Monday 6th of July 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුවේ කුණුවීම


2020-02-01 2495

(වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාවට ගාලු මුවදොර අසල වාස්තු විද්‍යා අර්ථයෙන් පාර්ලිමේන්තුවකට සුදුසු ගාම්භීර පෙනුමකින් යුතු පාර්ලිමේන්තුවක් තිබුණි. එය විවෘත කෙරුණ 1930 ජනවාරි 28 වැනිදා සිට එය ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ගිය 1982 මාර්තු 24 වැනිදා දක්වා පරණ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිගත හැකි ප්‍රශස්ත මට්ටමකින් සිදුවිය. පාර්ලිමේන්තුවේ අලුත් වාසස්ථානය නවීන පහසුකම්වලින් හා කලාත්මක පෙනුමකින් යුතු වුවත් ඊට පාර්ලිමේන්තු පෙනුමක් නොතිබුණේය. එම සංකේතාත්මක වෙනස පරිහානිය කරා යන ගමනක් සංකේතාත්මකව පෙන්නුම් කළේ යැයි කිව හැකිය. මේ හා සමාන සංකේතාත්මක වැදගත්කමක් ඇති දෙයක් අධිකරණයටද සිදුවිය.

වාස්තු විද්‍යාත්මක අර්ථයෙන් යුක්තිය පසිඳලන ආයතනයකට ගැළපෙන නිමාවකින් යුත් අධිකරණ සංකීර්ණයක් ලංකාවට තිබුණි. එය අතහැර අසූ ගණන්වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය අලුත්කඬේම ඉදිකළ නව අධිකරණ සංකීර්ණයකට ගෙන ගියේය. එය නවීන පහසුකම්වලින් යුතු වුවද බාහිර පෙනුම ලස්සන චීන ලන්තෑරුමක් වැනි යැයි කිව හැකිය.

ජපානයට මෑතකාලීන අර්ථයෙන් මිස දීර්ඝකාලීන අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන හොඳ ඉතිහාසයක් තිබූ රටක් ලෙස සැලකිය නොහැකි අතර, චීනයට ද අධිකරණ විෂයෙන් යහපත් ඉතිහාසයක් තිබූ රටක් ලෙස සැලකිය නොහැකිය. ගොඩනැගිලි මාරුව ඒ ආයතන ක්‍රම දෙකේ ඊළඟට සිදුවන පරිහානිය මූර්තිමත් කරන වැදගත් සංකේතයක් ලෙස ක්‍රියා කළේ යැයි කිව හැකිය.

පාර්ලිමේන්තුවේදී වැදගත් වන්නේ ඊට තිබෙන ගොඩනැගිලි හා ඒවාට තිබෙන පහසුකම්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයේ නීති සම්පාදනයේ හා ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන ආයතන වශයෙනි. ඊට පැවරී තිබෙන වගකීම් කවර තරම් ප්‍රමාණයකට ඉටුකර තිබේද යන්නය. අධිකරණයේදී වැදගත් වන්නේ සාමාන්‍ය නඩු කටයුතුවලදී කාර්යක්ෂම ලෙස යුක්තිය ඉටුකරනවාට අතිරේක ලෙස ව්‍යවස්ථාදායකයේ හා විධායකය සම්බන්ධයෙන් පවත්වාගෙන යන අධීක්ෂණ කාර්යභාරය කවර ප්‍රමාණයකට ඉටුකර තිබේද යන්නයි.

පාර්ලිමේන්තුවට පහරදීම

පාර්ලිමේන්තුව කෝට්ටේ ජයවර්ධනපුරයට ගැනීමෙන් පසුව අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුව බිහිසුණු පහරදීම් දෙකකට ලක්විය. පළමු පහරදීම සිදුවූයේ 1987 අගෝස්තු 18 වැනිදාය.

