පුනරුද ව්‍යාපාරය, රටේ අර්බුදයේ සුවිශේෂී ස්වභාවය සැලකිල්ලට ගෙන රට හිරවී සිටින තත්වයෙන් මිදී ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යුහයම වෙනස්කම් ඇති කර ගැනීම සදහා සර්ව පාක්ශික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙය උඩින් පල්ලෙන් කරුණු සලකා බලා ගනු ලැබූ තීරණයක් නොව හොඳින් කරුණු සලකා බැලීමෙන් පසු ගනු ලැබූ තීරණයකි.පුනරුද ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද එම අදහස විවිධ මට්ටම්වලින් සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන අදහසක් ලෙසද සැලකිය හැකිය.ලංකාව අරාජික තත්වයකට ගමන් කරමින් තිබෙන්නේ යැයි කියන අදහසද පුනරුදයේ අදහසකි.
පළාත් පාලන මැතිවරණය හා ඒ සදහා ඇති කර ගත් මැතිවරණ ක්‍රමය ව්‍යවස්ථා අර්බුදයක් හා අරාජිකතත්වයක් ඇති කිරීමට හේතු වනු ඇති බවට පුනරුද ව්‍යාපාරය පළ කරන ලද පුරෝකතනයද සැබෑ වි තිබේ.දැන් බොහෝ අය අරාජිකත්වයක් ගැන කතා කරති. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාවය ගැනද කතා කරති.ඔවුන් ඒ දේවල් කතා කරන්නේ දේවල් සිදු වුණාට පසුවය.ඒවා සිදු වන්නට පෙර ඒවා සිදු වනු ඇති බව කල්තියා දැකීමේ හැකියාව නොතිබුණි.එහෙත් පුනරුද ව්‍යාපාරය ඒ බව කල්තියා දැක්කේය.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහසද, සිදු වන්නට යන විපතක් කල් තියා තේරුම් ගෙන ඒ ගැන කරන අනතුරු ඇඟවීමක් සමග එම තත්වය ජය ගැනීම සඳහා කරන මගපෙන්වීමක් ලෙස සැලකිය යුතුය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව අළලා මා ලියා තිබෙන දේවල් කියවා තිබුණු මහනුවර ගුරුවරයෙක් දුරකතනයෙන් මා අමතා කතා කොට ඔහු මගෙන් අපුරු ප්‍රස්නයක් ඇසිය.ඉල්ලා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඊට ඇතුළත් කළ යුතු බවත් එවැනි දුෂිත නායකයෙකු ඇතුළත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් රටේ යහපතට හේතු විය හැක්කේ කෙසේ දැයි ඔහු මගෙන් ප්‍රශ්න කළේය.
එය ඒ ගැන අදහස් පළ කළ වෙනත් ගුරුවරුන් දෙදෙනෙකුද දරන මතය වන බවද ඔහු කිවේය.ඒ නිසා දුෂණය හා දුෂිත භාවය ගැන මෙම ගුරුවරයාට කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මට සිදු විය.රාජ්‍ය පාලනයට අදාළ දුෂණය රාජපක්ෂ පාලන කාලයේදී ඇති වු දෙයක් ලෙස සමාජ ගත කෙරුණේ පසු ගිය ජනාධිපතිවරණයේදී මහින්ද විරෝධී පිලේ න්‍යායවාදීන් විසිනි.එය ඔවුන් විසින් දැන දැනම හෝ නොදැන කරන ලද වරදක් බව සැලකිය හැකිය.රාජ්‍ය පාලනයට අදාළ දුෂණය සුළු පරිමාණයෙන් හෝ නිදහසේ සිටම පැවති ප්‍රවණතාවයකි.එය මහා පරිමාණයෙන් සිදු වන දෙයක් බවට පත් වීම ආරම්භ වුයේ 1977 සිටය. එතැන් සිට එය අද දක්වාම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් ලෙස පවතියි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුර්ගාමින් ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංග, ඩි.බි විජේතුංග ,රණසිංහ ප්‍රේමදාස ජේ . ආර් ජයවර්ධන යන සියලු ජනාධිපතිවරුන් එම ප්‍රවාහයේ කොටස් කරුවන් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ජයවර්ධන අයතා ලෙස වස්තුව උපාය ගැනීමට කෑදරකමක් දැක වූ නායකයෙකු ලෙස සැලකිය නොහැකි වුවද ඔහුද නැපෝලියන් මෙන් තමන් අල්ලා ගන්නා රටවල්වල වස්තුව කොල්ල කෑමට තමන්ගේ කුලී සෙබළුන් පෙළඹ වූ ආකාරයටම සිය දේශපාලන සහචරයන් රජයේ වස්තුව කොල්ලකෑමට පෙළබූවේය.
