Friday 4th of December 2020

English Tamil
Advertiesment


හෙළුව පෙනීම


2020-01-20 2548

"අධිකරණ නිදහසේ මළගම"

 

සරත් සිල්වා අධිකරණ පද්ධතියට වසුරු හෙළු අයුරු 

 

රාජ්‍ය නායකයෙකු කළ ලොකුම නොහොඹිනාකම කළේ චන්ද්‍රිකා  

(වික්ටර් අයිවන්)

රන්ජන් රාමනායකගේ පටි ගත කළ කතා එකතුව රටේ සමස්ත ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම සරල ලෙස මහ ජනයාට කියා දෙන කෙටි චිත්‍රපට විශේෂයක් බවට පවත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සේම මහ ජනයාද කියවන්නේ ඉතාමත් අඩුවෙනි. ඒ නිසා බැරෑරුම් පොත්පත්වලින් හෝ ලිපිවලින් කළ හැකි කාරිය සීමිතය.රන්ජන් රාමනායකගේ දුරකතන කතා ඇතුළත් කෙටි වීඩියෝ පට තේරුම් ගැනීම පහසුය. ජනයා කැමති කුණු රසයද ඒවාට ඇතුළත්ය. 

මේ වීඩියෝ පටවලින් සමස්ත ආයතන ක්‍රමය නිරුවත් කොට වසා ගෙන සිටින හෙළුව හා එය කුණුවී තිබෙන තරම දකින්නට සේම ඉන් හමන දුගඳ විඳින්නටද සලස්වයි. රට ඓතිහාසික අර්ථයෙන් ගමන් කරමින් තිබෙන්නේ අරාජිකත්වයකටය. මෙම කෙටි වීඩියෝ පට අරාජිකත්වය කරා යන ගමන ශීඝ්‍රගාමී ගමනක් බවට පත් කිරීමට හේතු වනු ඇතැයි කිව හැකිය.

රටේ ආයතන ක්‍රමයේ හා කුණුවීම ගැනද එම කුණුවූ තත්ත්වයෙන් රට ගළවා ගැනීම සඳහා ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යාමේ අවශ්‍යතාව ගැනද මා කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන විචාරකයකු ලෙස සැලකිය හැකිය. මා ඒ ගැන ලියා තිබෙන පොත්පත්වල හා ලිපි ලේඛනවල සංඛ්‍යාව ඉතා විශාලය. ගරා හැළීම හා කුණුවීම තේරුම් ගැනීමට රොකට් විද්‍යාව වැනි මහා දැනුමක් අවශ්‍ය වන්නේ නැත. බරපතළ වරදක් සිදුවූ විට එය ඉක්මනින් නිවැරදි නොකළ විට එය නිවැරදි කිරීම අපහසු ගල් ගැසුණු දෙයක් බවට පත්වේ. මුලදී නියපොත්තෙන් කැඩිය හැකි දේවල් පොරොවෙන් පවා කැපීම අමාරු දෙයක් බවට පත්වන්නේය. 

ශ්‍රී ලංකාවේ සමස්ත ආයතන ක්‍රමය කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන තලය වසා ගෙන තිබෙන මෙම අදානග්‍රාහීත්වය නිසාය. මේ ලිපියෙන් මා අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳව මට ඇති විශේෂ අත්දැකීමක් පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමේ පසුබිම තේරුම් කරදීමටය.රන්ජන් රාමනායකගේ කෙටි වීඩියෝ පට,රටේ ඇතිවී තිබෙන කුණුවීම සරල ලෙස තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වනු ඇතත්, ගැඹුරු දැනුමක් ඇති කිරීමට හේතුවන්නේ නැත. දැන් තිබෙන කුණුවූ තත්ත්වයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය නම් ඊට වැඩි දැනුමක් ශ්‍රී ලංකාව ලබා ගත යුතුය.

