Saturday 26th of September 2020

English Tamil
Advertiesment


බැඳුම්කරට ගොදුරු වූ රවීට වන්දි ගෙවා ඉතිහාසය නිවැරදි කරනු


2020-02-01 8115

හිටපු මුදල් ඇමතිට ගැහුව්වේ මහ බැංකු කොල්ලයේ "දෙවි පියවරුන්" රකින්නයි

 

ලොව පිළි ගත් "B.D.O" ගැනවත් අඳ බාල දේශපාලකයින් දන්නේ නැහැ

 

වෝහාරික විගණනය ගැන මැති ඇමතිවරුන් දන්නේ කුමක්ද..?

 

හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්නූ අජිත් නිවාඩ්

 

උදය ගම්මන්පිල මූල්‍ය මණ්ඩලයට කරන තිරස්චීන චෝදනා හෙළා දකිනවා

 

කතානායක පාර්ලිමේන්තුවේ කළ යුතු ප්‍රකාශය

 

 

(සුජිත් මංගල ද සිල්වා)

රවී කරුණානායකට එල්ල කෙරුණු අසත්‍ය සහ වෛරී චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරමින් ඔහුට සාධාරණය ඉටු කිරීම ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු සියලු පාර්ශවයන්ගේ වගකීමක් සේම යුතුකමක් වන්නේ යැයි ද, දැන හෝ නොදැන සියතින් සිදු වූ වදර නිවැරදි කර ගැනීමට සියලු දෙනා වග බලා ගත යුතු යැයි ද වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස තමා එසේ කියන්නේ වැරදිකරුවෙකු නොවන අයෙකුට යම් වරදක් සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළාම වැරදිකාරයා සදාකාලිකවම සැඟ වී යන අතර එම තත්ත්වය රටට,ජනතාවට සහ සමාජයට යහපත් නොවන නිසා යැයි ද ඔහු පෙන්වා දෙයි.

රවී කරුණානායක මහ බැංකු කොල්ලයේ චූදිතයෙකු නොවන අතර එම සමස්ථ ක්‍රියාවලියට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනය සිදු කළ ලොව පිළි ගත් කීර්තිමත් සමාගමක් වන "B.D.O India" ආයතනය සිය විගණන වාර්තාව

මගින් තහවුරු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තාවේ ද ඔහුගේ නම චූදිතයෙකු ලෙස සඳහන් නොවන්නේ නම් ඔහු ගැනම කතා කරමින් බොහෝ අය මේ උත්සහ කරන්නේ මහ බැංකු මහ මංකොල්ලයේ දෙවි පියවරුන් ආරක්ෂා කිරීමට දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියි.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේද කීය.

යහ පාලන ආණ්ඩුව යටතේ සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම කරුණු හෙළිදරව් කර ඊට අදාළව විධිමත්,සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර දුෂිතයින් නීතිය ඉදිරියට පමුණුවා දැඩි දඬුවම් ලබා දිය යුතු බව කියමින් ඒ වෙනුවෙන් ජනතාව පවා පෙළ ගැස්ස වූයේ එවකට විපක්ෂයේ සිටී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන විපක්ෂයයි.

ඒ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් සහ ගැඹුරු ලෙස කරුණු විමර්ශනය කර ඊට වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වෝහාරික විගණනයක් සිදු කෙරුණේ,2015 බැඳුම්කර ගනුදෙනුව පමණක් නොව 2008 සිට 2015 දක්වාම සිදු වූ සමස්ථ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවට ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සිය වාර්තාව මගින් ලබා දුන් නිර්දේශ මත පදනම්වයි.

2015 බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ලබා දෙමින් අවධාරණය කර සිටියේ මේ ක්‍රියාවලිය ඉතා බරපතළ,සංකීරණ සහ කාලයක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ක්‍රියාවලියක් වන නිසා 2008 සිට 2015 දක්වාම සිදු වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කළ යුතු බවය. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට පෙර 2015 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද කරුණු විමර්ශනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඊට සමගාමීව විගණකාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබුණා.

