Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ජන­ප්‍රිය වෙන්න ජනයා ප්‍රිය කරන කෙනෙක් විය යුතුයි


2020-01-04 1824

මාධවී වත්සලා ඇන්තනි...ජැක්සන් ඇන්තනි පවුලේ එකම දියණිය බව කවුරුත් දන්නවා. ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිළියක් සේම කතිකාචාර්යවරියක් සේම ආදරණීය බිරියක ලෙස හරිම කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන්නීය. ඒ අතරතුර ආදරණීය පිළිසඳරකට එක් වූ මොහොතකි මේ..

ජීවිතේ සුන්දරව ගලා යනවා නේද?

ඔව්. හැමදාම හිමිදිරිය සේ ජීවත් වෙන්න ආසයි.

ඔ‍බේ සතුට ‍රැඳෙන්නේ කොතැනද මා ඇසු‍වොත්?

ආරෝග්‍යය පරම ලාභය නම්, සතුට පරම ධනය නම්, මගේ සතුට ආදරයයි. සැනසීමයි. විශ්වාසයයි. සාර්ථකත්වයයි. යහපැවැත්මයි.

ඒ සතුට සුන්දරත්වය ඔබේ කරගත්තේ කොහොමද?

මිලාන් මුණගැහුණු දිනේ සිට මට දිගු කලක් අහිමිව තිබූ ඒ ගෞරවය, පිළිගැනීම, විශ්වාසය හිමි වුණා. ඒ නිසා වෙන්න ඇති මේ සතුට හා සුන්දරත්වය. මං ජීවිතේ ගොඩාක් කලින් පටන් ගන්න උත්සාහ කරපු කෙනෙක්. ඒත් දෛවෝපගතව මට මගෙ ජීවිතේ වටිනාම අවුරුදු 10ක් විතර අහිමි වුණා. නොයෙක් වන මුර්ගයන් මගේ හොඳ හිත නිසාම මගේ දක්ෂකම් ඔවුන්ගේ ව්‍යාපාර ආඳිය දියුණු කරගන්න පාවිච්චි කළා. ඉතිං මම පස්සට ගියා. හැරිලා බලද්දී මම එක තැනමයි. මිලාන් නිසා මට ඒ අහිමි වුණු කාලය අමතක වුණා..

නව වසරේ නව බලාපොරොත්තු ගොන්නක් ඇති?

ඔව්. මට 2019 වසරේ ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු ගොන්නකුත්, අලුත් බලාපොරොත්තු ගොන්නකුත් හිතේ තියෙනවා. නිර්මාණ කටයුතු ගැන, රට රටවල සංචාරය කිරීමේ සැලසුම් ගැන, අධ්‍යාපන කටයුතු ගැන, අපේම කියා ගෙයක් දොරක් ගැන එහෙම සුන්දර අහිංසක බලාපොරොත්තු තියෙනවා.

මාධවී ජීවිතේ සැහැල්ලුවෙන් දකින කෙනෙක්ද?

නෑ. මම පොඩි දේටත් කලබල වෙන, නිතරම අඩියක් පස්සට තියන් අවධානයෙන් ඉන්න කෙනෙක්. පනින්න පෙර දෙතුන් වරක් හිතන කෙනෙක්. ඒත් සැනසීම මුදුන් මල්කඩ කරගත් කෙනෙක්.

ජීවිතයේ ඔබට බොහොම පාඩම් කියා දී ඇති?

ඔව්. අපි කාටත් එහෙමයි. හරි ගියොත් ජයග්‍රහණයේ කුසලාන හිමි වෙනවා. වැරදුණොත් පාඩමක් ඉගෙන ගන්නවා. ඒ දෙකම හොඳයි... මේ දේවල් මෙහෙම නොවෙන්න අද ඉන්නෙ මේ මාධවී නෙවෙයි. මම මේ මාධවීට කැමතියි. මගෙ මිලාන් කැමැතියි. මගෙ හිතවතුන් කැමතියි. එහෙම නොවන අය මොනව හිතුවත් මට වැඩක් නෑ.

ඔබ තුළ සිටින රංගන ශිල්පිනිය, ගායිකාව කෝ?

මේ ඉන්නෙ. නැත්තෙ මගේ නිර්මාණයි. ඒක මගෙ අඩුපාඩුවක්. 2020 දී ඒ වරද නිවැරදි කරගන්නවා.

