Thursday 13th of August 2020

English Tamil
Advertiesment


පලිගැනීමේ විසම චක‍්‍රය


2019-12-28 2546

විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම ශ්‍රී ලාංකිකයින්ගේ ගෝත්‍රික උරුමයකි

 

 
(වික්ටර් අයිවන්)

විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම අපට ලැබී තිබෙන ගෝත‍්‍රික උරුමයක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරට කාවැදී තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඉන් පෙනෙන්නේ ලංකා සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබෙන්නේ බාහිර පෙනුමෙන් මිස අභ්‍යන්තර හරයෙන් නොවන බවය. ලංකාව නොකඩවා මැතිවරණ පවත්වන රටක් වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන රටක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ කොයි කාලයකවත් මහජනතාව අතර ජනප‍්‍රිය ලිබරල්වාදී ව්‍යාපාරයක් නොතිබුණු අතර ලංකාවේ ජනප‍්‍රිය දේශපාලන නායකයන් අතර ලිබරල් අදහස් දරන නායකයන්ද නොසිටියේය. පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඞී.බී. ජයතිලක වැනි අපේ මුල්කාලීන නායකයන් කිසිවෙක් ලිබරල් වාදය ගැන න්‍යායික අවබෝධයක් තිබූ දේශපාලන නායකයන් ලෙස සැලකිය නොහැකිය.

ලංකාවේ පැවති දේශානුරාගය පිළිබඳ කදිම විග‍්‍රහයක් ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්ය. එයට අනුව ලංකාවේ දේශානුරාගය රටේ සියලූ ජන කණ්ඩායම් ඇතුළත් කරගත් හා රට මුල් කරගත් අනුරාගයක් නොව වර්ගය, කුලය හා ආගම මුල් කරගත් අනුරාගයකි. එම කොමිෂන් සභා වාර්තාව පිටවී අවුරුදු 90කට වැඩි කාලයක් ගතවී ඇතත්, ලංකාවේ දේශානුරාගය තවමත් තිබෙන්නේ එදා තිබුණු තැනට සමාන තැනකය. විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම නිදහසේ සිට අද දක්වාම ලංකා දේශපාලනයේ දක්නට තිබෙන අවලස්සන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩු බලය වෙනස්වන අවස්ථාවලදී ජයග‍්‍රාහකයා ප‍්‍රතිපත්ෂ නායකයන්ගෙන් පමණක් නොව, ප‍්‍රතිපක්ෂ අනුගාමිකයන්ගෙන්ද පලි ගනී. රටේ දේශපාලන නායකයන්ද වඩා වැදගත් කොට සලකන්නේ රටේ පොදු යහපතට නොව, තමාගේ, තම කණ්ඩායමේ අනුගාමිකයන්ගේ යහපතය. අනුගාමිකයන් වැරදි ලෙස සලකන්නේද විරුද්ධවාදී නායකයන් අතින් සිදුවන වැරදිය. තම නායකයා හෝ නායකයන් අතින් සිදුවන වැරදි ඔවුන් වැරදි ලෙස සලකන්නේ නැත. හැම රජයක්ම සිරිතක් වශයෙන් තමන් ලබන ජයග‍්‍රහණයෙන් පසුව ඊට පෙර දේශපාලන පලිගැනීමට ලක්වූ අනුගාමිකයන්ට නිර්ලෝභී ලෙස වන්දි ගෙවන ක‍්‍රමයක් පවත්වාගෙන යයි. ඒ වෙනුවෙන් පමණක් ලංකාව ගෙවා තිබෙන වන්දිය ගණනය කළහොත් එය දැවැන්ත ධනස්කන්ධයක් විය හැකිය.

ලංකාවේ පක්ෂවලට පවුල් පසුබිමක් තිබෙන අතර පක්ෂවලට හිමිකම් කියන පවුල් හෝ පවුල් කණ්ඩායම් සිටිති. එක්සත් ජාතික පක්ෂයේ අයිතිය තවමත් තිබෙන්නේ එක පවුල් කණ්ඩායමකටය. ශ‍්‍රීලනිපයේ අයිතිය තිබුණේද එක පවුලකටය. දැන් පොදු ජන පෙරමුණේ අයිතිය තිබෙන්නේද එක පවුලකටය.

මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් තෝරන්නේ පක්ෂ සංවිධාන විසින් නොව, පක්ෂයේ අයිතිකාරයා විසිනි. ලංකාවේ එකම දේශපාලන පක්ෂයකටවත් සාමාජික ගාස්තු ගෙවන සාමාජිකයන් නැත. සියලූම පක්ෂ දුවන්නේ කළු සල්ලිවලිනි. පක්ෂයට සල්ලි ලැබෙන මාර්ග හෝ ලැබෙන මුදල්වල ප‍්‍රමාණයන් ගැන හෝ ඒවා වියදම් කෙරෙන ආකාරය ගැන පක්ෂ අනුගාමිකයන් දන්නේ නැත.

පලිගැනීමේ සංස්කෘතිය ප‍්‍රථම අගමැති ඞී.එස්. සේනානායක වතුකරයේ ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය කඩිමුඩියේ අහිමි කළේ ඔවුන්ගේ අපේක්ෂකයන් තරග නොකරන ආසනවලදී සමසමාජ පක්ෂයට ඡන්දය දීම නිසාත්, ඔවුන්ගෙන් තේරී පත්වූ නියෝජිතයන් තමන් අමාරුවෙන් ආණ්ඩුවක් ගැට ගසා ගන්නට ගිය අවස්ථාවේදී ඞී.එස්.ට ආධාර කිරීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසාත්ය. 1956දී බණ්ඩාරනායකට දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් අහිමි කරන්නට සිදුවූයේද තමන් බලයට පත් කළ සිංහල බෞද්ධයන් සතුටු කිරීම සඳහාය. ජනාධිපති ජයවර්ධන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම උපරිම මට්ටමකට ගෙනා ජන නායකයා ලෙස සැලකිය හැකිය. තමන් බලයට පත්වූ පසු සතියක කාලයක් පොලිසියට නිවාඩු දෙන බව ඔහු 77 මැතිවරණ රැස්වීම්වලදී කීවේය. යූඑන්පී ආධාරකරුවන් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ දරුණු පලිගැනීම්වලට ලක්ව තිබුණු අතර ජයග‍්‍රහණයෙන් පසුව සතියක කාලයක් පොලිසියට නිවාඩු දෙන බව කීවේ සිය පාක්ෂිකයන්ට පෙරළා පහරදීමට අවස්ථාවක් ලබාදීම සඳහාය. පොරොන්දු වූ ආකාරයටම මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව සිය අනුගාමිකයන්ට විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට අවස්ථාවක් ලබාදෙන ලද අතර, පොලිස් වාර්තා අනුව ගිනි තබා විනාශ කරන ලද ගෙවල් සංඛ්‍යාව දහසකට ආසන්න විය.

පෙරහැර ඉන් නැවතුණේ නැත. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබා ගත් ජනාධිපති ජයවර්ධන ඊළඟ ජනාධිපතිවරණයේදී ප‍්‍රතිපක්ෂ නායිකාවට තරග කිරීමට ඉඩක් නොලැබෙන පරිදි ඇගේ ප‍්‍රජා අයිතියද අහිමි කළේය. විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණද ඇගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන වැඩසටහනේ වැදගත් පංගුකාරයෙකු ලෙස ක‍්‍රියා කළේය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීද පුද්ගලික හමුදා පවත්වාගෙන ගිය ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජේවීපී ආධාරකරුවන් ලෙස සලකා විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන්ද මරා දමන ලදි. ජේවීපීයද එම කැරැල්ලේදී පළමු වටයේදී ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් හා වාමාංශික පක්ෂවල ආධාරකරුවන් හා දෙවැනි වටයේදී ශ‍්‍රීලනිප ආධාකරුවන්ද මරා දමන ලදි.