කෙසේ නමුත් 2015 පමණක් නොව 2008 සිට 2015 දක්වාම සිදු වූ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ සමස්ථ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු විමර්ශනය කර ඊට සම්බන්ධ සහ වග කිව යුතු සියලු පාර්ශවයන් ගැන තොරතුරු හෙළිදරව් කරමින් අලුතින්ම නිකුත් වී ඇති වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට රටේත් ජන සමාජයේත් බරපතළ සංවාදයක් ඇති වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව මේ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද..?

මුළු රටම-ජනතාවම මවිතයට පත් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව මේ වෝහාරික විගණන වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳව ජනතාව අතර සැකයක් මතු කරවමින් සිටිනවා.

මෙසේ අද ක්‍රියා කරන්නේ එදා විපක්ෂයේ සිටියදී මේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණන ඇතුළු සාධාරණ,අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණ සිදු කරමින් මහ බැංකුව කොල්ල කෑ හොරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කියමින් අරගල කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණමයි. මේ වෝහාරික විගණන වාර්තාවට අද ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් වෝහාරික විගණනයක් කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැහැ.ඇත්තටම වෝහාරික විගණනයක් කියන්නේ කුමක් ද..?

විගණන වර්ග තුනක් තිබෙනවා.ඒ අභ්‍යන්තර විගණනය,බාහිර විගණනය සහ වෝහාරික විගණනය යනුවෙනුයි. අභ්‍යන්තර විගණනය කියන්නේ යම්කිසි ආයතනයක මූල්‍ය ගනුදෙනු ඇතුළු වැඩ කටයුතු ආයතනයේ නීති රීති සහ රෙගුලාසිවලට අනුකූලව දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලින් තොරව සිදු වනවා ද නැද්ද යන්න පිළිබඳව වාර්ෂිකව හෝ අවශ්‍යතාවය පරිදි එම ආයතනය විසින්ම අභ්‍යන්තරිකව සිදු කර ගන්නා විමර්ශනයයි. බාහිර විගණනය කියන්නේ මූල්‍ය ගනුදෙනු ඇතුළු සියලු වැඩ කටයුතු දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලින් තොරව නීති රීති සහ සම්ප්‍රදායන්ට අනුකූලව විධිමත්ව සහ විනිවිධ භාවයෙන් යුතුව සිදුව තිබෙනවා ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත කාල රාමුවකට යටත්ව යම් ගිණුම් වර්ෂයක් අවසානයේදී යම්කිසි ආයතනයක් බාහිර තෙවැනි පාර්ශවයක් මගින් සිදු කර ගන්නා විමර්ශනයයි. වෝහාරික විගණනය කියන්නේ බාහිර විගණනයේදී යම් යම් ප්‍රශ්න,සැකයන් සහ අපැහැදිලි තත්ත්වයන් මතු වුණොත් ඊට පසුබිම් වී ඇති හේතු කාරණා සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු සොයා බලන විගණනයටයි.

මෙහිදී සිදු වන්නේ යම් යම් දුෂණ,වංචා සහ අක්‍රමිකතා සිදුව ඇත් නම් ඊට වග කිව යුත්තන් හඳුනා ගෙන ඒ අයට එරෙහිව නීතිම වශයෙන් පියවර ගැනීම සඳහා අවශ්‍ය සාක්කි,සාධක,දත්ත සහ තොරතුරු ලබා දීමයි. මෙවැනි බරපතළ වෝහාරික පරීක්ෂණ සිදු කරන්නේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හෝ ඒ සම්බන්ධ විශේඥ දැනුම,පළපුරුද්ද,අත්දැකීම් සහ සම්පත් ඇති ජාත්‍යන්තරය පිළි ගන්නා වරලත් විගණන ආයතනයි. මේ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මැති ඇමතිවරුන්ගේ තර්කය වී තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළව හොරකම් සිදුව ඇති බවට වන කිසිදු තොරතුරක් එම වාර්තාවේ සඳහන් නොවන බවයි.ඒක ඇත්ත...රජයේ විගණකාධිපතිවරයා මේ ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේත් මේ ක්‍රියාවලියේදී සිදු වූ හොරකමක් ගැන නොව රජයට සිදු වූ මහ පරිමාණ අලාභයක් ගැනයි. ඒ කියන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී රජයට මහ පරිමාණ අලාභයක් සිදුව තිබෙනවා නම් යම් කිසි බාහිර පාර්ශවයක් එම ගනුදෙනුවලින් අයථා ලාභයක් ලබා තිබිය යුතුයි.

