Sunday 12th of July 2020

English Tamil
Advertiesment


බැඳුම්කර වෝහාරිකයෙන් ද රවී නිදොස් කොට නිදහස්


2020-01-28 3891

"එජාපයට ප්‍රශ්න ඇති කළේ පක්ෂයේම පිරිසක්"

 

"ඒ වරද නිවැරදි කළ යුතුයි"

 

"ජනතාවට සහන දෙනවා නම්  2/3 නොව 100% ක සහය දෙන්න එජාපය සූදානම්"

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු විමර්ශනය කරමින් ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවෙන් ද මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ එම ගනුදෙනුවට,සිද්ධියට සහ ක්‍රියාවලියට තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

වෝහාරික විගණන වාර්තාවෙන් ද තමා නිදොස් කොට නිදහස් කර තිබෙන්නේ යැයි ද පෙන්වා දුන් රවී කරුණානායක මහතා තමාට එදා අවලාද නැඟූ එක්සත් ජාතික පක්ෂයේම අය මේ සම්බන්ධයෙන් අද කියන්නේ කුමක්දැයි ද ප්‍රශ්න කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පසු ගිය දා පැවැති උත්සවයකින් අනතුරුව ජන මාධ්‍යවේදීන් අසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද කීය.

"මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු විමර්ශනය කරමින් ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවෙන් ද මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ එම ගනුදෙනුවට,සිද්ධියට සහ ක්‍රියාවලියට මගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.ඇත්ත වශයෙන්ම එම වෝහාරික විගණන වාර්තාවෙන් ද මා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට මාව සැක කරලා මටත් මගේ පවුලේ අයටත් එරෙහිව අපේම පක්ෂයේ අයත්,විරුද්ධ පක්ෂයේ අයත් පොදුවේ සියලු දෙනාමත් කෙතරම් අවලාද නැගුවා ද..? ඒ අවස්ථාවේදී මම සියල්ල තනිවම විඳ දරා ගෙන කිසිවක්ම නොකියා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේ සත්‍ය කවදා හෝ ජය ගන්නා බවට වන ධර්මතාවය පිළිබඳ පූර්ණ විශ්වාසය ඇතිවයි.

මට එරෙහිව එල්ල කළ චෝදනා,අවලාද සහ අපහස උපහාස මම එදා භාර නොගත් නිසා ඒ සියල්ල යළි භාර ගැනීමට මට එසේ කළ සියලු දෙනාටම අද සිදුව තිබෙනවා.ඒ චෝදනා,අවලාද සහ අපහස උපහාස ඒ අයටම පාරා වළල්ලක් වී ඇති අතර "දිට්ඨ ධම්ම වේදනීය" වශයෙන් ඒ අය කළ කරුම ඒ අයටම ගෙවීමට අද සිදු වෙලා.

ඇත්ත නොදැන,කරුණු සොයා බැලීමකින් තොරව සහ පදනම් විරහිතව මිනිස්සුන්ට චෝදනා සහ අවලාද නැගීමෙන් ද අපහස උපහාස කිරීමෙන් ද වැළකී සිටිය යුතු බව බුදු රජාණන් වහන්සේ ද දේශනා කර ඇත්තේ මේ නිසයි.මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වන විට මම මුදල් ඇමතිවරයා ලෙස ක්‍රියා කළත් අවම වශයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවවත් මගේ යටතේ තිබුණේ නැහැ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනිකව මා විනාශ කිරීමට පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මත මට එරෙහිව චෝදනා සහ අවලාද නැගුවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක, මලික් සමරවික්‍රම,ඉරාන් වික්‍රමරත්න,කබීර් හෂීම්,හර්ෂ ද සිල්වා,සුජීව සේනසිංහ සහ මංගල සමරවීර යන අයයි.මේ අය මට එල්ල කළ ප්‍රහාරයෙන් දේශපාලනිකව හානියට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය සහ අපේ ආණ්ඩුවයි.    