ඔහු ඒ සදහා ඔවුන්ට පුර්වාදර්ශයන්ද දුන්නේය. ජනාධිපතිවරයා තමන්ට තිබුණු කනාටු පොල් වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී එහි තිබූ සරුසාර පොල්වත්තක් තමන් වෙත හිමි කර ගත්තේය. චීන තානාපති කාර්යාලයට විකුණා තුබුණ පවුලේ නිවස හා ඉඩම ආපසු ලබා ගැනීම සදහා එම තානාපති කාර්යාලයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ඉදිරිපසින් වඩා හොද රජයේ ලොකු ඉඩමක් ලබා දුන්නා පමණක් නොව ලබා ගත් නිවස හා ඉඩම පවුලේ කෞතුකාගාරයක් බවට පත් කළේද රජයේ වියදමිනි.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම භාරයේ තිබූ ඉඩම්, වතු බංගලා සමග පර්චසයක් රුපියල් 100ක් වැනි මුදලකට මිලදී ගැනීමට ඉඩ දුන්නේය.ඒ මගින් ඒ සියලු දෙනා ලොකු වතු හිමියන් බවට පත් කෙරිණි.පොදු දේපොළ කොල්ල කෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් වූයේ ද එම කාලයේදීය.ඉන් පසු එළැඹෙන හැම පාලන කාලය තුළම පොදු දේපොළ කොල්ලය සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියක් බවට පත් විය.
මා ඒ බව මහනුවර ගුරුවරයාට පැහැදිලි කර දී රාජපක්ෂ පාලන යුගය පමණක් දුෂිත ලෙස සැලකීම වැරදි බවත්,77 සිට මේ දක්වා බලයට පත් හැම පාලක කණ්ඩායමක්ම දුෂිත බවත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට තෝරා ගත් නායකයින් ද අඩු වැඩි ප්‍රමාණයකට දුෂිත බවත් යහ පාලන ආණ්ඩුවක් ඇති කර ගැනීමෙන් පසුත් දුෂණය පාලනය කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසා බවත් ඔහුට පැහැදිලි කර දුන්නෙමි.භීෂණයද අඩු වැඩි වශයෙන් ඒ සියලු දෙනාට අවේනික පොදු ලක්ෂණයක් බවද කීවෙමි. ඉන් පසු මම තිබෙන අර්බුදය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිරවීමක් ඇති වි තිබෙන ආකාරය ද ඔහුට පැහැදිලි කර දුන්නෙමි.
ලංකාව දැන් තිබෙන්නේ බලයේ සිටින ආණ්ඩුව පමණක් නොව සම්ප්‍රදායික අර්ථයෙන් ඊළගට බලයට පත් වන ආණ්ඩුවකට පවා රට පාලනය කළ නොහැකි අවුල් සහගත තත්වයක. එය ඒක තැනක පමණක් තිබෙන දෙයක් නොව, හැම වැදගත් තැනකම පාහේ තිබෙන තත්වයකි. ආණ්ඩුව , ආණ්ඩු ක්‍රමය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යන අංග තුනම තිබෙන්නේ මහා අවුලකය.
