Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


මූලා වූ සමාජය කලාවෙන් ගොඩනගමු


2019-07-02 3518

 සිංහල භාෂාව යනු හෙළදිව වැසියන්ගේ භාෂාවයි. තවත් ලෙසකින් කියත හොත් සිංහල ජනතාවගේ භාෂාවයි. සිංහල දිවයිනේ හෙවත් ශ්‍රී ලංකාද්වීපයේ  වෙසෙන සිංහල  නොවන පුරවැසියන් ද සිංහල භාෂාව උගත යුතුය. එමඟින් වර්ග භේදය තුනී වෙයි. කා අතරත් සමඟිය, සාමය, සහයෝගය තහවුරු වෙයි.

තුන්සිංහලයෙහි එකීය භාවයට එක්සේසත් බවට ශ‍්‍රී ලාංකේයනට අවස්ථාව සැලසෙනුයේ එමඟිනි. එක කොඩියක් සෙවණේ ජීවත්වීම තරම්ම එක භාෂාවක් භාවිතයට ගැනීම වැදගත් වේ. එමඟින් පාලන කාර්යය ද පහසු වෙයි. සිංහලය රාජ්‍ය භාෂාව විය යුතුය’ යන්නෙහි මේ ගැඹුරු අරුත බොහෝ දෙනෙකුට වැටහී නැත. අපේ පාලකයන්ද තේරුම් ගෙන නැත. 1956 දී සිංහල භාෂාව රජයේ භාෂාව කිරීම ජනවාර්ගික අරගලයට මුල්වීය යන්න මුසාවකි. තුන් සිංහලය එක්සේසත්ව සිංහ ධඡුය යටතේ ඒකරාශී වන ඒ තුළ සමඟිය තහවුරු වන මෙවක සිංහල භාෂාව ද යථා තත්ත්වයට පත්කර ගැනීමේ වැදගත්කමත් අවශ්‍යතාවයත් අවධාරණය කළ යුත්තකි.

 සිංහලයා ජාතියක් වශයෙන් ස්වාධීනව උදාරව ප්‍රෞඩව ඉහළට නැඟුණේ සිංහල භාෂාව මුල්කොට ගෙනය යන්න බහුමානව පිළිගැනෙයි. එය අපේ මවුබස, අපේ චින්තනයේ බසය, එය ප‍්‍රගුණ කරන සැටියෙන් ඔහු චින්තනයෙන් ඉහළට යයි. බුද්ධියෙන් වර්ධනය වෙයි. ප‍්‍රඥාවෙන් දියුණු වෙයි. ආධ්‍යාත්මික දියුණුව ද එමඟින් සැලසෙයි. ස්වාධීන චින්තනයෙහි කෙනෙකුට වැඩදායකව සිටිනුයේ මවුබස බව අවධාරණය කළ යුත්තකි.

භාෂාව හොඳින් නූගත් විට ඔහු සමාජයේ නොබබලයි. චින්තන ශක්තිය හීන වෙයි. බුද්ධිය ප‍්‍රඥාව නොවැඩෙයි. පෞරුෂය දුර්වල වෙයි. ප‍්‍රකාශන විලාසය සිත් නොගනී. එහෙයින්ම සමාජ ප‍්‍රිය ගුණයෙන් ඈත්වෙයි.

භාෂාවල කලාවල සංස්කෘතිය, සාහිත්‍යය ආදී සියලූ විෂයන් හා බැඳෙන බවත් ඒ සියල්ලෙහි ප‍්‍රභාව එමඟින් උද්දීපනය වන බවත් අවධාරණයෙන් සඳහන් කළ යුත්තකි.

කලාව වූ කලී සත්‍ය ගවේෂණයයි. සෞන්දර්යය නිරූපණයයි. තමන්ගේ සිතෙහි පහළ වන හැඟීම් තමන් විඳගන්නා අනුභූතීන් තමන්ගේ සාරවත් අත්දැකීම් පරිකල්පනයෙන් යුක්තව කිසියම් මාධ්‍යයකින් අපූර්ව ලෙස ඉදිරිපත් කොට සහෘදයා තුළ චමත්කාරය දැනවීම කලාවේ පරමාර්ථයයි.

ඔනෑම උසස් කලා කෘතියක්, චිත‍්‍රයක්, මූර්තියක්, ගීතයක්, නාට්‍යයක්, කවියක්, කෙටි කතාවක්, නවකතාවක්, සිනමාපටයක් හෝ කේවල රංගනයක් එම නිර්මාණාත්මක ගුණ අපට අපූර්ව වින්දනයකල නොමද සතුටක් ගෙන දෙතොත් පමණකි එය කලා කෘතියක් වනුයේ.

කලාව ජනතාව රසවත්ව තබනවා පමණක් නොවන ප‍්‍රබුද්ධව ද තබයි. ප‍්‍රඥාවෙන් ආනන්දයෙන් ජනතාව පෝෂණය කරන්නේ ද සමාජය විශිෂ්ට ගමනකට යොමු කරන්නේ ද කලාව මගිනි. මිනිස්කම කාන්දුවිය නොදී සමාජය ශිෂ්ටව සදාචාරවත්ව තබාගැනීම ද කලාවේ පරමාර්ථයකි.