ගල්ටූන්ගේ දැක්ම

මාගේ මෙම විග්‍රහය ශ්‍රී ලංකාව අළලා මහාචාර්ය යොහාන් ගල්ටූන් මා සමග කරන ලද සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකිනි. ඔහු ගණිතඥයකු හා සමාජ විද්‍යාඥයකු වන අතර ගැටුම් නිරාකරණ විෂයෙහි වර්තමාන ලෝකයේ සිටින පිළිගත්ම න්‍යායධරයා ලෙස සැලකිය හැකිය. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 70ක් විය යුතු අතර, ඔහු ලියා තිබෙන පොත් සංඛ්‍යාව 100කට වැඩිය. "ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්" නමින් සිංහල භාෂාවෙන් "රාවය" පුවත්පත මගින් පළ කෙරුණු පොත ඔහු මාගෙන් කළ ඉල්ලීමකට අනුව පළ කෙරුණු බවද කිව යුතුය.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අවස්ථා ගණන 20කට වැඩිය. 2005දී සුනාමි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී ද ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ ඉල්ලීමක් අනුව කිසියම් දිනක සවස් කාලයේදී මම, ඔහු කොළඹ නැවතුම් ගෙන සිටි ස්ථානයට ගියෙමි. ඔහු ශ්‍රී ලංකාව ගැන කරන තරමක් දීර්ඝ සංවාදයකට මුල පුරන ලද්දේ මාගේ "නොනිමි අරගලය" නමැති පොත පදනම් කර ගනිමිනි.

තමා එම පොතේ ඉංග්‍රීසි පරිවර්තනය සොයා ගෙන පොතේ අඩක් පමණ කියවූ බව කියා, ඒ ආශ්‍රයෙන් ඔහුට පෙනෙන ශ්‍රී ලංකාව ගැන කෙටි අර්ථකථනයක් කළේය.“මා ඔබේ පොත මුළුමනින් කියෙව්වේ නැහැ. භාගයක් විතර කියෙව්වා. ඕනෑම රටක ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ උස් කඳු මුදුනක වැනි උස්තැනකය. රාජ්‍යයේ අනෙකුත් සියලු ආයතන තිබිය හැක්කේ ඊට වඩා පහත් තැන්වලය. ශ්‍රේෂ්ඨාධිකරණය ගංවතුරට යට වී ඇත්නම් නම් වඩා පහළ තැන්වල තිබෙන අන් සියලු ආයතන ගංවතුරට යටවී තිබිය යුතුයි” කීවේය.මහාචාර්යවරයාගේ නිරීක්ෂණය මුළුමනින් නිවැරදිය.

ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්

මා එම පොතේ විස්තර කර තිබෙන අධිකරණ අර්බුදය පැටලුණේ මාගේ වෘත්තීය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවූ අහඹු සිද්ධියක් නිසාය.මහේස්ත්‍රාත්වරයකු ඔහු ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරු නීතියට පටහැනිව දිගින් දිගට රඳවා තබා ගෙන සිටිමින් එම විත්තිකරුගේ බිරිඳ ලිංගික වශයෙන් අපයෝජනය කිරීමේ සිද්ධියක් නිසා මට එම මහේස්ත්‍රාත්වරයා ගැන සොයා බලන තැනකට යන්නටත් ඒ ගැන වාර්තා කරන්නටත් සිදුවිය. මහේස්ත්‍රාත්වරයා ගැන කරුණු සොයා බැලීමේදී ඔහු කලක් රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් වංචාවක යෙදී විධිමත් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහ කළ කෙනකු බව සොයා ගැනීමට හැකිවිය.

එම මහේස්ත්‍රාත්වරයා නීතිපති සරත් සිල්වාගේ උපදෙස් පරිදි සාපරාධී අපහස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මට එරෙහිව පැමිණිල්ලක් කළේය. පරීක්ෂණය ආරම්භ කළේ මට එරෙහිව වුවත් පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණු නිසා එම පරීක්ෂණය මහේස්ත්‍රාත්වරයාට එරෙහිව සිදු කරන පරීක්ෂණයක් බවට පත්විය. පරීක්ෂකයෝ මහේස්ත්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන් කටඋත්තරයක් ලබා ගත්තෝය. මෙම ස්ත්‍රී දූෂකයා රක්ෂණ සංස්ථාවේ සේවයෙන් පහ කිරීමේ සිද්ධිය ගැන කරුණුද ඔවුහු සොයා ගත්හ.

