Saturday 26th of September 2020

English Tamil
Advertiesment


අර්බුදයේ අත්තිවාරම්


2019-12-15 2563

(වික්ටර් අයිවන්)

මෙම ජනාධිපතිවරණයට සැබෑ ලෙස තරග කළ තරගකරුවන්ට ලස්සන මැතිවරණ ප‍්‍රකාශන තිබුණද ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය ජයගන්නේ කෙසේද යන මූලික ප‍්‍රශ්නයට පිළිතුරු දෙන ප‍්‍රායෝගික වැඩසටහනක් ඇතුළත් මැතිවරණ ප‍්‍රකාශන ඒ කිසිදු අපේක්ෂකයකුට නොතිබුණේය. ලංකාවේ ණය අර්බුදය ලංකාව විසඳා ගත යුතුව තිබුණ එකම ප‍්‍රශ්නය නොවුණත් විදේශ ණය බර ලිහිල් කරගැනීම සඳහා වන ප‍්‍රායෝගික අදහසක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලේවත්ත පමණය.

ජනාධිපතිවරණයට තරග කළ සියලූ අපේක්ෂකයන් තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටියේ සාමාන්‍ය තරමින් හෝ හොඳ සෞඛ්‍ය තත්ත්වයක තිබූ රටක් නොව, සෑම අංශයකින්ම බංකොළොත්භාවයට පත්ව තිබූ රටකි. එම අවාසනාවන්ත තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා වන ප‍්‍රායෝගික දැක්මක් තමන්ට තිබෙන බව සාම්ප‍්‍රදායික හෝ විකල්ප ගණයට වැටෙන එකදු අපේක්ෂකයකුවක් පළකර තිබුණේ නැත.

රටේ අර්බුදය

රටක් වශයෙන් ලංකාව පත්ව තිබෙන ඛේදජනක තත්ත්වය මෙසේ පිඬු කළ හැකිය.

1. සමාජ ක‍්‍රමය තිබෙන්නේ සමාජ ක‍්‍රමයක තිබිය යුතු සමගිය හා ඒකාග‍්‍රතාව බිඳ වැටුණු පසමිතුරු ආකල්පවලින් යුතු වාර්ගික හෝ ආගමික හේතු මත ඕනෑම මොහොතක ගැටුම් ඇතිවිය හැකි තත්ත්වයකය.

2. රාජ්‍ය තිබෙන්නේද එහි ප‍්‍රධාන බල මණ්ඩල තුන ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සංවරණය හා තුලනය බිඳ වැටුණු, රාජ්‍ය ආයතන ක‍්‍රමයක තිබිය යුතු කාර්යක්ෂමතාව අහිමි කරගත් දූෂණයෙන් කුණුවූ අවුල්සහගත තත්ත්වයකය.

3. රාජ්‍යයේ හා එහි ආයතන ක‍්‍රමය ක‍්‍රියා කළයුතු ස්වභාවය හා පුරවැසියන් අතර තිබිය යුතු අන්තර් සම්බන්ධය නිශ්චය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද දිගින් දිගට කරන ලද කෙළසීම් නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග‍්‍රතාව අහිමි කරගත් අවුල්සහගත තත්ත්වයකය.

4. නීතිය ක‍්‍රියාත්මක කිරීම හා නීතිය පසිඳලීම සඳහා වන ආයතන ක‍්‍රමය තිබෙන්නේද ක‍්‍රියාකාරී ශක්තිය අහිමි කරගත් දූෂණයෙන් කුණුවූ අවුල්සහගත තත්ත්වයකය.

5. රජයේ සේවක සංඛ්‍යාව 15 ලක්ෂයක් තරම් විශාල වන අතර රජයේ සේවකයන්ගේ ශ‍්‍රම ඵලදායකත්වය තිබෙන්නේ ඉතාමත් පහළ තත්ත්වයකය. රජයේ සේවක වැටුප් බිල හා විශ‍්‍රාමික වැටුප් බිල රජයට ඉසිලිය නොහැකි තරම් විශාල වැය බරක් බවට පත්වී තිබේ.

