Saturday 6th of June 2020

English Tamil
Advertiesment


විජේදාස හා ජවිපෙ


2020-01-04 1999

(මහාචාර්ය නලින්ද සිල්වා)

විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි පෙරමුණට නම් ඒ කරුණු ප්‍රශ්නයක් වෙලා. විජිත හේරත් කියනවා ඒ ගෝත්‍රවාදී කියා. අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕන. විජේදාස රාජපක්‍ෂ වගේ ම යටත්විජිත හේරත්, නැහැ විජිත හේරත් ද පඬිවරු. ජ වි පෙරමුණට නම් සළු වීමට 12.5% නොවෙයි 5%ත් ලොකු ගාණක්. ඒක 2%ටවත් අඩු කරන්න පුළුවන් නම් ජ වි පෙරමුණට හොඳයි. එතකොට අර සුපිරි මාක්ස්වාදී පෙරටුගාමීන්ට යහපතක් වෙන්න නම් ඒක 0.02%ටවත් අඩු කරන්න වෙයි. ජ වි පෙ සම්භවයක් තියෙන අය අද මොන පක්‍ෂයෙ හිටියත් මොන සංවිධානයෙ හිටියත් ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ අතිභයානක දේ හැටියට මුහුණු වෙනස් කරගෙන ඇස් උඩ තියාගෙන. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ අවුරුදු පනහකට පමණ ඉස්සර විජේවීර බේරුවල පැත්තෙ ගොඩනගමින් තිබූ හෝටලයක් ඇමරිකන් කඳවුරක් ලෙස හැඳින්වීම.

විජේදාස රාජපක්‍ෂ මේ වෙලාවෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙනෙන්නෙ මොකට ද? ඒ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළත් ඒ සඳහා තුනෙන් දෙකක වැඩි ඡන්දයක් ලැබෙයි ද? වැඩිම වුවොත් තව මාස දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නියමිතයි. ඒ කාලයෙහි විජේදාසට තම යෝජනා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්න පුළුවන් ද? මට නම් විශාල සැකයක් තියෙනවා.

මගේ නම් මතය, ඊනියා කියවීම නොවෙයි, විජේදාස මේ තවත් පිම්මක් පනින්න හදනවා කියන එකයි. ඔහු ජාතිකත්වය යොදා ගනිමින් ජනාධිපතිට කිට්ටු වෙන්න හදනවා. විජේදාසත් මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කියූ අයෙකු බවයි මගේ මතකය. ඔහුට අද අවශ්‍ය ඊළඟ පාර්ලිමේන්තුවෙත් අසුන් ගැනීම. එහෙත් මා හිතන්නේ නැහැ ඔහුට මෙවැනි දෙයින් ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි වේවි කියා.

විජේදාසගේ අරමුණ කුමක් වුවත් ව්‍යවස්ථා වෙනසක් ඉතා අවශ්‍යයි. එහෙත් ඒ වෙනස කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. අද ආණ්ඩුවට තුනෙන් දෙකක් තබා සාමාන්‍ය බහුතරයක්වත් නැහැ. මාස දෙක තුනකින් පැවැත්තෙන මැතිවරණයෙන් තමයි අවශ්‍ය බහුතරය ලබා ගන්න වෙන්නෙ. එහෙත් පොහොට්ටුවේ ඇතැමුන් ක්‍රියා කරන්නේ තුනෙන් දෙකක් ලබා ගැනීමට නො වෙයි. ඔවුන්ට අවශ්‍ය තම මන්ත්‍රීකම් රැකගෙන හැකිනම් ඇමතිවරුන් වීමටයි. එවැන්නන් මැතිවරණයේ දී පරාජය කර ජාතිකත්වයක් ඇති රට ගැන හිතන පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස පත් කර ගැනීම අපේ කටයුත්තක් වෙනවා.

