Sunday 12th of July 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව නිරුවත් කළ One Shot අපේ කාලයේ වීරයෙක් 


2020-01-23 2547

(වික්ටර් අයිවන්)

තමා සමග දුරකථන සංවාද කළ අයගේ අවසරයක් නොමැතිව එම සංවාද පටි ගත කිරීම රන්ජන් රාමනායක කළ වරදක් වුවත්, ඔහු දැන හෝ නොදැන කළේ ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන දේහය පුරා පැතිරී තිබුණ හොඳටම කුණුවූ සැරව ගෙඩියට උල් කට්ටකින් ඇනීමය. එ නිසා එම කුණු වූ සැරව ගෙඩියෙන් මේ වන විට සැරව ගලා යමින් තිබෙන අතර එමගින් හමන කුණු ගඳ මුලු සමාජයම වෙළා ගනිමින් තිබේ.

සිය හඩපට ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයට රන්ජන් රාමනායක ඉතාමත් නිර්භීත ලෙස මුහුණ දුන්නේය. කන් කෙඳිරි ගෑමකින් තොරව බන්ධනාගාරයට ගියේය. ඔහු තමන්ගේ විප්ලවය පාර්ලිමේන්තුවටද ගෙනාවේය. සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වනුයේ මෙම අර්බුදයේදී එක්සත් ජාතික පක්ෂය රන්ජන් රාමනායක  ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුව ඔහු පාවා දෙන පිළිවෙතක් අනුගමනය කළේය. ඔහුට පාර්ලිමේන්තුවේ කතා කරන්නට වෙන්කර තිබුණේ සීමිත කාලයකි. එහෙත් ඔහු තමන්ට ලැබුණ සීමිත කාලය ඇතුළත පාර්ලිමේන්තුව නිරුවත් කළේය.

රන්ජන් රාමනායක කළ දේම විධිමත්ව සහ නීතියට අනුකූලව කරන්නට පුනරුදය ව්‍යාපාරයද උත්සහායක නිරත වුවත් ඒ සඳහා බලධාරීන් නිසි පියවර ගත්තේ නැත. ශ්‍රී ලංකාවට තිබෙන්නේ නීතියට පටහැනිව ආණ්ඩුව සමග ජාවාරම් කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවත්, රටේ ඇත්වී තිබෙන සමස්ථ කුණුවීම කෙරෙහි පාර්ලිමේන්තුවේ පවත්නා එම අවලස්සන තත්ත්වය බලපා තිබෙන බවත්, කතානායක වශයෙන් ඒ ගැන සොයාබැලීම සඳහා පරීක්ෂණයකට යාම වැදගත් බවත්, අවධාරණය කරන දීර්ඝ ලිපියක් අපි කතානායක වෙත යැවීමු. ඒ සඳහා හුවමාරු වූ ලිපි ගණන හතරකි. පාර්ලිමේන්තුව පිළිබඳව එවැනි පරීක්ෂණයකට යාමේ ව්‍යවස්ථාපිත බලයක් කතානායක වශයෙන් තමන්ට නැති බව ඊට ලැබුණ පිළිතුර විය. කතානායක එසේ නොකොට එදා කරුනු සොයා බලන තැනකට ගියේ නම්, ගඳ ගසන තැනකට නොගොස් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වන්නට ඉඩ තිබුණි.

ඒ සමග අපි ජාතික විගණන කොම්සමේ ප්‍රධානියාට සහ මැතිවරණ කොමිසමේ ප්‍රධානියාටද ඒ ගැන පැමිණිලි කළෙමු. මැතිවරණ කොමිසම අපට ඒ ගැන සාකච්ඡාවක් ලබා දෙන ලදී. රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයකුට නාම යෝජනා ලබාදීම පවා නීතියට පටහැනි බව පිළි ගනිමින් සෘජු ලෙස හෝ අනියම් ලෙස රජය සමග ව්‍යාපාර නොකරන බවට සහතික වන දිවුරුම් පෙත්සම් නාම යෝජනාවලදී ලබා ගැනීම අනිවාර්ය කරන බවට මැතිවරණ කොමිසම සහතික විය.

රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් ආරම්භ කිරීම කතානායකවරයා ප්‍රතික්ෂේප කළ තත්ත්වය මත ඒ සඳහා අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සියලු දෙනා වෙත ආයාචනයක් ඉදිරිපත් කළෙමු. රටේ පොදු යහපත පිණිස ඉදිරිපත් කළ එම අයාචනයට සියලු ජන කොටස්වලට අයත් ස්වාධීන සහ ගෞරවනීය පුරවැසියන් 62 දෙදෙනකු අත්සන් කර තිබුණි. ඒ ගැන ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් පිළිබඳව කරුණු එකතු කරන ක්‍රියාමාර්ගයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ද අපි තොරතුරු ඉල්ලා සිටියෙමු. ඔහු කිසිදු පැකිලීමකින් තොරව එම සහාය අපට ලබා දුන් බවද කිව යුතුය.

මහ ජන ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රජය සමග කරන ජාවාරම් මගින් සහ වෙනත් ආකාරවලින් කරන වස්තු කොල්ලයක් බවට රාජ්‍ය පාලනය පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම සේම කාලකණ්නිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. එම ප්‍රශ්නය ශ්‍රී ලංකාව විසඳා ගත යුතු ප්‍රශ්න අතර තිබෙන අංක එකේ ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

වසා ගෙන තිබූ වාන් දොර ඇරීම ගැන රන්ජන් රාමනායකට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.ඊළගට කරන්නේ කුමක්ද? නව ජනාධිපති කරන්නේ කුමක්ද? කතානායක කරන්නේ කුමක්ද? විගණකාධිපති කරන්නේ කුමක් ද? බලධාරීන් ඒ ගැන සොයා නොබලන්නේ නම්, ඒ සඳහා පරීක්ෂණ කොමිසමක් පත් නොකරන්නේ නම්, මහ ජන පරීක්ෂණ කොමිෂන් සභාවක් ඇති කර ගැනීම මගින් හෝ ඒ ගැන සොයා බලන තැනකට යා යුතූය.

Advertiesment