Friday 4th of December 2020

English Tamil
Advertiesment


රනිල්ගේ සළු පට අහසට විසි කළ සුදත්ගේ හෙළිදරව්ව


2020-01-18 4221

 

රටෙයි-පක්ෂයෙයි ව්‍යවස්ථා සංශෝධනය කළේ රනිල්ගේ පැවැත්මට

 

සක්සුදක් සේ පැහැදිළි වන දේශපාලන යතාර්ථය වන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යයස්ථාවේ සංශෝධන වගේම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේ පක්ෂයේ හෝ රටේ හෝ අනාගතය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් නොව සිය පැවැත්ම, බලය සහ ආරක්ෂාව උදෙසා බවය.

දේශපාලනය යනු සැබැවින්ම බල අරගලයකි. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක සේම ඕනෑම දේශපාලනඥයෙකුගේ මූලික අරමුණ වන්නේ කෙසේ හෝ  රටේ බලය ලබා ගැනිම සහ එසේ ලබා ගත් බලය තහවුරු කර ගනිමින් ආරක්ෂා කර ගැනිමයි. එම සටනේදී සියලු දේශපාලන ව්‍යාපාර, පක්ෂ සහ නායකයින් සීමා මායිම් නොතකා ක්‍රියා කරන්නේ මේ පසුබිම මතයි.

නමුත් අවාසනාවකට මෙන් පසුගිය දශක කිපයේම එක්සත් ජාතික පක්ෂ නායකත්වය තුල දක්නට ලැබුනේ බලය ලබා ගැනිමේ සටන් නොව, බලය අහන්බෙන් තමන් වෙතට ලැබෙන තුරු බලා සිටිමේ ක්‍රමවේධයකි.

නමුත් මහින්ද රජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ පරාජයෙන් පසුව බලය ලැබෙන තුරු උඩ බලාගෙන සිටියේ නැත. නැවත වරක් රටේ බලය ලබා ගැනිමේ ඒකායන අරමුණින්, නව දේශපාලණ පක්ෂයක් පිහිටුවා බලයේ තිබු රජය අවුරුදු දෙදකට පසුව පැවති පළාත් පාලන මැතිවරනයකදී පරාජය කර, ඉන් අවුරුදු දෙකකට පසුව ජනාධිපතිවරණයකින් ද පරාජය කරමින්, රටේ බලය අල්ලා ගැනිමට අවස්ථාව උදා කර ගත්නේ දේශපාලනයේ දි නායකයෙකුගේ තිබිය යුතු නායකත්ව ලක්ෂණ සහ අරමුණ මැනවින් පෙන්නුම් කරමිනි.

රටේ බලය අල්ලා ගැනීමට පෙර  එම සියලු නායකයින් මුහුණ දෙන අභියෝගය වන්නේ සිය නායකත්වය ආරක්ෂා කර ගනිමින්, බලය තහවුරු කර ගැනීම සඳහා සිය දේශපාලන පක්ෂය  අභ්‍යන්තරයේ නොනිමි බල අරගලයක යෙදීමටය.

රටේ බලය ලබා ගැනීමේ සටනට සීමා මායිම් අදාළ නොවුණ ද, දේශපාලන පක්ෂ අභ්‍යන්තර බල අරගලවලට සීමා මායිම් අදාළ වේ. ඒ මන්ද යම් දේශපාලන පක්ෂයක අභ්‍යන්තර අර්බුදවලට සහ බල අරගලවලට සීමාවක් සේම, නිමාවක් නොවන්නේ නම් එම පක්ෂයට රටේ බලය අල්ලා ගැනිම අසිරු ඉලක්කයක් වන නිසාය. පසුගිය දශක කිපයක සිටම එක්සත් ජාතික පක්ෂයට සිදුව ඇත්තේ එයයි.

එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිටම අභ්‍යන්තර බල අරගලවලට සහ අර්බුදවලට මුහුණ දුන් එැවැනි අත්දැකිම් බහුල ඉතිහාසයක් ඇති දේශපාලන පක්ෂයකි. එනමුත් එම අභ්‍යන්තර බල අරගල සහ අර්බුද වර්තමානයේ මෙන් දශක ගණනක් මුළුල්ලේ‍, දීර්ඝකාලයක් ඇදී නොගිය බව කිව යුතුය.1994 දී ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා පත් වන්නේද, එවකට පක්ෂ අභ්‍යන්තරයේ පැවති බල අරගල සහ අර්බුද නිමා කරමිනි.

එනමුත් 1999 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව නැවත වරක් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ බල අරගල ආරම්භ වූ අතර, 2005 වසරේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව  රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව දේශපාලන අභියෝග රැසක් එල්ල කරමින් ආරම්භ කෙරුණු බල අරගලය තවමත් නොනැවති ඉදිරියටම ඇදි ගෙන යයි.