නිතිය පසිදලන ආයතන ක්‍රමයද, නිතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රමයද තිබෙන්නේ අවුලකය. ආර්ථිකය හා මහ ජන සේවා තිබෙන්නේ අවුලකය . ආණ්ඩුව තිබෙන්නේද ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම් දෙක දෙපැත්තට අදින තත්වයකය. අගමැතිවරයා වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වි ඇතත් සංශෝධනය කර තිබෙන ව්‍යවස්ථාව නිසා එසේ කිරීමේ බලයක් ජනාධිපතිට නැත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කළ පසු එහි තිබෙන අවුල් නිවැරදි කර ගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණයද සමත් වුයේ නැත. අගමැතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපෑමෙන් තොර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වි ඇතත් ජනාධිපතිවරයා ඊට ඉඩ දෙන්නේ නැත. ඒ තත්වය වෙනස් කර ගැනීමේ හැකියාවක් අගමැතිවරයාට ද නැත.
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් රට පාලනය කිරීමට තමන්ට තිබෙන සදාචාරමය අයිතිය නැති කර ගත්තේය. සාමානයෙන් එවැනි විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු වුවත් සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව අනුව ස්ව කැමැත්තෙන් පර්ලිමෙන්තුව විසුරුවා හරින අවස්ථාවකදී හැර පර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට හෝ අගමැතිට නැත.
පළාත් පාලන මැතිවරණයෙන් ජය ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරය සමත් වි ඇතත් විස්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කොට මැතිවරණයක් දිනා ගැනීමේ හැකියාව එම ව්‍යාපාරයටද නැත.මැතිවරණ කාල සටහනට අනුව පළාත් සභා මැතිවරණවලට පසුව පැවැත් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපති වරණයකි. රටේ පවතින දේශපාලන අවිනිශ්චිත තත්වය අනුව ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා සියයට 50කට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හොත් රටේ පූර්ණ අරාජික තත්ත්වයක් ඇති විය හැකිය.එසේ නොවී ජය ලබා ගන්නා කෙනෙකුට වුවද රට තිබෙන්නේ පාලනය කළ හැකි තත්වයක නොවේ. ආණ්ඩුවේ වාර්ෂික අදායම ඩොලර් බිලියන 08කට සමානය. ලබන වසරේදී ලබා ගෙන තිබෙන විදේශීය ණය සදහා ගෙවිය යුතු ණය හා පොලී වාරිකය ඩොලර් බිලියන 08කට සමානය . ඊළග වසරේ තත්ත්වය ඊටත් වඩා නරකය.
රටේ ඇති වි තිබෙන මෙම අර්බුදය හා ඒ ආශ්‍රයෙන් ඇති වි තිබෙන හිරවීම ජය ගැනීමට තිබෙන එකම මාර්ගය වන්නේ රටේ ඉදිරි ගමනට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමට හේතුවන පූර්ණ ප්‍රතිසංවිධානයකට රට යොමු කිරීමය. එවැනි දෙයක් රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කර ගත් ආණ්ඩුවකට තනිව කළ නොහැකිය.
පොදු එකගතාවයකින් තොරව ඒ දේ ඊළගට බලයට පත් වන ආණ්ඩුවකට ද කළ නොහැකිය.එය ඉක්මනින් කළ යුතුව තිබෙන දෙයක් මිස ඊළග ආණ්ඩුවක් බලයට පත් වන තෙක් ප්‍රමාද කළ යුතු දෙයක් ලෙස ද සැලකිය නොහැකිය. ඇති වි තිබෙන හිරවීම රට හා ජනතාව කෙරෙහි පමණක් නොව සියලු දේශපාලන නායකයින් කෙරෙහිද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට විනාශකාරී ලෙස බලපායි.ව්‍යුහාත්මක වෙනස්කම් සහිත ලොකු ප්‍රතිසංවිධාන වැඩ සටහනකට දේශපාලන පක්ෂ හා නායකයින් අතර පොදු එකගතාවක් තිබීම අත්‍යවශ්‍යය. ඒ සදහා අවශ්‍ය සමාජ එකගතාවක් ඇති කර ගත හැක්කේද එවැනි ක්‍රියාමාර්ගයක් මගින් පමණය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු කර ගත යුතු තත්වයක සිටින නායකයින් ඉතා හොද නායකයින් නොවනවා විය හැකිය. ඔවුන්ගේ අත්වල අපිරිසිදුකමක්ද තිබිය හැකිය. එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දුෂිත වනවාද විය හැකිය. රට ඇද වැටි තිබෙන අවාසනාවන්ත තත්වයට ඔවුන් සියලු දෙනා වගකිව යුතු බවටද සැකයක් නැත. අනෙක් අතට ඒ සියලු දෙනා සිටින්නේද ඓතිහාසික අර්ථයෙන් අවලංගුභාවයකට යමින් සිටින තත්ත්වයකය.