පලිගැනීමේ සංස්කෘතියේ වෙනසක් ඇතිවීම

එජාපයේ අවුරුදු 17ක පාලනයකින් පසුව බලයට පත්වන චන්ද්‍රිකා පාලන කාලය තුළ පලිගැනීමේ සංස්කෘතියේ ලොකු වෙනසක් පෙන්නුම් කළ අතුරු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ වෙනස කෙරෙහි කිසියම් ප‍්‍රමාණයකට මගේ බලපෑමක්ද තිබූ අතර උපාය මාර්ගික වෙනත් හේතුද බලපෑවේය. 94 මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන භාරව ක‍්‍රියා කළ කමිටුවේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේ මමය. වාද විවාද මැද වුවත් ප‍්‍රචාරක කටයුතුවලදී කැලෑ පත්තර පළකිරීමෙන් වැළකී සිටින සම්ප‍්‍රදායකට කමිටුව එකඟ කරවා ගැනීමට මට හැකිවිය. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය එළැඹීමෙන් පසු මැතිවරණ දිනයේදී සියලූම ප‍්‍රධාන පුවත්පත්වල පිටු දෙකක් පුරා පළකරන ලද දැන්වීමක් මගින් ලබන මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු විරුද්ධවාදීන්ට වධ හිංසා නොකරන ලෙස ඉල්ලා සිටියෙමු. ක‍්‍රියාවන්ගෙන් පමණක් නොව, වචනවලින් වත් හිංසා නොකරන ලෙස ඉල්ලා සිටියෙමු. එය චන්ද්‍රිකාගේ ඉල්ලීමක් අනුව කරන ලද දෙයක් නොවූවද ඒ සඳහා එම පණිවුඩය ඇතුළත් දැන්වීම පළකිරීමට චන්ද්‍රිකා අනුමැතිය දුන්නාය.

ළඟ ළඟ තරගයකින් ජය ලැබෙන බව පෙනෙන්නට තිබුණද අගමැති තීරණය කිරීමේ බලය තිබුණේ ජනාධිපති විජේතුංගටය. චන්ද්‍රිකා පොදු පෙරමුණෙන් ප‍්‍රධාන තරුව බවට පත්ව සටියද පක්ෂ නායිකාව වූයේ ඇය නොව ඇගේ මවය. ජනාධිපතිවරයා වැරදිලාවත් අගමැති ලෙස චන්ද්‍රිකා තෝරා නොගෙන ඇගේ මව තෝරා ගතහොත් ගතහැකි ක‍්‍රියාමාර්ගයක් නොතිබුණි. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා උපාය මාර්ගික වැඩසටහනක් අවසාන මොහොතේදී දියත් කෙරිණ.

චන්ද්‍රිකා විශ‍්‍රාම සුවයෙන් සිටි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුවන්නට ගියාය. තම මව අගමැති ධුරයට පත් කළහොත් ඇය පෙරළා ජේ.ආර්. ඇතුළුව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගෙන් පලිගන්නා තැනකට යා හැකි බව පවසා එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා අගමැති ධුරයට තමා පත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති විජේතුංගට පෙන්වා දෙන ලෙස ජේ.ආර්.ගෙන් ඉල්ලා සිටියාය. ජේ.ආර්. ජනාධිපති විජේතුංගට කතා කොට ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. ඉන්පසු ජනාධිපති විජේතුංගගේ කැඳවීමක් අනුව ඇය ඔහු හමුවන්නටද ගියාය.

ඡන්ද ප‍්‍රතිඵල පිටවෙමින් තිබියදී මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු එහෙ මෙහෙ කොට ආණ්ඩු බලය හිමිකර ගැනීමේ උත්සාහයක ගාමිණී දිසානායක නිරත වී සිටියේය. අගමැති ධුරයේ සිටි රනිල් වික‍්‍රමසිංහ තනතුරෙන් ඉල්ලා අස්වී අරලියගහ මන්දිරය අතහැර ගියේ ගාමිණී දිසානායකගේ එම වැඩසටහන ව්‍යර්ථ කිරීම සඳහාය. ඒ ක‍්‍රියාව සිදුවූයේද රනිල් චන්ද්‍රිකා සමග ඇති කරගත් එකඟත්වයකට අනුකූලවය.

