Friday 25th of September 2020

English Tamil
Advertiesment


හේමසිරියි-පූජිතයි ඇත්ත වමාරයි.! මෛත්‍රීට වැඩ වරදියි..! 


2020-01-24 17908

හිටපු ජනපති වහාම අත්අඩංගුවට ගන්නැයි එජාපය බල කරයි

 

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී කොටු වන ලිපි ගොනුවක් පූජිත් ළඟ 

 

"හිර ගෙදර සිටිය යුතු මෛත්‍රී රජ ගෙදරක සැප විඳින්නේ කොහොමද" -රංගේ අසයි-  

(සුජිත් මංගල ද සිල්වා)

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සහ ඊට ඍජුවම වග කිව යුත්තා සම්බන්ධයෙන් සම්පූර්ණ සහ සත්‍ය හෙළිදරව්වක් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තීරණය කර සිටිති.

ඒ අනුව මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට ජනාධිපත්වරයාව සිටී මෛත්‍රීපාල සිරිසේන මහතාව කල් ඇතිව අවස්ථා ගණනාවකදීම දැනුම්වත් කරමින් එහි තිබෙන භයානක සහ බරපතළකම ගැන ඔහුට විස්තර කර දුන් ආකාරය අධිකරණය සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි-සාධක ඇතිව ඔප්පු කර පෙන්වීමට හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සුදානමින් සිටින අතර ඒ සම්බනධයෙන් සිය නීතීඥයින්ට ද උපදෙස් ලබා දී තිබේ.

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මුල සිටම දැනුම්වත් කළ ආකාරය ඇතුළු සියලුම කරුණු කාරණා,සිද්ධීන් සහ තත්ත්වයන් සම්බන්ධයෙන් සාක්කි-සාධක සහිත පුළුල් ලිපි ගොනුවක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට සකස් කර ඇති අතර ඔහු සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සිය සමීපතමයින් සමග කියා තිබෙන්නේ එම ලිපි ගොනුව ඉතාම ඉක්මනින්ම  අධිකරණය,රට සහ ජනතාව හමුවේ ඉදිරිපත් කරන බවය.

මේ අතර පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බ්‍රහස්පතින්දා (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කර සිටියේ මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‌හිටපු ජනාධිපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ‌ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ යුතු බවය.

මරා ගෙන මැරෙන මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු කල් ඇතිව දැන ගෙනත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට රාජ්‍ය නායකයා,සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ක්‍රියා නොකරමින් සාපරාධී මිනිස් ඝාතනයකට අනුබල සහ ඉඩ ලබා දුන්නේ යැයි යන චෝදනාව යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත හැකි බව පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ස්ථාවරය වී තිබේ.  

රටම ඉලක්ක කර ගෙන භයානක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට රාජ්‍ය බුද්ධී අංශය ඇතුළු බුද්ධි අංශ ද,ආරක්ෂක අංශ සහ පොලීසිය ද කල් ඇතිව අනතුරු අගවා තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය වගකීම් පැහැර හැර අහිංසක මිනිස් ජීවිතවලින් බිලි පූජාවක් කළ බවට ද පාලිත රංගේ බණ්ඩාර මහතා බරපතළ ලෙස චෝදනා කර සිටියේය. 

එමෙන්ම ප්‍රහාරය එල්ල වන විට සිංගප්පූරුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා,හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානා නොතිබුණු බව එදා කියා සිටියත් එම කතාව සම්පූර්ණ අසත්‍යයක් බව මේ වන විට ඔප්පු වී ඇතැයිද ඔහු සදහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හෝ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මේ ප්‍රහාරයට වගකිව යුතු නැතැයි ද,ඊට ඍජුවම වග කිව යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව ද,හිර ගෙදර සිටිය යුතු ඔහු කොළඹ,පැජට් පාරේ පිහිටි රුපියල් කෝටි 8ක් වටිනා අති සුඛෝපභෝගී මාළිගාවකට වී සුර සැප විඳින බවට ද පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මේ ප්‍රකාශයේ තිබෙන අතිශය වැදගත්ම කාරණය වන්නේ ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශය නොකර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේ එම ප්‍රකාශය නිකුත් කිරීමය.

මේ අතර ඉහළම පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග "lankanewsweek" වෙත තහවුරු කර සිටියේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් වගේම පෞද්ගලිකව ද මෛත්‍රීපාල සිරිසේන මහතාව අවස්ථා ගණනාවකදීම දැනුම්වත් කළ බවය.  

Advertiesment