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව අපහාසයට,උපහාසයට සහ අපකීර්තියට පත් වුණා.ප්‍රශ්න ඇති වුණා.අපහසුතාවයට පත් වුණා.නමුත් අවසානයේ සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ඔප්පු කරමින් අප ජයග්‍රහණය කළා.මේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට කළ වරද අප නිවැරදි කළ යුතුයි.ඒ අපරාධ චෝදනාවෙන් අපේ පක්ෂය ගළවා ගත යුතුයි.මේ සියලු ප්‍රශ්නවලට මේ අය වග කිව යුතුයි.මේ ගැන පාපෝචාරණය කළ යුතුයි. 

2002  සිට 2015 දක්වා වූ කාලය ඇතුළත දී සියල්ලක්ම සිදු වුණේ යම් රටාවකට.ඒ කාලය ඇතුළත සිදු වූ සියල්ලම වැරදියි කියන්න අපට හැකියාවක් නැහැ.යම් වැරදි සහ අඩුපාඩු සිදුව තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ වගකීම සහ කාර්ය භාරය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අප භාර කළ යුතුයි.

මේ අය එක්සත් ජාතික පක්ෂයත් මාත් ප්‍රශ්නයක පැටලු අවස්ථාවේදී ජනතාව අප සමග සිටියා. ඔවුන්ට සැලකීසමක් වශයෙන් දේශපාලනය පැත්තක තබා  සියලු දෙනා එකට එක්ව රට ඉදිරියට ගෙන යා යුතුයි.දේශපාලනය ගැන නොව රට ගැන සිතිය යුතුයි.රට අඟලක් ඉදිරියට යද්දි, ඊට වඩා වේගයෙන් තවත් අඩි 10 ක් ආපස්සට එනවා.තව දුරටත් මෙහම ගියොත් ඉදිරියේදී වඩාත් සංකීර්ණ තත්ත්වයකට රටට ජනතාවට මුහුණ දේනන සිදු වෙනවා. ඒ නිසා අප සියලු දෙනාම එකමුතු වී මේ තත්ත්වය වෙනස් කර රට ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතුයි.

මේ දිනවල විශාල ගැටලුවක් වී තිබෙන්නේ රන්ජන් රාමනායක මහතාගේ හඬ පට ප්‍රශ්නයයි. මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ජනතාවට සේවය කිරීමටයි.රට ඉදිරියට ගෙන යාමටයි.එසේ නොමැතිව කෑව බිව්ව සහ කළ නොකළ දේ ගැන කතා කර කර සිටීමට නොවෙයි.මෙවැනි ක්‍රියා කලාපයන් මගින් මන්ත්‍රීවරුන්ගේ ආත්මගරුත්වයට හානි සිදු වෙනවා.මන්ත්‍රීවරුන්ගේ මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී සාධාරණ සහ නිවැරදි තීරණ ගත යුතුයි.
මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය  සම්බන්ධයෙන් හිටපු ජනාධිපිතවරයා වග කිව යුතුයි කියලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියනවා.නමුත් එදා බලයේ සිටි අවස්ථාවේ ඔවුන් කළ යුතු දේ කළේ නැහැ.එසේ නොකර දැන් බොරුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා.

ආණ්ඩුවක් ගෙන යන එක පහසුක කාර්යයක් නෙමෙයි. 2015 දී අපට භාර දුන්නේ සම්පූර්ණයෙන්ම බංකොලොත් ආණ්ඩුවක්.නමුත් අප වැටුප් වැඩි කළා. සෞඛ්‍යයට මුදල් දුන්නා.අධ්‍යාපනයට මුදල් වියදම් කළා.විශ්‍රාම වැටුප් වැඩි කළා. ගෑස්-තෙල් මිල අඩු කළා.ආණ්ඩුවක් ලෙස අප රටට ජනතාවට මේ සේවය කළේ 2/3 ක බලයක් ඇතිව නොවෙයි.ජනතාවට සහන සලසන්න 2/3 ක බලයක් අවශ්‍ය යැයි මේ ආණ්ඩුව කියනවා නම් රට-ජනතාව වෙනුවෙන් 2/3 ක් නොව සියයට සියයක සහය වුණත් ලබා දෙන්න අප සූදානම් බව කිව යුතුයි." 


 

Advertiesment