අපේ සංස්කෘතිය ද ඉතා සියුම් ලෙස මේ සමග බැඳී පවතී. සංස්කෘතිය වූ කලී අපේ හරවත් සාම්ප‍්‍රදායික පැවැත්මයි. සාරධර්ම හා පුරුෂාර්ථය වෙතින් මිනිසා ඉහළ තලයකට ගෙන යෑමද සංස්කෘතියේ මෙහෙවරකි. ජාතියේ අනන්‍යතාවල දේශයේ අනන්‍යතාවල ජනතාවගේ හෙවත් සමාජයේ අනන්‍යතාව රඳවාගෙන එහි සුවිශේෂතාව ලොවට කියාපන්නේ ද සංස්කෘතියෙනි. කලාවේ හා සංස්කෘතියෙහි ප‍්‍රවාහකයා භාෂාවයි. භාෂාවකින් තොරව මිනිසාගේ පැවැත්මක් නැත්තා සේ පිළිගැනෙයි. එහෙයින් පළමු කොට භාෂාව මව්බස නිසිලෙස මැනවින් අධ්‍යනය අතිශයින් වැදගත්.  තමන් උපන්බිමේ බස තමන් වෙසෙන බිමේ බස උගත යුතුය. එයට ආදරය කළ යුතුයි.

සිංහල භාෂාව මෙන්ම සංස්කෘතිය හා ප‍්‍රතිබද්ධ නොවුණු කෙබඳු කලා කාර්යයක් වුවද සාර්ථකව දිගට නොරඳයි. මදාවියෙන් කෙළවර වන බොහෝ සාහිත්‍ය මාර්ග මෙන්ම වෙනත් කලා කාර්යයන් ද මෙයට නිදසුන් කළ හැකිය.

සිංහල සංස්කෘතියෙහි මුල් අතරින් ඇදී නොඑන කිසිඳු කලා නිර්මාණයකට පොදු පාඨක නොහොත් පේ‍්‍රක්‍ෂක සහාය නොදෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. චිත‍්‍රය, මූර්තිය, කවිය, සංගීතය, ගීතය, නැටුම්, නාට්‍යය සිනමාව ආදී කෙබඳු කලා ක්‍ෂේත‍්‍රයන් ගැන වුවද සත්‍යය එයයි. මෑත අතීතයේ අභාවයට ගිය හා පරිහානියට ගිය මේ යම් යම් කලා ක්‍ෂේත‍්‍රයන් ගැන සඳහන් කිරීමට මෙහිදී අදහස් නොකෙරේ. මේ ලිපියේ අභිප‍්‍රාය අනෙකක් හෙයිනි.

කලාව මානව සංහතියෙහි යහපත සඳහාය. කලාව සමාජයේ සංවර්ධනය උදෙසායි . උසස් ආකල්ප ඇති කරනු පිණිස කලාව ජනතාව ප‍්‍රබුද්ධව තබාගැනීම සඳහායි . සමාජ පෞරුෂය, ප්‍රෞඩත්වය ගොඩනැඟිය යුත්තේ කලාවෙන්ය, යන පරමාර්ථ කිසිවක් අද සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.

එය අද හුදෙක් බොලඳ ආස්වාදයට පහත් විනෝදයට පමණක් සීමා කොට ගෙන ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආගම, සාරධර්ම, පුරුෂාර්ථ උසස් ආකල්ප වෙතින් ඈත් වූ සමාජයක් බිහිවී නැතැයි කීම සාවද්‍ය නොවේ. වර්තමාන සමාජය මේ අතින් කුණු ගඳ ගසන සමාජයක තත්ත්වයකට පත් වී නැතිද ? දිනපතා අසන්නට ලැබෙන අපරාධ සංඛ්‍යාව විශාලය.

දුෂ්චරිත තුළින් මුළු රටම ගිලගෙන තිබේ. මේ දුර්දාන්ත පැවතුම් නැතහොත් මිලේච්ඡුත්වය කෙරෙහි කිසිඳු තැනකින් හෙලන බැල්මක් නොවීම ජාතියේ අවාසනාව නොවේද ?

කන්න දෙනවනම්

බොන්න දෙනවනම්

මොන කෙංගෙඩියද තව  ඕන කියන්නේ

යන සංකල්පය ඉතා සියුම් ලෙස තරුණ සිත්වලට පමණක් නොව පව්කාර මිනිසුන්ගේ සිත්වලට ද ඇතුළු කොට එළිපිට නිරුවතින් නටන සමාජයක් හරසුන් සරුව පිත්තල ලෝකයක් මවා පාමින් සමස්ථ ලාංකේය සමාජයම විනාශ මුඛයට ගෙන යන ආකාරය තවදුරටත් බලා සිටිය යුතු ද ? එහෙත් පිළිතුරක්, විසඳුමක් පැතිය හැක්කේ කාගෙන්ද ?

