Sunday 29th of November 2020

English Tamil
Advertiesment


මහා බැංකුව කොල්ල කෑවේ රනිල්-මලික්-කබීර් බව වෝහාරිකයෙනුත් හෙළිවෙයි..?


2019-12-29 8078

මලික්-කබීර් ආගිය අතක් නැත්තේ ඒ නිසයි 

 

රනිල් කසාය බිව්ව ගොළුවෙකු ගානට ඉන්න හේතුව මෙන්න 

 

පාර්ලිමේන්තුව වාර අවසන් කළේ "රනිල්-මලික්-කබීර්" බේරා ගන්න දැයි විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න කරති 

 

වෝහාරික විගණනය හෙළි කරන්නැයි ආණ්ඩුවට බල කරති 

 

වෝහාරිකයෙන් රවී කරුණානායක නිදොස් කොට නිදහස් 

 

මහා බැංකු මහා මංකොල්ලය ගැන සුනිල් හඳුනෙත්තිගෙනුත් හෙළිදරව්වක් 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු වෝහාරික විගණන වාර්තාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ නම් පැහැදිළිව සඳහන් වන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අභ්‍යන්තර  ආරංචි මාර්ග ඉතා වගකීමෙන් යුතුව "lankanewsweek" වෙත කරුණු හෙළිදරව් කර සිටියි.

මේ මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මෙම වෝහාරික විගණන වාර්තාවේ ඇතුළත් නොවන බව හෙළිදරව් කර සිටී එම ආරංචි මාර්ග, ඊට හේතුව මේ ගනුදෙනුව සිදු වන මොහොතේ ශ්‍රී ලංකා මහා බැංකුව පැවතියේ එවකට මුදල් ඇමතිවරයාව සිටී රවී කරුණානායක මහතා යටතේ නොව,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වීම නිසා යැයි ද පෙන්වා දුන්නේය.

මේ කියන වෝහාරික විගණන වාර්තාව මගින් පමණක් නොව, මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව වගේම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව මගින්ද අර්ජුන් මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ,මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව ඍජු චෝදනා එල්ල වී තිබියදී මේ සියලු වාර්තා රටට-ජනතවට හෙළිදරව් කරමින් මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු ප්‍රශ්න කරති.

රුපියල් කෝටි සියයක බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව මුලින් තීරණය කර, ඊට අදාළව දැන්වීම් ද පළ කර තිබුණත් අවසානයේදී රුපියල් කෝටි දහසක බැඳුම්කර හදිසියේම නිකුත් කිරීමට තමා පියවර ගත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව අයත්ව සිටී සිය විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් දුන් නියෝගයට අනුව බව හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දෙමින් ඉතා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන්නේ යැයි එම තේරීම් කාරක සභාවේ සභාපති සුනිල් හඳුනෙත්ති මහතා අවධාරණය කර සිටියි.

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අභ්‍යන්තර,ආන්දෝලනාත්මක,ගැඹුරු සහ වටිනා තොරතුරු රැසක් හෙළිදරව් කරමින් සුනිල් හඳුනෙත්ති මහතා චෝදනා කර සිටින්නේ කුමරන් පද්මනාදන් සහ මාකඳුරේ මධූෂ් වැනි මහා අපරාධකාරයින් පවා ජාත්‍යන්තරයේ සහය ඇතිව අල්ලා රටට ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වුණත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අල්ලා රටට ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ආරක්ෂා කරන නිසා බවය.

තමාත් අර්ජුන් මහේන්ද්‍රනුත් "Mr Clean" නම් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් ඇත්ත කුමක් ද කියා රටට ජනතාවට හෙළිදරව් කර සිය පිරිසිදුකම ඔප්පු කිරීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටින සුනිල් හඳුනෙත්ති මහතා ඔහු එසේ නොකරන්නේ වරදකාරී හැගීමකින් ඔහු පෙළෙන අතර ඇත්ත කුමක්ද කියා දන්නා නිසා යැයි ද පෙන්වා දෙයි.  

මේ සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකදී අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ පැවසීය.

"මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා හැරුණු කොට එම ආණ්ඩුවේ නියමුවන් සහ ප්‍රබලයින් ගණනාවකට මුල සිටම චෝදනා එල්ල වුණා.මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව මගින් ද ඒ අයට සාක්කි සහ සාධක ඇතිව එම චෝදනා එල්ල කර තිබෙනවා.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු වෝහාරික විගණන වාර්තාව මගින් ද එක්සත් ජාතික පක්ෂයේ නියමුවන් තිදෙනෙකුට සාක්කි සහ සාධක ඇතිව චෝදනා එල්ල වී තිබෙන අතර ඒ අය මේ සිද්ධියට ඍජුව වග කිව යුතුයැයි එම වාර්තාවේ සඳහන් වන බවට ද විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

වෝහාරික විගණන වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත යොමු කර තිබූ අවස්ථාවක එම වාර්තාව විවෘත්ත කර පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් එම තේරීම් කාරක සභාව අහෝසි වීමට ඉඩ හැරියේ එම විගණන වාර්තාව මගින් චෝදනා එල්ල කර ඇතැයි කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනා බේරා ගැනීමේ කූට දේශපාලන ගනුදෙනුවක් (Political Deal) මත ද යන සැකය සමස්ත සමාජයම මතු කරනවා.

