Saturday 22nd of February 2020

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුවේ වැඩ ඉදිරි වසරේ ඇරඹේ 


2020-01-13 2039

 

රටේ තෙල් හිඟයක් ඇති වන්නේ නැහැ 

 

අලුත් බලාගාර දෙකක වැඩ මේ වසරේ ඇරඹේ  

 

ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුව ඉදි කිරීමේ කටයුතු 2021 වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ මුලන දික්වල පාළමේ ඉදිකිරීම් කටයුතු අරඹමින් ඒ සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමින් වන අතර රුපියල් මිලියන 110ක වියදමින් ඉදි කෙරෙන මෙම පාළම මගින් ප්‍රදේශයේ පවුල් සිය ගණනකට සෙත සැළසෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ දැනට අප රටේ පිරිපහදු කරනුයේ අපේ රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 30ක් පමණ ප්‍රමාණයක් වන අතර ඉතිරි පිරිපහදු කරන ලද ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවය. 

එම නිසා වාර්ෂිකව විශාල මුදලක් අපේ රටින් විදේශවලට ඇදී යන අතර සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව සහ හම්බන්තොට ඉන්ධන පිරිපහදුවට අමතරව තවත්  විශාල මට්ටමේ ඉන්ධන පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතින තත්ත්වය හමුවේ 2021 වසර වන විට  රටේ විශාලතම ඉන්ධන පිරිපහදුව ඉදි කිරීමේ කටයුතු ඇරඹීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ගවේෂණය කර ඇති පරිදි ස්වාභාවික වායු නිධිය මන්නාරම ප්‍රදේශයේ පවතින බව තහවුරු වී තිබේ. එමනිසා මන්නාරම ස්වාභාවික ගෑස් නිධියේ කැණීම් කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමටත් රජයේ අවධානය යොමු වී ඇත.

මේ දිනවල ගල්ෆ් කාලපයේ පවතින ඉරාන- ඇමරිකා යුධ උණුසුම නිසා ඉන්ධන හිගයක් ඇති වේදැයි සමහරුන්  විමසන බවත් එහෙත් එවැනි ඉන්ධන හිගයක් ඇති නොවන අතර අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඇති බවත් මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියේය.දිනපතා රටේ  ඇති ඉන්ධන සංචිත තොග පිළිබඳ වාර්තා ලබා ගන්නා අතර  ඉන්ධන හිගයක් ඇති නොවීමට ඉඩ නොතබා අවශ්‍ය පරිදි තෙල් තොග ගබඩා කිරීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම දැනට විදුලි බල අංශයේ පවතින අර්බුදයට හේතුව විදුලි බල මණ්ඩලය ලබා තිබෙන රුපියල් බිලියන 200ක පාඩුව වන අතර  එම ආයතනය  ඉක්මනින්ම ලාබ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා අලුත් විදුලි බලාගාර දෙකක ඉදිකිරීම් මෙම වසර අවසන් වන විට ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

Advertiesment