Monday 6th of July 2020

English Tamil
Advertiesment


භික්ෂූන්ගේ පාර්ලිමේන්තු දේශපාලනය අවසන් කළ යුතුයි 


2020-01-29 1980

හෙළ උරුමය හැමදාම කළේ සිය දේශපාලන වෙනුවෙන් ජාතිකත්වය ගසා කෑම 

 

බද්දේගම සමිත-අතුරලියේ රතන සඟ පරපුරට තිත තැබිය යුතුයි 

 

භික්ෂූන් පාර්ලිමේන්තු යවා සිංහල බෞද්ධයින් කළේ වරදක් 

(මහාචාර්ය නලින් ද සිල්වා)

භික්‍ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා තිබුණා සංඝයා වහන්සේ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් නොකරන ලෙස.මා හිතන්නේ එය ඉතා හොඳ ඉල්ලීමක්. භික්‍ෂූන් වහන්සේ මැති සබයේ අසුන් ගැනීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. බද්දේගම සමිත හාමුදුරුවන්ගෙන් පටන් ගෙන අතුරලියේ රතන හිමියන් දක්වා ඇති මේ සඟ පරපුරට තිත තියන්න කාලය ඇවිත්.

ඒ වගේ ම තමයි ප්‍රාදේශීය සභා හා වෙනත් එවැනි ආයතනවලටත් හාමුදුරුවරුන් පත්කර ගැනීම සුදුසු නැහැ. මා හිතන්නේ සිංහල බෞද්ධ සම්ප්‍රදායට ගරු කරන දේශපාලන පක්‍ෂයක් තම අපේක්‍ෂක ලැයිස්තුවල හරි ජාතික ලැයිස්තුවල හරි භික්‍ෂූන් වහන්සේ නම් නොකළ යුතු බවයි.

යම්කිසි පුද්ගලයකු හරි සංවිධානයක් හරි භික්‍ෂූන් වහන්සේගෙන් පමණක් සැදි ලැයිස්තුවක් කිසියම් මගකින් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. වරක් ජාතික හෙළ උරුමය එවැන්නක් කළා. එමගින් ඔවුන් තම පක්‍ෂයේ නියෝජිතයන් ලෙස භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් පාර්ලිමේන්තු වැඩැම්මෙව්වා. අප ඒ දිනවල මැතිවරණ හා හාමුදුරුවෝ නමින් පොත් පිංචක් ද ප්‍රසිද්ධ කර ඔවුන්ගේ වෑයමට විරුද්ධ වුණා.

ජාතික හෙළ උරුමය එදත් අදත් කවදත් කෙළේ ජාතිකත්වය තම දේශපාලනය වෙනුවෙන් ගසා කෑමයි. අද ඔවුන්ට "සජිත් සරණං ගච්ඡාමි" කියන්න සිද්ධ වෙලා. ඔවුන් මේ ආත්මයේ ම "බෝන් අගේන්" වීමට ඉඩ තියෙනවා. ඒ කෙසේ වෙතත් භික්‍ෂූන් වහන්සේ දිනවීමෙන් ඇතැම් සිංහල බෞද්ධයන් ද කෙළේ හාමුදුරුවරුන්ගේ ගරුත්වය නැති කිරීමයි. චම්පකට එයින් වැඩක් නැහැ. කාගේ ගරුත්වය නැති වුණත් ඔහුට අවශ්‍ය ජනාධිපති වීමේ සිහිනය දකින්න පමණයි.

සිංහල බෞද්ධ සම්ප්‍රදායේ භික්‍ෂූන් වහන්සේ ඉන්නේ රජවරුන්ට පාලකයන්ට උඩින්. මිහිඳු මහා රහතන් වහන්සේ අනුව යමින් අප පාලකයන්ට කිව යුත්තේ භාරකාරයන් කියා. පාලකයන්ට උඩින් ඉන්නවා කියන්නේ පාලකයන් හා සමාන අසුන් ගැනීම නො වෙයි. භික්‍ෂූන් වහන්සේට පාර්ලිම්න්තුවේ ඇතිරිල්ලක්වත් දමන්නේ නැහැ. ඇතිරිල්ලක් දැම්මොත් ප්‍රශ්නය විසඳෙන බව නොවෙයි මා කියන්නෙ. භික්‍ෂූන් වහන්සේ කතා නායක, නියෝජ්‍ය කතා නායක, කාරක සභා සභාපති ආදී තනතුරුවලට පත් කළ යුතු බවක්වත් නොවෙයි මා කියන්නේ. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වඩින්න හොඳ නැහැ. එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි.

