Thursday 24th of September 2020

English Tamil
Advertiesment


එක්සත් ජනපදය හා ඉරානය යුද වදීද..?


2020-01-05 2081

(පාඨලී චම්පික රණවක)

ඉරානයේ සුප්‍රකට කුඩ්ස් (Quds) ප්‍රහාරක බල ඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස වසර 21ක් කටයුතු කළ ජනරාල් කාසිම් සුලේමානි එක්සත් ජනපදයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුනා. එය ඉරානය සමග යුද්ධයක් වළක්වා ගැනීම සඳහා කළ ඝාතනයක් බවයි එක්සත් ජනපද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. එක්සත් ජනපදය ඉරානයේ කුඩ්ස් ප්‍රහාරක බල ඇණිය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර මේ ඝාතනය අල් කයිදා නායක බින්ලාදන්, අයිසිස් නායක අල් බග්ඩාගි ආදීන්ගේ ඝාතනයන්ට සමාන බවත්, නීත්‍යානුකූල බවත් ධවල මන්දිරයේ මතයයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීති විශාරදයින් පෙන්වා දෙන්නේ ඉරානය එක්සත් ජනපදය ආක්‍රමණය නොකර ඇති තත්ත්වයක් තුළ මේ ඝාතනය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර නීතියට පටහැනි ක්‍රියාවක් බවයි. මෙය දැන් එක්සත් ජනපදයේ සෙනෙට් හා කොන්ග්‍රස් මන්ත්‍රණ සභාවලද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

එක්සත් ජනපදයේ හා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිබඳව දන්නා විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ මෙය යුධමය මෙන්ම, දේශපාලනිකව ද වූ ඝාතනයක් බවයි. සිරියාව, ඉරාකය, ලිබියාව වැනි රටවල් ඉරානයට හා රුසියාවට අවශ්‍ය ලෙස යුධමය ලෙස පවත්වා ගැනීම ගැන එක්සත් ජනපදයට සිය රටින්ම පමණක් නොව සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ඇමරිකන් හිතවාදී (සුන්නි) රටවලින්ද චෝදනා නැගුණා. සුලේමාන් ඝාතනය සිදු වූයේ ඉරානය, චීනය හා රුසියාව ඒකාබද්ධ හමුදා පුහුණුවක් සිදුකරන අතරතුරදී බවත් සිහි කළ යුතුයි.

ඉරානයේ ෂියා ආගමික මූලධර්මවාදී විප්ලවයෙන් පසු (1979) එක්සත් ජනපදය පමණක් නොව, බොහෝ සුන්නි මූලධර්මවාදී රටවල් ද, ඊශ්‍රායලය ද එරට යුධමය ලෙස, ආර්ථිකමය ලෙස බිඳ දමන්නට බොහෝ උත්සාහ කළා. කෙසේ වෙතත් සුලේමාන්ගේ නායකත්වයෙන් (1998 සිට) කුඩ්ස් බලකාය ඇෆ්ගනිස්ථානයේ අල්කයිදා හා තලේබාන් බලය හීන කරන්නටත්, ඉරාකයේ සදාම්ගෙන් පසු ෂියා බලය ස්ථාපිත කරන්නටත්, සිරියාවේ අසාද් පාලනය ස්ථාවර කර, සිරියාවෙන් හා ඉරාකයෙන් අයිසිස් ත්‍රස්තවාදය පලවා හරින්නටත්, ඊශ්‍රායලයේ ව්‍යාප්තවාදය ලෙබනනයේදී (හිස්බුල්ලා) නතර කර සිරියාව හා ලෙබනනය හරහා මධ්‍යධරනී මුහුදට ගොඩබිම් කොරිඩෝවක් තනා ගැනීමටත්, සවුදි අරාබියට යේමනයේ හූති (Houthi) කැරළිකරුවන් හරහා දරුණු ප්‍රහාර වැලක් ඇතිකරලීමටත් සමත් වුනා. ඉරානය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් පවා පෙන්නුම් කළේ ඉරාන ජාතිකයින් 82%ක්ම ඔහු පිළිබඳ අතිශය ධනාත්මක බවයි. මේ නිසා සුලේමාන්ගේ ඝාතනයෙන් සුන්නි, යුදෙව් හා ක්‍රිස්තියානි යුදවාදී මූලධර්මවාදීන් මහත් ආශ්වාදයක් ලබා ඇති බව පැහැදිලියි.

