Sunday 26th of January 2020

English Tamil
Advertiesment


විපත සැපතක් බවට හරවා ගැනීම


2020-01-04 1487

(වික්ටර් අයිවන්)

පාස්කු ඉරිදා සිදු වූ මුස්ලිම් අන්තවාදී තරුණ කණ්ඩායමක් විසින් සිදුකරනලද පහරදීම තෙක් අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු ත‍්‍රස්තවාදී පහරදීම් නිසා සිදුවන මනුෂ්‍ය ඝාතන හෝ දේපළ විනාශයන් සිදු නොවීය. එහෙත් අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසු ක‍්‍රමයෙන් ලේ වැගිරීම් තිබූ කාලයේදී රටේ තිබූ අර්බුදයට වැඩි ලොකු අර්බුදයකට රට තල්ලූ වී ගියේය. ප‍්‍රචණ්ඩ අරගල පැවැති අශීලාචාර කාලය තුළ සමාජ දේශපාලන හා ආර්ථිකයේ ඇතිවී තිබූ විකෘතින් හා පරිහානිය අලූත් වටයකින් ආරම්භ වී වර්ධනයවෙමින් තිබූ අර්බුදය කෙරෙහි බලපා තිබුණි. එම තත්ත්වය ජයගැනීම සඳහා සමාජ ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය හා ආර්ථික ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් මොන මොන හේතු නිසා හෝ අභ්‍යන්තර යුද්ධය ජයගත් රාජපක්ෂ ආණ්ඩුව සේම, ඉන් පසු බලයට පත් යහපාලන ආණ්ඩුව ද ජරාජීර්ණ තත්ත්වයට පත්ව තිබූ සමාජ දේශපාලන හා ආර්ථික ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට අවශ්‍ය ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට අත නොගැසිය.

රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට ගමන් ගනිමින් තිබියදීත් එය නොසලකා විදේශ වශයෙන් ලබාගන්නා ණයවල පරිමාව වර්ධනය කර ගැනීමට හේතුවන ලෙස රටේ පැවැති පරණ ජීවන තත්ත්වයට සමාන තත්ත්වයක් පවත්වාගෙන යාමට දරන උත්සාහය තුළ රට පූර්ණ බංකොලොත් තත්වයකට රට තල්ලූ කිරීමට හේතු වී යැයි කිව හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූයේ රටේ අර්බුදය උච්ඡතම තත්ත්වයකට වර්ධනය වී රට බංකොලොත් භාවයේ මුවවිටට පැමිණ තිබූ අවස්ථාවකදීය. රටේ අර්බුදය ණය අර්බුදයට සීමා වූ අර්බුදයක් ලෙස සැලකිය නොහැකි වුවද ණය අර්බුදය රටේ සමස්ත අර්බුදය අධිනිශ්චය කරන ප‍්‍රධාන සාධකය බවට පත්ව තිබුණේය.

ණය අර්බුදය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන විට ශ‍්‍රී ලංකාව නොපියවා ඉතිරි වී තිබුණ විදේශීය ණයවල ප‍්‍රමාණය ඩොලර් මිලියන 52313ක් දක්වා ඉහළ නැග තිබුණි. මුළු ණය ප‍්‍රමාණයෙන් විදේශ වාණිජ ආයතනවලින් ලබාගෙන තිබුණ ප‍්‍රමාණයට 50% ක් තරම් විශාල ය. විදේශ ණය වාරික හා පොලී වෙනුවෙන් 2017 දී දරන ලද වියදම ඩොලර් මිලියන 3167 ක් ද 2018 දී ඩොලර් මිලියන 4188 ක් ද විය හැකිය. 2019 සඳහා ඩොලර් මිලියන 4500කි. විදේශ ණය සේවා ගෙවීම් වෙනුවෙන් කරන්නට සිදුවී තිබෙන වියදම රජයේ වාර්ෂික ආදායමෙන් සියයට 115 සමානය. විදේශ වාණිජ ආයතන සඳහා ගෙවන්නට තිබෙන ණය වාරිකවලින් එකක් හෝ ගෙවන්නට අසමත් වෙතොත් ලංකාව බංකොලොත් රටක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට හේතු වනු ඇත.

