Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


අලුත් ඩෙංගු භයානකයි


2019-12-20 2008

ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු කිරීම සඳහා සිදු කරන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසයට ප්‍රභේද හතරක් පවතින අතර කිසියම් පුද්ගලයකු රෝගයට වරක් ගොදුරු වුවහොත් ප්‍රතිශක්තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක් නිසා ඒ පුද්ගලයා නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදි එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

මේ වන විට ඩෙංගු රෝගය නවතම වේශයකින් කරලියට පැමිණ ඇති බවට වාර්තා වේ.

එක් පුද්ගලයකු හතර වතාවක් ඩෙංගු රෝගයට ගොදුරු විය හැකිය. ඩෙංගු රෝගය ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩ හතරක් පවතින බැවිනි. කාණ්ඩ 01, කාණ්ඩ 02, කාණ්ඩ 03, කාණ්ඩ 04 ලෙස මෙම වෛරසය පුද්ගලයන්ට වැලඳේ. මේ දිනවල වෛරස් කාණ්ඩ 3 වැලඳුණු රෝගීන් වැඩිපුර වාර්තා වන බව වෛද්‍යවරු පවසති. රෝග ලක්ෂණයන්හි වෙනසක් නොවන අතර එකම රෝග ලක්ෂණ වාර්තා වීම මෙහි විශේෂත්වය වේ. කිසියම් කෙනකුට උණ රෝගය වැලඳී ඇති බව වාර්තා වුවහොත් ඩෙංගු බවට සැක කිරීමෙන් ජීවිත අවදානම වළක්වා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ. මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අරමුණ වී තිබේ. මදුරුවාට බෝ විය නොහැකි ලෙස පරිසරය පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. අපි සියලු දෙනාම එකා මෙන් පරිසරය පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු උවදුර වළක්වා ගත හැකිය.

ඩෙංගු වෛරසය ශරීරගත වූ මුල් අවස්ථාවේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වන අතර සාමාන්‍ය සුළු උණ, ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ යනාදි ලක්ෂණ පසුව රෝගියාගෙන් වාර්තා වේ. අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය වාර්ථා වන්නේ ඉතා කලාතුරකිනි. ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැනු මදුරුවන් මඟින් ව්‍යාප්තවේ. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගත වූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි. ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය වැලඳීමේ අවදානමක් පවතී. පුද්ගලයකුගේ වයස, ප්‍රතිශක්තිකරණය සහ ඩෙංගු රෝගයේ ප්‍රභේද මත රෝගයේ ස්වාභාවය වෙනස් විය හැකිය. එසේම සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ වැනි අවදානම් අවස්ථාවලට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදි සාමාන්‍ය උණෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මණින් සුවපත් වන අතර අවදානම් අවස්ථාවලදි රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය.

ඩෙංගු උණෙහි අවදානම් අවස්ථා හඳුනා ගැනීමට රෝග ලක්ෂණ දැන සිටීම වඩාත් වැදගත් වේ. උණ සමඟ හිසරදය හා ඇස් යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම, රුධිර වහන තත්ත්වයන් ඇති වීම යනාදි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්ය. ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ නම් සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් එය ඩෙංගු බවට සැක කර ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

රුධිර පරීක්ෂාව

ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු කිරීම සඳහා සිදු කරන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසයට ප්‍රභේද හතරක් පවතින අතර කිසියම් පුද්ගලයකු රෝගයට වරක් ගොදුරු වුවහොත් ප්‍රතිශක්තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක් නිසා ඒ පුද්ගලයාට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදි එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. හොඳින් විවේක ගැනීම සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම එහිදී වැදගත්ය. උණ රෝගය වැලඳීමෙන් පසුව වෛද්‍යවරයා විසින් දින දෙකකට පසුව FBC පරීක්ෂාව කර රෝගියා රෝහල්ගත කළ යුතු ද යන්න තීරණය කරයි. එම FBC පරීක්ෂාව සාමාන්‍ය වුවත් පසුදින නැවත වරක් එය සිදු කළ යුතුය. ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවක් ලෙස ඩෙංගු රක්තපාත උණ හඳුන්වා දිය හැකිය. උණ සමඟ ඇති වන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන නිසා ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ.