6. විදේශ ණයගැතිභාවය ඉහළම මට්ටමක පවත්නා අතර ණය වාරික හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය වාර්ෂික වියදම ඩොලර් මිලියන 4000ක් හෙවත් රජයේ වාර්ෂික ආදායමටත් තරමක් වැඩි තත්ත්වයකට ඉහළ නැග තිබේ.

7. ආර්ථිකයේ හැම අංශයක්ම තිබෙන්නේ කඩා බිඳ වැටුණු තත්ත්වයකය. ග‍්‍රාමීය කෘෂිකර්මය හා වාණිජ කෘෂිකර්මය ඒ අතර ප‍්‍රධානය.

8. ලංකාවේ ග‍්‍රාමීය ජනයා පමණක් නොව, මධ්‍යම පාන්තික නාගරික ජනයාද සිටින්නේ ණය බරින් මිරිකුණු තත්ත්වයකය.

අර්බුදයේ ගමන් මග

ලංකාව මුහුණ දී තිබෙන එම විස්තීර්ණ අර්බුදය ජයගන්න යන්නේ කෙසේද යන්න නව ජනාධිපතිවරයා ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය. 1948 ලංකාව නිදහස ලබාගන්නා අවස්ථාව වන විට ආසියාවේ වෙනත් රටවල් සමග සසඳන විට ලංකාව තිබුණේ බැබලෙන තත්ත්වයකය.

නිදහස ලබන අවස්ථාව වන විට ආසියානු රටවල් අතුරින් ඒක පුද්ගල ආදායමේදී ලංකාව තිබුණේ ජපානයට පමණක් දෙවැනි වූ තත්ත්වයකය. එහිදීද රටවල් දෙක අතර තිබුණ පරතරය විශාල නොවීය. අධ්‍යාපනය හා සෞඛ්‍යය යන දර්ශන දෙකේදීද ලංකාව සිටියේ පළමු හෝ දෙවැනි ස්ථානයේය. යටිතල පහසුකම්වලදීද ලංකාව තිබුණේද ආසියානු රටවල් අතර කැපී පෙනෙන තත්ත්වයකය. ඒ කාලයේ හැටියට දියුණු මාර්ග පද්ධතියක් තිබුණි. හොඳ දුම්රිය සේවාවක් තිබුණි. නිදහස ලැබෙන විට ලංකාවේ කිලෝ මීටර් 1000ක් තරම් දිග දුම්රිය මාර්ග තිබුණු අතර 1900 වනවිට දුම්රියෙන් උපයන ලද ආදායම රජයේ සමස්ත ආදායමෙන් සියයට තිහක් තරම් විශාල විය.

නිදහස ලැබෙන කාලය වන විට ආසියානු වරායවල් අතර අංක 1 බවට පත්ව තිබුණේ කොළඹ වරායයි. වසරකට කොළඹ වරායට එන නැව් සංඛ්‍යාව 4400ක් වූ අතර නිදහස ලැබී වසර 70කට පසුත් කොළඹ වරායට වසරකට එන්නේ ඒ සමාන නැව් සංඛ්‍යාවකි.

ලංකාවට අපනයනය සඳහා කර්මාන්ත භාණ්ඩ නිපදවන අංශයක් නොතිබුණද තේ, පොල්, රබර් හා කුළුබඩු මත පදනම් වූ ශක්තිමත් අපනයන වෙළෙඳාමක් රටට තිබුණි. සිලෝන් ටී නමින් හැඳින්වුණු ලංකාවේ තේ ලෝකයේ තිබෙන හොඳම තේ ලෙස සලකනු ලැබීය. ලංකාවට වියදම් අධික සුබ සාධන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යා හැකිවූයේද තේවලින් ලැබුණු අතිරික්ත ආදායම් නිසාය.