අපේ දේශය, අපේ ජාතිය, අපේ ආගමල අපේ භාෂාව - අපේ සාහිත්‍යය, අපේ කලාව අපේ සංස්කෘතිය ආදී වචන අලංකාරවත් ලෙස ලෙළවා වමාරන ඊනියා විද්වතුන්ගේ හා කලාකරුවන්ගේ ව්‍යාජය ප‍්‍රකටව පෙනී යන්නේ, එම ශ්වසනයන් තුළින්මයි.

දේශය පිළිබඳ අභිමානයක්, ජාතිය පිළිබඳ වාත්සල්‍යක් ආගම පිළිබඳ භක්තියක් ජනතාව පිළිබඳ ආදරයක්, කලාව සංස්කෘතිය පිළිබඳ කැක්කුමක් ඔවුන් කැළම තුළ නැත. එහෙත් ඔවුහු කලාව බී ගත්තෝය. සංස්කෘතිය නා ගත්තෝය. කවිය සාහිත්‍ය වැළඳ ගත්තෝය. ඒ ඒ නොයෙක් දෙයට මෙන්ම දේශපාලන හා ජාතික වීරයන් අප අතර කොතෙක් වෙතැයි කිව හැකිද ? ඉතින් අප අපේ පරිහානිය ගැන විනාශය ගැන කාගෙන් පිහිටක් පතමුද ?

තවත් දෙසකින් බලන විට මොවුන්ගෙන් වන විනාශය බරපතළය. ජනතාව අපේක්‍ෂිත ඉලක්ක කරා යන ආධුනික කලාකරුවන්ට සිදුවන හානිය මේ අතින් අවධාරණය කළ යුත්තකි.

ප‍්‍රසිද්ධිය පිළිබඳව ආශාවන්ගෙන් නලියන අපේ ඇතැම් එබඳු විද්වතුන් කලාකාර භවතුන් නිසා බොහෝ ප‍්‍රවීණ මෙන්ම ආධුනික කලාකරුවන්ට  හා ශිල්පීන්ට සිදුවන හානිකර තත්ත්වය හා කොන් කිරීම ඔවුන්ගේ හා ඔවුන් අගය කරන පිරිසකගේ පිළිකුලයට තමන් පාත‍්‍රව සිටින බව ඔවුන් නොදනිතියි කාට කිව හැකිද ?

විද්‍යාවේත් තාක්‍ෂණයේත් ඉදිරි ගමන ලෝකයේ දියුණුවට හේතු වී ඇතත් මිනිසාගේ දියුණුවට හේතු වී තිබේද ? එම ඉදිරි ගමන සිදුවනුයේ මිනිසා අසරණ කරමින්ය. අනාරක්‍ෂිත කරමින්ය. කීම සාවද්‍යද ? මෙම අසරණ අනාරක්‍ෂිත තත්ත්වයෙන් මිනිසා මෑත් කොට ගත හැක්කේ ඔහුට සැනසිල්ලක් අත්පත් කොට දිය හැක්කේ කලාවටය. සාහිත්‍යටයල කවියටය, ගීතයටය, නැටුමටය, කාව්‍යයටය, සංගීතයටය, මූර්තියටය, චිත‍්‍රයටය. එහෙත් මෙම සමහර කලා කාර්යයන් මිනිසා අපචාරී මිලේච්ඡුත්වයට ගෙන ඒමට තරම් කලා පරමාර්ථ වෙතින් ඉවතට ගොස් ඇතැයි කීම කාට වුවද පිළිගැනෙන සත්‍යයකි.

මිනිස්කම කාන්දු වී ගොසිනි, එහෙයින් මනුෂ්‍ය ජීවිතයෙහි අගය හීන වී ඇත. වටිනාකම බාල වී ඇත. තාක්‍ෂණය එක් පැත්තකින් ජනතාව මුලා කොට තබයි. දවසින් දවස මිනිසා අභ්‍යන්තර අතෘප්තිකර ආශාවන්ගෙන් පෙළෙමින් අනර්ථයටල විපතට යොමු වී ඇතැයි කීම ප‍්‍රත්‍යක්‍ෂව පෙනී යන කරුණකි. එහෙයින් එම පැවතුම් නිසා සමාජය අනාරක්‍ෂිතව අතරමං ව ඇති බවද සත්‍යයකි. මේ පැවැත්මේ අවසාන ප‍්‍රතිඵලය කුමක් විය හැකිද ? ඒ ගැන සිතීම ඔබට ඉඩ තබා මම මේ ලිපිය කුඩා කවියකින් අවසන් කරමි.

‘කළු හීනටි බතේ

සුවඳයි ඇල් කෙතේ

ඇයි මේ නිදිමතේ

නැඟිටින් මගෙ පුතේ’

-මහාචාර්ය බන්දුසේන ගුණසේකර-

Advertiesment