Monday 19th of April 2021

English Tamil
Advertiesment


රට හම්බයන්ගෙන් බේරා ගැනීම..!


2019-07-02 2293

මෙම ලිපිය ලියන්නේ මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහලයක් මහනුවරින් ආරම්භ වි තිබෙන අවස්ථාවකය. මේ ලිපියෙන් කතා කිරීමට අපේක්ෂා කරන්නේ මහනුවර වෙමින් තිබෙන අවලස්සන දේවල් ගැන නොව මුස්ලිම් ප්‍රජාව කෙරෙහි පිළිකුලක් හා වෛරයක් ඇති කිරීමට හේතුවන සමාජ දේශපාලන වට පිටාවක් නිර්මාණය කෙරුණු ආකාරය ගැනය.

ලංකාවේ අන් හැම දෙයක් සේ ම ජනවර්ග  තිබෙන්නේද නැවත ජනවර්ග අතර අන්තර් සබදතා තිබෙන්නේද හොදම කුණු  වූ තත්වයකය. නිදහසින් පසු සිංහල දකුණේ ප්‍රචණ්ඩ කැරලි දෙකක් සිදු වූ අතර දෙමළ  උතුරේ ද ප්‍රමාණයෙන් දකුණේ සිදුවූ  කැරලි දෙක එකට ගත් විට ඊටත් වඩා විශාල දිග් ගැස්සුනු ප්‍රචණ්ඩ කැරැල්ලක් සිදු විය.

ලංකාව නිදහස ලබා ගෙන ගත කර තිබෙන කාලයෙන් අඩක් තරම් වන කාලයක් ජිවත් වී  තිබෙන්නේ බිහිසුණු ප්‍රචණ්ඩ ගැටුම් මැදය. ඇතිවූ   ප්‍රචණ්ඩ කැරලි තුනම පරාජය කරන්නට සමත් වුවත් එම කැරලි හා කැරලි මර්දන ව්‍යාපාර සමාජය හා රාජ්‍ය කෙරෙහි ඇති කර තිබෙන විනාශය අති විශාලය.මේ කැරලි තුනම සැලකිය හැක්කේ රටේ දේශපාලන අපරණිතභාවය නිසා ඇති වූ  කැරලි  වශයෙන් මිස ඓතිහාසික අර්ථයෙන් ඇති වීම නොවැළැක්විය හැකි කැරලි වශයෙන් නොවේ. එය  ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීමේ ඵලයක් ලෙස සැලකිය හැකිය.

සමාජයේ පැවති වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිලි ගැනීම නැති කොට සමාජය ඒකාග්‍ර කිරීමට අසමත් වීම නිසා සිදු වූ දෙයක් ලෙස සැලකිය හැකිය. අපට ලැබී තිබුණු ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සදහා නූතන ජාතිය ගොඩනාගා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක්  බව තේරුම් ගැනීමට අපේ දේශපාලන නායකයන් සේම උගතුන්ද අසමත් විය. ඒ  නිසා සමාජය නූතන වීමක් සිදු නොවීය . ගැටුම් ඇති කිරීමට හේතු වන සාධක නිෂ්ක්‍රිය කිරීමක් සිදු නොවිය .

රටේ අවුල

සිංහල  දකුණෙත් , දෙමළ උතුරෙත් ඇතිවූ බිහි සුණු ප්‍රචණ්ඩ කැරලි කෙරෙහි බලපෑ විවිධ සාධක අතර වර්ගය, කුලය , ආගම යන සාධක ද වැදගත් සාධක තුනක් ලෙස එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපෑවේය.

ඉන් පෙන්නුම් කරන්නේ ජාතින්  අතර සේම ජාතින් තුළද  ප්‍රචණ්ඩ ගැටුම්  ඇති කිරීමට හේතු වන බෙදීම් තිබුණු බවය.ජේවිපි දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු රට ගැඹුරු ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ හැකියාවක් රටට නොතිබූණි.

ඒ ජේවිපි කැරැල්ල අවසන් වි තිබුණද එල්ටිටිඊ කැරැල්ල අවසන්  නොවී තිබීම නිසාය . රට ගැඹුරු ප්‍රතිසංවිධානයකට  යා යුතුව තිබුණේ එල්ටිටිඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසුවය. එහෙත් ඒ සදහා වන දැක්මක් එම කැරැල්ල පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොතිබුණි.