අද අවශ්‍ය වන්නේ ශක්තිමත් විධායකයක්. දහනවවැනි සංශෝධනය නැවත සංශෝධනය කරන්න ඕන. එය අහෝසි කර වෙන ම සංශෝධනයක් ගේන්න පුළුවන් නම් වඩා හොඳයි. ව්‍යවස්ථාදායකට හා විධායකයට ඇති බලතල පැහැදිලි ව සඳහන් විය යුතුයි. මෙරට විධායකය මහජන ඡන්දයෙන් සෘජු ව තෝරා පත් කෙරෙන්නක් බව අමතක නොකළ යුතුයි. එහි වෙනසක් සිදු විය යුතු නැහැ. සිංහල ඡන්දවලින් පමණක් විධායක ජනාධිපති විය හැකි බව දැන් පෙන්නුම් කරලා ඉවරයි.

අද විධායකය දුර්වල කෙරෙන්නේ ජාතිවාදී ආගම්වාදී පක්‍ෂවලින් ව්‍යවස්ථාදායකය හරහා. ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථා සම්පාදනය සඳහා බලතල තිබිය යුතුයි. එහෙත් ආගම්වාදී ජාතිවාදී පක්‍ෂවලට ව්‍යවස්ථාදායකය පාලනය කිරීමට අවස්ථාව සලසා නොදිය යුතුයි. මෙරට ව්‍යවස්ථාදායකයේ බහුතරයේ මතය පිළිබිඹු නොවන්නේ නම් එහි ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද?

වත්මන් පාර්ලිමේන්තුවේ නම් 2016න් පමණ පසු ජනමතය නියෝජනය වන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක්. එය යාවත්කාලීන කරන්න තිබුණේ අවුරුදු කිහිපයකට පෙර. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය එයට හරහට තියෙනවා. දහනවවැනි සංශෝධනය කල් ඉකුත් වූ සංශෝධනයක් කියන්න බැහැ. එය ගබ්සා කළ යුතුව තිබූ සංශෝධනයක්.

ජාතිවාදී හා ආගම්වාදී පක්‍ෂ ව්‍යවස්ථාදායකය හසුරවන්නේ එක් පැත්තකින් මැතිවරණ දිස්ත්‍රික්ක වෙන් කෙරී ඇති ආකාරය නිසා. වන්නි දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුපාතික ව කුරුණෑගල දිස්ත්‍රික්කයට වඩා වැඩියි. මෙය විවිධ ක්‍රම යටතේ සෝල්බරි කාලයේ සිට කෙරෙන්නක්.

දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් සෝල්බරිට කියා සිටියේ කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සිංහල බහුතරයක් ඇති වීම වළක්වන ලෙස. එය කළ නොහැකි වූවක් බව සෝල්බරිත් තේරුම් ගත්තා. එහෙත් ඒ වෙනුවට බහුමන්ත්‍රි ආසන ආදිය ඇති කිරීම මගින් ජාතිවාදී පක්‍ෂවලට වැඩි බලයක් දීමට කටයුතු කළා. මෙරට ජනතාවගේ ඡන්දයේ වටිනාකම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන්න බැහැ. එක් දිස්ත්‍රික්කයක හතළිස්දාහකට එක මන්ත්‍රීවරයකුත් තවත් දිස්ත්‍රික්කයක හැටදාහකට එක් මන්ත්‍රීවරයකුත් ඉන්න බැහැ. ආසනවල වපසරිය අනුව මේ අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. එහෙත් ඒ වෙනස යම් සීමාවන්ට යටත් වෙන්න ඕන.

අනෙක් කරුණක් තමයි සළු වීමට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය. ප්‍රේමදාස එය 12.5% සිට 5%ට අඩු කළා. ඒ ඔහුගේ ඇපය බේරා ගැනීමට. ඇප බේරා ගැනීමටත් කලකට පෙර 12.5%ක් නැත්නම් අටෙන් එකක් ලබාගත යුතු ව තිබුණා. යම් පක්‍ෂයකට තම දිස්ත්‍රික්කයේ හරි ආසනයේ හරි අටෙන් එකක් ලබා ගැනීමට නොහැකි නම් ඒ පක්‍ෂයට ව්‍යවස්ථාදායකයට සම්බන්ධවීමට ඇති අයිතිය කුමක් ද? ජාතිවාදී හා ආගම්වාදී පක්‍ෂවලට ඒ ඒ දිස්ත්‍රික්ක හා ආසන ඇති අවශ්‍ය අටෙන් එක ලබා ගැනීමට හැකි. එහෙත් ඔවුන් ඇතැම් දිස්ත්‍රික්කවල අටෙන් එකක්වත් ලබා ගැනීමට නොහැකිව වර්තමානයේ ව්‍යවස්ථාදායකය හසුරුවන්න එනවා.