ඒ හැකියා හංගා‍ගෙන කාලය අරුත්සුන් ‍දේවලින් ‍කාලය ගෙ‍වෙනවා යැයි හි‍තෙන්නේ නැද්ද?

නෑ. මට පැවරුණු රාජකාරි බොහෝමයක් තියෙනවා. මම නිවේදිකාවක්. කථිකාචාර්යවරියක්. සන්නාම තානාපතිනියක්. ඒවා අරුත්සුන් නෑ.

ඔබ දැන් කලින් කලට පුවත් මවන්නියක් වෙලා?

එහෙමද? ඔව් මම ඇස් දෙකකින් විතරක් බැලුවට ඇස් දාහක් අපි දිහා බලාගෙන ඉන්නවනේ. එදිනෙදා කටයුතු පවා පුවත් බවට පත් වෙන අවස්ථා තියෙනවා.

මාධවී ජනප්‍රියත්වයට ‍කොතරම් ඇලුම් කරනවාද?

ඕනෑම කලා ශිල්පියෙක් ඒ ආදරයට ඇලුම් කරනවා. කෙනකුට ප්‍රසිද්ධ වෙන්න එක රැයක් ඇති. ප්‍රසිද්ධියේ කඩප්පුලිකමක් කරලත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒත් ජනප්‍රිය වෙන්න "ජනයා ප්‍රිය කරන" කෙනෙක් විය යුතුයි. ඒකට කුසලතාව මෙන්ම සතතාභ්‍යාසය සහ වියුත්පත්තියත්, තුනම හේතු වෙනවා. ඉතිං ඒ ඵලදායි වෙහෙසටත් ඒ වෙහෙසේ අග්‍ර ඵලය වන ජනාදරයට මමත් ප්‍රියයි.

කට කතා අපහාස උපහාසවලට ඔබ උත්තර දෙන්නේ කොහොමද?

උත්තර දෙන්නෙ නෑ. මට ඊට වඩා ගොඩාක් වැදගත් වැඩ තියෙනවා. ඒවා කරන්නත් මට කාලය මදි.

ආදරණීය බිරියක විදිහට ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

මිලාන් සිල්වා මගේ සැමියා. මගේ කැඩපත ඔහුයි. මට මාව හොඳින්ම පෙනෙන්නේ ඔහු තුළින්. මගේ කාර්යබහුල ජීවිතේ සාර්ථකත්වයට ඔහුගේ සහයෝගය නැතුවම බෑ. මේක එක්තරා ගිවිසුමක්. ප්‍රේමයේ විශ්වාසයේ ගිවිසුමක්. අපි සැමියා හා බිරිය ලෙස වැඩ බෙදාගෙන නෑ. මම උයන්න පිහන්න සූරයි. එයාව කවදාවත් බඩගින්නෙ තියන්නෙ නෑ. ඒ වගේම එයත් මට රෙදි ටිකත් හෝදලා වේළලා නවලා දෙන අවස්ථා තියෙනවා. මම එයාගෙ වාහනේ හෝදනවා. අපි එකතු වෙලා ගෙදර අස් කරනවා. මගෙ ආරක්ෂාව ගැන එයා හැම වෙලාවෙම ඉහළින් සලකනවා.

කාර්යබහුලත්වය කොහොමද ගෘහිණියකට බලපාන්නේ?

කාර්යබහුලත්වය මට නම් හොඳයි. කේලම් කියන්න ඕපදූප හොයන්න පැය ගණන් ටෙලි ෆෝන් එකේ ඉන්න වෙලා නෑනෙ. කොහොම හරි ගෘහිණියක් වෙන්න නම්, ගෘහයක් හිමි තැනැත්තියක් වෙන්නම ඕනෙ. එතකොටයි ඒ වගකීම ඒ බර හරිහැටි දැනෙන්නෙ. අපි තාම අම්මලාගෙ ගෙවල්වල ඉන්න නිසා තාම මට ගෘහිණියකගේ වගකීම හරිහැටි දැනෙන්නෙ නෑ. නමුත් මම අධික කාර්‍යබහුලයි.

ඔබේම අනන්‍යතාව ඔබ ගොඩනගාගෙන තිබෙනවාද?