සිංහල බෞද්ධ සම්ප්‍රදාය අශෝක රජු හරහාත් එන්නක්. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට සුදුසු අසුනක් බලා අසුන් ගැනීමට අශෝක රජු ආරාධනා කළ අවස්ථාවේ උන්වහන්සේ තෝරා ගත්තේ සිංහාසනය. ඒ තමන් වහන්සේට වඩා ඉහළින් කිසිවකු එතැන නොසිටි නිසා. උන්වහන්සේ ඉන් ලොවට ම කියා දුන් පාඩම වූයේ භික්‍ෂූන් වහන්සේ, සාමණේර නමක වුවත්, රජුට උඩින් සිටින බවයි.

රජුට පාලකයන්ට උඩින් සිටීමට හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට වැඩම කළ යුතු නැහැ. පැරණි රාජ සභාවල පුරෝහිත බමුණන් ඉන්න ඇති. එහෙත් හාමුදුරුවරුන් රාජ සභාවේ අසුන් ගත්තේ නැහැ. සංඝ සමාජය බමුණු සමාජයෙන් හාත්පසින් ම වෙනස්. පාර්ලිමේන්තුවේ පාස්ටර්වරුන්, පූජකයන් ඉන්න පුළුවන්. පළමු පාර්ලිමේන්තුව වූ එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පූජකවරුන් අසුන් ගන්නවා. එහි ප්‍රශ්නයක් නැහැ. භික්‍ෂූන් වහන්සේ යනු පූජකයන් නොවෙයි. උන්වහනසේ පූජ්‍යයි.

මෙයින් කියැ වෙන්නේ භික්‍ෂූන් වහන්සේ රජුට අනුශාසනා නොකළ බවක් නොවෙයි. උන්වහන්සේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්නවලදී ද මැදිහත් වී තිබෙනවා. පරාක්‍රමබාහු රජු හා මියන්මාර රජු අතර ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ දී එය සමථයකට පත් කෙළේ භික්‍ෂූන් වහන්සේ. මෙරට භික්‍ෂූන් වහන්සේ රජුන් තනන්නන් මෙන් ම රජුන් පහ කරන්නන්ද වීී තිබෙනවා. ඒ තමයි සිංහල බෞද්ධ සම්ප්‍රදාය. සමහර තීරණ වැරදි වෙන්න ඇති. එහෙත් සමස්තයක් ලෙස ඒ තීරණ රටේත් ජාතියේත් සසුනේත් යහපතට හේතු වී තිබෙනවා. ඉතා මැතකදීත් බණ්ඩාරනායක මැතිණිය අගමැති කෙරුණේ භික්‍ෂූන් වහන්සේ විසින්. ගෝඨාභය රාජපක්‍ෂටත් භික්‍ෂූන් වහන්සේගෙන් ලැබුණු සහාය සුළුපටු නො වෙයි.

භික්‍ෂූන් වහන්සේ රජුන් තැනුවත් උන්වහන්සේ රජ වූයේ නැහැ. භික්‍ෂූන් වහන්සේ නමකට රජ වීමට අවශ්‍ය නම් පළමුව ගිහි වෙන්න ඕන. ධාතුසේන රජු, සෙනරත් රජු පළමුව ගිහි වුණා. අප මේ සම්ප්‍රදාය තේරුම් ගන්න ඕන. අද සිංහල බෞද්ධ රාජ්‍යයක් මෙරට නැති බව ඇත්ත. එහෙත් එපමණකින් අප සිංහල බෞද්ධ සම්ප්‍රදායට පිටු නොපෑ යුතුයි. සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සහ සංස්කෘතියේ භික්‍ෂූන් වහනසේ රජ වන්නේ නැහැ. ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් කියන්නේ භික්‍ෂූන් වහන්සේ දේශපාලන පක්‍ෂ හදන රාජ්‍යයක් නො වෙයි.

භික්‍ෂු දේශපාලනයක් තියෙනවා. භික්‍ෂූන් වහන්සේ දේශපාලනයේ යෙදෙනවා. එහෙත් ඒ පාර්ලිමේන්තුවේ නො වේ. මැත කාලයේ දී භික්‍ෂු දේශපාලනය ගැන ලියැ වුණු වැදගත් ම ප්‍රකාශය වූයේ විද්‍යාලංකාර ප්‍රකාශයයි. මේ සම්බන්ධ ව මා අවුරුදු පහළොවකට පමණ පෙර ලියා තියෙනවා.

භික්‍ෂූන් වහන්සේ මැතිවරණවල දී ඡන්දය දීම එකක්. ඡන්දය ලබා ගැනීම තවත් එකක්. ඊනියා මානව අයිතියක් කියා ඡන්දය ඉල්ලීම නුසුදුසුයි. ඒ ඒ සමාජවල ඇත්තේ ඒ සමාජවලට ආවේණික ඇවතුම් පැවතුම්. සංඝයා වහන්සේ සාමාන්‍ය මිනිස් සමාජයෙන් වෙනස්. විවාහ වීම ඊනියා මානව අයිතියක් වෙන්න පුළුවන්. එහෙත් සංඝයා වහන්සේට එය අදාළ නැහැ.

 

Advertiesment