පාර්ලිමේන්තුව තුළදී කැබිනට් මණ්ඩලය ඇතුළුව සම්පූර්ණ ආණ්ඩු පක්ෂ කණ්ඩායමට ඉන්දු-ලංකා ගිවිසුම සාකච්ඡා කරමින් සිටි අවස්ථාවකදී එල්ල වූ ග්‍රෙනේඞ් වර්ගයේ අත් බෝම්බ දෙකකින් එකක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වාඩිවී සිටි මේසය වෙත එල්ල විය. එය බුමුතුරුණු සහිත පොළොව මත පෙරළී ගොස් පුපුරා ගියේය. දෙවැන්න ඒ මේසයේ රැස්ව සිටියවුන්ගේ හිසට උඩින් ගමන් කොට වම් පැත්තේ තිබුණු හිස් ආසනයක් මත පතිත වී බිමට වැටී පෙරළී ගෙන ගොස් පුපුරා ගියේය. ප්‍රාතිහාර්යයකට මෙන් ජනාධිපති ජයවර්ධනට කිසිදු තුවාලයක් සිදු නොවීය. දිස්ත්‍රික් ඇමතිවරයෙකු වූ කීර්ති අබේවික්‍රම මරණයට පත්වූ අතර, ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබීය.

එම පහරදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විනාශ කිරීමේ අරමුණින් ජේවීපී ආධාරකරුවකු විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් විය. ඉන් තවත් අවුරුදු 22කට පසුව එනම් 2020 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු විසින්ම පාර්ලිමේන්තුවේ යථා තත්ත්වය හෙළි කරන බිහිසුණු වාචික ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එය ඊට පෙර එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයටත් වඩා විනාශකාරී පහරදීමක් ලෙස සැලකිය හැකිය. එය පාර්ලිමේන්තුවට තිබුණ දේශපාලන සුජාතභාවය නැති කොට ලංකාවේ පාර්ලිමේන්තුව දේශපාලන වශයෙන් මරණාසන්න තත්ත්වයකට පත්කිරීමට හේතුවී යැයි කිව හැකිය.

රන්ජන්ගේ කතාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර සිටින මත්පැන් බලපත්‍ර හිමි අයගේ සංඛ්‍යාව 100කි. එතනෝල් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 04කි. වැලි බලපත්‍රලාභීන් සංඛ්‍යාව 75කි. රේස් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 01කි.

රන්ජන්ගේ සංඛ්‍යා පරිපූර්ණ නැත. මත්පැන් බලපත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් තිබෙන මන්ත්‍රීවරුත් සිටිති. ගල් බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, දැව බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, මගී ප්‍රවාහන බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, ආණ්ඩුවේ වතු ඉඩම් හිමිකරගෙන සිටින අයගේ සංඛ්‍යාව කොතෙක්ද? ප්‍රතිඅපනයන බලපත්‍ර හිමිකරගෙන සිටින සංඛ්‍යාව කොතෙක්ද, ඉන්ධන පිරවුම්හල් තිබෙන අයගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න හා විවිධ ආකාරවලින් ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්නන්ගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න හා ලංකාවේ ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර ඇති අයගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න සඳහන්වන්නේ නැත. පාර්ලිමේන්තුවේ කුණුවීම පිළිබඳ අපට නියම චිත්‍රයක් ලබාගත හැක්කේ ඒ අඩුපාඩුකම් සපුරාගත් විටය. ඒ සියල්ල එකට ගත් විට ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අතිවිශාල බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් හා සදාචාරමය වශයෙන් අයිතියක් නැති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නීති විරෝධී පාර්ලිමේන්තුවක් ලෙස සැලකිය හැකිය.

හෘදය සාක්ෂිය අහිමි කර ගැනීම

ලංකාවේ සාමාන්‍ය සමාජයට මේ ප්‍රශ්නවල නෛතික ස්වභාවය ගැන යථා අවබෝධයක් නැතත්, රන්ජන්ගේ කතාවෙන් මුළු රටේම ජනයා අන්දුන් කුන්දුන් වූ බවක් පෙනෙන්ට තිබුණි. එහෙත් පුදුමයකට මෙන් පාර්ලිමේන්තුවේ බලවතුන් ඒ කතාවෙන් සසල වූ බවක් පෙනෙන්නට නොතිබුණි. කතානායක හෝ පාර්ලිමේන්තුවේ මොනම පුද්ගලයෙකුවත් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා පරීක්ෂණයකට යාමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. කතානායක පරීක්ෂණයකට යාමේ අවශ්‍යතාව අවධාරණය නොකළා සේ ම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂයද එවැනි ඉල්ලීමක් ඉදිරියට ගෙනාවේ නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන ලොකු කුඩා කවර දේශපාලන පක්ෂයක්වත් ඒ සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කළේ නැත.

