Saturday 22nd of February 2020

English Tamil
Advertiesment


සිය දුක කියන්න ආ පාක්ෂිකයින්ව හේමා ප්‍රේමදාස පන්නා ගනියි


2020-01-23 4621

 "ඡන්දේ දුන්නු උන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්නවා"

 

නිවාස අධිකාරියෙන් 2000ක් දොට්ට-විපක්ෂ නායක නිහඬයි  

 

සේවකයෝ "සජිත්ටයි-හේමාටයි" දෙස් දෙවොල් තියති

 

"සජිත් ප්‍රේමදාස යටතේ එජාපයට යළි ඡන්දය දෙන්නේ නැහැ" 

(උපුල් බණ්ඩාර)

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයා ලෙස සිටියදි, නිවාස අධිකාරියට බඳවා ගත් සේවක සේවිකාවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් වත්මන් රජය මගින් සේවයෙන් පහ කෙරුණ ද ඒ ඊට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එම සේවක සේවිකාවෝ දැඩි කළ කිරීමකට පත්ව සිටිති.

වත්මන විපක්ෂ නායකයා ලෙස මෙම සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගිය යුතු වුවත් එවැනි කිසිවක් නොකළ සජිත් ප්‍රේමදාස මහතා එම තමා හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමටවත් එම සේවක සේවිකාවන්ට අවස්ථාවක් ලබාදී නොමැත.

නිවාස අධිකාරියේ රාජකාරි කරන සමයේ කළමනාකාර සහකාරවරුන් ලෙස බදවා ගත් මේ තරුණ තරුණියන්ව සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලන කටයුතුවලට රැයක් දවාලක් නොමැතිව යොදා ගත්ත ද ඒ අයගේ සේවය ස්ථිර කිරිමට නිවාස ඇමතිවරයා වශයෙන් කිසිදු පියවරක් නොගත් බවට ද එම සේවක සේවිකාවන් චෝදනා කර සිටිති. 

මෙලෙස බදවා ගත් කළමනාකාර සහකාරවරුන්ගෙන් ඇමතිවරයාට සහ ඔහුගේ ලේකම්වරුන්ට හිතවත් තිස් අට දෙනෙකු නිවාස සහ ඉදිකිරිම් අමාත්‍යාංශයට අනුයුක්ත කර ගත්ත ද එම සේවක සේවිකාවෝ ද මෙලෙස ඉවත් කළ පිරිසට ඇතුළත් වෙති.එම කණ්ඩායම ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා හමුවීමට උත්සාහ දරා ඇතත් ඊට ද අවස්ථාව ලැබී නොමැත.

මේ හේතුවෙන් මේ සේවක සේවිකාවන් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය හමුවීමට ගොස් ඇති අතර එහිදි ඇය පවසා ඇත්තේ "ඡන්දේ දුන්නු උන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්නවා" යනුවෙනි. 

වසර ගණනාවක් තිස්සේ තමන් අවංකව සේවය කළ ස්වාමියාගේ මෑණියන් හමුවීමට මොවුන් මෙසේ ගොස් ඇත්තේ තමන්ට සිදු වූ අසාධාරණයට විසදුමක් සොයා ගැනීමට වුවත් අවසානයේ ඔවුන්ට සිදුව ඇත්තේ ඇයට ද දෙස් දෙවොල් තියමින් නැවත හැරී එන්නටය.

මේ සේවක සේවිකාවන් මේ වන විට සංවිධානය වෙමින් සිටින අතර ඔවුන් දිගින් දිගටම පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ කිසිදු විටක තමන් හෝ තම පවුලේ ඥාතීන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන බවකි. මෙම තරුණ සේවක සේවිකාවන්ගේ පවුල් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයන් වීම සහ බහුතරය හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීම ද විශේෂත්වයකි. 

සංවිධානය වූ මේ සේවක සේවිකාවන් පිරිස් සිය රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ පිහිට පතා ඇත.

Advertiesment