Sunday 29th of November 2020

English Tamil
Advertiesment


ජාතික ගීය දෙමළෙන් ගැයීම සිංහල බෞද්ධකමට නිගාවක්ද..?


2020-01-11 1947

(වික්ටර් අයිවන්)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව ඇති කරගත් බලාපොරොත්තු තවමත් තිබෙන්නේ ඉතාමත් ඉහළ මට්ටමක වුවද නව ජනාධිපතිවරයා අතට ලැබී තිබෙන්නේ යථා තත්ත්වයෙන් තිබෙන රටක් නොව උපරිම මට්ටමෙන් අර්බුදයට ගිය රටකි. මේ වනවිට ණය අර්බුදය පොදු අර්බුදය තුළ තිබෙන අනෙක් සියලූ අර්බුද අධිනිශ්චය කරන සාධකය බවට පත්ව ඇතත්, අර්බුදයේ කේන්ද්‍රීය සාධකය ලෙස සැලකිය හැකි ජාතික ප‍්‍රශ්නය ලෙස විස්තර කෙරෙන වර්ග, ආගම් හා කුල ප‍්‍රශ්නයට ලැබී තිබුණු කේන්ද්‍රීය වැදගත්කමේ වෙනසක් ඇතිවී නැත.

ජනාධිපතිවරයා තේරී පත්වී තිබෙන්නේ තනිකර සිංහල බෞද්ධ ඡන්දවලින් වීම නිසාම ආණ්ඩුවේ සිංහල බෞද්ධ ස්වභාවයට හානියක් නොවන ලෙස ආණ්ඩුවේ කටයුතු සිදු කරගෙන යන්නට ජනාධිපතිවරයාට සිදුවී තිබෙන අතර ඒ නිසා රටේ පවතින අර්බුදයට අතගසන්නට සිදුවී තිබෙන්නේ මධ්‍යස්ථ තැනක සිට නොව සිංහල බෞද්ධ ආස්ථානයේ ඉඳිමිනි. සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දිනාගැනීම ජනාධිපතිවරයාගේ ඊළඟ වැදගත් සිහිනය ලෙස සැලකිය හැකි අතර සිංහල බෞද්ධ උද්යෝගය මිලාන වී යන්නට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා විටින් විට ඊට ගැළපෙන සංඥා නිකුත් කිරීමට සිදුවී තිබෙන බවද පෙනෙන්නට තිබේ.

උතුරේ විරු සමරු උළෙල පිළිබඳ ප‍්‍රශ්නයේදී ගැටුමක් ඇති කරගන්නා තැනකට නොගොස් එය පවත්වන්නට ඉඩදෙන ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද සිංහල බෞද්ධ ස්ථාවරයේ වෙනසක් ඇති නොවී තිබෙන බව පෙන්නුම් කිරීම සඳහා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු දෙයක් බවට පත් කළ බව පෙනේ.

ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු බවට ප‍්‍රකාශ කර තිබෙන ප‍්‍රතිපත්තිය දෙමළ ජනයාගේ සතුටට හේතු නොවනු ඇතත්, එය බණ්ඩාරනායකගේ සිංහල පමණක් භාෂා ප‍්‍රතිපත්තිය තරම් ඔවුන්ගේ ජීවිත පීඩා කිරීමට හේතු නොවනු ඇත. එහෙත් එම ප‍්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.

ජාතික ගීය

මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා තිබෙන ආකාරයට 1949 පෙබරවාරිවලදී පවත්වන්නට නියමිතව තිබූ නිදහස් උත්සවයේදී එතෙක් ලංකාවේ ජාතික ගීය වශයෙන් ගායනා කෙරුණු "God save the King/Queen" හෙවත් ‘දෙවියෝ රජු/රාජිනී රකීවා” යන බි‍්‍රතාන්‍ය ජාතික ගීය ගැයීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඒ ගැන ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව 1948දී තේරී පත්වූ ඞී.එස්. සේනානායක ආණ්ඩුවට ඇතිව තිබුණි. 1934 ලංකාවේ ජාතික සමුළුවට ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම ගායන කරන ලද ”නමෝ නමෝ මාතා” ගීතය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනට මතකයක් තිබූ අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා ඔහු ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව ඊඒපී විජේරත්නගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කැරිණි. ජේ.ආර්. ජයවර්ධනද මේ කමිටුවේ සාමාජිකයෙක් වූ අතර ජී.ජී. පොන්නම්බලම් හා සී. චිත්තම්බලම්ද එම කමිටුවේ සාමාජිකයෝ වූහ.