ඒ වන විට සමාජ හා රාජ්‍ය තිබුණේ ඉතා  අවුල්සහගත විකෘති වූ සහ හා කුණු වූ තත්ත්වයකය. රට ගැඹුරු ප්‍රතිසංවිධානයකට යොමු කළ යුතුව තිබුණේ ඒ අවස්තයේදීය. එහෙත් ඒ යථාර්තය තේරුම් ගැනීමට අවශ්‍ය කරන දේශපාලන ප්‍රඥාව අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට නොතිබුණේය. 2015 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වි යහපාලනය ආණ්ඩුවක් බලයට අවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් යහපාලන ආණ්ඩුවටද මහින්ද පරාජය කිරීමේ සරල අරමුණින් ඔබ්බට ගිය ඉදිරි දැක්මක් නොවිය. රටේ තිබුණු සැබෑ අර්බුදය ප්‍රධාන තේමාව කර ගන්නට නායකයන් දෙදෙනා තුළම කැමැත්තක් නොතිබුණා සේම යහපාලන ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හදා දුන් ව්‍යාපාරය සේම එහි න්‍යායවාදින්ද එම ප්‍රශ්නය වැදගත් තේමාවක් බවට පත් කර ගැනීමට කැමති නොවිය.

ඒ නිසා රට මුහුණ දී තිබුණු ප්‍රධාන ප්‍රශ්නය ලෙස සැලකිය හැකි වර්ග, කුල ආගම්, භේද මුල් කර ගත් ජාතික ප්‍රශ්නය වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණය ප්‍රධාන තේමාව බවට පත් කර ගත්තේය.

දුෂණය විග්‍රහ කෙරුණේද රාජපක්ෂ පාලන කාලයේ ඇති  වි වර්ධනය් වූ දෙයක් ලෙසය . දුෂණය හා වස්තු කොල්ලය හැත්තෑව දශකයේ අවසානයේ සිට රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබූ බව ඒ  සියලු දෙනා අමතක කළෝය. ඒ මගින් මහින්දගේ පුරවගාමී පාලකයෝ අනියම් ලෙස හෝ පිරිසිදු පාලකයන් බවට අභිෂේක කිරීමක්ද සිදුවුහ.

සිංහල -දෙමළ යුද්ධය

ඇත්තටම අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට සමාජය සේම රජ්‍යද  තිබුණේ හොදටම බෙලහීන වි විකෘති වි කුණුවූ තත්ත්වයකය. ආරක්ෂක හමුදාවන් හා  එල්ටිටිඊ හමුදාව අතර සිදු වූ යුද්ධය සිංහල ජනතාව සේම දෙමළ ජනතාවද  දැක්කේ සිංහල දෙමළ යුද්ධයක් ලෙසය. එම යුද්ධයෙන් එල්ටිටිඊය  පරාජය කොට ආරක්ෂක හමුද ජයගත් විට සිංහල ජනයා එම   ජයග්‍රහණය දැක්කේද දෙමළ සතුරා අවසාන වශයෙන් පරාජයට පත් කළ යුද්ධයක් ලෙසය.

එම යුද්ධය දෙමළ ජනතාවට ඔවුන්ට තිබූ ආත්ම ගෞරවය සමග ඔවුන්ට ද්‍රව්‍යමය වශයෙන් තිබූ බොහෝ දේ නැති භංග කළේය. ඉන් දෙමළ ජනතාවට සිදුවු විනාශය අති විශාල විය . විශාල ජිවිත විනාශයක් සිදු වි තිබුණා සේම විශාල දේපල විනාශයක් ද සිදු වි තිබුණි. මාපියන් විශාල පිරිසකට ඔවුන්ගේ දු දරුවන්ද, දු දරුවන් විශාල පිරිසකට ඔවුන්ගේ පිය හෝ මව ද  අඹු සැමියන් විශාල පිරිසකට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා  හෝ භාර්යාවද අහිමි කර තිබුණි. සදාකාලික ඇබ්බගාතයන්ගේ තත්වයට පත් වූ අයගේ සංක්‍යාවද විශාලය. සමස්ත දෙමළ සමාජයම හොදටම හදවත් තුවාල වූ සමාජයක් බවට පත් කිරීමට හේතු වි තිබුණි.

