Saturday 19th of September 2020

English Tamil
Advertiesment


සජිත් ප්‍රේමදාස රාජ්‍ය දේපොළ ගසා කෑ හැටි මෙන්න


2020-01-13 2327

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තාන‍යේ 3 වන ශාලාවේ එක්තරා පවුලක් අනවසරයෙන් පදිංචි වී සිටින බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

මේ බව හෙළිදරව් වී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා  නිවාස සහ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සිකුරාදා  (‍10) එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.

රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා‍ ගෙන යන මුවාවෙන් කිසිදු නීතිමය පදනමක් නොමැතිව යහ පාලන රජයේ දේශපාලන හිතවත්කම් මත සකසා ගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් පවුලක් එම දේශන ‍ ශාලාවේ බලහත්කාරයෙන් ජීවත් වන බව ඉන්දික අනුරුද්ධ මහතා එහිදී සිදු කළ නිරීක්ෂණයේදි අනාවරණය විය.  

යහ පාලන රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය දේපළ සිය හිතවතුන්ට අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇති බැවින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබිණි. 

ඒ අනුව ඉන්දික අනුරුද්ධ මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණු විමර්ශනවලදී යහ පාලන රජය සහ සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ  රාජ්‍ය දේපොළ  අවභාවිතා කළ සිදුවීම් රැසකට අදාළ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

හම්බන්තොට, ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තාන‍යේ 3 වන ශාලාවේ අදාළ පවුල අනවසරයෙන් පදිංචි වි සිටින අයුරු ඉන්දික අනුරුද්ධ මහතා නිරීක්ෂණය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති "රුහුණු දිරිය පදනම" නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස හදුන්වන මෙම ශාලාවේ අනවසරයෙන් පදිංචිව සිටින පුද්ගලයා,අමාත්‍යවරයා සමග   උණුසුම් වචන හුවමාරුවක ද පැටලී තිබේ. 

පසුව ඇඹිලිපිටිය පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙලෙස අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස එකම පවුලක සාමාජිකයින් වේ. මෙම දේශන ශාලාව කාමර 3 ක්, සාලයක්, කුස්සියක් සහ වැසිකිළියක් සහිත නිවසක් බවට පරිවර්ථනය කර ගෙන ඇති බව නිරීක්ෂණය විය. නිවසකට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ සහ එම යුවළගේ "මංගල" ඡායාරූපය ද ප්‍රදර්ශනය කර ඇති අයුරු එහිදී දැක ගත හැකි විය.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතාගේ රුව සහිත බැනර්, කටවුට්, පෝස්ටර් එම ස්ථානයේ තිබී සොයා ගනු ලැබිණි. සමාජ සේවා කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් බව සදහන් කරමින් මෙම ශාලාව ලබා ගෙන ඇති නමුත් එහි කිසිදු සමාජ සත්කාරක වැඩසටහනක් මේ වනතුරු ක්‍රියාත්මක කර නොමැත.

බදු ගිවිසුමේ සදහන් කොන්දේසි කඩ කරමින් මෙම පවුල මේ වන විට එහි පදිංචිව සිටිති. වසර දෙකක බදු කාලය අවසන් වීම සහ බදු ගිවිසුමේ සදහන් කොන්දේසි  කඩ කර ඇති බැවින් අදාළ දේපොළ නැවත භාර දෙන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති නමුත් එම දැනුම්දීම නොසලකා හරිමින් ඔවුහූ බලහත්කාරයෙන් එම රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිටිති.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා. “ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශය යටතේ රාජ්‍ය දේපොළ විශාල ලෙස අවභාවිත වී තිබෙනවා. එම නිසා මාසයකට කිහිපවරක් මෙවැනි ස්ථාන අපි පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කර නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දෙනවා. මෙම නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය තියෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් භූමියක. 2019 ජනාධිපතිවරණයට පෙර සිටි දේශපාලන අධිකාරිය මේ කිසිවක් නිසි ලෙස පරිපාලනය කරන්නට නිළධාරීන්ට අවස්ථාව ලබා දීලා නැහැ. 

මෙම කාර්යාලය ඇතුළට ගිය විට දක්නට ලැබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණයට අදාළ ඒවා. මෙම පිරිස 2016 සිට මෙහි රැදී ඉන්නවා. නමුත් අදාළ බදු ගෙවා නැහැ. මේ කාරණාව රජයේ දේපළ අවභාවිතා කිරීමක්. මේ වගේ කරුණු කාරණා රැසක් හිටපු නිවාස ඇමතිතුමා, වත්මන් විපක්ෂ නායකතුමා රට පුරා කරලා තියෙනවා. නිවාස අමාත්‍යංශය යටතේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වගේ ආයතන රැසක් විනාශ වෙලා තියෙනවා. බොහෝ ආයතන තම හිතවතුන්ගේ අවශ්‍යතාවයන් පිනවන්න යොදා ගෙන තියෙනවා.

මෙම ස්ථානය රාජ්‍ය නොවන සංවිධානයකට ලබා දුන්නා කියලා කිව්වට කරලා තියෙන්නේ පවුලකට  පදිංචි වෙන්න දීමයි. මේ පවුලට බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශවල නිවාස 2 ක් තියෙනවා. මේ අයට ජීවත් වෙලා ඉන්න තැන් තියෙනවා. එසේ තිබියදිත් මෙම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීම අදාළ ඇමතිවරයා ලෙස මා සිදු කරනවා. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්න කියලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට මා උපදෙස් ලබා දුන්නා”

Advertiesment