම් ගත කිරීම්, ඉඩම් මැනීම්,පවරා ගැනීම, වෙළඳ වටිනාකම සේම දෙගුණයක වන්දි ලබාදීම ආදි මූලික වැඩ කටයුතු සිදු කරමින් මධ්‍යම අධි වේගී මාර්ගයේ දෙවන අදියරයේ  ඉදි කීරීම් සියයට අනූවකින් ඉතා කෙටි කලකින් අවසන් කළේ සිය පළමු ජන වරම යටෙත්යි. 

හිටපු සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා මධ්‍යම අධි වේගී මාර්ගයේ වැදගත්කම ගැන කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ කළ කතාවට පිළිතුරු ලබා දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එම මාර්ගයේ මීරිගම ‐කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කඩිනම් කොට මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් කිරිමට සැලසුම් කොට ඇති බවය.

 

Advertiesment