Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


කට වරද්දා ගැනීමෙන් සිදු වූ විපතක්


2019-07-02 2670

 

 කායෝ තේ සබ්බසෝවණනෝ - සබ්බා  ඕභාසතේ දිසා

මුඛන්තේ සුකරස්සේව - කිං කම්මමකරී පුරේ

කායේන සඤ්ඤතෝ ආසිං - වාවායාසිං අසඤ්ඤතෝ

තේන මේ තාදිසෝ වණ්ණෝ - යථා පස්සසි නාරදා

තාං තාහං නාරද බ‍්‍රෑමි - සාමං දිට්ඨමිදං තයා

මාකාසි මුඛසා පාපං - මා ඛෝ සුකරමුඛෝ අහු

පේ‍්‍රතය : ඔබගේ ශරීරය පිරිසිදු රන්වන් පාටින් බබළයි. ශරීරයෙන් විහිදෙන ආලෝකය නිසා ඔබ සිටින තැන අවට ද ආලෝකවත් ය. මේ තරම් වර්ණවත් බැබලීමක් ඇති ඔබගේ මුඛය ඌරු කටක් බඳුය. පෙර ආත්මයක දී කෙබඳු පාප කර්මයක් කිරීම නිසා මෙවන් පේ‍්‍රත භවයක් ලබා සිටී ද ? ස්වාමිනි, නාරදයන් වහන්ස, මම පෙර ආත්මයක දී ඉතා හොඳින් කය සංවර කරගෙන සිල් ආරක්‍ෂා කළෙමි. එහෙත් මාගේ වචනයෙහි කිසිදු සංවරයක් නොතිබුණේය. මේ නිසා පේ‍්‍රතයෙක් වූවද මගේ ශරීරය දෙවියකුගේ සේ වර්ණවත් ය. කට සංවර කර නොගෙන අන් අයට නින්දා අපහාස කිරීම - නිග‍්‍රහ කිරීම - නපුරු කුරිරු වවන භාවිත කිරීම මෙවන් පේ‍්‍රත ආත්මයක් ලැබීමටත් ඔබ වහන්සේ දුටුවා සේ සූකර මුඛයක් (ඌරු කටක්) ඇතිවීමටත් හේතු විය. පින්වත් නාරද ස්වාමීන්ද්‍රයන් වහන්ස. මාගේ පාප කර්මයෙහි විපාක දැන් ඔබ වහන්සේ විසින් දක්නා ලදී. වාග් ද්වාරය නොහොත් කට සංවර කරගෙන කතා බස් කිරීමේ ඇති වටිනාකම ගැන ධර්ම දේශනා කරනු මැනවි. අන් අයට පහදා දෙනු මැනවි. මේ ඉහත සඳහන් කතා තුනේ අදහසයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙක්හි මෙම සූකරමුඛ පේ‍්‍රත වස්තුව දක්වාලමින් ධර්ම දේශනා කළ සේක. බුදු පියාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට ධර්ම දේශනාවට සූදානම් වෙත්ම, ආයුෂ්මත් නාරද තෙරුණුවෝ දහස් ගණන් මහා සංඝයා අතරින් නැගිට මහ පිරිසකටත් ඇසෙන සේ මෙසේ ප‍්‍රකාශ කරමින් ස්වාමිනි, බුදුරාජාණන් වහන්ස, මම ඉකුත් දිනෙක පෙරවරුවෙහි ගිජුකුළු පව්වෙන් බසින විට පුදුමාකාර පේ‍්‍රතයෙක් දුටුවෙමි. ඒ පේ‍්‍රතයා උසින් බඹ එකහමාරක් පමණ විය. ශරීරය වර්ණවත් ය. ඔහුගේ රන්වන් පාට සිරුරෙන් ආලෝකය විහිදේ. පේ‍්‍රතයා වටා ඉස්බක් පමණ දුර (බඹ 35) ඔහුගේ ශරීරයෙන් විහිදෙන ආලෝකය පැතිරෙයි. එසේ වුවද මේ ප්‍රේතයා  නිරුවත් ය. මුහුණ අතිශයින් විරූපී ය. මුඛය ඌරකුගේ කටක් බඳය. මේ වර්ණවත් ආලෝකය විහිදුවාගෙන හුදෙකලාව ජීවතය ගත කරන පේ‍්‍රතයාගේ කැත මුහුණක් ඇති විරූපී කටින් අතිශයින් ම භයානක දුර්ගන්ධයක් හමා යයි. කතා කිරීමට කට අරින විට ඒ අහළ පහළවත් සිටිය නොහැකි ය. බුදුපියාණන් වහන්ස, මම සමාපත්ති බලයෙන් ඒ දුර්ගන්ධය යටපත් කරගෙන ඔබ කවරෙක් දැයි විමසුවෙමි. පේ‍්‍රතයා මට කීවේ, ඔබ වහන්සේ මම විඳින දුක දුටුවා නේද ? මට කෑමක් නැත. සහගින්දරෙන් මෙතරම් දුක්වින්දත් මැරෙන්නේ නැත. බුද්ධාන්තරයක්ම අපා දුක් වින්දෙමි. අහෝ මාගෙ දුක කවදා කෙළවර වේද ? මගේ කට දෙස බලන්න. මගේ කටෙන් පිටවෙන දුර්ගන්ධය ගැන සිතා බලන්න. වචනයෙන් නම් කාහටවත් වරදක් කරන්න එපා යයි රට වැසියාට අවවාද කරන්න යැයි අතිශයින් මම බැගෑපත්ව ඒ පේ‍්‍රතයා මාගෙන් ඉල්ලා සිටියේය.