1999 සහ 2005 ජනපතිවරණ පරාජයන්ගෙන් පසුව සිය නායකත්වයට එරෙහි බල අරගලය පක්ෂ අභ්‍යන්තරයේ ක්‍රම ක්‍රමයෙන් උග්‍ර වෙද්දී, එම අර්බුදයෙන් බේරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා කළේ  2006 ඔක්තෝබර් මස 23 වැනිදා  අරලියගහ මන්දිරයේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග අවබෝධතා ගිවිසුමක්  අත්සන් කිරීමය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති  මලික් සමරවික්‍රම සහ පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන යන  මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ තමාට එරෙහි බල අරගලය මෙම ගිවිසුම මගින් සමනය කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහයේ අසාර්ථකත්වය ඊට මාස කිපයකට පසුව දක්නට ලැබිණි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව අරගල කරමින් නව නායකයෙකු පත් කර ගැනීමට අවස්ථා ගණනාවකදී  ගත් ප්‍රයත්නයන් අසාර්ථක වීමෙන් අනතුරුව, අත්සන් කර තිබූ අවබෝධතා ගිවිසුමට අණුව යමින් 2007වසරේ ජනවාරි මාසයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දහ අට දෙනකු සමඟ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ විය.

2008 දෙසැම්බර් 9 වැනිදා ගල්කිස්සේ පැවති පක්ෂ සම්මේලනයේදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කරු ජයසුරිය මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එක්විය. නායකත්ව අර්බුදය කෙතරම් දුරට උග්‍ර වූයේද යන්න මනාව පැහැදිළි  වූයේ,  2011  දී නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය  සදහා රනිල් වික්‍රමසිංහ මහතා සමග ජන්දයකට පවා ඉදිරිපත්වීමේ සිද්ධියෙනි.

එනමුත් 2010 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කලින් කලට මතු වන අරගල සහ අර්බුද පිටු පස ඇති අදිසි දේශපාලන හස්ථය සජිත් ප්‍රේමදාස බව නොරහසකි. 

ඊට හොඳම උදාහරණය වන්නේ 2012 දී "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති පක්‍ෂයේ 54 වන ජාතික මහා සම්මේලනයයි.එක්සත් ජාතික පක්ෂයේ මේ ජාතික මහා සමුළුව ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ අයුරින් අතිශයින්ම යුද පිටියක ස්වරුපයක් ගනු ලැබූ අතර එම  54වෙනි ජාතික මහා සම්මේලනය  එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර බල අරගලය මනාව ලෝකයට ප්‍රදර්ශනය කරන්නක් විය.

"සිරිකොත" වට කොට පොලිස් විශේෂ කාර්ය බලකාය, ජල ප්‍රහාරක රථ, යකඩ වැටවල් සහ ආරක්ෂක කැමරා සීරුවෙන් තබමින් ද,"කාපට්" දැමීමට යැයි කියමින් "සිරිකොත" ඉදිරියෙන් දිවෙන පිටකෝට්ටේ ප්‍රධාන මාර්ගය වසා තබමින් ද, මහින්ද රාජපක්ෂ රජය රනිල් වික්‍රමසිංහ මහතා රැක ගැනීමේ අරමුණින්ම, මේ  ජාතික මහා සමුළුව සඳහා පූර්ණ රාජ්‍ය ආරක්ෂාව, අනුග්‍රහය සහ ආශිර්වාදය ලබා දුන්නේය.

එවකට  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි විජයදාස රාජපක්ෂ මහතා විසින් පක්‍ෂ නායකයාගේ ධූර කාලය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් එම ජාතික මහා සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඊට එරෙහි වෙමින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, 1994 සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂයට පැහැදිළි සහ ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා සිය හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කරන බවය.

කෙසේ නමුත් අදාළ යෝජනාව සභා සම්මත වූ අතර ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහි බල අරගලය සහ විරෝධය තව තවත් උග්‍ර විය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට  එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන ලෙසට බල කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 2013 ඔක්තෝබර් මාසයේ මාතරින් ආරම්භ කෙරුණු  පෙළපාළිය කෙළවර වුණේ සන්නද්ධ ගැටුමකිනි. එම ගැටුම්කාරී සිද්ධියට අදාළ කුරුදු පොලු නඩුව තවමත් මාතර අධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙමින් පවතී.

මේ අයුරින් "සජිත් - රනිල්" නායකත්ව සහ "නයි-පොළොං" ගැටුම පක්ෂ අභ්‍යන්තරයේ වරින් වර දිගින් දිගටම ඉස්මතු වෙමින් පවතින අතර, 2020 ජනාධිපතිවරණයෙන් පසුවද එම ගැටුම එක්සත් ජාතික පක්ෂ නායකත්ව බල අරගලයේ නොනිමි අරගලයක් බවට පත්ව ඇත.