"සුදු වෑන්" රියදුරන් යැයි කියා ගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කරමින් බොරු කියා ජනතාව නොමඟ යැවීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිනවා. එසේ නම් මුළු රටක් කතා කරන,යුක්තිය,සාධාරණය සහ නීතිමය පියවර ඉල්ලා සිටින මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරමින්    විශේෂ විමර්ශන වාර්තා තුනක් ඉදිරිපත් කර තිබියදී, එම වාර්තා මඟින් චෝදනා එල්ල කර තිබෙන අයට එරෙහිව වහාම නීතිමය පියවර නොගන්නේ ඇයි..? එමෙන්ම එම වාර්තා රටට ජනතාවට ඉදිරිපත් කර මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිව යුතු අය කවුරුන්ද කියා දැන ගැනීමට බදු ගෙවන මහා ජනතාවට අවස්ථාව  නොදෙන්නේ ඇයි..?   

මහා බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සිද්ධිය සහ "සුදුවෑන්" රියදුරන්  යැයි  කියා ගත් පුද්ගලයින් දෙදෙනෙකු  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ ඇති වී තිබෙන සංවාද,තර්ක,විතර්ක සහ චෝදනා එල්ල කර ගැනීම් දෙස ජනතාව බලා සිටින්නේ "බෝම්බ සහ රෝස" චිත්‍රපටය නරඹන ගානටයි.

එම නිසා මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව, පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභා වාර්තාව මඟින් සාක්ෂි සහ සාධක ඇතිව කර ඇති හෙළිදරව් කිරීම් මත ඊට වග කිව යුත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නැයි රජයට අප බල කර සිටිනවා.

මේ විශේෂ විමර්ශන වාර්තා මඟින් මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී සිටින අයට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරම ඒ වාර්තා සමාජගත කරමින් මේ අපරාධකාරයින් කවුරුන්ද කියා දැන ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසද රජයෙන් අප තරයේ ඉල්ලා සිටිනවා. 

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ පැවසිය. 

"සිය දෑත් පිරිසිදු නම් සහ ඇත්තටම තමා "Mr Clean" නම් රනිල් වික්‍රමසිංහ මහතා කළ යුත්තේ මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන වෝහාරික විගණන වාර්තාව ඇතුළු විමර්ශන වාර්තා යට නොගසා, වහාම රටට ජනතාවට හෙළිදරව් කර ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් දේශපාලන වශයෙන් සටන් කිරීමයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන බරපතල චෝදනාවලින් ගැළවී, සිය දේශපාලන සුජාත භාවය,නිර්දෝෂී භාවය සහ පිරිසිදුකම රට ජනතාව හමුවේ ඔප්පු කරමින් දේශපාලන ගමනක් යන්න රනිල් වික්‍රමසිංහට සහ එක්සත් ජාතික පක්ෂයට හැකි වන්නේ එවිට පමණයි.

එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවෙමින් සහ කිසිවක් නොකියමින් කසාය බිව්ව ගොළුවෙකු වගේ හොර ගල් අහුලන්නේ තමා කළේ කුමක්ද කියා තමාගේ සිත දන්නා නිසයි.තමා නිවැරදි නම්,නිර්දෝෂී නම් සහ පිරිසිදු නම් මේ විමර්ශන වාර්තා රටට ජනතාවට හෙළිදරව් කර චුදිතයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි ඇයි..? 

මේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය අදාළව සිදු කෙරුණු වෝහාරික විගණන වාර්තාව ඇතුළු විමර්ශන වාර්තා තුන වගේම ශ්‍රී ලංකන් එයාර් සමාගමේ දුෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ද මේ වන විට එළි දක්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අප ඉතා වගකීමෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ මහා බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළු දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රධාන මැති ඇමතිවරුන් වග කිව යුතු බවට මේ වාර්තාවලට අනුව හෙළිදරව් වී තිබෙනවා නම් ඒ කවුරුන්ද යන්න පිළිබඳව රටට ජනතාවට හෙළිදරව් කර ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

එවිට එක්සත් ජාතික පක්ෂයට සහ එම පෙරමුණට දේශපාලන වශයෙන් නිවැරදි විය හැකි අතර හොරුන් කවුරුන්ද කියා දැන ගැනීමෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට හිත හදා ගැනීමට ද හැකියාව තිබෙනවා.

 


 

Advertiesment