ආයුෂ්මත් නාරද තෙරුන්ගේ මෙම කතාවෙන් පසු ඒ පේ‍්‍රතයා ම මාතෘකා කොට එහි රැස්ව සිටි තිස් තහළිස් දහසක් පමණ වූ භික්‍ෂු, භික්‍ෂුණී උපාසික උපාසිකා යන සිව්වණක් පිරිසට ම බුදුපියාණන් වහන්සේ දම් දෙසමින් මෙසේ වදාළ සේක.

කාශ්‍යප බුදුරදුන් දවස එක් බ‍්‍රාහ්මණ තරුණයෙක් ගිහිගේ ගැන කලකිරී පැවිද්දට පත්වූයේය. ඔහු සැදැහැවත් ය. මහණකමට බෙහෙවින්ම ආදරය කළේය. හිත කය වචනය යන තුනෙන් කය නොහොත් ශරීරය ඉතාමත්ම ඉහළ මට්ටමින් සංවර කර ගෙන සිල් රකින ලද්දේය. ප‍්‍රාණඝාතය - සත්ව හිංසාව - හොරකම සහ වැරදි හැසිරීම්වලින් තොරව කායික වශයෙන් සංවරශීලිව සිල් කරන ලද නමුදු, වාක් සංවරය නැත්තෙක් විය. නිරන්තරයෙන්ම අන් අයට කතා කරනු ලබන්නේ පහත් ලෙසය. සැර පරුෂ වචනවලින් අනෙකුත් ගිහි පැවිදි අයට බැණ වැදීම මේ ගෝවින්ද භික්‍ෂුවගේ ස්වභාවයයි. නිරන්තරයෙන් ම කතා කරන්නේ අන් අයගේ ඇද පළුඳු ම ඉස්මතු කරගෙනය. අන් අයට මදි පුංචිකම් ඇතිවෙන අයුරු හෙළා - තලා - පෙළා කතා කිරීම ගෝවින්ද භික්ෂුවගේ නරකම ගතියක් විය. අනෙකුත් භික්‍ෂූන් වහන්සේලා ද නොයෙක් අවස්ථාවන්හිදී මෙසේ අනුන්ගේ ඇද පළුඳු නො සොයා  ඕපාදුප කතා නොකොට වාග් සංවරය ඇති කර ගන්නැයි අවවාද කළ විට ද මහණෙනි. මේ භික්‍ෂුව අනෙක් භික්‍ෂූන් වහ්නසේලාට බැණ වැදුණේය. දායක භවතුන්ට බැණ වැදීම කෝපයෙන් වේවල වෙවුලා කෑගැසීම නිසා ගෝවින්ද භික්‍ෂුව ගිහි පැවිදි සෑම දෙනා අතර අප‍්‍රිය පුද්ගලයෙක් බවට පත් වූයේය. අනෙකුත් භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේගේ ඇසුර අත්හළේ ය. දායකවරු ද ගොවින්ද භික්‍ෂුව ඇසුරෙන් පහ කළේය. එසේ වුවත් ගෝවින්ද භික්ෂු නම අතිශයින් ම කායික සංවරයෙන් යුක්තය. කට හොඳ නැති නිසා පිරිස අතරින් ඈත් වුවද ඔහු කායික වශයෙන් සිල්වත් එම වාසය කළේය.