ඒ සියලු වැරදි එසේ තිබියදීත් ඒ සියලු දෙනා මනුස්සයෝය.සමහර විට ඇත්ත තත්වය තේරුම් ගත් විට තමන් රඟපෑ භූමිකාව ගැන ඔවුන් තුළද කණගාටුවක් ඇති විය හැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙවැනි වැඩ සටහනකට දායකවීමෙන් ඔවුන්ට තමන් කරන ලද වැරදි නිවැරදි කර ගැනීමට හැකි වනවාට අතිරේකව මුළුමනින්ම අහිමි වී යන්නට නියමිතව තිබෙන ගෞරවය හා පිළිගනිම ඒ මගින් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.අන්ගුලිමලට හොද මිනිසෙකු වීමේ හැකියාව තිබුණේ නම් සමහර විට මේ නායකයින්ටද ඒ හැකියාව තිබිය හැකිය.ඇති වන්නට යන විනාශය ඉදිරියේ තෝරා ගැනීමට ඊට වඩා හොද විකල්පයක් නැති නම් රටට තෝරා ගැනීමට සිදු වනු ඇත්තේද එම විසදුමය.
දකුණු අප්‍රිකානු සුදු පාලකයින් හා කල්ලන් අතර කෙරෙන අරගලය දෙපක්ෂයටම එකිනෙකා ජයගත නොහැකි තත්වයකට පත්ව තිබූ අවස්ථාවක හා එහි වර්ණ භේදවාදී පාලනයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පන වන ලද සම්බාධක නිසා එම රට හිර වී තිබුණු අවස්ථාවකදී ඒ තත්වය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාව තෝරා ගත්තේ සර්ව පාක්ෂික විසදුම් ක්‍රියාමාර්ගයකි.ඒ අවස්ථාවේදී දකුණු අප්‍රිකාවට කිසිවකුත් බැහැර නොකොට සියලු දෙනා එකතු කර ගනිමින් විසදුම් සොයන තැනකට යන්නට සිදු විය.
එම සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වූ නායකයින්ගේ අත්වලද ලේ තැවරී තිබුණි.එහිදී පළමුවෙන්ම සිදු වුයේ සුද්දන්ට පමණක් නොව කල්ලන්ටද ගෞරවයෙන් ජීවත් විය හැකි නව දකුණු අප්‍රිකාවක් ඇති කර ගැනීමේ අරමුණ සදහා පළමුව ප්‍රධාන බල කණ්ඩායම් දෙක දෙක අතරත්, ඉන් පසුව අප්‍රධාන කණ්ඩායම් සමගත් සාකච්ඡා කරන තත්වයක් ඇති කර ගැනීමය.