ඔව්. මම සුභවාදය පතුරවමින්, සෞඛ්‍යසම්පන්න ජීවිතය අගයමින් මගේ දර්ශනය මගේ බසින් මගේ මාධ්‍ය ඔස්සේ සටහන් කරමින් මගේ සලකුණක් ඉතිරි කරනවා. මං දෙස බලාගෙන ඉන්න තරුණ පරපුරක් ඉන්නවා. මට ලියන බොහෝ දෙනෙක් ජීවිතේ ජයගන්න මගෙන් වාග් සහය ලබාගෙන තියෙනවා.

ඔබ ස්වාධීනව තීරණ ගන්න ‍කෙ‍නෙක්ද?

වල් බූරු නිදහස මම ගරු කරන්නෙ නෑ. විය යුත්තේ අවබෝධතාවයි. මම විවාහක කෙනෙක්. ඒ අනුව දෙවියන් වහන්සේ විසින් මා මාගේ සැමියා හා එක් කළා. "එලෙසින් ඔවුහු එක්කෙනෙක් වන සේක" කියලා බයිබලේ තියෙන්නේ ඒකයි. මගේ ස්වාධීනත්වයේ සීමාව මගේ සැමියා හා නිතැතින් බැඳෙනවා. එයාටත් එහෙමයි. ඒක නීතියක් නෙවෙයි. රීතියක්. ආචාර ධර්මයක්. විනයක්. මමත් මිලානුත් ඒකට එකඟ වුණේ අපේ දෑඟිලි බැඳුණු දායි.

ඔබ ඉ‍ගෙනගත් ‍දෙයින් යමක් කරන්න බලා‍පො‍රොත්තුවක් නැද්ද?

මම පුරාවිද්‍යා විශේෂවේදී උපාධියක් හදාරා පළමු පෙළ සාමාර්ථයයක් ලබාගත්තා. ශාස්ත්‍රවේදී උපාධිය සඳහා හැදෑරුවේ සංචාරක ආර්ථික විද්‍යාව. මම කථිකාචාර්යවරියක් ලෙස ඒ ආශ්‍රිතව දැනටමත් සේවය කරනවා. තව මම පර්යේෂණ ග්‍රන්ථයක් ලියලා තියෙනවා සලාගම කුලය සහ කුල සංස්කෘතිය ගැන. තවත් ඉදිරියේදී පර්යේෂණ ‍රැසක් කරන්නට අදහස් කරනවා.

විලාසිතා කරන්න බොහොම වියපැහැදම් කරනවා නේද?

ඔව්. ඒක නම් අඩු කරගන්න ඕනෙ. විවාහයෙන් පස්සෙ මට ඒක තේරෙනවා. හැබැයි මම කවදත් ලස්සනට ඉන්නයි බලන්නේ.

මිලාන් ‍ගෙන ඔබට සීමා පැනවෙනවාද?

ඔහු සීමා පනවන්න කලින් මමම මට පනවා ගන්නවා. එහෙම නැත්නම් වැඩක් නෑ. ස්වයං විවේචනය තමයි සාර්ථක පවුල් ජීවිතයක මෙන්ම ඕනෑම හවුල් සංස්ථාවක පදනම. ඔහු කැමති නෑ මම භයානක දේවල් කරනවට. ඔහු කැමති නෑ මට කවුරුත් අගෞරව කරනවට. ඔහු කැමති නෑ මම නොසැලකිලිමත් වෙනවට. මම ඒක දැනගෙන ජීවත් වෙන්නෙ. ඔහුත් එහෙමයි. නොකළයුතු යැයි සම්මත දේවල් කරන්නෙ නෑ.

විවාහ‍යෙන් පසු ‍බො‍හෝ කාන්තාවන් තමාව අමතක කරනවා?

"මම සුවපත් වේවා. මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා" මෛත්‍රී භාවනාවේ පළමු වාක්‍යය වෙන්නෙත් self care කියන දේ. සරලවම, තමන්ට ආදරේ නොකරන කෙනෙකුට වෙන කෙනෙකුට හරියට ආදරේ කරන්නත් බෑ.

‍හෙට දවස?

Yesterday is the history. Tomorrow is a mystery. Today is a gift. That’s why you call it “the present” ඒ කියන්නෙ , ඊයේ නම් ඉතිහාසයයි. හෙට දවස අභිරහසක්. අද දවස තෑග්ගක්. දෙවියන්ට, අම්ම අප්පච්චීට ස්තූතියි . ස්වභාවධර්මය තමයි දෙවියන් කියන්නේ. අද හරියට සැලසුම් කළොත් හෙට සුබයි!!! නියතයි.

 

 
 
(රසදුන)

 

Advertiesment