Wednesday 8th of July 2020

English Tamil
Advertiesment


ථෙරවාදය-වී ගොවිතැන සහ කෘෂි රසායනික වකුගඩු රෝගය


2019-12-26 1592

(මහාචාර්ය නලින්ද සිල්වා)
 

මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු නොවෙයි. ක්‍ෂීර සාගරය කැළඹූ වෙලාවෙ මට එතැන ඉන්න බැරි වෙලා. අමෘතය ටිකක් පානය කරන්න බැරි වෙලා. මා ශරීරික ව මිය යෑමට පළමු ජනමාධ්‍ය විසින් මරා දැමුණු අයෙක්. ඒත් මට තවමත් වකුගඩු අමාරුව ගැන රුදාවක් තියෙනවා. මා සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නමින් බටහිර වෛද්‍යවරුන් විසින් නම් කෙරී ඇති කෘෂිරසායනික වකුගඩු රෝගය ගැනයි.

ඒ රෝගය පිළිබඳ මා කර ඇති දේ ඉතා ටිකයි. චන්න ජයසුමන නම් ඒ ගැන බොහෝ දේ කර තිබෙනවා. ඔහුට ඒ සඳහා බටහිර රටවලත් අනෙක් රටවලත් පිළිගැනීමක් ලැබී තියෙනවා. ඔහුට අනුව ගුණදාස අමරසේකර මට වඩා එකී වකුගඩු රෝගය ගැන කටයුතු කර තියෙනවා. චන්නට අනුව අමරසේකරත් සමග ගත් විට මා ඉන්නේ පහළ ම පහළ තැනක.

දෙරණ රූපවාහිනිය මනුසත් දෙරණ මගින් එකී වකුගඩු රෝගය සම්බන්ධයෙන් කටයුතු කර ලකුණු දමා ගන්නවා. ඒත් රෝගය සුව වෙන පාටක් නැහැ. සුව නොවන තරමට සායනත් පවත්වන්න පුළුවන්. ඒත් රෝගය සුවපත් කළ හැකි බව පාරම්පරික වෙදකමෙන් පෙන්වා දී තිබෙනවා. අපේ දේ රැකගන්නේ යැයි කියන නාළිකාව ඒ බව පිළිගත්තේ නැහැ. ඔවුන් ඒ පිළිගැනීමට නම් බටහිර වෛද්‍ය සහතික ඉල්ලුවා. ඒ අලුත් දේ රැගෙන යන්න වෙන්න ඇති.

චන්න තමයි මට කිව්වෙ කාම්බෝජයෙත් ඒ වකුගඩු රෝගය තියෙන බව. මා එහි ගිය වෙලාවෙ මගේ රුදාව හරි ගාය හරි නිසා ඒ ගැනත් හොයල බැලුව. මා එහි හිටියෙ දවස් හතරක් පමණයි. ඒ ටික දිනේ කරන්න වැඩ රාශියක් තිබුණ. නැහැ සාප්පු යන්න නො වෙයි. මගේ බිරියවත් සාප්පු ගියේ නැහැ. කාම්බෝජයේ ඇදහිලි, ඉතිහාසය, බුද්ධාගම, ථෙරවාදය, ශූන්‍යය ගැන දැනගන්න වුවමනාවක් තිබුණා. ඔවුන්ගෙ සංස්කෘතිය ගැන යමක් දැන ගත්තා. නොම් පෙන් නුවර ලංකා වොට් කියල පැරණි විහාරයක් තියෙනවා. ඒකෙ මෛත්‍රිපාලගෙ ඡායාරූප තිබුණා.

කාම්බෝජයෙහි තායිලන්තයෙහි වොට් තියෙනවා. මා ඔවුන්ගෙන් ඇහුව වොට් කියන්නෙ මොකද කියල. ඒ ඉංගිරිසියෙන් බවත් ඛමර් භාෂාවෙන් නම් වට්ට බවත් ඔවුන් කීවා. මා ඔවුන්ට කිව්ව වට්ට කියන්නෙ පාළි භාෂාවෙන් එන වචනයකින් බිඳුණු දෙයක් බවත් ඒ සිංහලයෙහි යෙදෙන්නේ වට දාගේ යනුවෙන් බවත්. අපේ දාගැබ් වට වුනාට ඒ රටවල තවමත් වට නොවූ වට්ට තියෙනවා. ඒ හින්දු ආභාසය. වට දා සිංහල බෞද්ධ සංස්කෘතියෙ නිර්මාණයක් වෙන්න ඕන.

