Tuesday 1st of December 2020

English Tamil
Advertiesment


ගෝඨාට එරෙහි විරෝධතා ගැන අජිත්ගෙන් හෙළිදරව්වක්


2020-01-13 3538

 

විරෝධතා ගොනු නොකළේ මම නොවෙයි..."නාමල්-රෝලන්ඩ්"  

 

තිස්ස අත්තනායකත් ඇතුළේ හිටියා  

 

රනිල් දුන් විරෝධතා ගොනු නොකළ බව සජිත් පර්ශවයම පිළි ගනී

 

(සුජිත් මංගල ද සිල්වා)

ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් මැතිවරණ කොමිසම හමුවේ විරෝධතා ගොනු කිරීමට නියමිතව සිටියේ තමා නොව එම ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා බව කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා "lankanewsweek" සමග පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා ගොනු කිරීම තමා කිසිසේත් ප්‍රතික්ෂ නොකළ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ "සිය ජයග්‍රහණය ගැන සජිත් හිටපු අධි තක්සේරුවක තරම මෙන්න" යන ශීර්ෂය යටතේ "lankanewsweek" කර තිබූ හෙළිදරව්ව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වන අතර ඒ අනුව එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව ද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් නීතීඥ අජිත් පී පෙරේරා මහතා මෙසේද කීය.

"ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නාම යෝජනා භාර දෙන අවස්ථාවේ මම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ගියේවත් නැහැ.ඒ අවස්ථාවට සහභාගී වූයේ නීතීඥ රෝලන්ඩ් පෙරේරා සහ තිස්ස අත්තනායක මහත්වරුන් වන අතර කලින් සාකච්ඡා කර ගත් පරිදි මේ විරෝධතා ගොනු කිරීමට නියමිතව සිටියේ අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත්ව සිටී නීතීඥ නාමල් රාජපක්ෂ මහතායි.

කෙසේ නමුත් කිනම් හෝ හේතුවක් මත නාමල් රාජපක්ෂ මහතා එම විරෝධතා ගොනු නොකර සිටින විට ඒ බව නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතාට දැනුම් දුන් මම කෙසේ හෝ එම විරෝධතා ගොනු කරන ලෙසට දැනුම් දුන්නා.නමුත් අවසානයේදී රෝලන්ඩ් පෙරේරා මහතාවත්,නාමල් රාජපක්ෂ මහතාවත් එම විරෝධතා ගොනු කළේ නැහැ.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා හරහා මේ විරෝධතා ගොනු කිරීමට අප මුල සිටම සූදානම් නොවූ අතර ඊට හේතුව මැතිවරණ කොමිසම යම් හෙයකින් එම විරෝධතා ප්‍රතික්ෂේප කළොත් එම තත්ත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරයට බලපාන නිසයි."

"සිය ජයග්‍රහණය ගැන සජිත් හිටපු අධි තක්සේරුවක තරම මෙන්න" යන ශීර්ෂය යටතේ "lankanewsweek" පළ කළ ප්‍රවෘත්තියේ අජිත් පී පෙරේරා මහතා මැතවරණ කොමිසමට ගිය බවක් සඳහන් නොවන අතර එම ප්‍රවෘත්තිය මගින් "lankanewsweek" හෙළිදරව් කර සිටියේ එක්සත් ජාතික පෙරමුණ මගින් සකස් කර දුන් විරෝධතා සජිත් ප්‍රේමදාස පාර්ශවය මගින් මැතිවරණ කොමිසම හමුවේ ගොනු නොකරනු ලැබූ බවය.

මැතිවරණ කොමිසම හමුවේ ගොනු කළ යුතුව තිබූ විරෝධතා එක්සත් ජාතික පෙරමුණ සජිත් ප්‍රේමදාස පාර්ශවය වෙත ලබා දී තිබූ බව අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රකාශයෙන් ද පැහැදිළි වන අතර අජිත් පී පෙරේරා මහතා එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව "lankanewsweek" සමග කියා සිටියේ එම විරෝධතා සකස් කිරීමට දායක වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු බව ද කිව යුතුය.

Advertiesment