ඉන් පෙන්නුම් කරන්නේ කුමක්ද? පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන කුණුවීම රටට රහසක් වුවත් පාර්ලිමේන්තු බලධාරීන්ට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය රහසක් වී නොතිබුණු බවය. ඒ සියලුදෙනා ඇතිවී තිබෙන කුණුවීම හා එහි තරම හොඳින් දැන සිටියෝය. කුණුවීමටද හමන දුගඳට හා ගලායන ඕජස්වලට ඔවුහු හොඳින් හුරුපුරුදු වී සිටි අතර, එම අවලස්සන තත්ත්වය මහජනයාට නොපෙනෙන තාක් ඒ මත අප්‍රියාවකින් තොරව සතුටින් ජීවත්වීමේ හැකියාවද හිමිකරගෙන සිටිති. රන්ජන් කී සියල්ල ඒ සියලුදෙනාට අලුත් දෙයක් නොවූ නිසා හා එය ප්‍රසිද්ධ කතාවක් වීම නිසා ඔවුන් තුළ පුංචි ලැජ්ජාවක් ඇති කිරීමට හේතුවන්නට ඇතත්, ලොකු කම්පාවක් ඇති කිරීමට හේතුවන්නට නැත.

අඩු වැඩි ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවේ සියලුදෙනාම වැරදිකරුවන් විය හැකි බැවින් පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ ඇත්ත හැකියාවක් ඒ කිසිවකුටත් තිබෙන්නට නැත. ඉන් පෙනෙන්නේ රටට තිබෙන්නේ කුණුවී තිබෙන පාර්ලිමේන්තුවක් පමණක් නොව, මුළුමනින් හෘදය සාක්ෂිය අහිමි කරගත් පාර්ලිමේන්තුවක් වන බවය.

නීතිමය තත්ත්වය

සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසුව 1972දී හා 1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ඇති කරගත්තද ඒ ව්‍යවස්ථා දෙකට අනුකූලව මන්ත්‍රීවරුන් රජය සමග ගිවිසුම් ඇතිකර ගැනීම ගැන නීති පැනවීමක් ඇති කරගෙන නොතිබීම නිසාත්, නීති පැනවීමක් කරන තෙක් සෝල්බරි ව්‍යවස්ථාවෙන් ඒ සඳහා කර තිබෙන නීති පැනවීම වලංගු බවට ඒ ව්‍යවසථා දෙකේම සඳහන් වන නිසාත් මෙම විෂයට අදාළ නීතිය ලෙස සැලකෙනුයේ සෝල්බරි ව්‍යවස්ථාවේ 13 (3) (ඇ) යටතේ වන නීතියයි. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය ඇල්බට් සිල්වාට එරෙහිව තීන්දුවට එරෙහිව දෙන ලද නඩු තීන්දුවෙන්ද (දහනායක ඒ ද සිල්වා 1978/79/80 18 ඛඍ-41) හා රාජිත සේනාරත්නට එරෙහිව දෙන ලද නඩු තීන්දුවෙන්ද (ඩිලාන් පෙරේරා ඒ. රාජිත සේනාරත්න (2000-2ීඛඍ-79* ට එරෙහිව දෙන ලද නඩු තීන්දුවෙන්ද සනාථ කර තිබේ.

එම ව්‍යවස්ථාවේ (1) )40) 70 (1) (40) වගන්තිය මෙසේය.

“ඔහු විසින් ඍජුව හෝ අන්‍යාකාරයකින් ඔහු විසින්ම හෝ යම් තැනැත්තකු මගින් ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ පරිහරණය හෝ ප්‍රතිලාභය සඳහා දිවයින තුළ කිරීටයේ සේවාවලදී භාවිත කළ යුතු හෝ යොදාගත යුතු භාණ්ඩ හෝ සේවාවන්හි හෝ විදේශයන්හී ප්‍රේෂණය කළ යුතු මුදල් ලැබීම හෝ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් කිරීටය විසින් හෝ කිරීටය වෙනුවෙන් සාදනු ලබන යම් ගිවිසුමක් යටතේ යම් අයිතිවාසිකමක් හෝ ප්‍රතිලාභයක් දරනු ලබන්නේ නම් හෝ බුක්ති විඳිනු ලබන්නේ නම් යම් තැනැත්තෙකු ද සෙනෙට් සභිකයකු හෝ මෙම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු විසින් තෝරාපත් කර ගනු ලැබීමට හෝ පත් කිරීමට හෝ සෙනෙට් සභාවේ හෝ මෙම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුන් ගැනීම සඳහා හෝ ඡන්දය දීම සඳහා නුසුදුස්සකු වනු ලැබිය යුතුය.”