කාම්බෝජයේ මුල දී තිබිල තියෙන්නෙ මළවුන් (ආත්ම) ඇදහීමක් වැන්නක්. ඇතැම් නිවෙස්වල තවමත් ඒ ආත්ම වෙනුවෙන් කුඩා නිවෙසක් ඉදි කර තියෙනවා. සමහර විට ලංකාවෙත් තියෙන්න ඇති. අපේ පහන් පැල නමින් තිබුණෙ. මට කල්පනාවක් ආවා අපේ ගෙවල්වල ඇති බුදුගෙවල් මේ කුඩා නිවෙස්වල විකාශයක් ද කියලා. බුදුහාමුදුරුවන් ගෙවල්වල බුදු ගෙවල් හදන්න කියල නැහැ. කාම්බෝජයට භාරතීය බලපෑම තදින් තිබිල. වෛදික ආගම් නවවැනි සියවස පමණ තෙක් ප්‍රධාන ආගම් වෙලා. පසුව මහායානය. ඊටත් පසුව දහතුන්වැනි සියවසේ පමණ සිට ථෙරවාදය.

මේ අග්නිදිග ආසියාතික රටවල භාරතීය බලපෑම චීන බල පෑමට වඩ වැඩි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. ඔවුන්ට රාමායණය හා මහා භාරතය බල පා තියෙනවා. අදත් තායිලන්තයෙ රාම රජු නමින් රජවරු හැඳින්වෙනවා. කාම්බෝජයේ රජවරු හිටියට ඔවුන්ට බලතල නැහැ. අප දන්න සිහනූක් කුමරු රජකු ලෙස සිට අගමැති වීම සඳහා රජකම හැර හිය අයෙක්. අපෙත් ජනාධිපතිලා අගමැතිලා වෙන්නෙ නම් ඒ විධියට ම නොවෙයි.

අපට රාමායණය හා මහා භාරතය එතරම් වැදගත් නොවන්නේ ඇයි? මාටින් වික්‍රමසිංහ නම් කියා තිබෙන්නේ ඒ ඊනියා යථාර්ථවාදී නොවන නිසා බවයි. මා නම් එය පිළිගන්නේ නැහැ. මාටින් වික්‍රමසිංහ බටහිර දැනුමෙන් නොමග ගිය අයෙක්. ඔහුට අවශ්‍ය වුනෙ සිංහල සංස්කෘතිය බටහිරට සමීප බව පෙන්වන්න. මෙරට බටහිර ගැති උගතුන් අතර වික්‍රමසිංහ ජනප්‍රිය වී ඇත්තේත් එබැවින්. අමරසේකරටත් ඒ ආභාසය තියෙනවා.

වික්‍රමසිංහ කීවට ජාතක කතා ඊනියා යථාර්ථවාදී නැහැ. රාවණ පැරද වූ පුවත ලංකාවේ ජනප්‍රිය වීමට ඉඩක් නැහැ. අපේ හිත්වල කොණක හරි රාවණ ඉන්නවා. අපට රාම වැදගත් නැහැ. ඔහු විෂ්ණු අවතාරයක් වෙන්න ඇති. අප විෂ්ණු දෙවියන් නම් අපේ දෙවි කෙනකු කර ගෙන. ඒ බෝසතුන් කෙනකු ලෙස බුදුහාමුදුරුවන්ට පහළින්.

මහා භාරතයේ චරිත තියෙන්නෙ අපට බොහෝ ඈතින්. අර්ජුන්වත් ක්‍රිෂ්ණවත් අපට වැදගත් නැහැ. මේ විෂ්ණු වටා ගෙතුණු චරිත. සමහරක් විෂ්ණුගෙ අවතාර. රාධලා, සීතලා, ද්‍රෞපදීලා අපේ නොවෙයි. අප ආර්ය සංස්කෘතියේ නො වෙයි. අපට ආර්ය සංස්කෘතියෙන් එතරම් දෙයක් ගන්න තිබුණෙ නැහැ. බුදුදහම අනාර්ය (ද්‍රවිඩ නොවන) සංස්කෘතියක බිහිවූවක්. ඒත් තායිලන්තය කාම්බෝජය වැනි රටවලට රාමායනය මහාභාරතය වැදගත් වුනා. ඒ කතා කාම්බෝජයේ හින්දු සිද්ධස්ථානවල ඇඳලා තියෙනවා. ඒ සමහරක් පසුව බෞද්ධ සිද්ධස්ථාන වෙලා. ආර්ය සංස්කෘතියට ආදි කාම්බෝජ සංස්කෘතිය යටපත් කරන්න හැකි වෙලා තියෙනවා.