ඒ කාලයේ අදට වඩා හොඳ සරල දේශපාලන ක‍්‍රමයක් රටට තිබුණු අතර කාර්යක්ෂම නිලධරතන්ත‍්‍රයක්ද ස්වාධීන අධිකරණ ක‍්‍රමයක්ද රටට තිබුණි. ඒ කාලයේදී ආණ්ඩුකාරයා වර්තමානයේ ජනාධිපති තරම්ම බලවත් වුවත්, වැරදි කරන අවස්ථාවලදී ආණ්ඩුකාරයාට එරෙහිව වුවත් තීන්දු දීමට ඒ කාලයේ තිබූ අධිකරණය මැලි නොවීය. බි‍්‍රතාන්‍යයන් ලංකාව අතහැර යන විට දූෂණය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් නොවීය. බි‍්‍රතාන්‍යයන් ලංකාව අතහැර යනවිට රුපියල් මිලියන 1200ක විදේශ විනිමය අතිරික්තයක් ලංකාවට තිබුණි.

රට කනපිට හැරවීම

එතෙක් පැවති යහපත් කාර්ය සාධනය කනපිට හරවන ලද්දේ සුද්දන් විසින් නොව, සුද්දන්ගෙන් පසුව පාලන බලය අතට ගත් අපේ ආත්මාර්ථකාමී නායකයන් විසිනි.

ලංකාවේ එතෙක් පැවති යහපත් තත්ත්වයක පැවිත රටේ කාර්ය සාධනය කනපිට හරවා ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව දියුණු සුරපුරයක තත්ත්වයෙහි තිබුණු රට නරකාදියක් බවට පත් කළේ සුද්දන් විසින් නොව නිදහසින් පසු බලයට පැමිණි අපේ ඊනියා දේශපේ‍්‍රමී පාලකයන් විසිනි.

කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට යහපත් තත්ත්වයක තිබූ වාර්ගික හා ආගමික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතුවන ලෙස නූතන ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩ නගා ගනිමින් පාලන ක‍්‍රමය නිදහසේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප‍්‍රතිසංස්කරණය කරගැනීමේ අවශ්‍යතාව නිදහසට පසුව බලයට පැමිණි අපේ දේශපාලකයන් තේරුම් ගැනීමට අසමත් විය.

බි‍්‍රතාන්‍ය පාලන කාලයේදී පරිපාලන තනතුරු දරන ලද්දේ විදේශිකයන්ය. ඔවුන්ට ගෙවනු ලැබූ වැටුප් සකසා තිබුණේ ඒ බව සලකාය. එහෙත් නිදහස ලැබූ පසුත් ඒ පුරප්පාඩු පුරවනු ලැබුවේ ස්වදේශිකයන්ගෙනි. එම වැටුප් රටේ සාමාන්‍ය ආදායම් මට්ටමට අනුව සලකා බලන විට ඉතා ඉහළ මට්ටමක පැවතුණද ඒ තත්ත්වයෙහි කිසිදු වෙනසක් ඇති නොකරන ලදි.

නිදහසින් පසු කරළියට ගෙනා සහනාධාර ක‍්‍රම ඡන්ද බලාගෙන ඇති කරන ලද සහනාධාර ක‍්‍රම විය. දුප්පත් පොහොසත් භේදයකින් තොරව ලබාදෙන ලද සහල් සලාක ක‍්‍රමය අධ්‍යාපනයට හා සෞඛ්‍යයට කරන මුළු වියදමටත් වඩා වැඩි විය.

ජන සතුව වාණිජ වතුකරයට ඇති කළ විනාශය අතිවිශාලය. විදේශ සමාගම් සතුව පැවති තේ වතු පවරා ගනු ලැබුවේ ඒවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන කළමනාකරණ හැකියාව නැතිවය. තේවල තිබිය යුතු ගුණාත්මක අගය ආරක්ෂා කරගැනීමට අසමත්වීම නිසා ලංකාවේ තේවලට තිබෙන ලෝක පිළිගැනීම බිඳ වැටුණි.

සිංහල භාෂාවට පමණක් බර තබන භාෂා ප‍්‍රතිපත්තිය දෙමළ ජනයා අන්තවාදී තැනකට තල්ලූ කිරීමට හේතුවීමෙන් නොනැවතී සමාජයට ද්විභාෂිත වීමට තිබෙන හැකියාවද නැති කළේය.