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු වෙනුවෙන් ඍජු ලෙස හෝ අනියම් ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයකුට හෝ වෙනත් අයකුට රජය සමග කවර ආකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනුවක යෙදිය නොහැකිය. රජයේ ඉඩම් හෝ වෙනත් දේපළ මිලදී ගැනීම හෝ බදු ගැනීම කළ නොහැකිය. ආදායමක් ලබන බලපත්‍රලාභියකු ලෙසද ක්‍රියා කළ නොහැකිය. ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස හෝ ආණ්ඩුවට භාණ්ඩ විකුණන හෝ ආණ්ඩුවෙන් භාණ්ඩ මිලදී ගන්නා කෙනකු ලෙස ක්‍රියා කළ නොහැකිය.

අවලස්සන සම්මුතිවාදය

එවැනි දේ කරන කෙනකුට පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කළ නොහැකිය. පාර්ලිමේන්තුවට තේරී පත්විය නොහැකිය. පාර්ලිමේන්තුවේ අසුන් ගත නොහැකිය. ඡන්දය පාවිච්චි කළ නොහැකිය. ඒ අනුව ලංකාවේ පාර්ලිමේන්තුව තිබෙන්නේ බරපතළ අර්බුදයකය. පාර්ලිමේන්තුවේ පැවැත්ම තිබෙන්නේ මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයකය. පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මන්ත්‍රීන් සැලකිය හැක්කේ ඉහත සඳහන් වැරදි කර තිබෙන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අයිතියක් නැති, ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් නැති, මන්ත්‍රීවරුන් ලෙසය.

මෙය අද ඊයේ ඇතිවූ තත්ත්වයක් හෝ අහම්බෙන් කඩා වැටුණු දෙයක් නොව, හිතා මතා පැළ කළ කිසියම් කාලයක් තිස්සේ පැවති, පවත්වාගෙන ගිය මුළු පාර්ලිමේන්තු ක්‍රමයම දූෂිත කිරීමට සහ විකෘති කිරීමට හේතු වූ ව්‍යවස්ථා විරෝධී, අශීලාචාර තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

මෙම බිහිසුණු පිළිකාවට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ හා පුද්ගලයන් ඔවුන්ගේ ලොකු කුඩා බව, පන්ති ස්වරූපය, වාර්ගිකත්වය, ආගම, උගත් නූගත්කම නොසලකා ඒ සියලුදෙනා මෙම අවලස්සන දේ ඉදිරියේ පොදු එකඟතාවකින් ක්‍රියා කිරීමය. ඒ සියලුදෙනා මෙම පිළිකාවෙන් හමන දුගඳ නැති කොට එය සුවඳවත් කිරීම සඳහා මහජන වියදමෙන් සුවඳ විලවුන් ටොන් ගණනක් ඒ මත හලා තිබෙන්නේ යැයි කිව හැකිය.

පුදුමයට හේතුවන දෙය නම් සාමාන්‍ය ජනයාට තබා රටේ බුද්ධිමතුන්ට හා ජනමාධ්‍යවලටද එම අශෝභන තත්ත්වය නොපෙනී තිබීමය.

