රටේ උද්ගත වී තිබෙන දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික තත්ත්වය හමුවේ සාම්ප්‍රදායික වමේ දේශපාලන කාර්යභාරය මේ මොහොතේ කුමක් විය යුතුද යන්න පිළිබඳව ගැඹුරට සළකා බැලිය යුතුව ඇත.
සම්ප්‍රදායික වමේ ප්‍රධාන පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වමින් සිටීයි. එම පක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වූ අතර මහින්ද රාජපක්ෂ රෙජිමයේ වැදගත් තනතුරු ද දැරීය. 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිත් කළ අවස්ථාවේදී එම සංශෝධනයට පක්ෂව, එම සංශෝධන මගින් ඇති කළ සුවිශේෂී බලතල සහිත ජනාධිපති ධූරය වෙනුවෙන් ඔවුහූ පෙනී සිටියෝය.
2015 දී රට අභ්‍යන්තරයේ ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජනතා පෙළ ගැසීමක්, මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ පුරෝගාමීත්වය යටතේ ගොඩනැගුනු අවස්ථාවේ, ඔවුන් එම ව්‍යාපාරයට විරුද්ධව අවලාද නගමින් ක්‍රියා කළෝය. රටේ වැදගත් සිවිල් සමාජ සංවිධාන රාශියක් එම ජනතා ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියදී එම වැදගත්,බරපතල සහ තීරණාත්මක තත්ත්වය නොතකා ඔවුන් මහින්ද රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කරමින් එහි කොටස්කරුවන් ලෙස පෙනි සිටියෝය.
2015 වන විට අපේ රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය, සේම ප්රජාතන්ත්රවාදී අගයන් ද දැඩි ලෙස අභියෝගයට ලක් වී තිබියදී ඔවුහූ එම මර්දනකාරී රෙජිමය ආරක්ෂා කළහ. 2015 ජනාධිපතිවරණයෙන් පසුවද, ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොවීය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ප්රගතිශීලී පක්ෂ පාර්ලිමේන්තුවේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා මැදහත් වී ක්‍රියා කළ අවධියේද මෙම සම්ප්‍රදායික වමේ පක්ෂ ජනතා විමුක්ති පෙරමුණටද අවලාද නගමින් එම ව්‍යාපාරය ද විනාශ කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ක්‍රියා කළේය.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන ස්ථාවරයට විරුද්ධව එම පක්ෂයේ බහුතර කණ්ඩායමක් 2015 මැතිවරණයේදී එක්සත් වාමාංශික පෙරමුණ ලෙස ස්වාධීන සහ අලුත් දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගී,ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහා ගොඩ නැගුණු ජනතා ව්‍යාපාරය සමග එක් වී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
එහෙත්, 2015 මැතිවරණයෙන් පසුව එහි දක්ෂිණාංශික මතධාරීන් කොටසක් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයට සම්බන්ධ වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද ලබා ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යන සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ දෙකේ ස්ථාවරය අනුගමනය කරන්නට විය. එම වාමාංශික කණ්ඩායමේ ප්‍රබල කොටසක් ඊට විරුද්ධව පෙනී සිටියදී ඔවුන්ගේ විරෝධයද නොතකා එම කණ්ඩායමේ ප්‍රධානියකු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ලෙකම් තනතුරද හිමි කර ගත්තේය.එම ක්‍රියා පිළි වෙත වාමාංශීකයැයි කියා ගන්නා කණ්ඩායමකට වැටිය හැකි පහළම අදියර බව කිව මනා නොවේ.
එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රබල කොටසක් ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව ක්‍රියා කරමින් ජාතික ජන බලවේගය වමේ විකල්ප බලවේගය ලෙස ගොඩනැගීම සඳහා, රටේ ප්රගතිශීලී සහ වමේ අදහස් දැරූ කොටස් සමග සම්බන්ධ වී රටේ විද්වතුන් ද විශාල පිරිසක් සමග ද,විශේෂයෙන්ම ජාතික විද්වත් සභාව සමග ද ක්‍රියා කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව සිටි කණ්ඩායම එම පක්ෂයෙන් ගැලවීමට දැඩි අකමැත්තක් දක්වමින්, එක්සත් ජාතික පක්ෂයේම කොටස්කරුවන් ලෙස ක්‍රියා කළෝය.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර රටේ වමේ බල කේන්ද්‍රයක් ගොඩනැගීම උදෙසා එක්සත් වාමාංශික පෙරමුණේ බහුතරයක් ක්‍රියා කළ අතර එම පෙරමුණේම ප්රතිගාමීන් කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැරූ තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ඊට අකුල් හෙළමින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීය. එපමණක්ද නොව ඔවුන් වමේ බලවේගයක් ලෙස ගොඩනැගෙමින් තිබෙන ජාතික ජන බලවේගයට අවලාද නගමින් හෙළා දැක්කේය.
ඒ අනුව අද සම්ප්‍රදායික වම කෙළවර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මෙම ආණ්ඩුවේ ආණ්ඩුකාර තනතුරු ද, ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් වී පිහිටුවා ගත් එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධානියෙකු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අගමැතිගේ පාර්ලිමෙින්තු ලේකම්කම ලබා ගැනීමෙන්ය.
අද සම්ප්‍රදායික වම වාමාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටින අතර වමේ බලවේගයක් ගොඩ නැගීමටද අවහිර කරමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කරමින් සිටීයි.වර්තමානයේ රටේ ගොඩනැගෙමින් පවතින වමේ බලවේගය විනාශ කිරීම සඳහා මේ සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග එකට එක්ව ක්‍රියා කරමින් සිටියි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් බවට පත්ව සිටින මේ කණ්ඩායමේ දේශපාලන කාර්ය භාරය වී ඇත්තේ අප රටේ වාමාංශික බලවේගයක් ගොඩ නැගීම වැළැක්වීමය.
එහෙයින් වර්තමානයේදී රටේ ප්‍රබල වමේ බලවේගයක් ගොඩ නැගීමේ ප්‍රධාන කාර්යය භාරය නව වම වෙත පැවරී ඇත. නව වම ඉතා පැහැදිලිව එක් දහස් නමසිය තිස් ගණන්වල සිටම සාම්ප්‍රදායික වම සටන් කළ ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා පෙනී සිටීයි. එහෙයින් අප රටේ වාමාංශික ව්‍යාපාරය ඉදිරියට පවත්වා ගෙන යෑමේ වගකීම ජාතික ජන බලවේගය වෙත පැවරී ඇත. එම බලවේගය තව දුරටත් පුළුල් කරමින් රටේ සෑම වාම සහ ප්රගතිශීලී බලවේගයක්ම සම්බන්ධ කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇත.
වමේ බලවේගය ගොඩනගමින් ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා ගෙන යන සටනේදී, එවැනි සටන්වලට සම්බන්ධ වීමට සූදානම් වෙනත් බලවේග සමගද එක්සත්ව ක්‍රියා කිරිම නව වම වන ජාතික ජන බලවේගයේ දේශපාලනය වේ.
Lanka Newsweek © 2024