අපේ නායකයන්ට වාර්ගික හා ආගමික ආවේගයන් කළමනාකරණයට තිබුණ නොහැකියාව රට කාලකණ්ණි තත්ත්වයකට පත්කිරීමට බලපෑ වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. අපේ නායකයන් නූතන ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව නොසලකා හැරියා පමණක් නොව, ඡන්ද ලබා ගැනීම සඳහා වාර්ගික හා ආගමික ආවේගයන් වර්ධනය කරන ප‍්‍රතිපත්තියක්ද අනුගමනය කළේය. අවුරුදු 30ක් එක දිගට රට ලේ මත පිහිනන රටක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

එම දීර්ඝ අශීලාචාර කාලය තුළ සිදුවූ ජීවිත විනාශය සේ ම සිදුවූ දේපළ විනාශයද අතිවිශාල විය. රටේ ඇතිවූ ප‍්‍රචණ්ඩ ගැටුම්වලින් කිසියම් විශාල පිරිසක් මරණයට පත්වන විට නොමැරී ජීවත් වන්නට වාසනාවන්ත වූවන්ද අඩු වැඩි ප‍්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූවන් බවට පත් කළේය. එම අශීලාචාර ප‍්‍රවාහයට හසුවූ සමාජය පමණක් නොව, දේශපාලනය, ආගම හා කලාව ඇතුළු හැම දෙයක්ම විකෘති කිරීමට හේතුවිය. පොදු දේපළ කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූයේද දූෂණය මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වූයේද දීර්ඝකාලීන වශයෙන් රටේ පැවති එම අශීලාචාර වටාපිටාව තුළය. දැන් රටේ පවතින විස්තීර්ණ අර්බුදය ප‍්‍රචණ්ඩ ගැටුම් අවසන්වීමෙන් පසුව රට පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකිරීම නිසා ඇතිවූ ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

ජාතික ඒකාග‍්‍රතාව

ජාතික ඒකාග‍්‍රතාව බිඳ දැමීමට හේතුවී තිබෙන වර්ග, කුල, ආගම්, භේද ඇතිවූ සිංහල, දෙමළ, මුස්ලිම් ප‍්‍රචණ්ඩ අරගල කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකය ලෙස සැලකිය හැකිය. වර්ග, කුල, ආගම් භේද ආශ‍්‍රයෙන් ඇතිවූ ප‍්‍රචණ්ඩ අරගල මර්දනය කිරීමට සමත් වී ඇතත්, නැවත ගැටුම් ඇති නොවන තත්ත්වයක් සහතික කිරීමට හේතුවන ලෙස නූතන ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩ නගා ගැනීමට සමත් වී නැත. එම මූලික කොන්දේසිය සපුරා ගැනීමෙන් තොරව රටේ ස්ථාවරභාවය ඇති කළ නොහැකිය. මේ කොන්දේසිය ඉන්දියාව එක ආකාරයකටත් සිංගප්පූරුව ඊට වෙනස් ආකාරයටත්, මැලේසියාව ඊටත් වෙනස් ආකාරයටත් සම්පූර්ණ කර ගත්තේය. තවමත් ලංකාව එම කොන්දේසිය සපුරා ගැනීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස සලකා බලන තැනකටවත් පැමිණ නැත.

මනා ආර්ථික ක‍්‍රියාකාරිත්වයක් තිබිය හැක්කේ ගැටුම් හා දේපළ විනාශයන්ට ඉඩක් නැති සාමකාමී පරිසරයක් රට තුළ ඇත්නම් පමණය. අනාරක්ෂාව පිළිබඳ බියක් ඇති සමාජයක බියෙන් සිටින අය තමන් ලබා තිබෙන ධනය ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්නේ නැත. විදේශ ආයෝජකයන් එන්නේද සාමකාමී පරිසරයක් ඇති, දේශපාලන අර්ථයෙන් හොඳ ස්ථාවරභාවයක් ඇති රටවලටය. විදේශ ආයෝජකයන් ලංකාව දකින්නේ අවදානම් සහගත රටක් ලෙසය. අවදානම් දර්ශකය වර්තමාන ලංකාවට ලබාදී තිබෙන ලකුණු සංඛ්‍යාව 6කි. පෙර දර්ශකයද 6කි.ලංකාවට වඩා ඉහළින් සිටින්නේ ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය පමණය. ඒ රටවල් දෙකේ වර්තමාන දර්ශකය 7ක් වන අතර පෙර දර්ශකය ද 7කි. ලංකාව හා මියන්මාරය තිබෙන්නේ එකම තත්ත්වයකය. සිංගප්පූරුව 0.0කි. ඉන්දියාව, පිලිපීනය හා තායිලන්තය තිබෙන්නේ එක සමාන තත්ත්වයකය. (3.3)