එකිනෙකා ආරක්ෂා කරගන්නා ක‍්‍රමයක් ඇතිවීම

මොන මොන හේතු නිසා හෝ එම දුෂ්කර මොහොතේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ජනාධිපති ඞී.බී. විජේතුංග හා අගමැති රනිල් වික‍්‍රමසිංහ චන්ද්‍රිකාට ආධාර කළෝය. ඒ නිසා බලය ලැබීමෙන් පසු රටේ දේශපාලන සංස්කෘතියට අලූත් අංගයක්ද එකතුවී යැයි කිව හැකිය. විරුද්ධ පක්ෂයේ සිටියදී බලය ලබාගැනීම සඳහා කෙරෙන අරගලයේදී ආණ්ඩුවට හා එහි නායකයන්ට කොතරම් දූෂණ චෝදනා එල්ල කළ ද බලය ලැබීමෙන් පසු එම දූෂණ ගැන හාරා අවුස්සා බලන තැනකට නොයෑම සඳහා මෙම පක්ෂ දෙකේ නායකයන් අතර ඇති කරගත් නිහඬ එකඟතාව දේශපාලන සංස්කෘතියට එකතු කෙරුණු අලූත්ම අංගය ලෙස සැලකිය හැකිය.

ඒ නිසා ජනාධිපති කුමාරතුංග කොතරම් ඉල්ලීම් තිබුණද සිය පාලන කාලයේදී එජාපයේ වසර 17ක පාලන කාලය තුළ සිදුවූ දූෂණ වංචා ගැන සොයා බලන තැනකට නොගියාය. චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ සිටියදීම පාර්ලිමේන්තු බලය ලබා ගත් රනිල් වික‍්‍රමසිංහද කොතරම් කෑගැසීම් තිබුණද චන්ද්‍රිකාගේ පාලන කාලය තුළ සිදුවූ වංචා හා දූෂණ ගැන සොයා බලන තැනකට නොගියේය. ඉන්පසු බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවද චන්ද්‍රිකා සමග කොතරම් මතභේද තිබුණද ඇගේ පාලන කාලය තුළ හෝ රනිල් වික‍්‍රමසිංහට පාර්ලිමේන්තු බලය තිබූ පාලන කාලයේ සිදුවූ දූෂණ හා වංචා ගැන සොයා බලන තැනකට නොගියේය. ඒ වන විට පිළිගත් ක‍්‍රීඩාවේ සම්ප‍්‍රදායන් සකස් වී තිබුණේ ජයග‍්‍රාහී පක්ෂයට එම පාලන කාලය තුළ උපරිම වශයෙන් අයථා ලෙස ධනය උපයා ගැනීමේ අයිතිය ලැබෙන ආකාරයටය. විරුද්ධ පක්ෂයට ඒ ගැන කෑගැසීමේ අයිතිය තිබුණද, බලයට පත්වීමෙන් පසු පූර්වගාමීන් කර තිබෙන වැරදි සොයා බැලීමෙන් වැළකී සිටීමේ ප‍්‍රතිපත්තියක් සඳහා මෙම දෙපක්ෂය අතර ඇති කරගත් නිහඬ එකඟතාවක් තිබුණි.

එවැනි ධර්මතාවක් ක‍්‍රියාත්මක වූ බව සනාථ කිරීමට දැක්විය හැකි ප‍්‍රබල සාක්ෂි දෙකක් මෙසේය.

ජනාධිපති චන්ද්‍රිකාගේ පාලන කාලයේදී බටලන්ද වධකාගාරය ගැන සොයා බලා වාර්තා කිරීම සඳහා ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. එම කොමිෂන් සභා වාර්තාව පළවීමෙන් පසුව එහි කොමසාරිස්වරයකුගෙන් මට දැනගන්නට ලැබුණේ කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්ව තිබූ වැදගත් පරිච්ඡේදයක් මුද්‍රණය කළ වාර්තාවට ඇතුළත් නැති බවය. මා ඒ ගැන මීට පෙර ලියා ඇත්තෙමි. එය සත්‍යයක් නම් එසේ කරන්නට ඇත්තේ රනිල් වික‍්‍රමසිංගේ ආරක්ෂාව සඳහා විය යුතුය.