යම් කිසි පාර්ශවයක් රජයට මහ පරිමාණ අලාභයක් සිදු කරමින් අති විශාල අයථා ලාභයක් ලබනවා නම් ඒ ක්‍රියාව නීති විරෝධී වන අතර වංචා සහගතයි.රජයට මහ පරිමාණ අලාභයක් සිදු කරමින් යම් කිසි පාර්ශවයක් අයථා ලාභයක් ලබා ගැනීම යනු හොරකමක්,වංචාවක් සහ දුෂණයක් තමයි. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත මේ වෝහාරික විගණනය සිදු කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඊට සියලු සුදුසුකම් තිබෙන ජාත්‍යන්තරව පිළි ගන්නා වරලත් සුප්‍රසිද්ධ විගණන ආයතනවලින් විවෘත්ත ඉල්ලීමක් කරමින් ඒ සඳහා විධිමත් පටිපාටියට අනුව ටෙන්ඩර් කැඳවා ඒ ඔස්සේ ජාත්‍යන්තර කීර්තියට පත් වරලත් සුප්‍රසිද්ධ විගණන ආයතනයක් වන "B.D.O India" ආයතනයට මේ වෝහාරික විගණනය සිදු කිරීමේ වගකීම පැවරුවා. කෙසේ නමුත් මේ වෝහාරික විගණනය සිදු කිරීමේ වගකීම "B.D.O India" සමාගමට පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සිටින්නේ හොරුන් කියායි.

එම නිසා මේ වෝහාරික විගණනය සිදු කිරීම සඳහා අදාළ සමාගම තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටින හොරුන් කර තිබෙන්නේ හොරාගේ අම්මගෙන් පේන ඇසීම නොව හොරුන්ගෙන්ම පේන ඇසීම බවට ද ඔහු චෝදනා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටින කීර්තිමත් නිලධාරීන්ට උදය ගම්මන්පිල මහතා මෙසේ පහත් ලෙස චෝදනා කරමින් අපහස කිරීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස අප ඉතා තරයේ සහ පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.මේ උදය ගම්මන්පිල කියන පුද්ගලයාට මහ පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බව අප කවුරුත් දන්නවා.එවැනි පුද්ගලයෙකු මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටින කීර්තිමත් නිලධාරීන්ට මෙසේ චෝදනා එල්ල කරන්නේ කෙසේද..? සඳහා තිබෙන පදනම,සාක්කි සහ සාධක කවරේද..?