සර්ව ජන ඡන්ද බලය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමයක් සහිත සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන මනුෂ්‍ය අයිතිවාසිකම් ලබා දෙන ස්වාධින අධිකරණයක ආරක්ෂාව ලබන දකුණු අප්‍රිකාවක් ඇති කර ගැනීමට අවශ්‍ය ව්‍යූහමය වෙනස් කම් ඇති කර ගැනීම සදහා පොදු එකගතාවක් ඇති කර ගන්නා ලදී.එම වැඩ සටහනට එකතු නොවුයේ එක් ප්‍රාන්තයක විශාල බලයක් හිමි කර ගෙන සිටි ඉන්කතා පක්ෂය පමණි. එම පක්ෂය තමන්ට බලයක් තිබුණු ප්‍රාන්තය සදහා ස්වාධිපත්‍ය බලය ලැබෙන ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටියේය. පොදු වැඩ සටහනට එම පක්ෂය එකතු වුයේ නැතත් ඔවුන් මුළුමනින්ම බැහැර කිරීමක්ද සිදු නොවිය.
අපේක්ෂා කළ පරිවර්තනය සදහා ඇති කර ගත් පොදු වැඩ පිළිවෙළට ඇතුළත්ව තිබූ මූලික කොන්දේසි මේවාය. ඇති කරන පරිවර්තනය අදියර දෙකක් යටතේ සිදු විය යුතුය. ඒ දෙක අතර අන්තර් සම්බන්ධයක් තිබිය යුතය. පළමු අදියර සදහා අන්තර් කාලීන ව්‍යවස්ථාවක් හා සර්ව පාක්ෂික ආණ්ඩුවක් තිබිය යුතුය. පළමු අදියරේ සහ දෙවැනි අදියරේ සිදු කරන දේවල් ද ඒ සදහා ගත කරන කාල වකවානුද අන්තර් කාලීන ව්‍යවස්ථාවෙන් විස්තර විය යුතුය.
පළමු අදියර අවසානයේ මැතිවරණයකට ගොස් පක්ෂවලට ලැබෙන ජයග්‍රහණයන්ගේ ප්‍රමාණ අනුව බලතල බෙදා ගනිමින් දෙවන අදියරේදී එය සම්පුර්ණ කිරීම සදහා සර්ව පාක්ෂික වැඩ සටහන ඉදිරියට ගෙන යා යුතුය. පළමු අදියරේදී සිදු වූ දේවල් දෙස ආපසු හැරි බලන තැනකට යමින් ඇති කළ යුතු වෙනස්කම් හදුනා ගැනීමටත්, ව්‍යවස්ථාවක් සදහා මුලධර්ම හදුනා ගැනීමටත්, දෙවන අදියරේ දි මැතිවරණයකට යමින් නැවත සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගනිමින් ඇති කළ යුතු වෙනස්කම් සහ නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමය.
ලංකාවේ මේ දක්වා ක්‍රියාවට නගා තිබෙන ලොකුම ප්‍රතිසංස්කරණ වැඩ සටහන කෝල්බෲක් සහ කැමරන් යන ඒක පුද්ගල කොමිෂන් සභා දෙකේ නිර්දේශ මත 1833දී ක්‍රියාවට නගන ලද ප්‍රතිසංස්කරණ වැඩ සටහන ලෙස සැලකිය හැකිය. අපට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩ සටහන සදහා ද ඉන් උගත හැකි පාඩම් බොහෝය. ඒ දක්වා සිංහල රජවරුන් පමණක් නොව පහත රට ප්‍රදේශ අල්ලා ගත් පෘතුගීසින්,ලන්දේසින් හා බ්‍රිතාන්‍යන ද එම අල්ලා ගත් ප්‍රදේශ පාලනය කළේ සිංහල වැඩවසම් ක්‍රමයටය.
ධනේශ්වර පරිවර්තනයක් සදහා අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කරන්නේ 1833දිය. කැමරන් සලකා බලන ලද්දේ අධිකරණය ගැන පමණය. අන් සියල්ල එනම්, සියලු අණ පනත්, ආණ්ඩුවේ අදායම් සහ වියදම්, නීති රීති සිරිත් විරිත් හා ආණ්ඩුව සමග බැදී පවත්නා අන් සියලු දේ පරික්ෂාවට ලක් කරන ලද්දේ කෝල්බෲක් විසිනි.