පරීක්ෂණය අවසන් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති වෙත යැව්වේය. නීතිපතිට පුංචි හෝ හැඟීමක් තිබුණු පුද්ගලයකු වී නම් මහේස්ත්‍රාත්වරයා පිළිබඳ එම වාර්තාවට ඇතුළත් තොරතුරු කියවූ පසු ස්ත්‍රී දූෂණ ප්‍රශ්නය මුළුමනින් නොසලකා සිටියද මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු එය සඟවා අධිකරණ සේවයට එකතු වී සිටීමේ ප්‍රශ්නය මත මහේස්ත්‍රාත්වරයාට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබුණි. නීතිපති ඒ වෙනුවට කළේ එම පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමය.

නීතිපතිගේ අධම භූමිකාව

මා ඉන්පසු ඒ ගැන එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කළෙමි. ඇමතිවරයා ඒ ගැන නීතිපතිගෙන් ලිඛිතව කරුණු විමසීමක් කළේය. ඊට පිළිතුරු වශයෙන් නීතිපති අධිකරණ ඇමතිට රහස්‍ය වාර්තාවක් එවා තිබුණි. ඒ මගින් නීතිපති පරීක්ෂණ වාර්තාවට ඇතුළත් සත්‍ය කරුණු වසන් කොට ස්ත්‍රී දූෂක වංචාකාර මහේස්ත්‍රාත්වරයාව ආරක්ෂා කර තිබුණි. 

නීතිපති සරත් සිල්වාද මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක වැනි දූෂිත පුද්ගලයෙකු විය යුතු බව මා ඇති කර ගත් නිගමනය විය. ඒ සමග නීතිපති ගැනද කරුණු සොයා බලන තැනකට යන්නට මට සිදුවිය. රසායන ඉංජිනේරු ජයසේකර, සරත් සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුවේ කතාව සොයා ගැනීමට ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සරත් සිල්වා මේ නඩුව ඇසූ විනිසුරු උපාලි අබේරත්න යොදා ගනිමින් නීතියට පටහැනිව පැමිණිලිකාර ජයසේකර පීඩාවට පත්කර තිබුණු අතර ජයසේකර අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව අධිකරණ සේවා කොමිසම ඒ ගැන පරීක්ෂණයක් පවත්වා එම විනිසුරුවරයා වැරදිකරු කොට ඔහුට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා කිරීම සඳහා එම පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත යවා තිබුණි. මෙම පරීක්ෂණය කර තිබුණේ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් දෙදෙනාය.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස ක්‍රියා කළ සරත් සිල්වා 1994 ආණ්ඩු පෙරළියෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් නීතිපති ධුරයට පත් කළේ මේ කාලයේදීමය. ඔහු නීතිපති ධුරයට පත්වීමෙන් පසුව තමන් වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවරයා පවරා තිබුණු දික්කසාද නඩුවේදී තමාගේ ආරක්ෂාව පිණිස තමාගේ උපදෙස් මත නීතියට පටහැනිව ක්‍රියා කළ විනිසුරුවරයා ආරක්ෂා කර ගැනීම සඳහා පරීක්ෂණ වාර්තාව යට ගැසුවේය.

නොනිමි අරගලය කෘතිය-නීතිඥ සංගමයේ මැදිහත්වීම

එම තොරතුරු සොයා ගැනීමත් සමග මගේ හඬ නැගීම මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරහිව කරන හඬ නැගීමකට සීමා නොකොට එය ඔහුට අතිරේකව විනිසුරු උපාලි අබේරත්නට හා නීතිපති සරත් සිල්වාට එරෙහිව කරන හඬ නැගීමක් බවට පත්කර ගැනීමට මට සිදුවිය. අවසානයේ එවකට නීතිඥ සංගමයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ රොමේෂ් ද සිල්වා විනිසුරුවරු දෙදෙනෙක් හා නීතිපති සම්බන්ධයෙන් මා පළ කළ වාර්තා ආශ්‍රයෙන් අධිකරණයේ ඇති වෙමින් තිබෙන අර්බුදය සම්බන්ධයෙන් නීතිඥ සංගමය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය සඳහා උපදෙස් ලබා ගැනීමට හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීය. ඒ සඳහා ආරාධිතයන්ට යවන ලිපි සමග මා විසින් ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනා ගැනත් නීතිපති සරත් සිල්වා ගැනත් ලියන ලද වාර්තාවල ඡායා පිටපත්ද යවා තිබුණි.

