Sunday 29th of November 2020

English Tamil
Advertiesment


සජිත්ගේ නියෝජිතයා ලෙස අජිත් වගකීම් පැහැරිය බවට තිස්සගෙන් චෝදනා


2020-01-13 3483

නාම යෝජනා දෙන විට අපේක්ෂකයාගේ බලය ලත් නියෝජිතයා කොමිසමේ සිටිය යුතුයි 

 

විරෝධතා ගොනු කළ යුත්තේ බාහිර අය නොව බලය ලත් නියෝජිතයි 

 

"මම කොමිසමට ගියේ සජිත්ගේ පැත්තෙන් නොව අජන්තගේ ආරාධනයෙන්"  

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බලය ලත් නිල නියෝජිතයා (Election Agent) ලෙස   ක්‍රියා කළේ තමා හෝ කවුරුවත් නොව නීතීඥ අජිත් පී පෙරේරා මහතා යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා "lankanewsweek" සමග පැවසීය.

නීතිය සහ දේශපාලන සම්ප්‍රදාය අනුව මැතිවරණ කොමිසම සහ මැතිවරණ කොමසාරිස්වරයා සමග අපේක්ෂකයා වෙනුවෙන් සියලු ගනුදෙනු,සාකච්ඡා,කරුණු විමසීම්,පැහැදිළි කිරීම් සහ මැදිහත්වීම් සිදු කරන්නේ අදාළ බලය ලත් නියෝජිතයා වන අතර ඒ අයිතිය ඇත්තේ ඔහුට පමණක් යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරණය වගේ අතිශය වැදගත් සහ තීරණාත්මක ජාතික මැතිවරණයකදී සිය අපේක්ෂකයා වෙනුවෙන් යම් අපේක්ෂකයෙකුට එරෙහිව මැතිවරණ කොමිසම හමුවේ විරෝධතා ගොනු කරනවා නම් එසේ ගොනු කළ යුත්තේ සහ ඒ සඳහා නිල වගේම නීතිමය අයිතිය තිබෙන්නේ බාහිර පුද්ගලයෙකුට නොව අදාළ අපේක්ෂකයාගේ බලය ලත් මැතිවරණ නියෝජිතයාට බව ද තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ "ගෝඨාට එරෙහි විරෝධතා ගැන අජිත්ගෙන් හෙළිදරව්වක්" යන ශීර්ෂය යටතේ "lankanewsweek" පළ ප්‍රවෘත්තිය ඔස්සේ අජිත් පී පෙරේරා මහතා අදහස් දක්වද්දී,සිය නම ද සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාවේදී තමා මැතිවරණ කොමිසමට ගියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නිල නියෝජිතයෙකු ලෙස හෝ ඔහුගේ අවසර පත්‍රයකින් නොව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතාගේ ආරාධනයෙන් එම පක්ෂයට ලැබී තිබූ අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් බව ද ඔහු කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නීතීඥ රෝලන්ඩ් සී පෙරේරා මහතා එම අවස්ථාවට එක්ව සිටියේ ද,සජිත් ප්‍රේමදාස මහතාගේ නිල නියෝජිතයෙකු ලෙස නොව ජනාධිපති අපේක්ෂක නීතීඥ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් බව පෙන්වා දුන් තිස්ස අත්තනායක මහතා යම් ජනාධිපති අපේක්ෂයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේදී ඔහුගේ බලය ලත් මැතිවරණ නිල නියෝජිතයා එම අවස්ථාවට නියත ලෙසම එක් විය යුතු අතර එසේ එක්වීම ඔහුගේ අත් නොහැරිය හැකි සහ නොසලකා හැරිය නොහැකි බරපතල වගකීමක් බව ද සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විරෝධතා ගොනු කරන බවක් තමා දන ගෙන නොසිටි බව කී තිස්ස අත්තනායක මහතා කිසිදු වග කිව යුත්තෙක් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බව ද වැඩි දුරටත් කියා සිටියේය.

Advertiesment