එක්සත් ජනපදය බින්ලාදන්, බග්ඩාගි හා සුලේමානි (සමග මොහෙන්දි) ඝාතනවලින් තාක්ෂණික ලෙස පුද්ගල ඝාතන කළ හැකි ප්‍රහාරක හැකියාව පෙන්වා තිබෙනවා. ඔවුන්ගේ ඊලඟ ඉලක්කය හිස්බුල්ලා නායක නසරුල්ලා විය යුතුයි. මේ මගින් එක්සත් ජනපදයේ යුද ආධිපත්‍යය මැදපෙරදිග පවත්වා ගැනීම ට්‍රම්ප් ජනාධිපතිගේ ඉලක්කයයි. (ඔහු මෙවැනිම උපායක් පුද්ගලයින් ඉලක්ක කරගෙන සිදුකරන සම්බාධක පැනවීමෙන් ද සිදු කර ඇත. මෙය එක්සත් ජනපද පැවැත්මක් සහිත ලංකාවේ දේශපාලන නායකයින්ද වඩාත් බියකරවන ක්‍රියාවලියකි) එමගින් එක්සත් ජනපදයේ දේශප්‍රේමය හා ක්‍රිස්තියානි ආගමිකවාදය අවුළුවා ගැනීම මැතිවරණ වසරේදී (2020) ට්‍රම්ප්ගේ අරමුණය. එමෙන්ම ඔහුගේ දේශපාලන සතුරන් චෝදනා කරන්නේ ඉරානය සමග ගැටුමකට ගොස් ඔහුට එරෙහිව වූ දෝශාභියෝග චෝදනා වෙනතකට හැරවීමට උත්සහ කරනා බවය. එක්සත් ජනපද ඡන්ද දායකයා මෙය කෙසේ භාර ගනීද යන්න වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තීරණය වනු ඇත.

එක්සත් ජනපදය හා ඍජු යුද්ධයකින් ජය ගැනීමට ඉරානයට හැකියාවක් නැත. කෙසේ වෙතත් ඉරාකයේ හා සිරියාවේ මෙන් හමුදා මැදිහත්වීමක් ඉරානයේ සිදු වුවහොත් රුසියාව අනිවාර්යයෙන්ම ඉරානයට පසුබලය සපයනු ඇති අතර, ජර්මනිය ප්‍රමුඛ යුරෝපයෙන් එයට වැඩි සහයක් නොලැබෙනු ඇත. ඉරානය ද එක්සත් ජනපදය සමග ඍජු ගැටුමකට නොයා සිය විදේශගත බලවේග මගින් සිරියාවේ, ඉරාකයේ ගැටුම් ලෙබනනයට, සවුදියට, අබුඩාබියට හා මුළු මැද පෙරදිගටම ගෙනයනු ඇත. ඉරානයේ පසුගිය කාලයේ ආකල්පය වූයේම ‘අපි තනිව විනාශ නොවෙමු, තොප ද අපගේ විනාශයට ඇද දමන්නෙමු’ යන උපායයි. මේ නිසා සිදුවිය හැක්කේ එක්සත් ජනපදයේ මැදපෙරදිග ඉලක්ක හා ලෝකයේ වෙනත් ස්ථානවල යුධමය ලෙස දුර්වල ඉලක්කවලට සිය බළල් අත් ලවා පහර දීමට ඉරානය ක්‍රියාකිරීමය. කලාපයේ පිහිටා ඇති අමරිකානු කඳවුරු ද ප්‍රහාරවලට ඉලක්කයක් වීමට ඉඩ ඇත. කොටින්ම මැදපෙරදිග හා උතුරු අප්‍රිකාව කුරිරු දඩබිමක් (Savage) බවට පත් කිරීමය. එහි ප්‍රතිඵලය වන්නේ අධිඅන්තවාදී බලවේගවල පැවැත්ම සහතික වීමය.

මේ ගැටුම නිසා දැනටමත් ආර්ථික පසුබෑමකට ලක්ව ඇති ලෝකය තවදුරටත් අර්බුදයට යනු ඇත. පසුගිය දශකය පුරා ස්ථාවරව තිබූ තෙල් මිල හා ගෑස් මිල ඇතැම්විට ඉහළ යනු ඇත. එහි කෙටිකාලීන වාසිය රුසියාව, එක්සත් ජනපදය හා කැනඩාව වැනි මැද පෙරදිග නොවන ඉන්ධන වෙළඳපොලට ලැබෙනු ඇත. ඉන්ධන මිල බැරලය ඩොලර් 100 ඉක්මවා ගියහොත් 2008දී මෙන් ආර්ථික බිඳ වැටීමක් ලෝකයටම සිදුවනු ඇත. 2004-14 කාලයේ ලබාගත් වාණිජ ණය ගෙවා ගැනීමට නොහැකිව කරවටක් ණය උගුලේ සිරවී ඇති ලංකාව ඉක්මනින් බංකොලොත්බාවය කරා ගමන් කිරීමට එය හේතුවක් වනු ඇත. සුලේමාන්ගේ ඝාතනය හුදෙකලා සිදුවීමක් නොවන්නේ හා බින්ලාදන් හෝ බග්ඩාගිගේ මරණය මෙන් නොවන්නේ ඒ නිසාය.

 

Advertiesment