නීතිඥ සංගමයේ සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාව පවත්වන ලද්දේ නීතිඥයන් අතර වැඩිම පිළිගැනීමට හා ගෞරවයට හේතුවී සිටි එච්.එල්. ද සිල්වාගේ නිවසේදීය. එහිදී එම එකතුව ගනු ලැබූ තීරණයක් මෙසේය.

1.විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ගැන පරීක්ෂණයකට යා යුතුය.

2.විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සනාථ වේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරන අතර නීතිපතිට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ගැනද පරීක්ෂා කරන තැනකට යායුතුය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කර තිබෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටු දෙකක් පත් කිරීමට අගවිනිසුරු ප්‍රධාන අධිකරණ සේවා කොමිසමට සිදුවිය.

පරීක්ෂණ දෙක

ලෙනින් රත්නායක පරීක්ෂණය ආරම්භ කළේ මගේ සාක්ෂියෙනි. මහේස්ත්‍රාත්වරයා අතින් ලිංගික අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනාද ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාද සාක්ෂිකරුවන් වශයෙන් කැඳවීමට මට සිදුවිය.

මහේස්ත්‍රාත්වරයා එක් කාන්තාවක් දූෂණය කර තිබුණේ කටඋත්තරයක් ලබාගැනීම පිණිස යැයි කියා ගම්පොළ තානායමට රැගෙන ගොස් එහිදීය. අනෙක් කාන්තාව දූෂණය කර තිබුණේ මහේස්ත්‍රාත්වරයාගේ "චේම්බරය" තුළදීය.

"චේම්බරයට" ඇතුළු වන දොරටුව මුර කිරීම සඳහා විනිසුරුවරයා යොදා ගෙන තිබුණේ එම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාය. තමන් ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ කාන්තාවක් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මුරට යොදා ගෙන විනිසුරුවරයකු විසින් සිය "චේම්බරයේදීම" විත්තිකාරියක් දූෂණය කළ අවස්ථාවක්, මීට පෙර කවදාවත් කිසිවෙකු අසා තිබෙන්නෙට නැත. මෙම සිද්ධියේ ඇත්ත දැන ගැනීම සඳහා එම අධිකරණයේ නීතිඥයන් දෙදෙනකුද සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට පරීක්ෂණ කමිටුවට සිදුවූ අතර එසේ කැඳවන ලද එක් පුද්ගලයකු වූයේ පසු කලක වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයට පත් බලගල්ල මහතාය.

පරීක්ෂණ කමිටුව ඉදිරියට ලෙනින් රත්නායක පැමිණියේ පළමු පෙළේ ජනාධිපති නීතිඥයෙක් ප්‍රමුඛ ලොකු නීතිඥ කණ්ඩායමක්ද පිරිවරා ගෙනය. දුෂ්කර ග්‍රාමීය පසුබිමක් සහිත ලොකු උගත්කමක්ද නොතිබූ මෙම කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාගේ සාක්ෂි බොරු කිරීමට විත්තියේ නීතිඥයන් සමත් වූයේ නැත. දීර්ඝ හරස් ප්‍රශ්න කිරීම්වලින් සිදුවූයේ ඔවුන් කියන කතා ශක්තිමත් ලෙස තහවුරුවීමය. මෙම ස්වාමි පුරුෂයන් දෙදෙනාගෙන් එක් අයෙකු සිය බිරිඳ දූෂණය කිරීමේ වරදට පළි ගැනීම සඳහා උසාවි ශාලාවේදී විනිසුරුවරයාගේ ඔළුවට අසූචි පිරවූ පොලිතින් බෑගයකින් පහරදී තිබූ අතර, අනෙකා විනිසුරුවරයා මරා දැමීමට අසාර්ථක උත්සාහයක යෙදී තිබුණි.