රනිල් වික‍්‍රමසිංහද අගමැති ධුරයේ සිටියදී තීරණාත්මක වැදගත්කමක් තිබෙන ප‍්‍රශ්නයකදී ජනාධිපතිනි චන්ද්‍රිකා ආරක්ෂා කිරීම පිණිස ක‍්‍රියා කළේය. බැංකුවල පුද්ගලික සේප්පු සඳහා ඇති දේශපාලකයන්ගේ තොරතුරු දන්නා කිසියම් පුද්ගලයෙක් වරකට එක් අයකු බැගින් වන ලෙස අගමැතිවරයාට තොරතුරු ලබා දුන්නේය. සේප්පුව තිබෙන බැංකුවත්, එහි තිබෙන මුදල් වටිනාකමත් කවර ආකාරයකින් හෝ ඔහු දැන සිටියේය. ඔහු එම ක‍්‍රියාව කරන ලද්දේ පොදු යහපත සලකා මිස කිසිවක් ලබාගැනීමේ අරමුණින් නොවේ. පළමු තොරතුර හා දෙවැනි තොරතුර සම්බන්ධයෙන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක විය. ඔහු තුන්වැනි තොරතුර දුන්නේ චන්ද්‍රිකාගේ සේප්පුව ගැනය. එහෙත් අගමැතිවරයා මුල් දෙදෙනා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්තිය එහිදී ක‍්‍රියාත්මක කළේ නැත. ඒ පිළිබඳ විස්තරයක් මගේ ‘චෞර රැජින’ පොතට ඇතුළත්ය. මහින්ද රාපජක්ෂ ජනාධිපතිවරයා නිල ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන්නට පෙර රනිල් වික‍්‍රමසිංහ තමන් වෙත ගෙන්වා ගනිමින් තනතුරින් ඉවත්වීම ප‍්‍රකාශ කරන්නට ඇත්තේද එතෙක් පැවති සම්ප‍්‍රදාය තමන් වෙනුවෙන්ද ක‍්‍රියාත්මක කරන බවට රනිල් වික‍්‍රමසිංහගෙන් ලබාගන්නා සහතිකයක් වශයෙන් විය හැකිය.

යහපාලනයේ මෝඩ පිළිවෙත

2015 යහපාලන ආණ්ඩුව රටේ ක‍්‍රියාත්මක වූ මෙම දූෂිත ක‍්‍රමය විධිමත් ලෙස වෙනස් කිරීමට හේතුවන සියලූදෙනාගේ පිළිගැනීමට හේතුවන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය පමණක් ඉලක්ක කොටගෙන කරන දඩයමකට යෑම නිසා පෙරළා පලිගැනීමට ඉඩ ලැබෙන තත්ත්වයක් ඇතිකර ගත්තේය. දූෂණයේ තිබූ පරිමාව කුමක් වුවත් දූෂණය රාජපක්ෂ පාලනයෙන් ආරම්භ වූ දෙයක් නොවීය. එය ඊට පෙර පැවති චන්ද්‍රිකා පාලන කාලය තුළද, ඊටත් පෙර පැවති යූඑන්පියේ දාහත් අවුරුදු පාලන කාලය තුළද දක්නට තිබුණු අවලස්සන ලක්ෂණයක් විය.

මහින්ද රාජපක්ෂ පරාජය කරන වැඩසටහනට එකතු වී සිටි පරණ දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසක්ද, දූෂිත ඉතිහාසයක් ඇති අය වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ බලය අල්ලාගෙන සුඛිත මුදිත රටක් ඇති කිරීම නොව, නැවත අයථා ලෙස ධනය උපයා ගැනීමට අවස්ථාවක් ලබාගැනීමය. දූෂණයට එරෙහිව ක‍්‍රියා කරන ආණ්ඩුවක් දූෂණයෙන් තොර විය යුතුය. ඒ බව මහජනයාටද පෙනෙන්නට තිබිය යුතුය. එහෙත් යහපාලන ආණ්ඩුව ඒ සඳහා වන අවංක අභිලාෂයක් තිබුණු ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය.