1947 එක්සත් ජාතික පක්ෂය පිහිටවූ මොහොතේ සිට ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් සිදු කළා නම් එසේ කරනු ලැබුවේ 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසුව, පක්ෂ නායකත්වට පත් වූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. එම සංශෝධනය වූයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු, නායකයා රටේ නායකත්වයට පත් වුවහොත්  ඔහු පක්ෂයේ නායකයා ද විය යුතුය යන්නයි. ජේ ආර් ජයවර්ධන මහතා සිදු කළ එම සංශෝධනය ද එතරම් බරපතළ සංශෝධනයක් නොවූ බව කිව යුතුය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට 1994 දී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම වර්ෂයේදීම කතරගම පැවැති ජාතික මහා සමුළුවේදී, පක්ෂ ව්‍යවස්ථාවේ ව්‍යුහාත්මක සංශෝධන කිහිපයක්ම සිදු කළේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ද, අපේක්ෂකයා හෝ සාමාජිකයෙකු රටේ ජනාධිපති වුවහොත් ඔහුට හෝ ඇයට පක්ෂ නායකත්වය හිමි විය යුතු බවට ද හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ වගන්ති 1994 වසරේදී පැවැති මේ මහා සමුළුවේදී පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරිණ. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා නව වගන්තියක් ද පක්ෂ ව්‍යවස්ථාවට එහිදී ඇතුළත් කළ අතර එහි සඳහන් වූයේ “නායකයෙකු පත් කළ හැක්කේ පුරප්පාඩුවක් ඇත්නම් පමණි” යනුවෙනි.

මෙම සංශෝධන හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා එම පක්ෂයේ යාවජීව නායකයා බවට පත් වූ අතර ඒ අනුව ඔහු සිය කැමැත්තෙන් ධූරයෙන් ඉල්ලා අස් වුණොත් හෝ ජීවිතක්ෂයට පත් වුණොත් හැරුණු කොට, ඔහු නායකත්වයෙන් පහ කිරීමේ යාන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් නොමැත.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ තින්දු තීරණ ගන්නා ප්‍රබල සහ උත්තරීතර සංවිධානය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට සිය  අභිමතය පරිදි සාමාජික සාමාජිකාවන් හැට දෙනෙකු පත් කර ගැනීමේ විශේෂ බලය ද, රනිල් වික්‍රමසිංහ මහතා මේ ජාතික මහා සම්මේලනයේ දී තමා වෙත පවරා ගෙන තිබේ. කෙසේ නමුත් සමහර එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ මතය වන්නේ මෙවැනි වගන්ති ව්‍යවස්ථාවට ඇතුළු වීම ඉතාම අභිරහස් ආකාරයෙන් සිදුව ඇති බවයි.

2012 දි පැවැති එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික මහා සම්මේලනයේදී,  සජිත් ප්‍රේමදාස මහතා පැවසූ අකාරයට 1994 සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂයට පැහැදිළි සහ ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ බවට කෙරෙන චෝදනාවට හේතු වී තිබෙන්නේ,  ව්‍යවස්ථා සංශෝධනවලින් බලය සහ නායකත්වය ආරක්ෂා කර ගත්තද නිවැරදි ශක්තිමත් නායකත්වයක් පක්ෂයට ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ නොහැකියාවයි.

එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහිකම් කරන, පක්‍ෂ ව්‍යවස්ථාවේ නියමයන් සහ පිළිගැනීම් නොසලකා හරිමින් හිතුවක්කාරී, අවිචාරවත් වගේම විනය විරෝධී ලෙස හැසිරෙන පක්ෂ සාමාජික සාමාජිකාවන් සම්බන්ධයෙන්,  ඒ අයගේ උස් මිටිකම් නොසලකා, පක්‍ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ඒ අයට එරෙහිව දැඩි විනය සහ නීතිමය පියවර ගනිමින්, ශ්‍රී ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රටට, ජනතාවට,ජාතික දේශපාලන ප්‍රවාහයට ආදර්ශයක් දී ඇති බවක් නම් පෙනීමට නොමැත.