ලෙනින් රත්නායක පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දුන්නද හරස් ප්‍රශ්නවලට මුහුණදීම මග හැරීම සඳහා පරීක්ෂණ කමිටුව ඉදිරියට ඒමෙන් වැළකී සිටියේය. ඉන්පසුව පරීක්ෂණය සිදු වූයේ ඒකපාක්ෂිකවය. අවසානයේ පරීක්ෂණ කමිටුව ලෙනින් රත්නායක චෝදනා හතරටම වරදකරු කළේය.

විනිසුරු උපාලි අබේරත්න චෝදනාවලට අභියෝග නොකිරීම නිසා පරීක්ෂණයකින් තොරව පරීක්ෂණ කමිුව විනිසුරුවරයා අධිකරණ සේවයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වීමට අධිකරණ සේවා කොමිසමට නිර්දේශ කළේය.

නීතිපති කොටු කිරීම

එම පරීක්ෂණ දෙක ජය ගැනීමෙන් පසුව නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ මණ්ඩලය නිර්දේශ කර තිබූ ආකාරයට නීතිපති සරත් සිල්වාට එරෙහිව පරීක්ෂණයක් කරළියට ගැනීමට මට අවශ්‍ය විය. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා පිළිබඳ සිද්ධියේදී ඔහු නීතියට පටහැනිව ඔහුගේ යථා තත්ත්වය වසන් කොට එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීම මගින් කරන ලද බරපතළ වරද සලකා නීතිපති සරත් සිල්වාගේ නීතිඥභාවය අහෝසි කරන ලෙස ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කළෙමි. මාගේ එම පැමිණිල්ල අගවිනිසුරුවරයා (ජී.පී.එස්. ද සිල්වා) විසින් ජ්‍යෙෂ්ඨත්වයේ අනු පිළිවෙළ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත යවා මගේ පැමිණිල්ල ගැන පරීක්ෂණයක් කළ යුතුද නැද්ද යන්න ගැන තමන්ගේ මත පළ කරන ලෙස දැනුම්දීමක් කර තිබුණි.

ඒ ගැන පරීක්ෂණයකට යාම අවශ්‍ය නොවන බව කීවේ ප්‍රියන්ත පෙරේරා, ඩී.පී.එස්. ගුණසේකර හා එල්.ජී.එච්. වීරසේකර යන විනිසුරුවරුන් තිදෙනා පමණය. අනෙක් විනිසුරුවරුන් සියලුදෙනා පරීක්ෂණයකට යනවාට පක්ෂ විය. මේ අතර සරත් සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් දික්කසාද නඩුව පැවරූ රසායන ඉංජිනේරු ජයසේකරද නීතිපතිගේ නීතිඥභාවය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. අවසානයේ අගවිනිසුරුවරයා මාගේ පෙත්සමේ පරීක්ෂණය භාරව ක්‍රියා කිරීමේ වගකීම අමිර් ඉස්මයිල් මහතා වෙතත්, ජයසේකරගේ පෙත්සමේ පරීක්ෂණය භාරව ක්‍රියා කිරීමේ වගකීම ශිරානි බණ්ඩාරනායක මහත්මියටත් භාරදී, එම පරීක්ෂණ දෙක කළමනාකරණය කිරීමේ වගකීම මාර්ක් ප්‍රනාන්දු මහතාට භාර කළේය.අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගියේ එම පරීක්ෂණ දෙකේ කටයුතු ආරම්භ කොට පවත්වා ගෙන යමින් තිබුණ අවස්ථාවකදීය.