ලංකාවේ අර්බුදය හොඳින් දකින්නට තිබුන අර්බුදයක් වුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සේම යහපාලන ආණ්ඩුව ද ඒ බැරෑරුම් තත්ත්වයක් ලෙස සලකා අවශ්‍ය ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ ඇති කරගන්නා තැනකට ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ණය අර්බුදය නොසලකා ක‍්‍රියාකිරීමය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (FITCH) නොවැම්බර් අවසානයේදී ලංකාව B- තත්ත්වයට පහත හෙළන ලදී. ඒ මගින් සහන පොලී යටතේ වෙනත් රටවලින් ණය ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි කර තිබෙන අතර ඒ නිසාම වෙළෙඳ පොළේ පවතින පොලී අගයට වැඩි පොලියකට නැතහොත් කළු කඩ මිලකට ණය ලබාගත යුතු තත්ත්වයකට ලංකාව පත්වී තිබේ. ලංකාව දැන් තිබෙන්නේ ලංකාවේ අභ්‍යන්තර ආර්ථික ශක්තියෙන් විදේශ ණයවල වාරික හා පොලිය ගෙවිය හැකි තත්ත්වයක නොවේ. ඒ සඳහා යන වියදමෙන් ලොකු පංගුවක් විදේශ වාණිජ ආයතනවලින් ලබාගත යුතු තත්ත්වයකය. එහෙත් එහිදී අපට වෙළෙඳපොළ පොලිය වෙනුවට ඒ සඳහා කළු කඩ මිලක් ගෙවීමට සිදුවේ නම් එය ලංකාවේ ණය අර්බුදය අලූත් විදියකින් උග‍්‍ර කිරීමට හේතු වනු නොවැළැක්විය හැකිය.

එහෙත් ලංකාව මුහුණ දී තිබෙන මෙම බිහිසුණු අර්බුදය විසඳා ගැනීම කෙරෙහි තවමත් ලංකා ආණ්ඩුවේ ඉක්මන් හා බැරෑරුම් අවධානය යොමුවී තිබෙන බවක් පෙනෙන්නේ නැත. ඒ සඳහා ශක්තිමත් ප‍්‍රායෝගික දැක්මක් තිබෙන බවක් පෙන්නුම් කර ද නැත. ආණ්ඩුවේ ද විරුද්ධ පක්ෂවල ද මහජනයාගේ ද වැඩි අවධානය යොමු වී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහිය. ඩොලර් බිලියන ගණනින් ණය ලබා ගැනීමේදී ඊට ගෙවන පොලිය දශමයකින් වැඩිවුවත් එය ආර්ථිකයට ඇති කරන බලපෑම අතිවිශාලය. මෙහි තිබෙන භයානකම දේ ලෙස සැලකිය හැක්කේ මෙම ප‍්‍රශ්නයට ලැබෙන බැරෑරුම් බව සලකා ප‍්‍රශ්නය ප‍්‍රායෝගිකව විසඳා ගැනීමට පුළුවන්කම ලැබෙන ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අසමත්වී එය පහළින් තිබෙන ශ්‍රේණියට, එනම් DCCC තත්ත්වයට පහළ දමන තත්ත්වයක් ඇති වුවහොත් ලංකාව පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත් වනු නොවැළැක්විය හැකිය.

දැන් ලංකාව තිබෙන්නේ බිහිසුණු අගාධයක මුව විට ය. ජාතිය හා ජාතිය මෙහෙයවන දේශපාලන නායකයින් සිටින්නේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් ඇතිකරගත් කුල්මත් භාවයෙන් හෝ ඉන් ලද පරාජයෙන් ඇතිකරගත් වික්ෂිප්ත භාවයෙන් ඔලූ අවුල් කරගත් තත්ත්වයකය. රට තිබෙන නියම තත්ත්වය ඔවුන්ට පෙනෙන්නේ නැත. ඒ සියලූ දෙනාගේ පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ පවත්වන්නට නියමිතව තිබෙන පාර්ලිමේන්තු මැතිවරණ සැණකෙළිය කෙරෙහිය.