දූෂණ විමර්ශනය මහින්ද රාජපක්ෂ පාලනයට පමණක් සීමා කළ විට එය මහින්දට හිතවත් ජනතාවට පෙනෙන්නේ පලිගැනීමේ අරමුණින් කෙරෙන දඩයමක් වශයෙනි. 2015දී මහින්ද පරාජය වූයේ 1977දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පරාජය වුණු තරම් දැවැන්ත ආකාරයකට නොව ළඟ ළඟ තරගයකිනි. සිංහල ප‍්‍රදේශවලදී වැඩි පිළිගැනීමක් තිබුණේ ජයග‍්‍රාහකයාට නොව පරාජිතයාටය. ඒ කාරණයද එහිදී බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබුණි.

අනෙක් අතට දූෂණය දේශපාලනඥයන්ට පමණක් සීමාවූ දෙයක් නොවන අතර එය නිලධරතන්ත‍්‍රයද ඇතුළු මුළු මහත් සමාජයම වෙළාගෙන තිබෙන දරුණු පිළිකාවක් ලෙස සැලකිය හැකිය. එවැනි වටපිටාවක දූෂණ විමර්ශන වැඩසටහනක් කරළියට ගන්නවා නම් ගත යුතුව තිබුණේ හොඳින් කරුණු සලකා බැලීමකින් පසුව සියලූදෙනාගේ පිළිගැනීමට හේතුවන විධිමත් ආකාරයකටය. දූෂණ විමර්ශන වැඩසටහන රාජපක්ෂ පාලනයට සීමා නොකොට සියලූ පාලන කාලවල සිදුවූ දූෂණ ගැන සොයා බැලීම අරමුණු කරගත් වැඩසටහනක් බවට පත්කර ගත්තේ නම් එය කිසිවකුටත් අසාධාරණ ලෙස රිදවන්නට ඉලක්ක කර නොගත් සාධාරණ සියලූ මහජනයාගේ පිළිගැනීමට හේතුවන්නට ඉඩ තබුණි. මොන මොන හේතු නිසා එවැනි වැඩසටහනක් කරළියට ගැනීමට බැරිකමක් තිබුණේ නම් දූෂණයට තිබෙන ඉඩ අහුරන ප‍්‍රතිසංස්කරණවලට යා හැකිව තිබුණි. වත්කම් බැරකම් නීතිය විධිමත් කළ හැකිව තිබුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන ඉඩ අහුරා පක්ෂ භේදයෙන් තොරව ඒ වරද කර තිබෙන අයගේ මන්ත‍්‍රීකම් අහිමි කළ හැකිව තිබුණි. හොංකොන්වල හෝ සිංගප්පූරුවේ තිබෙන දූෂණ විමර්ශන කොමිෂන් සභා ආදර්ශයට ගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප‍්‍රතිසංස්කරණය කළ හැකිව තිබුණි. එවැනි විධිමත් මාර්ග තිබියදී යහපාලන ආණ්ඩුව තෝරා ගත්තේ අවුල් ඇති කරන අවිධිමත් මාර්ගයකි. ඒ මගින් සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලූ කිරීමය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ යහපාලන ආණ්ඩුව පරාජය වී නැවත රාජපක්ෂ පාලනයක් ඇතිවීමය.

චක‍්‍රය ආපසු කැරකීම

නව ආණ්ඩුව යටතේ සිදුවන පලිගැනීම් යහපාලන ආණ්ඩුව ඉතා පටු අර්ථකථනයකින් ක‍්‍රියාවට නගන ලද ප‍්‍රතිපත්ති මහින්ද විරෝධී දූෂණ විමර්ශන වැඩසටහනේ තර්කානුකූල බලයක් ලෙස සැලකිය හැකිය. එම මෝඩ වැඩසටහනකින් වැඩිම හානියක් ඇතිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. සියලූ වැරදි පැටවූයේ ඔවුන්ගේ කරමතය. ඒ නිසා අධිකරණයටද ලොකු හානියක් ඇතිවිය හැකිය.