චන්ද්‍රිකා ආණ්ඩුව නීතියට පටහැනිව සිදු කළ ක්‍රියාකරකම් ගණනාවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබාදී තිබීම නිසා ජනාධිපතිනිය ශ්‍රේෂ්ඨාධිකරණය සැලකුවේ ආණ්ඩු විරෝධී අධිකරණයක් වශයෙනි. දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයක් ගැනද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනද ඇගේ හිතේ තිබුණි. එම කඩුලු ජය ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට පාලනය කළ හැකි තැනකට ගැනීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඇය සැලකීය. නීතිපති සරත් සිල්වා ඇගේ විශ්වාසවන්ත සගයකු වූ අතර බෙල්ල හිරවෙමින් සිටින තත්ත්වයකට පත්ව සිටි සරත් සිල්වා බේරා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ අනියම් පාලනයට ගත හැකි හොඳම ක්‍රමය සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීම බව ඇගේ තීරණය විය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දූෂණ චෝදනාව එල්ල වී පරීක්ෂණයක් සිදු වන අවස්ථාවකදී චෝදනා ලාභියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා බවට පත්කිරීම රාජ්‍ය නායකයකුට කළ හැකි අසාමාන්‍ය තරමේ නොහොබිනා ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ඇය එසේ කරන ලද්දේ ඇගේ නීති උපදේශකයන් ලෙස ක්‍රියා කළ එච්.එල්. ද සිල්වා හා ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර එසේ නොකරන ලෙසට බලවත් ලෙස ඉල්ලා සිටියදී එයද නොසලකාය. ඇගේ එම ක්‍රියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂයට සිටින ඉහළම නිලධාරියා වූ පරම් කුමාරස්වාමිද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙළා දැක්කේය.

අගවිනිසුරු සරත් සිල්වා

ජනාධිපතිනියගේ එම අවකල් ක්‍රියාව නිසා නීතිපති සරත් සිල්වාට එරෙහිව මා ඉතා දුෂ්කර ලෙස තර්කානුකූල අවසානයක ආසන්නයට ගෙන යමින් තිබූ අරගලය මහා ප්‍රපාතයකට තල්ලු කිරීමක් සිදුවිය. මා එයට විරෝධය පළ කරන ලද්දේ රාවයේ මුල් පිටුව නව අගවිනිසුරුවරයා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා "අධිකරණ නිදහසේ මළගම" යන ශීර්ෂ පාඨයකින් යුතු කළු කලාපයක් ලෙස පළ කිරීමෙනි.

ඉන්පසු මා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අගවිනිසුරුගේ පත්වීම අභියෝගයට ලක් කරමින් අගවිනිසුරුට එරෙහිව නඩු පැවරුවෙමු. එම නඩුව පැවරූයේ සරත් සිල්වා පාලනය කරන අධිකරණයකින් සාධාරණයක් ඉටුවේ යැයි කියන අදහසින් නොව සටන අත්නොහිරින බව ඇඟවීම සඳහාය. එය ජාත්‍යන්තර අවධානය දිනා ගත් නඩුවක් බවට පත්වූ අතර, අන්තර්ජාතික නීතිඥ සංගමය නඩුව නිරීක්ෂණය කිරීම සඳහා කේරළයේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයෙකු නඩුව ඇසෙන සෑම දිනකම අධිකරණයට එවීය.

බලය අත්පත් කර ගැනීමෙන් පසු අගවිනිසුරුවරයා අධිකරණය කනපිට හැරැව්වේය. පළමුවෙන්ම කළේ උපාලි අබේරත්න ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකිරීමය. අනිවාර්ය විශ්‍රාම ගන්වා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කළ පුද්ගලයා සේවයෙන් විශ්‍රාම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙනි. ලෙනින් රත්නායකවද ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළත් එය මුළුමනින් සාර්ථක වූයේ නැත.

අධිකරණයට සිදු කළ විනාශය

අගවිනිසුරුවරයා අධිකරණයට කරන ලද විනාශය දැවැන්තය. අධිකරණයට තිබූ ගෞරවය නැති කොට එය ගඳ ගහන තැනක් බවට පත් කළේය. ඔහුට අවනත නොවන විනිසුරුවරුන් අධිකරණයෙන් පළවා හැරියේය. පළවා හැරීමට බැරි අය වැඩ නැති විනිසුරුවරුන් බවට පත් කළේය.