තේරුම්ගත යුතුව තිබෙන වැදගත්ම දේ ලංකාව ආර්ථික වශයෙන් මෙතෙක් ගත කරමින් තිබු සැහැල්ලූ ජීවිතය අත්හරිමින් අගහිඟ කම්වලින් පිරුණ පීඩාකාරී ජන ජීවිතයක් සඳහා හිත හදා ගත යුතුව තිබෙන බවය. ආණ්ඩුවට මැජික් බලයක් වැනි දෙයකින් එම තත්ත්වය නැති කළ නොහැකිය. එහෙත් අවශ්‍ය නම් මහජනයා මත පැටවෙන බර ලිහීල් කිරීම සඳහා ක‍්‍රියා කළ හැකිය.

එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක දී මහජනයාට විදින්නට සිදුවන දුක සැහැල්ලූ කිරීමේ වැඩිම හැකියාවක් තිබෙන්නෙ ග‍්‍රාමීය ගොවි ජනතාවට ය. ග‍්‍රාමීය ගොවි ආර්ථිකයේ ලොකු වර්ධනයක් ඇති කිරීමට හේතුවන ඉක්මන් ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගවලට රට යොමු කළ යුතුය. කෘෂිකර්මයට වන සතුන්ගෙන් එල්ල වී තිබෙන හානිය අවම කරන තැනකට යා හැකිනම් ග‍්‍රාමීය කෘෂිකර්මයේ ලොකු ප‍්‍රබෝධයක් සමග ලොකු වර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇත.

ඒ සඳහා රජයට ගතහැකි පියවර දෙකක් තිබේ. එක පියවරක් වනුයේ වඳුරු හා රිලා ගහනය 80% කින් පමණ අඩු කර දීමය. එම පියවර නිසා පමණක් ග‍්‍රාමීය කෘෂිකර්මාන්තයෙන් හා ගෙවතු වගාව ඇතුළු ග‍්‍රාමීය කෘෂිකර්මාන්තයෙන් අතිවිශාල ප‍්‍රබෝධයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර ඒවායෙන් උපයන ආදායමේ ද ලොකු වර්ධනයක් (සමහරවිට දෙගුණයක පමණ) ඇති කිරීමට හේතු වනු ඇත. ඒ සමග විය යුතු ඊළඟ වැදගත් දේ වනුයේ කෘෂිකර්මයට හානි කරන වල් ඌරන්, ඉත්තෑවන්, මොනරුන් වැනි වන සතුන් දඩයම් කිරීමේ අයිතිය, දඩයම් කරන එම සතුන්ගේ මස් ළඟ තබා ගැනීමේ, ප‍්‍රවාහනය කිරීමේ හා වෙළදාම් කිරීමේ අයිතිය ගොවියන්ට ලබා දීම සඳහා විධිවිධාන ඇති කිරීමය. එම පියවර ද ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදනයන්ගේ ලොකු වර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇති අතර ගොවීන් කෘෂිකර්මයෙන් උපයන ආදායම්වලද සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇත.

පරිප්පු, මිරිස් සහ කිරි

ආහාර විෂයේ දී ලංකාවේ පරිප්පු වලට ලැබී තිබෙන වැදගත්කම අතිවිශාලය. පේ‍්‍රමය නැති ජීවිතය හඳුන්වා තිබෙන්නේ පරිප්පු නැති හෝටලයකට සමාන කෙරෙන ආකාරයටය. වසරකට පරිප්පු ආනයනය සඳහා කරන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 1600ක් තරම් විශාලය. ලංකාවේ පරිප්පු වගා කළ නොහැකි වුවත් තෝර පරිප්පු වගාකළ හැකිය. පියලි කරන ලද මුං ඇට පරිප්පු වලටත් වඩා රසවත් ය. පරිප්පු අපනයනය ලංකාවට අවශ්‍ය තරමට තෝර පරිප්පු හා මුං ඇට වගා කරන තැනකට යමින් පරිප්පු අපනයනය මුළුමනින් කපා හැරීමෙන් පමණක් වසරකට ඉතිරි කරගත හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඩොලර් මිලියන 1600කි.