මේ ගැන සරළවම කියනවා නම් උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ දිනවල කියමින් සිටින්නේ එවකට පැවැති රජය මූල්‍ය මණ්ඩලයේ හොරුන් එක්ක එකතු වී ඉන්දියාවේ අස්සක තිබෙන කවුරුත් නොදන්නා,පිළි ගැනීමක් සහ සුදුසුකම් නොමැති "B.D.O India" නමැති සමාගමට මේ වෝහාරික විගණනය සිදු කිරීමේ වගකීම පවරා ඒ අයට අවශ්‍ය ලෙස වාර්තාව ලියවා ගත් බවයි. 1973 දී මහ බ්‍රිතාන්‍යයේ ආරම්භ කෙරුණු මේ "B.D.O" සමාගම මේ වන විට ලෝකයේ රටවල් 162ක් පුරා සිය ජාලය ව්‍යාපත් කර ගෙන සිටින බවත්,ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ වෝහාරික විගණනය සිදු කළ එම සමාගමේ ඉන්දීය ශාඛාව වන "B.D.O India" ආයතනයේ පමණක් වෘත්තීමය සුදුසුකම් ලත් විගණකවරුන් 2800ක් සේවයේ යෙදී සිටින බවත් මේ පදනම් විරහිත,අභූත සහ අසත්‍ය චෝදනා එල්ල කරන දේශපාලකයින් නොදැන සිටීම රටේ සහ ජනතාවගේ අභාග්‍යක් බව කිව යුතුයි. ලෝකයේ මේ තරම් කීර්තියක් දිනා ගෙන සිටින,අත්දැකීම් බහුල,පළපුරුදු,සුප්‍රසිද්ධ සහ ඉතිහාසයක් සහිත මෙවැනි සමාගමක් ශ්‍රී ලංකාව වැනි රටක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරමින් වැරදි වාර්තාවක් ලබා දී සිය කීර්ති නාමය,පැවැත්ම සහ අභිමානය විනාශ කර ගනීවිද..? ආණ්ඩුවේ මේ දේශපාලකයින් චෝදනා කරන ආකාරයට එම සමාගම මේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ චෝදනාවලින් එක්සත් ජාතික පක්ෂයයි-රනිල් වික්‍රමසිංහයි-රවී කරුණානායකයි ශුද්ධ කිරීම සඳහා බෙල්ල දී සිය ආත්මය පාවා දෙයිද..?

යහ පාලන ආණ්ඩුව යටතේ,එනම් 2015න් පසුව සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී රුපියල් මිලියන 689ක ද,මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ 2008 සිට 2015 දක්වා රුපියල් මිලියන 10740ක ද පාඩුවක් රජයට නොඑසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව ඇති බව මේ වෝහාරික විගණන වාර්තාවේ ඉතා පැහැදිළිව සඳහන් වනවා. මේ මහ පරිමාණ අලාභය ගැන අප සාකච්ඡා සහ සංවාද කරද්දී,කලබල වුණේ හඳ පෙන්වද්දී ඒ දෙස නොබලා ඇඟිල්ල දෙස බලා ගෙන ඇඟිල්ල ගැන කතා කරන මැති ඇමතිවරුනුයි.ඊට හේතුව මේ වැරදි සම්බන්ධයෙන් ප්‍රති උත්තර බැඳීමට මේ මැති ඇමතිවරුන්ට සිදුව තිබීම බව කිව යුතුයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපගේ ස්ථාවරය වී තිබෙන්නේ මේ වෝහාරික විගණන වාර්තාව පදනම් කර ගෙන, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී රජයට විශාල අලාභයක් සිදු කරමින් අයථා ලාභයක් ඉපයූ සියලු දෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ යුතු බවයි.

රටේ මහ ජනතාවට වැදගත් වන්නේ මහ බැංකුව කොල්ල කෑවේ අජිත් නිවාඩ් කබ්රාල් ද නොඑසේ නම් අර්ජුන් මහේන්ද්‍රන් ද කියන කාරණය නොවන අතර ඒ අය පුන පුනා කියා සිටින්නේ මහ බැංකුව කොල්ල කෑ සියලු දෙනාට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ වෝහාරික විගණන වාර්තාව ගැන කතා කරන අපේ රටේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලකයින් බහුතරයක් අවම වශයෙන් එම වර්තවවත් කියවා නොමැති අතර වෝහාරික විගණනය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා දේශපාලන කයිවාරුකාරයින් සහ අඳ බාලයින් බව කිව යුතුයි.වෝහාරික විගණන වාර්තාව තමාට දේශපාලන පාරා වළල්ලක් වනු ඇතැයි තිබෙන බියට කෑ ගසනවා විනා එම වාර්තාවට උත්තර දෙන්නේ නැහැ.