19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළේ පාර්ලිමේන්තුවේ ඇතිව තිබූ මෙම කුණුවූ තත්ත්වය එසේම තබාගෙන ජනාධිපති සතු සියලු බලතල පාර්ලිමේන්තුවට මාරු කිරීමය. මා එම තත්ත්වය පෙන්වාදීමට සංශෝධනය අදහසක් ලෙස කරළියට ගෙනා කාලයේදීම උත්සාහ කළද එය තේරුම් ගැනීමට අවශ්‍ය කරන සාමාන්‍ය තරමේ දේශපාලන බුද්ධියක්වත් ඒ වෙනුවෙන් පෙනී සිටි උගතුන්ට නොතිබුණේය. ජනාධිපති ජයවර්ධන ඇති කළ ජනාධිපති ක්‍රමය අන්ත දූෂිත වනවා සේ ම ජනාධිපති ක්‍රමය තුළ ගොඩනගන ලද පාර්ලිමේන්තු ක්‍රමයද අන්ත දූෂිත විය. ඒ නිසා ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට පැවරීම හෝ පවරා පාර්ලිමේන්තුවට 19න් පවරා ඇති බලතල ජනාධිපතිට ආපසු දීමවත්, ආණ්ඩු ක්‍රමයේ පවත්නා මෙම දූෂිත කුණුවූ තත්ත්වයට විසඳුමක් වන්නේ නැත.

ජේ.ආර්.ගේ භූමිකාව

මෙම බිහිසුණු පිළිකාව රටේ දේශපාලන ශරීරය තුළ පැළ කරන ලද පුද්ගලයා වශයෙන් සැලකිය හැක්කේ ජනාධිපති ජේ.ආර්. ය. ඔහු ධනයට ඇලුම් කළ පුද්ගලයකු ලෙස සැලකිය නොහැකි වුවද, දේශපාලන ක්‍රමය දූෂිත කිරීමෙහිලා කර තිබෙන කාර්යභාරය අතිවිශාලය. ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දූෂිත ප්‍රවාහයට තල්ලු කරනු ලැබුවේ තමන්ගේ ශරීරයේද කැත කුණු තවරා ගන්නා ආකාරයටය. ඔහු තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළ දක්නට නැති විකාරසහගත දේවල් කළේය. මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කොට ඔවුන්ට හොඳ වාහන ලබාදෙන ක්‍රමයක් ඇති කළේය. ඔහු මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා යොදා ගත් ජනප්‍රියම ක්‍රමය වූයේ ආණ්ඩුවේ වටිනා ඉඩම් නාමික මිලකට ලබාදෙන ක්‍රමයක් ඇති කිරීමය.

ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ රජයට පවරා ගත් වතු ඉඩම් අක්කර මිලියනයකට වැඩි ප්‍රමාණයක් රජයට තිබුණු අතර තමන්ගේ මන්ත්‍රීවරුන් ඉඩම් හිමි, වතු හිමි වැවිලිකරුවන් බවට පත්කිරීම සඳහා යොදා ගත්තේ එම ඉඩම් සංචිතයයි. මන්ත්‍රීවරුන්ට රජයේ ඉඩම් දීම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සදාචාරයට පටහැනි දෙයක් බව ඔහු නොදැන සිටියා විය නොහැකිය.

මෙම කොල්ලකාරී වැඩසටහනට මන්ත්‍රීවරුන් එකතු කරගැනීම සඳහා ඔවුන්ගේ විලිබිය නැති කිරීම අවශ්‍ය වූ අතර, ඔවුන් තුළ ඒ ගැන නාමමාත්‍රික හෝ සැකයක් තිබුණේ නම් එය නැති කිරීම සඳහා ජනාධිපති ජයවර්ධන තමන්ට තිබූ නිසරු අක්කර 50ක පොල් ඉඩමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී ඒ වෙනුවට එම කොමිසම සතුව තිබූ සරු සාර පොල් අක්කර 50ක සරු සාර පොල් ඉඩමක් හිමිකර ගත්තේය. ඉඩම් කොල්ලය ආරම්භ කෙරුණු ජුගුප්සාජනක ආකාරය එය විය. ඒ සමග ලොක්කට හොඳ නම් අපට නරක විය හැක්කේ කෙසේදැයි සිතමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට තිබුණු සරු සාර ඉඩම් හඳුනා ගනිමින් ඒවායේ තිබෙන වතු බංගලා සමග නාමික මිලකට ඉඩම් මිලදී ගනිමින් වැවිලිකාර වතු හිමිකාර පන්තියක් බවට පත්වූහ. ජේ.ආර්. තමන්ගේ පවුල් කල්ලියේ සාමාජිකයන්ටද මිනිසුන්ට බැලූ බැල්මට නොපෙනෙන බොහෝ දේ කළේය. ඒවා ද ව්‍යවස්ථාවට පටහැනි අධම ක්‍රියා ලෙස සැලකිය හැකිය. රජයේ වියදමෙන් තමන් වෙනුවෙන් හෝ පවුලේ අය වෙනුවෙන් කෞතුකාගාර ඇති කරන ක්‍රමයක් ආරම්භ කළේද ඔහුය.