ලංකාව මිරිස් අවශ්‍යතාවයන් ගෙන් ද නිපදවන්නේ සියයට පහලොවක් තරම් ප‍්‍රමාණයක් පමණය. වසරකට වියළි මිරිස් මේට්‍රික් ටොන් 50000ක් පමණ ආනයනය කරන අතර ඒ සඳහා කරන වියදම රුපියල් මිලියන 10000කි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව කුඹුරු අක්කරයකින් ඉපයිය හැකි ආදායම රුපියල් 40000ක් වන විට මිරිස් අක්කරයකින් ඉපයිය හැකි ආදායම රුපියල් 333373කි. මිරිස් බීජ ගැන කෙරෙන පර්යේෂණ විශාල ප‍්‍රමාණයකට අත්හැර තිබීම නිසා අමු මිරිස් සඳහා මිස වියළි මිරිස් සඳහා හොඳ මිරිස් ප‍්‍රභේදයක් තවමත් සොයාගෙන නැත.

ප‍්‍රමුඛ ජාතික වැදගත්කමක් ලැබෙන ලෙස ජාන තාක්ෂණය යොදාගනිමින් ඒ සඳහා පර්යේෂණ කරන තැනකට යන්නේ නම් කොල කොඩවීමේ රෝගයට ඔරොත්තු දෙන අමුමිරිස් කිලෝ හතරක් තරම් ප‍්‍රමාණයකින් වියළි මිරිස් කිලෝවක් නිපදවාගත හැකි මිරිස් ප‍්‍රභේදයක් අවුරුද්දකට අඩු කාලයක් තුළ නිපදවා ගැනීමට ලංකාවට බැරිකමක් තිබිය නොහැකිය. මිරිස් වගාව පරණ ක‍්‍රමය වෙනුවට Green house ක‍්‍රමයට වගා කරන තැනකට යා හැකි නම් ඒ සඳහා යන ආරම්භක වියදම විශාල වුවත් ඒ මගින් උපයාගත හැකි ආදායම ඉතා විශාල වන අතර ඒ ක‍්‍රියාමාර්ගය එක තැන පල් වෙන තැනක තිබෙන ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තැනකට ගෙන යන ක‍්‍රියා මාර්ගයක පුරෝගාමී අවස්ථාවක් බවට පත් කරගත හැකිය.

ලංකාව කිරිපිටි ආනයනය සඳහා කරන වාර්ෂික වියදම ඩොලර් මිලියන 400කි. ලංකාව කිරි අවශ්‍යතාවයන්ගෙන් 45% ක් නිපදවන රටක් වන නිසා කිරිපිටි අපනයනය මුළුමනින්ම කපා හැරිය ද එය ලංකාවට දැරිය නොහැකි දෙයක් වන්නේ නැත. හරක් සඳහා ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් රටට තිබෙන්නේ නම් කිරිවලින් ලංකාව ස්වයංපෝෂිත කිරීම අමාරු දෙයක් වන්නේ නැත. කිරි සහ මස් යන අවශ්‍යතා දෙකම සඳහා මිස කිරි පිණිස පමණක් හරක් සෑදීම ආර්ථික වශයෙන් ඵලදායි වන්නේ නැත. ඉන්දියාව හරක් මස් කන්නේ නැතත් හරක් මස් අපනයනය කරන ප‍්‍රධාන රටකි. ලංකාව හරක් මස් කන්නේ නැතිනම් අපනයන කර්මාන්තයක් වශයෙන් හෝ එය පවත්වාගෙන යාමට ඉඩ දිය යුතුය. හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වනු ඇත්තේද, රට කිරිවලින් ස්වයංපෝෂිත කරගත හැකිවනු ඇත්තේද එවිටය.

ඉන්ධන සහ වාහන

ලංකාව මෝටර් රථ ආනයනය සඳහා කරන වාර්ෂික වියදම ඩොලර් මිලියන 1573.5කි. සියලූම වර්ගයේ මෝටර් රථ වාහන ආනයනය වසර 5ක් වැනි කාලයක් සඳහා තහනම් කළ හැකිය. ආනයන කරන වාහනවලට අයකරන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වන නිසා ඉන් රජයට ලැබෙන බදු ආදායමේ පහත වැටීමක් ඇතිවිය හැකි වුවත් ඒ මගින් ගෙවුම් ශේෂ ප‍්‍රශ්නයට ලොකු සහනයක් ලබාගත හැකිය. ඉන්ධන ආනයනය සඳහා කරන වියදම ද ඒ මගින් අඩු කරගත හැකිය. රටට අවශ්‍ය තරමටත් වඩා මෝටර් රථ තිබෙන අතර එවැනි ප‍්‍රතිපත්තියක්, තිබෙන මෝටර් රථ ප‍්‍රශස්ත ලෙස පාවිච්චි කරන තැනකට රට යොමු කිරීමට හේතුවනු ඇති අතර මෝටර් රථ කාර්මික අංශයේ ද වර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇත.

