Saturday 22nd of February 2020

English Tamil
Advertiesment


චීන වෛරසය ලොව පුරා පැතිර යයි


2020-01-26 2265

කැනඩාවට පැතිර ගොස් අවසන්-ශ්‍රී ලංකාවත් අවදානමේ 

 

"කොරෝනා" ලෝකයටම හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..?

 

රෝගය ලොව පුරා පැතිර ගියේ චීනයේ නොසැලකිල්ල නිසයි 

 

මරණ 56යි-රෝගීන් 1700යි    

(ජෝශප් ඩයස්)

චීනයේ  "කොරෝනා" වෛරසය මේ වන විට කැනඩාවට ද පැතිරේ ගොස් තිබෙන අතර එම වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යවද 56 දක්වා ද,  රෝගීන් සංඛ්‍යවද 1700 දක්වා ද ඉහළ ගොස් තිබේ. 

2019 දෙසැම්බර් 12 වැනිදා සිට 2020 ජනවාරි 20 වැනිදා දක්වා නිදහසේ චීනය පුරා පැතිරුණු "කොරෝනා" වෛරසය ආසාදිත පුද්ගලයින් ප්‍රමාණය මිට වැඩි විය හැකිය.චීන රජය පමා වී හෝ නගර හුදකලා කිරීමට ගත් තීරණය ඉතාමත් නිවැරදි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 පෙබරවාරි මුල සිට රෝගයේ ව්‍යාප්තියේ අඩුවීමක් දැකිය හැකි වනු ඇත.එතෙක් ඔබ වෙත දිනපතා අපට වාර්තා කිරීමට සිදු වනුයේ රෝගීන්ගේ ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාව දිනපතා වැඩි වන සෝචනීය තත්ත්වයන්ය. 

චීනයේ බෙයිජිං සිට අන්තර් දුර බස් ගමන් සේවා මේ වන විට නතර කර ඇති අතර "වුහන්" සහ තවත් හුදකලා කර ඇති අතර නගරවල පුද්ගලික වාහන භාවිතයද නතර කිරීමට තීරණය කර ඇත.

චීනයේ ජනපති වරයා වන ෂී ජින් පින් මාධ්‍ය අමතමින් පැවසුවේ චීනය මේ වන විට බරපතළ තත්වයකට මුහුණ දී ඇති බවත්, එම තත්වයෙන් රට මුදා ගැනීමට ක්‍රියා මාර්ග ගන්නා අතර මේ අභියෝගය ජය ගැනීමට සිය රටට හැකියාව සහ ශක්තිය ඇති බවය.එසේම රෝගීන්ගේ සංඛ්‍යාව මේ දිනවල වැඩිවීම බරපතළ කරුණක් බවත් චීනය කෙසේ හෝ මෙම තත්ත්වය පාලනය කරන බවත් ඔහු ජන මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම් දුන්නේය.

තත්ත්වය බරපතළ බව තේරුම් ගෙන ඇති ජනපතිවරයා ඊට විසදුම් සෙවීම සහ තත්ත්වය පාලනය කිරීමේ වගකීම තමා සහ කැබිනට් මණ්ඩලය වෙත භාර ගෙන ඇති අතර,රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වලට සේම හුදකලා කර ඇති නගරවල නීතිය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  චීන හමුදාවද යොදාවා ඇත.

මෙම තත්වයේ බරපතළකම 2020  ජනවාරි මස ආරම්භයේම සිටම චීනය බලධාරීන්ට පෙන්නුම් කර දුන් නමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට  ඔවුන් ප්‍රමාද වීම හේතුවෙන් මෙසේ රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇත.එහෙත් පමාවී හෝ නීතිරීති දැඩි කිරීම අගය කළ යුතු අතර එහි ප්‍රතිඵල ඉදිරි සතියේ "කොරෝනා" වෛරසය පැතිරීම ක්‍රම ක්‍රමයෙන් අඩුවීමෙන් දැකිය හැක.

මේ වන විට රෝගීන් 1700ක් සිටින බව චීන බලධාරීන් දක්වා සිටියත් ආසාදිත රෝගීන් 4000ක්  පමණ සිටිනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරන අතර එම තත්ත්වය ඉදිරි දිනවල දැක ගත හැකි වනු ඇත.ඒ අනුව බලන කල මෙසේ රෝගීන් වැඩි වුණත් මරණ අඩු ප්‍රතිශතයකින් වාර්තා වීම යම් තරමක් සැනසිය හැකි කරුණකි.යම් හෙයකින් "සාර්ස්" හෝ "ඉබෝලා" වෛරස පැතිර ගිය අවස්ථාවේදී වගේ මරණ ප්‍රතිශතය ඉහළ අගයක් ගත්තේ නම් තත්ත්වය මීටත් වඩා ඉතාමත් ඛේදනීය වනු ඇත.

