Saturday 19th of September 2020

English Tamil
Advertiesment


රනිල්ගේ නායකත්වයට එරෙහිව රවී-සජිත් එක් වෙති


2019-12-22 8308

මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ස්ථාවරයට රවී හිස නමයි

 

රවීට එරෙහිව සිය කණ්ඩායම කළ යෝජනාව සජිත් ප්‍රතික්ෂේප කරයි

 

සජිත්-රවී දීගයෙන් රනිල් භීතියෙන් ඇළලී යයි

 

කරු ප්‍රධාන නායකත්ව මණ්ඩලය රවීගේ ස්ථාවරයයි

 

(උපුල් බණ්ඩාර)

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ වන විට එකට එක්ව සිටිති.

රවී කරුණානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමග මෙසේ එකට එක්වීම සම්බන්ධයෙන් වඩාත්ම කලබලයට සහ භීතියට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඔහු සිය සමීපතමයින් පිරිසක් සමග මේ නව ප්‍රවනතාවය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන්නේ අතිශය පරාජිත මානසිකත්වයකින් යුතුවය.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන යන මහා නා හිමිවරුන්ගේ අනුශාසනයට,ඉල්ලීමට සහ අවවාදයට හිස නමා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා සහ උප දේශකයා ලෙස සිටිය යුතු අතර පක්ෂයේ අනතර්කාලින නායකත්වයට දේශබන්ධු කරු ජයසුරිය මහතා පත් කරමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතුව පක්ෂය මෙහෙය වීම සඳහා තමාත්,සජිත් ප්‍රේමදාස,ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගෙන් යුතු පුර්ණ බලතල සහිත නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවය.

සජිත් ප්‍රේමදාස පාර්ශවයේ ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයම ඉල්ලා සිටියත් සජිත් ප්‍රේමදාස මහතා එවැනි ස්ථාවරයක නොමැති අතර ඔහු කතා නායක දේශබන්ධු කරු ජයසුරිය මහතා වෙත දුරකතනයෙන් පැහැදිළිව දැනුම් දී තිබෙන්නේ ඔහුගේ නායකත්වය සහ නායකත්ව මණ්ඩලය එක්ක සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට තමා සුදානම් බවය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට අතිශය සමීප කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් "lankanewsweek" සමග පැවසුවේ හොදම විසදුම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙසත් කරු ජයසුරිය මහතා පක්ෂ නායකයා වගේම නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙසත් ක්‍රියා කළ යුතු බවට ඉදිරිපත්ව තිබෙන යෝජනාව ක්‍රියාත්මක කිරීම බවය.

"lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතා දැනුම්වත් කරමින් ඉල්ලා සිටියේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරගෙන විපක්ෂ නායකවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලන කටයුතු වහාම ආරම්භ කරමින් ආණ්ඩුවට එරෙහිව රටත් ජනතාවත් වෙනුවෙන් විපක්ෂයට නායකත්වය දිය යුතු බව වන අතර ඊට සජිත් ප්‍රේමදාස මහතා ද එකඟ වූ බවය.

අජිත් පී. පෙරේරා,රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාල,චන්දානි බණ්ඩාර,සුජීව සේරසිංහ ,හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර ඉරාන් වික්‍රමරත්න ඇතුළු කණ්ඩායම, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එම ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුම යැයි තරයේ පුන පුනා කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ග්‍රාමීය ඡන්ද පදනමෙන් කෙසේ හෝ පාර්ලිමේන්තුවට යළි තේරී පත් වීමට බව පෙන්වා දුන් එම මන්ත්‍රීවරයා ඒ අයගේ එම දේශපාලන න්‍යාය පත්‍රය සහ උපාය මාර්ගය ගැන සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිළි අවබෝධයක් තිබෙන බවද පැහැදිළි කළේය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතා සාධනීය සංවාදයක් සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර මේ වන විට නිර්මාණය වී තිබෙන අතර මොවුන් දෙදෙනා දිනපතාම දුරකතනයෙන් අදහස් සහ යෝජනා හුවමාරු කර ගනිමින් සිටිති.

සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන මහත්වරුන් අතර ඇති වී තිබෙන මේ එකමුතුකම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පාර්ශවය පමණක් නොව සජිත් ප්‍රේමදාස පාර්ශවය ද අතිශය කලබලයට සහ භීතියට පත්ව සිටින අතර ඊට හොදම උදාහරණය වන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී අගහරුවාදා (10) රාත්‍රියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඔහුගේ කණ්ඩායමේ සුළු පිරිසක් කළ විශේෂ යෝජනාවය.

එම යෝජනාවවෙන් කිය වුණේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පහ කරන අතරම රවී කරුණානායක මහතා පක්ෂයේ උප නායක ධූරයෙන් පහ කළ යුතු බව වන අතර එම යෝජනාව ඉදිරිපත් වූ වහාම සජිත් ප්‍රේමදාස මහතා කළේ සියලු දෙනාම මවිතයට පත් කරමින් ඊට විරෝධය පා එම යෝජනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමය.

තමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණොත් තමා කරන්නේ සියලු දෙනාම එකට එකතු කරගෙන සමගි සම්පන්නව එකට යන වැඩපිළිවෙළක් සකස් කිරීම විනා ඒ ඒ පුද්ගලයින් ඒ ඒ තනතුරුවලින් පහ කිරීම නොවන බවය.

 

Advertiesment