රටේ ආණ්ඩුක්‍රමයද විකෘති කළේය. මන්ත්‍රීකම අහිමි කර ගැනීමෙන් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු විය හැකි ක්‍රමයක් නඩු තීන්දු මගින් ඇති කර දුන්නේය. අහිංසක මිනිසුන්ට අධිකරණ බලය යොදා ගෙන හිරදඬුවම් දුන්නේය. රටේ අගවිනිසුරුවරයාට පතාල ලෝකයේ ඇතැම් පුද්ගලයන් සමගද සමීප සම්බන්ධකම් තිබුණේය. ඔවුන් දුරකතනයෙන් අගවිනිසුරුවරයාට කතා කළේය. එසේම අගවිනිසුරුවරයා ඔවුන්ට දුරකතනයෙන් කතා කළේය.
අධිකරණය සදාචාරාත්මක අර්ථයෙන් කාන්තාරයක් බවට පත් කළේය. අගවිනිසුරුවරයා විවාහක නීතිඥවරියක් සමග දියවන්නා ඔය අසල නවතා තිබූ වාහනයක අඩ නිරුවතින් සිටින අවස්ථාවකදී පොලිසියට හසුවිය. ඒ අවස්ථාවේදී අගවිනිසුරුගේ උඩුකය ටයිපටියක් සහිත කමිසයකින් වැසී තිබුණද යටිකය තිබුණේ කලිසම නැතිවය. මේ සිද්ධිය රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වුවද රටේ පාලක පක්ෂයට හා විරුද්ධ පක්ෂයට එය විනෝදයට හේතුවූ කරුණක් වූවා මිස අධිකරණයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගත්තේ නැත.

රටේ බලවත් හා වැදගත් සියලුදෙනාම අධිකරණයට කරන ලද විකෘතීන් ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියේය. ඔහු අධිකරණයට ඇති කළ විකෘතීන් නිවැරදි කිරීමට කිසිවකුට අවශ්‍ය නොවීය. දේශපාලන පක්ෂ ඔහුගෙන් උපරිම ලෙස අයථා ප්‍රයෝජන ගත්තේය. හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා ඔහු ලවා එම පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා ගත්තේය. දුෂ්කර පැයේදී ඔහුට ආධාර කළ ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝ ඔවුන්ට තිබුණු නඩු හබ පස්සා දොරෙන් විසඳා ගත්හ. සියලුදෙනා අධිකරණය කෙළෙසූ මෙම මිනිසාව උපරිම ලෙස ආරක්ෂා කළේය. ඔහුගෙන් පසු අගවිනිසුරුවරු ආව ගියෝය. ඒ කිසිවෙක් එම මිනිසා අධිකරණයේ පූජාසනයේ තවරා තිබුණු කැත කුණු පිරිසිදු කළේ නැත.

අධිකරණය පමණක් නොව, රටේ අන් හැම ආයතනයක්ම තිබෙන්නේ කුණුවූ තත්ත්වයකය. ඒ හැම ආයතනයකටම ඒවා කුණුවූ ආකාරය විස්තර කළ හැකි විශේෂ කතාද තිබෙන්නේය. රන්ජන් රාමනායක දැන හෝ නොදැන කර තිබෙන්නේ ඒ හැම තැනකම තිර රෙදිවලින් වසා තිබෙන කැත කුණු පෙනෙන ලෙස ඒ තිර රෙදි ඉවත් කිරීමය. කොතැනක හෝ බරපතළ වරදක් සිදුවූ විට එය වහාම නිවැරදි කර ගැනීම සඳහා ක්‍රියා කිරීමේ ශික්ෂණය ශ්‍රී ලංකාවේ පාලකයන්ට නැත. ඒ නිසා සිදුවී තිබෙන්නේ හැම ආයතනයකම වැරදි ගල් ගැසී සමස්ත ආයතන ක්‍රමයම කුණුවූ තත්ත්වයක පැවතීමය. ශ්‍රී ලංකාවට මෙම දහ ජරා තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම් හැම අංශයකටම බලපාන පරිදි ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යා යුතුය. එය දේශපාලන පක්ෂවලට පමණක් කළ හැකි දෙයක් නොවේ. එය මහ ජනයාගේ අත්වලින්ම කරන මහ ජනයාගේ කටයුත්තක් බවට පත් කර ගත යුතුය.

Advertiesment