දේශපාලන පක්ෂයක පැවැත්ම, ජයග්‍රහණය සහ අනාගතය වෙනුවෙන් දැඩි පියවර ගැනීමට  අවශ්‍ය වන්නේ නම් ඒ පියවර වහාම අනුගමනය කළ යුතු අතර අවශ්‍ය තීන්දු තීරණ නොබියව, අප්‍රමාදව සහ නොපැකිලිව ගැනීමට නායකයා නොපසුබට විය යුතුය. තීන්දු තීරණ ගැනීමේදී ඕනෑම දේශපාලන නායකයෙකු සැලකිල්ලට ගත යුත්තේ සිය පක්‍ෂයේ පැවැත්ම සහ අනාගතයයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ මෙවැනි සාධනීය, නීති ගරුක සහ විනය ගරුක ලක්ෂණ නොතිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ විනය, සම්ප්‍රදාය සහ පැවැත්ම සම්ර්ණපූයෙන්ම පිරිහීමකට ලක් වී තිබේ. . මෙම නොනිමි අභ්‍යන්තර බල අරගල වලට ප්‍රධාන  හේතුවක් වූයේ තින්දු තීරණ නොගෙන කල් මැරිමේ ප්‍රථිපත්තියක් රනිල් වික්‍රමසිංහ මහතා සැම විටම අනුගමනය කිරිමයි. මේ තුළින් රනිල් වික්‍රමසිංහ කොන්ද පණ නැති නායකයෙකු ලෙස සමාජගතවීම, වඩාත්ම බරපතල ලෙසට පක්ෂ ජයග්‍රහණයට බලපැම් සිදු  කරණ්නක් විය.

සිය නිවස, කාර්යාලය, පක්ෂය සහ රජය පාලනය කිරිමේදි රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන්නේ එකිනෙකා බෙදා භේද භින්න කරවා, ගැටුම් ඇති කරමින්, ඒ ගැටුම් ඔස්සේ පාලනය ගෙනයාම සහ එමගින් සිය වාසිය සලසා ගැනීමේ පාලන ක්‍රමයකි. මේ හේතුවෙන් කණ්ඩායමක් වශයෙන් ශක්තිමත් වී ඉදිරියට ගොස් ජයග්‍රහණ අත් පත් කර ගැනීමට තිබූ සියලු අවස්ථා එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ අතර,අභ්‍යන්තර බෙදිම් සහ ගැටුම් දිගින් දිගටම වර්ධනය විමට එයම හේතු සාධක විය.

ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයා ජනාධිපති වුවහොත් ඔහුට හෝ ඇයට පක්ෂ නායකත්වය හිමි විය යුතු බවට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ වගන්තිය  1994 දී  පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරමින් සිදු කළ සංශෝධනයේ වාසිය 2019 ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරපත් කරමින් තමාට අත්පත් කර කර ගනිමින්, නායකත්වය තව දුරටත් ආරක්ෂාකර ගැනිමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සිය නායකත්වය යාවජීව කර ගැනීමෙන් නොනැවතුණු රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සිය අභිප්‍රායන් අනුව සිය පැවැත්ම වෙනුවෙන් සංශෝධනය කර ගත්තේය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව තමාට මහජන  ජන්දයකින් මේ රටේ ජනාධිපති විය නොහැකි බවත්, තමාට හැමදාම සිදු වනු ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකු හෝ පිටස්තරයෙකු ජනාධිපති කරවා  පක්ෂ නායකයා වශයෙන් අගමැතිවිමට පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට අවබෝධ විය. එසේ නම් කළ යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අගමැතිගේ බලතල වැඩිකර ගැනිම බව රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වශයෙන් තීරණය කළ අතර අංගවිකල 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඔහුගේ ඒ ආත්මාර්ථකාමී සහ කූට උපක්‍රමයේ ප්‍රතිඵලයකි.  

2015 ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසුව දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කරණු ලැබුවේ ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය කාලය ලබා ගැනිම සදහායි. එසේ දින 100 වැඩ සටහන ක්‍රියාත්මක නොකර මහා මැතිවරණයට එසැනින් මුහුණ දුන්නා නම් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබා ගැනිමට අවස්ථාව තිබුණා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි නොවීමට ද ඉඩ තිබුණි. එපමණක් නොවජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු විමට ඉඩ තිබිණි. එසේ නම් මහා බැංකු මංකොල්ලය මගින් එක්සත් ජාතික පක්ෂයට අවාසියක් වන්නේද නැත.

කෙසේ නමුත් සිය බලය වර්ධනය කර ගනිමින් තහවුරු කර ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු රනිල් වික්‍රමසිංහ මහතාට මේ දේශපාලන යතාර්ථය  තේරුණු නමුදු, ඔහුගේ එකම අරමුණ, අභිප්‍රාය සහ සටන වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කර තම පැවැත්ම තහවුරුකර ගැනිම පමණකි.

මේ අනුව සක්සුදක් සේ පැහැදිළි වන දේශපාලන යතාර්ථය වන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යයස්ථාවේ සංශෝධන වගේම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේ පක්ෂයේ හෝ රටේ හෝ අනාගතය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් නොව සිය පැවැත්ම, බලය සහ ආරක්ෂාව උදෙසා බවය.

සුදත් චන්ද්‍රසේකර
සභාපති,
-නවෝදා ලංකා සංවිධානය-
(හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පුද්ගලික ලේකම්)
Advertiesment