චීනය මෙවන් බරපතළ සහ දැඩි තත්ත්වයක් බලාපොරොත්තු නොවූ අතර, එමනිසා මෙවැනි බරපතළ තත්ත්වයකට අනු ගත වීමට සහ එම අභියෝගය ජය ගැනීමට යම් කාලයක් ගත වනු ඇත.එතෙක් චීනය බලධාරීන්ගේ දුර්වලකම් විදහා දක්වමින් වීඩියෝ පට සමජ මාධ්‍ය ජාල හරහා හුවමාරු කරමින් ලොවම භීතියට පත් කිරීම සිදු නොකළ යුතුය. 

මෙවැනි බරපතළ සහ හදිසි තත්ත්වයන්වලදී ව්‍යාජ වීඩියෝ වගේම ඡායා රූප ද පැතිරෙන බැවින් අවධානයෙන් පසු විය යුතු අතර බටහිරට සාපේක්ෂව බැලීමේදී චීනයේ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු පැවතිය හැකි වුවත් ඔවුන් එම තත්ත්වයන් නිවරදි කර ගනිමින් මෙම අභියෝගය ජය ගනු ඇත.එම අභියෝගය කඩිනමින් ජය ගත යුතුමය.

මේ වන විට නගර 16ක්  හුදකලා කර ඇති අතර ඒ හේතුවෙන් කෝටි පහකට අධික ජනකායක් සිය නගරවලට සහ නිවාසවලට සීමා වී කොටු වී සිටිති.එම තත්ත්වය බිය විය යුතු තත්ත්වයක් හෝ එම ජනතාවම මරණයට පත්වීමට ඉඩ හැරීමක් නොව මෙවැනි භයානක වෛරසයයක් පැතිරෙන විට සිදු කළ යුතුම ක්‍රියාවකි.

චීනයට මෙම තත්ත්වය 2020 ජනවාරි පළමු සතියේ දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගැනීමට පමාවීම හේතුවෙන් එම රෝගී වාහකයින් ලක්ෂ 110ක් සිටින "වුහන්" නගරය පුරා රෝගය පැතිරුණු අතර පසුව චීනය පුරා ද ඊට සමගාමීව ලෝකය පුරා ද රෝගය ව්‍යාප්ත වී ඇත..

සාමන්‍ය තත්ත්වයක් යටතේ දැනට හදුනා ගෙන ඇති පරදී "කොරෝනා" වෛරසය යම් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් තිදෙනේකුටවත් පැතිරීමේ ඉඩක් තිබිය හැකි අතර එම නිසා රෝගය තව තවත් ගුණාකාර ලෙස වැඩි වෙමින් පැතිරයාමේ අවදානමක් ඇත.නගර හුදකලා කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ තත්ත්වය පාලනය කිරීමේ අදහසින්ය. 

මේ අනුව පැවසිය හැක්කේ "කොරෝනා" වෛරසයේ ව්‍යාප්තිය අඩපන කිරීමේ ක්‍රියාවලිය චීනය අරඹා ඇති අතර ඊට යම් කාලයක් අවශ්‍ය වනු ඇති බවය. ඊට හේතුව මෙම "කොරෝනා" වෛරසය පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ දින 6 ත් 8 ත් අතර කාලයක් ක්‍රියාකාරීව තිබෙන හෙයිනි.එම නිසා චීනය ගත් හුදකලා කිරීමේ ක්‍රියාවලියේ සාර්ථක බව පසක් වීමට එම දින 6 ත් 8 ත් අතර කාලයක් අවශ්‍ය වන අතර එහි ප්‍රතිඵල වාර්තා වීමට නම්  සති දෙකක් වත් ගත වනු ඇත.

"කොරෝනා" වෛරසය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් ලෝකයට හදිසි තත්ත්වයක් ලෙස නිවේදනය කර නොමැත.ඔවුන් චීනයේ සහ ලෝකයේ අනෙකුත් රටවල "කොරෝනා" වෛරසය පැතිරීම අධ්‍යනය කරමින් සිටින අතර අවසන් වරට කමිටුව රැස් වූ විට පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත කමිටුව රැස් වී "කොරෝනා" වෛරසයේ පැතිරීමේ තත්ත්වය සලකා මේ වාතාවරණය ලෝකයට හදිසි තත්වයක් ද යන්න තීරණය කරන බවයි.

මෙවන් තත්ත්වයක් නිසා කිසි විට බිය නොවිය යුතු අතර වෛරසයේ  පැතිරීම සිදු වන අයුරු සහ ලේඛන අනුව බැලූ කල ශ්‍රී ලංකවෙන්ද රෝගීන් කීහිප දෙනෙකු හමුවීමට ඉඩක් ඇත."කොරෝනා" වෛරසය ශරීර ගත වී ඇතැයි යන සැකය මත කාන්තාවන් දෙදෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළොඹ "අයි.ඩී.එච්" රෝහලට ඇතුළුවීම ඊට හොඳම උදාහරණය වේ.

"කොරෝනා" වෛරසය නිසා මේ වන විට මරණයට පත් සියලුම දෙනා මරණයට පත් වී ඇත්තේ චීනයේ වන අතර චීනයෙන් පිටතදී රෝගීන් වර්තා වුවත් මරණ නම් වර්තා වී නොමැත.


 

Advertiesment