අවදානම් දර්ශකය ඉහළ මට්ටමක තිබෙන රටවල් විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණයට හේතුවන්නේ නැත. 2016 වසරේ විදේශ ඍජු ආයෝජන ගලා ඒම් සඳහා ඩොලර් බිලියන 9.7කි. 2016 වසර සඳහා ලංකාව ඇතුළු මේ කලාපයේ තෝරා ගත් රටවල් 6ක් සඳහා ඍජු විදේශීය ආයෝජනයන් ඩොලර් බිලියනවලින් මෙසේය. ලංකාව 9.7, දකුණු කොරියාව 185.0කි. හොංකොන් 1698.8. තායිවානය 75.0. තායිලන්තය 188.7. මැලේසියාව 121.6. සිංගප්පූරුව 1096.3. රටේ ආර්ථික දියුණුව සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍යය. ලංකාව ඍජු විදේශ ආයෝජන ගලා එන රටක්. විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණයට හේතුවන රටක් බවට පත් කරගත හැකිවනු ඇත්තේ නූතන ජාතිය ගොඩ නගා ගන්නා තැනකට යමින් අවදානම් දර්ශකය පහළ තැනකට ගැනීමෙනි.

ඉහ වහා ගිය දූෂණය

ඉහ වහා ගිය දූෂණය ලංකාව මේ සා කාලකණ්ණි තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන තවත් වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. බල පිරමීඩයේ පහළට වඩා මුදුනත දූෂිතය. දූෂණය පාලනය කළ නොහැකි මහා ප‍්‍රවාහයක් බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය. දූෂණය පිළිබඳව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අඩුවෙන්ම දූෂිත රට බවට පත්ව සිටින්නේ ඩෙන්මාර්කයයි. නවසීලන්තය දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර පින්ලන්තය, සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය යන රටවල් තුන තුන්වැනි ස්ථානය හිමි කරගෙන සිටී. ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව සිටින්නේ 89 වැනි ස්ථානයේය. එක් කලෙක ලංකාවටත් වඩා දූෂිත තත්ත්වයක තිබූ රටක් ලෙස සැලකිය හැකි හොංකොන් දේශය අද තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයේය.

අයථා ලෙස ධනය ඉපැයීම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූයේ 1977න් පසුවය. එය විවෘත ආර්ථික ක‍්‍රමයක් ඇති කිරීම නිසා ඇතිවූ දෙයක් නොව, ජනාධිපති ජයවර්ධන සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට රජය භාරයේ තිබෙන මහජන දේපළ ගසාකෑමට ඉඩදීම නිසා ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය. දූෂණයෙන් තොර හෝ දූෂණය අඩුම තත්ත්වයක තිබෙන රටවල් ලෙස සැලකිය හැකි ඩෙන්මාර්කය, නවසීලන්තය, පින්ලන්තය, සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය වැනි රටවල තිබෙන්නේද විවෘත ආර්ථික ක‍්‍රමයන්ය.

1970 දක්වා ලංකාවේ බලයට පැමිනි රාජ්‍ය පාලකයන්ගේ කවර අඩුපාඩුකම් තිබුණද ඔවුන් තමන්ට තිබෙන බලය අයථා ලෙස ධනය උපයා ගන්නට යොදා ගත්තේ නැත. සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩ දුන්නේ නැත. ලංකාවේ එතෙක් පැවති එම යහපත් සම්ප‍්‍රදාය කනපිට හරවන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසිනි.

තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායමට අයථා ලෙස ධනය උපයා ගැනීමට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් මගින් ඔවුන් අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ලැබී ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය අවස්ථාවලදී මන්ත‍්‍රීවරුන් ඒ සඳහාද ක‍්‍රියා කරනු අැතැයි ජනාධිපති ජයවර්ධන කල්පනා කළ බව පෙනේ. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන තැනකට තල්ලූ වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසු බලයට පැමිණි ජනාධිපතිවරුද ඒ ක‍්‍රමයට තවත් අලූත් අංග එකතු කරමින් එම අවලස්සන ක‍්‍රමය වැඩි දියුණු කොට පවත්වාගෙන ගියේය.

ඒ අනුව දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතර පිරිසක් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන ජාවාරම්කාරයන් බවට පත්ව සිටිති. සමහරෙක් රජයෙන් ලබාගත් ඉඩම් මගින් වතු වැවිලිකරුවන් බවට පත්ව සිටිති. තවත් සමහරෙක් රජය සමග කොන්ත‍්‍රාත් කරන කොන්ත‍්‍රාත්කරුවන්ය. තවත් සමහරෙක් බලපත‍්‍රලාභී මත්පැන් වෙළෙඳුන්ය. තවත් සමහරෙක් බලපත‍්‍රලාභී ගල්, වැලි ජාවාරම්කරුවන්ය.

මැතිවරණ සඳහා 1977 දක්වා ක‍්‍රියාත්මක වූ වියදම් සීමා නීති හා කරන මැතිවරණ වියදම් ගණන් දීමේ ක‍්‍රමය අහෝසි කරන ලද අතර ඒ සමග මැතිවරණ ක‍්‍රියාවලිය වියදම් අධික ක‍්‍රීඩාවක් බවට පත්වී තිබේ. සියලූම තරග අතරින් වියදම් අධිකම තරගය බවට පත්ව තිබෙන්නේ ජනාධිපතිවරණයයි. ඒ නිසා ජනාධිපතිවරණයට තරග කරන්නන්ට ඒ සඳහා යන විශාල වියදම සොයා ගන්නට සිදුවී තිබෙන්නේ කළු සල්ලිකාරයන්ගෙනි. කළු සල්ලිකාරයන්ගෙන් ආධාර ලබාගනිමින් බලයට පත්වන ජනාධිපතිවරුන්ට පෙරළා ඔවුන්ට අනුග‍්‍රහය දක්වන්නට සිදුවී තිබෙන අතර මෙම දූෂිත ක‍්‍රමය සමස්ත ආයතන ක‍්‍රමය දූෂිත කිරීමටත් දූෂණය පාලනය කළ නොහැකි දෙයක් බවට පත්කිරීමටත් හේතුවී තිබේ.

ගමන් බලපත‍්‍ර නිකුත් කරන ආයතනයෙන් මුදලට ව්‍යාජ බලපත‍්‍රද ලබාගත හැකිය. ජාතික හැඳුනුම්පත් නිකුත් කරන ආයතනයෙන් මුදලට ජාතික හැඳුනුම්පත් ලබාගත හැකිය. ජාතික හැඳුනුම්පත් නිකුත් කරන ආයතනයෙන්ද හිටපු ප‍්‍රධානියෙක් එල්ටීටීඊයට ජාතික හැඳුනුම්පත් තොගයක් නිකුත් කිරීමේ සිද්ධියක් අල්ලා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. රජයට බදු එකතු කරන ආයතන හැම එකක්ම පාහේ තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයකය. රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා සිරස නිව්ස් ෆස්ට් නාලිකාවකට කර තිබෙන ප‍්‍රකාශනයට අනුව ලියාපදිංචි කර තිබෙන ඉඩම් ඔප්පුවලින් සියයට 40ත් 50ත් අතර ප‍්‍රමාණයක් ව්‍යාජ ඔප්පු ලෙස සැලකිය හැකිය. හොඳ පාසලක් ලබා ගැනීම සඳහා කෙරෙන දුෂ්කර තරගයේදීද පදිංචිය සහතික කිරීම සඳහා ඉදිරිපත් කරන ලියවිලිවලින් කිසියම් විශාල ප‍්‍රමාණයක් ව්‍යාජ බව ප‍්‍රකටය.

රටේ ආයතන ක‍්‍රමයේ පවතින දූෂණයෙන් කුණුවූ තත්ත්වය ජයගැනීමෙන් තොරව ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේ කෙසේද..?

 

Advertiesment