මෙරට මාක්ස්වාදයට අද වන විට කිසිම පිළිගැනීමක් නැහැ. තිස්ගණන්වල සමසමාජ පක්‍ෂය පිහිටු වූ කාලයේ ජාතිකවාදී පක්‍ෂයක් නොමැති වීම හේතුකොටගෙන ඇතැම් ජාතිකවාදීන් ද සමසමාජ පක්‍ෂයට එකතු වුණා. එහෙත් ශ්‍රී ල නි ප1952 න් පසු ජාතිකත්ව පක්‍ෂයක් වූ පසු මාක්ස්වාදී පක්‍ෂවල පිරිහීම ඇරඹුනා. මාක්ස්වාදී පක්‍ෂවලට ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වීමට සිදු වුණා. මාක්ස්වාදී ඇට්ටරයන් මාක්ස්වාදී පක්‍ෂවල පිරිහීමට හේතුව ශ්‍රී ල නි පක්‍ෂය සමග සංධානවලට යෑම යැයි කියනවා. එහෙත් සිදු වූයේ වෙනත් දෙයක්. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු මාක්ස්වාදී පක්‍ෂවලට පැවැත්මක් නැති වුණා.

ශ්‍රි ල නි පක්‍ෂය සමග සංධානවලට යෑම නිසා මාක්ස්වාදී පක්‍ෂ පිරිහුණා නම් එසේ සංධානවලට නොගිය පක්‍ෂ පිරිහුණේ ඇයි? එඩ්මන්ඩ් ,මෙරිල් ප්‍රනාන්දු, යම් කාලයක කරාලසිංහම්, ශන්මුගදාසන් ආදීන්ට මොක ද වුණේ? පසු කාලීන වික්‍රමබාහුට මොකද වුණේ. ඔවුන්ට සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට තරම්වත් පැවැත්මක් නැති වුණා. හැටගණන්වල ජ වි පෙ ශක්තිමත් වූයේ ජාතිකත්වයක් ආරෝපණය කර ගෙන තරුණයන්ට විප්ලවයට ආමන්ත්‍රණය කළ නිසා. අද තරුණයන්ට විප්ලවය පොවන්න බැහැ. අද ඊනියා මාක්ස්වාදී පුස්සන් ටිකක් මුහුණු පොතේ විප්ලවය කරන්න හදනවා. ඔවුන්ට ඇත්තේ දරුණු ම ගණයේ හීනමානයක්. ඔවුන් හීනමානයෙන් හීන දකිනවා. ජ වි පෙරමුණට අද 2%කවත් ඡන්ද ප්‍රතිශතසයක් ලබා ගැනීමට බැහැ.

ජ වි පෙරමුණට අනුව සළු වීම 12.5% කිරීම ගෝත්‍රවාදයක්. කවුරු හරි පඬියකු ගෝත්‍රවාදය කියන්නෙ මොකක් ද කියල නිර්වචනය කරනවා ද? 2%ක් ඡන්ද ගන්න බැරි එකා ඊනියා ජාත්‍යන්තරවාදියකු වන්නේත් 12.5%කට වඩා ගන්නා එකා ගෝත්‍රවාදියකු වන්නේත් විප්ලවයට අවශ්‍ය වාස්තවික තත්වයන් තවම මෝරා නැති නිසා ද? මෝරා මුහුදෙන් ගොඩට ආවත් ඔය වාස්තවිකත්වය නම් මෝරන්නේ නැහැ.

 

Advertiesment