මහණෙනි, මෙතෙමේ එදා බුද්ධ පුත‍්‍රයෙක් ව කායික සංවරයෙන් යුතුව විසූ නමුත් වාග් සංවරයෙන් තොර වීම නිසා මරණින් පසු අවීචි මහා නරකයෙහි උපත ලද්දේය. බුද්ධාන්තරයක් ම අපා දුක් විඳ ඉන් මිදී දැන ප්‍රේතයෙක්ව උපත ලබා අපමණ දුක්  විදී. කායි කසංවරය නිසා බබළන ශරීරයක් අලෝක විහිඳුවන් සිරුරක වර්ණවත් හැඩයක් ඇතිව පේ‍්‍රත ආත්මයෙහි වුවද උපත ලද්දේ ය. එදා පැවිදි ජීවිතය ගත කරද්දී අන් අයට නිග‍්‍රහ කිරීම නිසා නිතර බැණවැදීම නිසා සැරපරුෂ ලෙස කතා කිරීම නිසා කැත කතා කුණුහරුප කතා කිරීම නිසා අපාදුක් විඳිනවා මදිවාට ප්‍රේත ආත්මයෙහි ද උපත ලබා දුඟද හමන සූඛර මුඛයක් ඇත්තකු විය. මහණෙනි, මේ තමා පින් පව්වල විපාක මේ ප්‍රේත යාගේ මුඛයෙන් ඉතා දරුණ කුණු ගඳක් පිටවේ. කට ඇරිය විට ඊටත් වඩා දරුණු ගඳකි. ඔහුට ආහාරයක් නැත. කුසගින්නෙන් තැවේ. එසේ වුවද මහණදම් පුරද්දී රකින ලද කායික සංවරය නිසා වර්ණවත් ආලෝකයක් ලැබී ඇත. එහෙත්, ඒ දෙකින් ම අද ඔහුට ප‍්‍රයෝජන නැත. එදා පැවිද්දෙක්ව කරකියාගත් ඒ පාපකර්මයන්හි විපාකවලින් ඔහුගේ පින වැසී ගොස් ඇත. පාපයම මතු වී ඇත.

මහණෙනි, කුසල් අකුසල් ගැන සිතා මේ ප්‍රේතයා ම ආදර්ශයට ගෙන කාය සංවරයත් - වාක් සංවරයත් මනෝ සංවරයත් ඇති කර ගත යුතු යයි වදාරමින් තමන් වහන්සේ බුදුබවට පත්වන අවස්ථාවේදී චූතුප්පාත ඤාණය පහළවෙත් ම ඔය ප්‍රේතයා  ද දුටු බව පවසමින් දම් දෙසූ සේක. ඒ දම් දෙසුම අසා බොහෝ දෙනා කායික වාචසික හා මානසික සංවරය ඇති කරගෙන මාර්ගඵලාවබෝධය ද ලබාගත්හ.

 

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය සහ කතරගම උපාලි ධර්මාශ්‍රමාධිපති අග්ගමහා පණ්ඩිත 

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි 

Advertiesment