වෝහාරික විගණන වාර්තාව සහ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ දිනවල අතිශය කලබල වී සටින අතර ඔහු මේ සම්බන්ධයෙන් හදිසියේ පොතක් ද ලිව්වා.ඒ වගේම එදා මේ වගේම හදිසියකින් සුජීව සේනසිංහ අමාත්‍යවරයා ද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොතක් ලිව්වා අප දුටුවා.මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කලබලය හේතුවෙන්ම වෝහාරික විගණන වාර්තාව නිවැරදි බවට ජනතාව අතර මේ වන විට මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප තරයේ අවධාරණය කර සිටින්නේ මහ බැංකු කොල්ලයට වග කිව යුතු සියල්ලන්ට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව නීතිය කළ යුතුවා සේම එම මහ මංකොල්ලය අභූත,අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල වූ සියලු දෙනාද පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව නිදොස් කොට නිදහස් කරමින් ඒ අයට සාධාරණය ඉටු කළ යුතුයි.

මේ ක්‍රියාවලියේදී අභූත,අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල වීමෙන් කීර්ති නාමය,චරිතය,අභිමානය සහ දේශපාලන ජීවිතය විනාශ වූ ප්‍රධානම පුද්ගලයා වන්නේ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා වන අතර ඉතිහාසයේ බරපතළම වරදට මුහුණ දුන්නේ ඔහුයි.

රවී කරුණානායක මහතා මහ බැංකු කොල්ලයේ චූදිතයෙකු නොවන අතර එම සමස්ථ ක්‍රියාවලියට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනය සිදු කළ ලොව පිළි ගත් කීර්තිමත් සමාගමක් වන "B.D.O India" ආයතනය සිය විගණන වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා.එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තාවේ ද ඔහුගේ නම චූදිතයෙකු ලෙස සඳහන් වන්නේ නැහැ. එසේ නම් කාලයක් මුළුල්ලේ එල්ල කෙරුණු අභූත,පදනම් විරහිත,අසත්‍ය සහ වෛරී චෝදනාවලින් රවී කරුණානායක මහතා නිදොස් කොට නිදහස් කරමින් ඔහුට සාධාරණය ඉටු කිරීමේ වගකීම,වගවීම සහ යුතුකම රජයට වගේම විපක්ෂයට ඇතුළු සියලු පාර්ශවයන්ට තිබෙන අතර සඳහා සියලු පාර්ශවයන් නිහතමානී වෙමින් තමා අතින් දැන හෝ නොදැන සිදු වූ වදර නිවැරදි කර ගත යුතුයි.විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප එසේ කියන්නේ වැරදිකරුවෙකු නොවන අයෙකුට යම් වරදක් සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළාම වැරදිකාරයා සදාකාලිකවම සැඟ වී යන අතර එම තත්ත්වය රටට,ජනතාවට සහ සමාජයට යහපත් නොවන නිසයි.

මේ චෝදනා නිසා රවී කරුණානායක මහතාට මුලින්ම මුදල් ඇමතිකමෙන් ද පසුව විදේශ කටයුතු ඇමතිකමෙන් ද ඉල්ලා අස් වී ගෙදර යන්න සිදු වූ අතර පසු පෙළ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සිදු වුණා.එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව එදා තිබුණේ මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා යටතේ නොවන බවත්,මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රධාන සියලු නිලධාරීන් පත් කළේ සහ මහ බැංකුව සමග ඍජුව ගනුදෙනු කරමින් නියෝග ලබා දුන්නේ කවුරුන්ද කියාත් මේ රටේ මිනිස්සු දන්නවා.ඒ වගේම මේ සියලු සිද්ධීන් සහ තොරතුරු පාර්ලිමේන්තුවේ "හැන්සාඩ්" ගත වී තිබෙනවා.

එසේ නම් රවී කරුණානායක මහතාගේ කීර්ති නාමයට සහ ඔහුගේ දේශපාලන ජීවිතයට සිදු වූ විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යම් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පාර්ලිමේන්තුවේදී නිවැරදි කිරීමේ යුතුකම සහ වගකීම කතානායකවරයාට ද තිබෙන අතර එම ක්‍රියා මාර්ගය රවී කරුණානායක මහතාගේ අයිතියක් ද වනවා.

 

Advertiesment