Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


ග්‍රහයෝ නීච වන විට පාලකයෝ ද පීචං වෙති..!


2019-07-02 1739

ජනපති සියල්ල පටලවා ගනී-අගමැතිගේ නිහඬතාවය ප්‍රශ්නයක් වෙයි..?

පුත්‍ර කාරක බුධගේ නීචත්වය  ශ්‍රී  ලංකාවේ කුඩා දූ දරුවන්ට තදින්ම අපලකාරී බවත්, එමනිසා  ඔවුන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පසුගිය ලිපි මගින්  අප  ප්‍රකාශ කළා ඔබට මතක ඇති. එම අනතුරු ඇඟවීමෙන් පසුව  බොහෝ දරුවන් අනතුරුවලට, අපයෝජනවලට, වැරදි ක්‍රියාවලට ලක්වු ආකාරය අපට විවිධ මාධ්‍යය හරහා දැන ගන්නට ලැබුණි.

එයිනුත් ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලයේ සිද්ධිය වාර්තා විය.  ත්‍රිකුණාමලය පෙරියකුලම් වැවේ පසුගිය 11 වනදා පෙරවරුවේ නෙළුම් මල් කැඩීමට ගිය දරුවන් සිව්  දෙනෙකු සිය  පියා ද සමඟ දියේ ගිලී මිය ගොස් ඇත.

ඉදිරි කාලයේදීත් මෙවන් ශෝචනීය සිද්ධින් ඇතිවීමට පුළුවන.  වැඩිහිටියන් කල්පනාවෙන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.  ගෙවුණු මාස දෙකට ළමා අපයෝජන සිද්ධි 1532 ක් වාර්ථා වන බව ළමා අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කර තිබුණි.

එසේම, පසුගිය සතියේ අප ප්‍රකාශ කළ තවත් අනාවැකියක් ඵලදරා තිබුණි. ඒ පැවති ග්‍රහ යුද්ධයකින් සිකුරු පරාජ වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකාරිනියකගේ අභාවයක් ගැන අසන්න ලැබෙන බවට පළ කළ  අනාවැකියයි.  පසුගිය මාර්තු 14 වන දින ප්‍රවීණ චිත්‍රපට නිළි සහ  ගායිකා එඩ්නා සුගතපාල මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ලග්නාධිපති අටවැන්නේ සතුරුව ගමන් කරන මේ වේලාවේ ඔහු  ඉතාම කල්පනාකාරී විය යුතුය.  විවිධ චෝදනා එල්ලවිය හැකිය.  අහක යන චෝදනා, ගැරහුම් පවා එතුමාගේ ගිණුමට බැරවිය හැකියි.  ඉවසීමේ ගුණයෙන් අති පිරිපුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ අවස්ථාවේදීත් සිනාමුසු මුහුණින් නිහඞව පිළිතුරු දිය හැකිය.

පදනම් විරහිත ගැරහුම් සහ  චෝදනාවලට හොඳම පිළිතුර නිහඞතාවය බව එතුමා දන්නවා විය හැකිය.  නමුත් ඒ චෝදනා  පදනම් සහිත වුවහොත් එම තත්ත්වය  ප්‍රශ්නාර්ථයකි.  නිහඞ බව ඊට  පිළිතුරක් නොවනු ඇත. හේතුව බුද්ධි කාරක සහ ඥාන කාරක ග්‍රහයින් දෙදෙනාම මේ අවස්ථාවේ නීචව සහ සතුරුව සිටින නිසාවෙනි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රයට අනුව  ලග්නයේ ගුරු සතුරුව ගමන් කරන මෙම මොහොතේ ඉතා නුවණින් කටයුතු කළ යුතුය.  සියල්ල පටලවා ගනීද, අවුල් කර ගනී ද යන්න මෙම ග්‍රහ චලනය අනුව නොසිතෙනවාම නොවේ.  නිය පොත්තෙන් කැඩීමට තිබු දේ පොරව දක්වා ගමන් කළ බව මහනුවර, දිගන, තෙල්දෙණිය, අඹතැන්න සිද්ධීන්වලින්ම පසක් වන්නේ මේ නිසාමය.  මෙවන් ශෝචනීය සිද්ධීන් වළක්වා ගැනීමට පහසු ඉඩකඩ තිබියදි මේ තරම් දුරදිග ගියේ පාලකයින්ගේ ග්‍රහයෝ නීචවීම සහ  සතුරු වීම නිසා ද යන්න සිතිය යුතුය.

රාජ්‍යකාරක රවි ශ්‍රී ලංකා කේන්දරයේ ලග්නස්ථානයේය.  නමුත්, සතුරුය. විපක්ෂයට අධිපති සිකුරු උච්චව නීච බුධ සමඟ යෝගව සිටියි.  රට අභ්‍යන්තරයේ  සිදු වුණු ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් සියලු දෙන  එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින්  දේශපාලන වාසි ලබා ගැනීමට බෝල පාස් කර ගනිති.  සියලු දෙන තමා  ශුද්ධවන්තයින් බව පෙන්වීමට  උත්සාහ දරන අතර ඒ හේතුවෙන් හරයක් නැති දෙපැත්ත සිනහ ගන්වන  බොල් ප්‍රකාශ මතු විය හැකිය.

විශ්වයේ තිබෙන අයහපත් ග්‍රහ කිරණ වුවද නැවත තමා  වෙතින් පෙරළා යැවිය හැක්කේ තම මනසට පමණි.  හැමදාම මා කියන පරිදි පාලකයින්ගේ සිට  පාලිතයින් දක්වා පවතින මෙම වෛරී මානසිකත්වය නැති කර ගත යුතුය.  බලය,ධනය සහ තනතුරු ඇතුළු  සමස්ථ ජීවිතයම තාවකාලික බව දැන යහපත් මනසකින් කටයුතු කරන්නේ නම්, මෙම ග්‍රහ බලපෑම් පවා අවම කර ගත හැකිය.

හැමදාමත් අප දුටුවේ පැටව්න්ට කෙළින් එන්න කියා ඇදේට ගිය මහා කක්කුට්ටන්ය.  මුලින්ම ශ්‍රී ලංකාවේ දේශපාලනමය වශයෙන් තිබෙන බද්ධ වෛරී මානසිකත්වය නැති කර ගත යුතුය.  එවිට  ජනතාව අතර  තිබෙන අයහපත් මානසිකත්වය ද අඩු වී යා හැකිය.  ජාතිභේද, ආගම්භේද, කුලමල භේද නැති සාමකාමී සහ සහජිවනයෙන් සපිරි පරිසරයක් රටේ  නිර්මාණය වනුයේ ඉබේටමය.   

 ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

Advertiesment