එම නිර්දේශ මත පිහිටා ඇති කරන ලද ව්‍යුහමය වෙනස්කම් ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇති කර තිබෙන ලොකුම විපර්යාසය ලෙස සැලකිය හැකිය. ඒ අනුව රාජකාරි ක්‍රමය අහෝසි කැරිණි. එම ක්‍රමය කෝල්බෲක් දැක්කේ ඉඩමට මිනිසුන් බැඳ තබන ලද කුල ක්‍රමය ශක්තිමත් කරන දුෂ්ට ක්‍රමයක් ලෙසය.
ආණ්ඩුවට තිබූණු වෙළඳ ඒකාධිකාරයද අහෝසි කැරිණි.නිදහස් වෙළඳාමක් ඇති කිරීමට ආණ්ඩුව වෙළඳාම් කිරීමෙන් හා වාණිජ කටයුතු කිරීමෙන් ඉවත්විය යුතු බව ඔහුගේ මතය විය. එනිසා කුරුදු වෙළඳාමට තිබූ ඒකාධිකාර අයිතිය සේම ආණ්ඩුව පවත්වා ගෙන ගිය ව්‍යාපාර හා වෙළඳාම් අත්හරින්නට රජයට සිදු විය.
ආණ්ඩුකාරයාට තිබූ ඒකාධිපති බලතලද අධිකරණ බලතලද ඉවත් කරන ලදී. මුහුදු බඩ සිංහල ප්‍රදේශ මුහුදු බඩ දෙමළ ප්‍රදේශ හා උඩරට ප්‍රදේශ වශයෙන් තුන් ආකාරයකට පවත්වා ගෙන ගිය පාලන ක්‍රමය අහෝසි කොට රට පළාත් පහකට බෙදා මුළු රට සදහාම පොදුවේ ක්‍රියාත්මක වන එක පාලන ක්‍රමයක් ඇති කරන ලදී. ආණ්ඩුකාරයාගේ පාලනයට සහය වීම සදහා නිල බලයෙන් තේරී පත් වන සාමාජිකයන් 6 දෙනකුගෙන් සමන්විත වන විධායක සභාවක්ද නීති සම්පාදනය සදහා නිලලත් සාමාජිකයින් 9 දෙනකුගෙන්ද නිල නොලත් සාමාජිකයින් 6 දෙනකුගෙන්ද සමන්විත ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කැරිණි.
එය ලංකාව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කරා යන ගමනක ආරම්භය ලෙස සැලකිය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ ක්‍රියාත්මක වන නුතන අධිකරණ ක්‍රමයක් ඇති කළේය. යුරෝපීයයන්ට පමණක් සිමා වි තිබූ සිවිල් සේවයේ දොරටු ස්වදෙශිකයන්ටද විවෘත කර දුන්නේය. මේ මොහොතේ ලංකාව ඉල්ලා සිටින්නේද එවැනි ව්‍යහුමය වෙනස්කම් සහිත ලොකු විපර්යසයකි.
ලංකාවට අවශ්‍ය වි තිබෙන්නේ කෙබදු ව්‍යුහමය වෙනස්කම්ද යන්න හරි හැටි හදුනා ගැනීමට හැකි වනු ඇත්තේ නිදහසේ සිට මේ දක්වා රටේ කටයුතු සිදු වි තිබෙන ආකාරය විවේචනාත්මකව සොයා බලන තැනකට යා මෙනි. වර්ග කුල හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනිම නැති කොට ලංකාවේ ජිවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙමින් සමාජය ඒකාග්‍ර කොට මෙතෙක් ගොඩ නගා ගන්නට බැරි වි තිබෙන නුතන ජාතිය ගොඩ නගා ගැනීම එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ වැදගත් අරමුණක් කර ගත යුතුය.