යහපාලන ආණ්ඩුවේ සියලූ දේශපාලනඥයන් වැරදි නොකළ සුදනන් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අතරද සඟවා ගෙන සිටින අවලස්සන රහස් ඇති අය සිටිය හැකිය. යහපාලන ආණ්ඩුව ක‍්‍රියාවට නගන ලද විමර්ශන වැඩසටහන නිසා සඟවා ගෙන සිටි සමහර රහස් හෙළිදරව් වූ අතර අලූත් ආණ්ඩුවේ විමර්ශන ක‍්‍රියාදාමය නිසාද එවැනි දේ සිදුවිය හැකිය. යහපාලන ආණ්ඩුවේ විමර්ශන ක‍්‍රියාදාමය නිසා කාසියේ එක පැත්තක් දැකගන්නට මහජනතාවට අවස්ථාවක් ලැබුණු අතර නව ආණ්ඩුවේ විමර්ශන ක‍්‍රියා නිසා කාසියේ අනෙක් පැත්තත් දැකගැනීමේ හැකියාව මහජනයාට ලැබිය හැකිය.

මහජනයාගේ උණුසුම් කතාබහට හේතුවී තිබෙන ලොකුම දේශපාලන දඩයම බවට පත්ව තිබෙන්නේ චම්පික රණවකය. ඔහුගේ ජීවිතය රැක දුන් පුද්ගලයා වශයෙන් සැලකෙන්නේ මාය. නව ආණ්ඩුවට ඔහු අන් සියලූදෙනාට වඩා වැදගත් වන්නට ඇත්තේ ආණ්ඩුව අත තිබෙන සිංහල බෞද්ධ ධජය ආපසු උදුරා ගැනීමේ වැඩිම විභවයක් තිබෙන නායකයා ඔහු වන නිසා විය හැකිය. සිංහල බෞද්ධයන් මුල් කරගත් විමුක්තියක් ගැන කෙරෙන කතා චින්තන තලයට පමණක් සීමාවී තිබූ අවස්ථාවකදී ඒ අදහස් මහ පොළොවේ පැළ කළ පුද්ගලයා ඔහුය. 1956 ඛේදවාචක අත්දැකීමෙන් පසු භික්ෂූන් වහන්සේලා නැවත දේශපාලන තලයට කැඳවාගෙන ආ පුද්ගලයා වන්නේද ඔහුය.

දැන් ඔහුට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අත්දැකීම් පීඩාකාරී විය හැකි වුවද අනාගතයේ ලොකු නායකයකු වීමේ වැඩිම විභව ශක්තියක් ඇති පුද්ගලයකු වශයෙන් ඔහු තියුණු පරීක්ෂාවකට ලක්වීම යහපත්ය. ඔහුට සඟවා ගෙන සිටීමට අවලස්සණ රහස් නැත්නම් මේ සිදුවන පරීක්ෂාවෙන් ඔහු බැබලෙන නායකයකු බවට පත්වනු ඇත. එසේ නොවෙතෙත් ඔහුද යල්පැනගිය පරණ නායකයන් සමග ඉතිහාසයේ කුණු කූඩයට විසිවනු ඇත. පලිගැනීම සඳහා එකට එක කරන පිළිවෙතක් ජයග‍්‍රාහී පක්ෂයේ ආස්වාදයට හේතුවනු ඇතත්, ලංකාව මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයට එය විසඳුමක් වන්නේ නැත. නැවක කපිතාන්ට නැවේ ඇතිවන සුළු දෝෂ තනිව හදා ගැනීමේ හැකියාව තිිබිය හැකිය. එහෙත් නැවේ පතුල හිල්වී වතුර පිරී නැව ගිලෙන්නට යන අවස්ථාවකදී එම අභියෝගය තනිව ජයගැනීමේ හැකියාවක් කපිතාන්ට තිබිය නොහැකිය. ඒ සඳහා ඔහු නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් පමණක් නොව මගීන්ගෙන්ද උපරිම සහාය ලබාගත යුතුය.

Advertiesment