උණ බැස යාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට විශේෂයෙන් පෙනහලු ප්ලූරා පටල අතරට උදර කුහරයට ප්ලාස්මා තරලය කාන්දු වීම සිදු වේ. මෙවැනි දෙයක් සාමාන්‍යයෙන් උණ රෝගය වැලඳී තෙවැනි දිනයේ හෝ ඊට පසුව සිදු වන අතර දිනපතා සිදු කරන රුධිර පරීක්ෂාවන්හි වෙනස්කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත්කමින් අඛණ්ඩවම ප්ලාස්මාව කාන්දු වීමෙන් කම්පන අවස්ථාවට පත්වීමේ අවදානමක් පවතී. ඇතැම් රෝගීහු කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරති. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්ය.

අවදානම් ලක්ෂණ වනුයේ උදරයේ ඇති වන තද වේදනාව, නොනවත්වා වමනය පැවැතීම, අධික නිදිමත බව, නොසන්සුන් බව, අප්‍රාණික බව, රුධිරය වහනය වීම, පැය හයකට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිට වන මුත්‍රා ප්‍රමාණය අඩු වීම යනාදියයි.

උණ වැලඳුණ විට වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේක ගත යුතුය. උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාලසීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබාදිය යුතුය. තද උණ පවතින්නේ නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියා තැවීම කළ යුතුය. වේදනා නාශක ඖෂධ NSAID's කාණ්ඩයේ ඖෂධ සහ ස්ටීරොයිඩ් භාවිතයෙන් උණ සහ ඇඟපත වේදනාව අඩු වුවත් එමඟින් ඩෙංගු රෝගයේ බරපතළ සංකූලතා ඇති විය හැකිය. තවද රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්න ඇති වන නිසා රෝගය උත්සන්න වී ශරීරයේ අභ්‍යන්තරය තුළ අධික ලෙස රුධිරය වහනය විය හැකිය. ඇස්ප්‍රීන්, ඩික්ලොෆැනැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන් ඖෂධ වර්ග උණ රෝගයේදි භාවිතා නොකළ යුතුය.

රෝගය වැලඳී ඇති විට උණ හා වමනය නිසා ඇති වන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කළ යුතුය. එහිදී තැඹිලි වතුර,‍ කැඳ, කිරි, ජීවනී, පළතුරු යුෂ යනාදිය පානය කළ යුතුය. ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණයෙන් නිරතුරුවම දරුවන්ට ලබා දිය යුතුය. රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණයක් බැඟින් අර්ධ ඝන සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබාදීම සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. අභ්‍යන්තර රුධිර වහනයන් හඳුනා ගැනීමට පහසු වන පරිදි රතු හා දුඹුරු ආහාර හා දියර වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. ගර්භණී මවුවරුන්, අවුරුද්දට වඩා අඩු දරුවන්, අධි බර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයන්, නිදන්ගත රෝග සහිත පුද්ගලයන් අවදානම් ලක්ෂණ නොමැති වුවත් උණ රෝගය වැලඳී ඇත්නම් රෝහල්ගත වීම වැදගත් ය.

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇති වීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත් වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම, මොළයට සිදු වන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදු විය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසුව වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂන සමය දින තුනක් හතරක් අතර කාලයක් පවතියි. ඉන්පසුව ඇති වනුයේ උණ අවධිය වන අතර එය දින 2 ත් 10 ත් අතර කාලයක් පවතියි. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින නිසා මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය ඇතුළු වී රෝගය ව්‍යාප්ත විය හැකිය. සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තෙක් එනම් උදෑසන 7 සිට 10 පමණ වන තෙක් ද, සවස 4 සිට රාත්‍රී 7 වන තෙක් ද දෂ්ට කරයි. මෙම කාලවලදී දෂ්ටනවලින් වැළකිය යුතුය. අත්පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇදීම, මදුරු දැලක් යට විවේකීව සිටීම, මදුරු විකර්ෂක ද්‍රව්‍ය භාවිතය කළ යුතුය. සෑම සතියකම විනාඩි 30 ක් තමා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වැය කරන්නේ නම් මෙම රෝගය අවම කර ගත හැකිය.