රටේ මෙතෙ ඇතිවූ ලේ වැගිරීම් කෙරෙහි ඒ ආශ්‍රයේ සමාජයේ හා රාජ්‍යයේ ඇතිවි තිබෙන පරිහානිය කෙරෙහි ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම බලවත් සාධකයක් ලෙස බලපෑවේය. බලවත් අයුත්තියක් හෝ අසාධාරණයක් සිදු වි ඇති අයට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙන, බලවත් අයුත්තියක් සිදු වි තිබෙන අයට වන්දි ගෙවන ක්‍රමයක් ඇති කළ යුතුය.
විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමය ගැන හොදින් කරුණු සොයා බලන තැනකට යා යුතුය. මහජන සෞඛ්‍ය, ගමනා ගමනය ගැනද කෘෂිකර්මාන්තය , ධිවර කර්මාන්තය හා ආර්ථිකයේ අන් හැම වැදගත් අංශයක් ගැනද පරිසරය , ජලය හා බලශක්තිය ගැනද කරුණු සොයා බලන තැනකට යා යුතුය. එසේම අධිකරණය ඇතුළු රජයේ ආයතන ක්‍රම ගැනද තරුණ පරපුර, ශ්‍රම බලකාය හා රජයේ සේවකයින් ද ඔවුන්ගේ වැටුප් ක්‍රම පිළිබදවද කරුණු සොයා බලන තැනකට යා යුතුය. පාර්ලිමේන්තුව පළාත් සභා හා පළාත් පාලන ආයතන ක්‍රම ගැනද රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්ව තිබෙන දුෂණය ගැනද හොඳින් කරුණු සොයා බලන තැනකට යා යුතුය.
යහපත් කාර්යක්ෂම හා දුෂණයෙන් තොර රටක් ඇති කර ගැනීම සදහා අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් නිසියාකාරව හඳුනාගත හැකි වනු ඇත්තේ එවැනි ක්‍රියා මාර්ගයකින් පමණය. ඇති කර ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද දෙමළ, මුස්ලිම්,උඩරට දෙමළ නායකයින් හා ජවිපෙ නයකයාද ඇතුළත් විය යුතුය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ දුෂිත හා ජරාජීර්ණ තත්වයකට පත්ව තිබෙන මේ රට එම අවලස්සන තත්වයෙන් මුදා ගනිමින් සියලු දෙනාගේ විශ්වාසයටත්, ගෞරවයටත් හේතු වන නීතියේ ආධිපත්‍ය රජයන රටක් බවට පත් කිරීමය.
එය දකුණු අප්‍රිකාවේ මෙන් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන වැඩ සටහනක් බවට පත් කර ගත හැකිය.පළමු අදියරේදී හා දෙවන අදියරේදී කළ යුතු කාර්යයන්ද ඒවා කළ යුතු කළ වකවානු හා කළ යුතු ආකාරයද අන්තර් වාර ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකිය. ඇති කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීමේ හා නව ආණ්ඩුක්‍ර මයක් සදහා හඳුනා ගත් මුලධර්ම මත ආණ්ඩු ක්‍රමයක් සදහා සැකිල්ල හදා ගනිමින් මැතිවරණයකට යා හැකිය. එම මැතිවරණ ප්‍රතිඵල අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවේ බල ව්‍යුහය වෙනස් කර ගනිමින් හඳුනා ගත වෙනස්කම් ක්‍රියාවට නගන හා හඳුනාගත් මුලධර්ම මත ව්‍යවස්ථාව සම්පාදනය කරන තැනකට යා හැකිය.
මෙවැනි වැඩ සටහනක් රට තුළ පවතින අස්ථාවරත්වය දුරු කොට ප්‍රධාන නායකයින් එකිනෙකා අතර පවතින වෛර සහගත හැගිම්ද ඔවුන්ට අනාගතය ගැන පවතින සැක සංකා දුරු කිරීමටද හේතු වනු ඇත.එවැනි වැඩ සටහනක් මෙම සියලු නායකයින්ට නව පිළිගැනීමක් ලබා දීමටද හේතුවනු ඇත.
Lanka Newsweek © 2024