ඔවුහු ආනන්ද සමරකෝන් කමිටුව ඉදිරියට කැඳවූහ. ගීතය ලියවී තිබුණේ බි‍්‍රතාන්‍ය පාලන කාලයේ වන නිසා හා දැන් රට තිබෙන්නේ ඊට වෙනස් තත්ත්වයක වන නිසා ගීතයේ ‘නව ජීවනය දෙමිනේ’ යන 10 වැනි පේළිය වෙනස් කිරීමට සුදුසු බව කමිටුව ආනන්ද සමරකෝන්ට යෝජනා කළේය. පද වැල වෙනස් කරන්නට ආනන්ද සමරකෝන් කැමති වී ඒ වෙනුවට ”නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා’ යනුවෙන් එය වෙනස් කළේය. ගීතයේ දෙමළ පිටපතක්ද තිබිය යුතු බව කමිටුව තීරණය කරන ලද අතර දමිළ පිටපත සකස් කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ දෙමළ උගතකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බිය.

ආණ්ඩුව විසින් 1952 මාර්තු 12 වැනිදා ජාතික ගීයේ සිංහල හා දෙමළ පිටපත සිංහල දෙමළ හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවන සියලූ පුවත්පත්වල විශාල දැන්වීමක් මගින් පළකරන ලද අතර ඉන්පසු උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වෙන රජයේ නිල උත්සවවලදී දෙමළ ගීතය ගායනා කැරිණි. රේඩියෝ සිලෝන් ආයතනය සිංහල පිටපතේ හා දෙමළ පිටපතේ තැටියක්ද නිර්මාණය කළ අතර දෙමළ පිටපතට සංගීතය සපයන ලද්දේ ආනන්ද සමරකෝන් වුවත් තමිල් පිටපත ගායනා කරන ලද්දේ තමිල් ගායිකාවන් දෙදෙනකු වූ සංගරී හා වීනා විසිනි.

1960 පෙබරවාරිවලදී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ගීතයේ අක්ෂර පිහිටුවීමේ දෝෂයක් ඇතැයි සලකා (අසුබ ගණයකින් ආරම්භ කෙරෙන බව) ආනන්ද සමරකෝන්ගේ බලවත් විරෝධය මැද්දේ ”නමෝ නමෝ මාතා” වෙනුවට ”ශ‍්‍රී ලංකා මාතා” යොදා ගත්තේය. ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගන්නා ලද්දේ එම ආරාවුලේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රභාකරන් ජාතික ගීය ගැයීම සිය බල ප‍්‍රදේශවල තහනම් කරන තෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ජීවත් වන ප‍්‍රදේශවල ජාතික ගීය ගායනා කෙරුණේ දෙමළ භාෂාවෙනි.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩදීම සුදුසුද යන ප‍්‍රශ්නය මුල්වරට කරළියට ආවේ අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු 2010 වසරේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මතය වූයේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවය. යහපාලන ආණ්ඩුව එම තහංචිය ඉවත් කරන ලද අතර අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එම තහංචිය අලූත් කළේය.

නව ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබෙන වැදගත්ම කරුණක් වනුයේ 1956 සිංහල රාජ්‍ය භාෂා නීතිය වර්තමානයට වලංගු නැති බවය. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 18 හා 19 යන වගන්තිවලින් සිංහල භාෂාවට පමණක් නොව දෙමළ භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක්ද එම භාෂා දෙකට ජාතික භාෂා තත්ත්වයක්ද ලබාදී තිබේ. නීති සම්පාදනයට සේ ම රාජ්‍යයේ සියලූ කටයුතුවලට එම ප‍්‍රතිපත්තිය අදාළය.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමෙන් සිංහලකමට හෝ බෞද්ධකමට කිසිදු හානියක් හෝ අගෞරවයක් ඇති කරන්නේ නැත. මහත්මා ගාන්ධි කියා තිබෙන ආකාරයට සුළු ජාතීන්ට සලකනු ලබන ආකාරය ජාතියක සභ්‍යත්වයක් විනිශ්චය කිරීම සඳහා යොදාගත හැකි හොඳ මිනුම් දණ්ඩකි. මෙවැනි ක‍්‍රියා සිංහල ජාතියේ ගෞරවයට හානි කරයි.

Advertiesment