මේ වන විට ඩෙංගු රෝගීන් 90,000 ක් සහ මරණ 90 ක් පමණ වාර්තා වී තිබේ. 2017 වසරට සාපේක්ෂව රෝගීන්ගේ වාර්තා වීමේ බොහෝ අඩුවක් දක්නට ලැබේ. වසරක් හැර වසරක් සාමාන්‍යයෙන් රෝගීන්ගේ වැඩි වීමක් සිදු වේ. මේ වසරේ අපේක්ෂා කළ තරම් රෝගීන්ගේ වැඩි වීමක් නොමැත. වසර 2017 දි රෝගීන් 196,000 ක් පමණ වාර්තා විය.

බැක්ටීරියා පිළිතුර

ඩෙංගු රෝගය මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව භාවිතය රටට හඳුන්වාදීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතිය ලබන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කෙරේ. කෘමීන්ගෙන් සියයට 60 ක් තුළ ස්වාභාවිකව ඇති වන බැක්ටීරියාවක් වන වොල්බැකියා රැගෙන යන මදුරුවන් පරිසරයට මුදා හැරීම මෙමඟින් සිදු කරයි. ඊඩිස් ඊජිප්ටයි මදුරුවාට වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් මෙම රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පාලනය කරයි. වොල්බැකියා ශරීරගත වූ මදුරුවන් මුදා හරින ලොව අංක එකේ නගරය වනුයේ ඕස්ට්‍රේලියාවේ කේන්ස් ය. වසර අටක් තිස්සේ එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී නොමැත. ඉන්දුනීසියාවේ යෝග්‍යකර්තාහි කළ අත්හදා බැලීමේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ, කලින් අත්හදා බැලීම් නොකළ ප්‍රදේශයකට සාපේක්ෂව වොල්බැකියා රැගෙන යන මදුරුවන් මුදා හරින ප්‍රදේශවල රෝග ව්‍යාප්තියේ සියයට 76 ක අඩුවක් ඇති බවය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණවලට අනුව මෙම ලෝක මදුරු මර්දන වැඩසටහන රටවල් 12 ක මිලියන 4.4 ක ජනතාවක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ. එය වසර 2023 වන විට ලොව පුරා මිලියන 100 ක ජනගහනයක් ඉලක්ක කරගෙන ව්‍යාප්ත කෙරේ.

ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි ඩෙංගු මදුරු බිත්තර මෙරටින් ඕස්ට්‍රේලියාවට ගෙන ගොස් බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් පසුව නැවත එම බිත්තර මෙරටට ගෙනැවිත් මදුරුවන් පරිසරයට මුදා හරිනු ලැබේ. මෙසේ බිත්තර එරටට ගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ පවතින තාක්ෂණය මෙරට නොපැවතීම නිසාය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකක් තෝරා ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සහ කොළඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඩී 1 නම් වූ කොට්ඨාස දෙකේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. බැක්ටීරියාව ඇතුළු කළ මදුරුවන් සති 12 ක් 20 ක් කාලයක් ගත වූවාට පසුව නිදහස් කරයි. කාලයක් ගත වන විට වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත වූ මදුරුවන්ගේ ගහණය ඉහළ යාමෙන් ඩෙංගු වෛරසය තිබෙන මදුරුවන් නැතිව යාමක් සිදු වේ. ඕස්ට්‍රේලියාව, වියට්නාමය, බ්‍රසීලය, කොළොම්බියාව ඇතුළු රටවල් 12 ක මෙම ක්‍රමවේදය අනුගමනය කරයි.

විශේෂ ස්තුතිය - ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, වෛද්‍ය නිලධාරි ඉන්දික වීරසිංහ මහත්වරුන්ට.

 

දිනමිණ
Advertiesment