ඉන්ධන වියදම ආනයන වියදමේ තිබෙන ලොකුම වියදම් සංරචකය ලෙස සැලකිය හැකිය. වාර්ෂික ඉන්ධන අපනයන වියදම ඩොලර් මිලියන 4151කි. බ්‍රැසීලය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව වැනි රටවල් පෙට්ට‍්‍රල් වලට 10% සිට 15% දක්වා එතනෝල් හෝ ඇල්කොහොල් විශේෂ කලවම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. කවලම් කොට හදාගන්නා පෙට්ට‍්‍රල් විශේෂය සැලකෙන්නේ පරිසර හිතකාමී ඉන්ධන විශේෂයක් ලෙසය. බ‍්‍රසීලය එතනෝල්වලින් පමණක් ධාවනය කිරීමේ හැකියාවක් ඇති මෝටර් රථ විශේෂ දෙකක්ද නිපදවා තිබේ. ලංකාවට මෙවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයි? ගෘහස්ථ මට්ටමෙන් නිපදවන කසිප්පු එම අවශ්‍යතාවය සඳහා යොදාගත හැකි ප‍්‍රභවයක් බවට හරවා ගැනීමේ හැකියාවක් නැද්ද? මා හිතන්නේ ඒ සඳහා හැකියාවක් තිබෙන බවය. ඒ සඳහා වෙනත් රටවල අත්දැකීම් ප‍්‍රයෝජනයට ගනිමින් ගෘහස්ථ මට්ටමෙන් නිපදවන කසිප්පුවල ඇති කළයුතු වෙනස්කම් මොනවාද යන්න ගැන කරුණු හොයා බලන පර්යේෂණ කරන තැනකට යා යුතුය.

පෙට්ට‍්‍රල් වලට මිශ‍්‍ර කිරීම සඳහා යොදාගත හැකි කදිම මිශ‍්‍රණයක් බවට හරවා ගැනීම සඳහා කසිප්පුවල ඇති කළයුතු වෙනස්කම් හඳුනා ගනිමින් එම ප‍්‍රභවය සාර්ථක විකල්පයක් බවට හරවා ගත හැකි නම් පෙට‍්‍රල් ආනයනය සඳහා යන වියදමෙන් ඉතිරි කරගත හැකි විදේශීය විනිමය වත්කම් වල ප‍්‍රමාණය ඩොලර් මිලියන 650කි. එමගින් නීති විරෝධී ස්වරූපයෙන් පවත්වාගෙන යන ගෘහස්ත කර්මාන්තය නිසි නියාමනයකට යටත් කළ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබාදෙන කර්මාන්තය බවට පත් කළ හැකිය. එය වී නිෂ්පාදනයෙන් වසරකට ජාතික නිෂ්පාදනයට එකතු කරන අගයට වැඩි අගයක් එකතු කරන කර්මාන්තයක් බවට පත්කළ හැකිය. එම නිෂ්පාදන කර්මාන්තයේ වාර්ෂික ණය ඩොලර් මිලියන 650ක් හෙවත් රුපියල් මිලියන 117500කි. ඒ මගින් ග‍්‍රාමීය ආර්ථිකයට ගලායන ආදායම් වල වටිනාකම රුපියල් මිලියන 117500කි.

විපත සැපතක් බවට හරවා ගැනීම

ග‍්‍රාමීය කෘෂිකර්මය වී ගොවිතැනට හා ක්ෂේත‍්‍ර බෝග වගාවන්ට සීමා නොකොට අපනයන වෙළෙඳ පොළට නිපදවන කෘෂිකර්මයක් බවට පත්කර ගැනීමටද මෙය අවස්ථාවක් බවට පත් කරගත හැකිය. ඒ සඳහා තෝරාගත හැකියි මාර්ග ගැන මම වෙනම කතා කරන්නට බලාපොරොත්තු වෙමි. දැනට ඉහත විස්තර කළ යෝජනා ක‍්‍රියාත්මක කිරීම මගින් පමණක් වසරකට ඉතිරි කරගත හැකි විදේශ වත්කම් වල මුළු වටිනාකම ඩොලර් මිලියන 4205ක් බව සඳහන් කළ යුතුය. එය අපට ණය සේවාකරණය සඳහා ගෙවන්නට සිදුවී තිබෙන වාර්ෂික වාරිකයේ වටිනාකමට සමාන ය.

මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝගයේ තරමට ඥානාන්විත හා ප‍්‍රායෝගික විය හැකි නම් ලොකු විපතක් සැපතක් බවට හරවා ගත හැකිය. රටේ සමස්ත ක‍්‍රමයේ ඇති වී තිබෙන මහා බිඳ වැටීම් රට මුළුමනින් නවීන කොට ඉතා බලවත් ලෙස ඉදිරියට යන අවස්ථාවක් බවට පත් කරගත හැකිය.

එවැනි දැවැන්ත පරිවර්තනයකට රට යොමු කළ හැකිවනු ඇත්තේ රට ඇද වැටී තිබෙන අසමත් භාවය හෝ කාලකණ්ණි භාවයට බලපා තිබෙන හේතු ගැන විධිමත් ලෙස කරුණු සොයා බලන තැනකට යාමට අවශ්‍ය ශික්ෂණය ලංකාවට ඇත්නම් පමණය. නිදහස ලැබෙන අවස්ථාව වන විට ලංකාව ආසියානු රටවල් අතර තිබුණේ බැබලෙන තත්ත්වයකය. වර්තමානයේ අතිවිශාල දියුණුවක් අත්පත් කරගෙන සිටින රටවල් වැඩි හරියක් එදා තිබුණේ ලංකාවට වඩා පසුගාමී තත්ත්වයකය. ලංකාවට ඒ රටවලට නොතිබුණ නැගී සිටීමට අවශ්‍ය ආරම්භයක ශක්තියක් තිබියදීත් ලංකාව වේගයෙන් ඉදිරියට යන රටක් වෙනුවට එකතැන පල්වෙන, කෙළවරක් නැති තරමට ලේ හලන, අකාර්යක්ෂම, දූෂණයෙන් කුණුවූ අසමත් රටක් බවට පත්වූයේය. එසේ වීමට බලපෑ ප‍්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ කුල භේදයට තිබෙන පිළිගැනීම අහිමිකොට වර්ග භේද හා ආගම් භේද මත ගැටුම් ඇති වීමට ඉඩක් නැති ආකාරයට නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අසමත්වීම නිසාය.

රටක් මෙවැනි අවාසනාවන්ත තත්වයකට ඇද වැටුණු විට එම තත්වයට පත් ලෝකයේ බොහෝ රටවල් නැවත නැගී සිටීමක් සඳහා අවශ්‍ය සමාජ දේශපාලන හා ආර්ථික වටාපිටාවක් ඇති කරගැනීම සඳහා යොදාගෙන තිබෙන ක‍්‍රමය වනුයේ මහජන ව්‍ය‍වස්ථා සම්පාදනයකට රට යොමු කිරීමය.

එය තාවකාලිකව අසාර්ථක පාලන ඉතිහාසයකට හිමිකම් කියන දේශපාලන ප‍්‍රභූන්ට රට පිළිබඳව තීන්දු ගැනීමට තිබුණු ඒකාධිකාරී බලය කිසියම් විශාල ප‍්‍රමාණයකට සීමා කොට සියලූ දේවල් ගැන කරුණු සොයා බලා සමස්ත ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා පරමාධිපත්‍ය බලය ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපයකින් ක‍්‍රියාවට නැගීමට ඉඩ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. එවිට මනා සංයමයකින් කරන මනා සංවාද මධ්‍යයේ නූතන ජාතිය ගොඩනගන්නන් වශයෙන්ද දේශපාලන ක‍්‍රමය හා ආර්ථික ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නන් වශයෙන් කරනු ඇත්තේ මහජනතාවය. එම ක‍්‍රියාදාමය තුළ මහජනතාවද නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස තමන්ද වෙනස් කරගනු ඇත.

 

Advertiesment