කාම්බෝජය බෞද්ධ වුනෙත් භාරතයෙ බලපෑමෙන් මහායානය මගින්. එහෙත් මියන්මාරයෙ සිට ඒ රටවල් ථෙරවාද වෙන්න පටන් ගත්තෙ ලංකාවෙ බල පෑමෙන්. මගේ කල්පනාව එය අභයගිරියේ මැදිහත් වීමෙන් සිදු වූ බවයි. මහාවිහාරයේ මහාවංසයේ ඒ ගැන සඳහනක් නැත්තෙ එබැවින් වෙන්න ඕන. ඒ රටවලට ථෙරවාදය යන විට, දොළොස්වැනි සියවසෙන් පමණ පසු, භාරතයෙ මොන යානයක්වත් තිබුණෙ නැහැ. අප පමණක් ථෙරවාදය රැකගෙන හිටියා. අභයගිරියත් ථෙරවාද මධ්‍යස්ථානයක්. ඒත් එය අනෙක් අයටත් විවෘත වුනා.

කාම්බෝජයේත් වැව් තියෙනවා. ඛමර් භාෂාවෙන් කියන්නෙ බරෙයි කියලා. සමහරක් මහා විශාල වැව්. එහෙ වැව් හදල තියෙන්නෙ නවවැනි සියවසෙන් විතර පස්සෙ. වැව් කෘෂිකර්මයට වී ගොවිතැනට යොදා ගන්නවා. මේ වැව් ඒ කරවපු රජුන්ගෙ නමින් තටාක ලෙස හැඳින්වෙනවා. ජයවර්මන්තටාක වගේ. අපේ අභය වැව, තිසා වැව, පරාක්‍රම සමුද්‍රය වගේ. රජවරු බොහොමයක් විවිධ වර්මන්ලා. ජයවර්මන් වගේ. වර්මන් කියන්නෙ ආරක්‍ෂකයා කියන එක. ලංකාවෙ වම්මන්ලාත් (මානවම්ම ආදීන්) වර්මන්ලා. මේ පල්ලව බල පෑම.

ථෙරවාදී රටවල වැදගත් වන්නෙ කෘෂිකර්මය. ඉනුත් වී ගොවිතැන. මේ රටවල කෘෂිරසායනික වකුගඩු රෝගය පැතිර යනවා. එකල කැලණිය විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට අනුකූල ව පරීක්‍ෂණ කෙරුණා. එහි දී ආසනික් ගැන වැඩි අවධානයක් යොමු වුනා. කිවුල් ජලය පානය කරන්නන්ට ඒ වකුගඩු රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් තියෙන බවත් පෙනී ගියා.

කාම්බෝජ අත්දැකීමත් එක්ක අපට හිතන්න පුළුවන් වී ගොවිතැන එකී රෝගයට වඩා බල පාන බව. කුඹුරු ගොවිතැනෙහි ජලය රඳවා ගෙන ඉන්න වෙනවා. ගොවීන්, විශේෂයෙන් පිරිමින්, මේ වතුරේ වැඩි කාලයක් බැහැ ගෙන ඉන්නවා. අර කෘෂිරසායනික කෘමිනාශක මේ කුඹුරු වතුරෙහි රැඳී තිබෙනවා ද යන්න සොයා බලන්න පුළුවන්. ඒ වතුරෙන් යම් ආකාරයකට කෘෂිරසායන හමෙන් සිරුරට එක්වෙන්න පුළුවන් ද යන්න සොයා බලන්න ඕන. එකී වකුගඩු රෝගය වැඩියෙන් වැළඳෙන්නෙ පිරිමින්ට බවත් අමතක කරන්න එපා.

බටහිර රටවල් (ඉන්දියාවත් සමග එකතු වී) අද ථෙරවාද රටවලට විවිධාකාරයෙන් පහර දෙනවා. අපට අලුතෙන් හඳුන්වා දුන් වී වර්ගත් ඒවාට අවශ්‍ය කෘෂිරසායනික කෘමිනාශක අවසානයේ දී වී වගාව අපට නැති කර අප බටහිරයන් මත පමණක් යැපෙන ජාතීන් රටවල් බවට පත් කරාවි ද? කැලණිය විශ්වවිද්‍යාලය හරි රජරට විශ්වවිද්‍යාලය හරි නැවතත් කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ බටහිර විද්‍යාව ඇසුරෙන් පරීක්‍ෂණ ඇරඹිය යුතු ය කියල හිතෙනවා. ඒ සඳහා අනෙක් ථෙරවාද රටවල අයත් සහභාගි කරව ගන්න පුළුවන් නම් හොඳයි. සමහර විට එය ථෙරවාද රටවල් අතර සම්බන්ධයක් ගොඩ නගන්න හේතුවක් වේවි.

Advertiesment