අනුප්‍රාප්තිකයෝ

ජේ.ආර්.ගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුද ජේ.ආර්. ඇති කරන ලද අවලස්සන ක්‍රමය ආරක්ෂා කර ගනිමින් හා එයට අලුත් අංග එකතු කරමින් එම දූෂිත ක්‍රමය පෝෂණය කරමින් ඉදිරියට ගෙන ගියෝය. ගුවන් විකාශන සංඛ්‍යාත ගජ මිතුරන්ට දෙන ක්‍රමයක් ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ ජනාධිපතිනි චන්ද්‍රිකාය. මෙම දූෂිත ක්‍රමය යටතේ සියලු ජනාධිපතිවරු දැන හෝ නොදැන ආණ්ඩු පක්ෂය සමග එකට කල්ලි ගැසී රටේ තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. චන්ද්‍රිකාගේ පාලන කාලයේදී මන්ත්‍රීවරුන් මගින් බෙදා දෙන ලද මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 1200කට වැඩිය. මත්පැන් බලපත්‍ර හතර, පහ හිමිකරගත් මන්ත්‍රීවරුද සිටියහ. ජේ.ආර්. ජයවර්ධන පාලනය යටතේ ආණ්ඩු පක්ෂයේ ලොකු පිරිසක් රජයේ වතු ඉඩම් හිමිකර ගනිමින් වැවිලිකරුවන් බවට පත්වන විට චන්ද්‍රිකා පාලන කාලයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් තැබෑරුම් හිමි තැබෑරුම්කරුවන් බවට පත්වූහ. ලොකු සංවර්ධන යෝජනා ක්‍රම, ලොකු මිලදී ගැනීම් හා ලොකු විකිණීම් ජනාධිපතිවරු සේ ම බලවත් මැති ඇමතිවරු මහා පරිමාණයෙන් ධනය උපයන වැදගත් මාර්ග බවට පත්කර ගත්හ. කොල්ලකෑමට ලක් නොවූ කිසිම තැනක් ඉතිරි නොවන තරමට වස්තු කොල්ලය ඉදිරියට ගමන් ගනිමින් තිබුණේය. දැන් කවුරුත් දන්නා මහ බැංකු බැඳුම්කර මගඩිය එයට එක උදාහරණයක් පමණය. රට බංකොළොත් වන විට දේශපාලන තන්ත්‍රය ධනවත් වේ.

ඉතාමත් ඛේදජනක දේ වනුයේ රටේ නිල උගතුන්ටවත් මෙම වස්තු කොල්ලයේ නියම ස්වභාවය තේරුම් ගැනීමට නොහැකිවීමය. අඩුම වශයෙන් මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවවත් ඔවුහු දැන නොසිටියෝය. මෙම ප්‍රශ්නයට විසඳුම ලෙස ඔවුන් දැක්කේ පාර්ලිමේන්තුවට උගතුන් හෝ වෘත්තීයවේදීන් යැවීමය. බරපතළ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කරගැනීමේ අවශ්‍යතාව ඔවුහු නොදුටුවෝය.

රන්ජන්ගේ බිහිසුණු හෙළිදරව්වෙන් පසුවවත් ඔවුන්ට බාගෙට මිස හරිහැටි ඇස් ඇරී තිබෙන බව පෙනෙන්නට නැත. පාර්ලිමේන්තුවේ රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන සොයා බලන පරීක්ෂණයක්වත් ඔවුන් ඉල්ලා සිටින්නේ නැත. අඩුම වශයෙන් ඒ ගැන ලියැවුණු එකම කතුවැකියක්වත් මා දැක නැත.

මෙවැනි අර්බුදයකදී අධිකරණයේ කාර්යභාරය සේ ම විගණකාධිපතිවරායගේ කාර්යභාරයද සාකච්ඡාවට ලක්විය යුතුය.

 

Advertiesment