සිංහල ජන වර්ගය සිටියේ හිමි කර ගත් ජග්‍රහණය ගැන මහත් උද්දාමයෙන් වුවද යුද්ධය  එම සමාජය ද  අබල දුබල හා බෙලහීන බවට පත් කර තිබුණි. ඔවුන්ට ජය ලැබී තිබුණ ද  ඒ වෙනුවෙන් ඔවුන් ද ලොකු මිලක් ගෙවා තිබුණි. ඒ නිසා මරණයට පත් සෙබළුන්ගේ සංක්‍යාව ඉතා විශාල වුණා සේම අංග විකල භාවයට පත් අයගේ සංක්‍යාව ඊටත් වඩා විශාල විය. බාහිර පෙනුමෙන් සිටියේ ජයග්‍රාහී තත්වයක වුවද අභ්‍යන්තරික වශයෙන් සිටියේ රෝගී හා බෙලහීන බවට පත් තත්ත්වයකය. ජයග්‍රහණයේ උද්දාමය නිසා තමන් සිටින  යථා තත්වය ඔවුන්ට නොපෙනුණේ යැයිද කිව හැක.

සතුරා වෙනස් කිරීම

යුද්ධය හා ඉන් ජය ලැබූ ජයග්‍රහණය සිංහල ජන වර්ගය තුළ වර්ගවාදී ආකල්ප පෝෂණය කොට වර්ධනය් කිරීමට හේතු වී යැයි කිව හැකිය. එල්ටිටිඊ යුද්ධය තිබෙන තාක් සිංහල මුස්ලිම් මිත්‍රත්වයක්ද තිබුණි. මෙම දෙවර්ගයා අතර අන්තර් සබදතා ඉතා යහපත් තත්වයක තිබුණි. එල්ටිටිඊය සටනට බැට මුල්ම කාලයේ එම් ව්‍යාපාරය තුළ කිසියම් ප්‍රමාණයක මුස්ලිම් නියෝජනයක් පෙනෙන්නට තිබුණද මොන මොන හේතු නිසා හෝ ඔවුන් අතර පැවති එම් සහ ජීවනය බිද වැටුණි.

ඉන්පසු එල්ටිටිඊය මුස්ලිම්වරුන්ට පහර දෙන්නට වූ අතර එල්ටිටිඊය පාලනය කළ බල ප්‍රදේශවල ජිවත් වූ මුස්ලිම් ජනයා ඒ ප්‍රදේශවලින් තොග ගණනින් පලව හැරීමක්ද සිදුවිය. ඒ හේතුව නිසා මුස්ලිම් ජනවර්ගයද  එල්ටිටිඊයට එරෙහිව කෙරෙන යුද්ධයේදී සිංහල අපේක්ෂාවන්ට පක්ෂපාතව  බලවත් ලෙස ක්‍රියා කළ ජන වර්ගයක් බවට පත් කිරීමට හේතු වි තිබුණි.

ඒ නිසාම සිංහල වර්ගයා ද එම නිශ්චිත මොහොතේදී මුස්ලිම් ජනයා සලකන ලද්දේ සිංහලයන්ට ඉතා හිතවත් සහෝදර ජන වර්ගයක් ලෙසිනි. සිංහලයන්ට යුද්ධ වීරයන්ගේ ලැයිස්තුවක් තිබුණු අතර යුද්ධයේදී සටන් කොට  මිය ගිය මුස්ලිම් සෙබලුන්ට ද එම ලයිස්තුවේ වැදගත් හා ගෞරවාන්විත තැනක් ලබා දී තිබුණි.

එහෙත් සියල්ල කණපිට හැරුණේ  සිංහල වර්ගයාට සිටි ප්‍රධාන වාර්ගික සතුරා ලෙස සැලකිය හැකි දෙමළ සතුරා යුද්ධයෙන් පරාජය කොට විනාශ කළ පසු සිංහල වර්ගවාදී ව්‍යාපෘතියේ පැවැත්මට අලුත් වාර්ගික සතුරකු අවශ්‍යවීම නිසා  මුස්ලිම් ජනවර්ගය ඔවුන්ගේ ප්‍රධාන වාර්ගික සතුරා ලෙස අභිෂේක කරන්නට වීමත් සමගය. ඕනෑම වර්ගවාදී ව්‍යපෘතියක පැවැත්මට වාර්ගික අර්ථයෙන් වන සතුරකු සිටීම අවශ්‍යය. ඇත්ත සතුරකු නැත්නම් බොරු සතුරකු හෝ ඇති කරගත් යුතුය. වර්ගවාදී ව්‍යපෘතියකට සිය වර්ගයා ගැට ගසා ගෙන සිටිය හැක්කේ ඔවුන් භීතියට පත්කිරීමට හේතුවන සතුරකු සිටිනම් පමණය. දෙමළ සතුරා අවසාන වශයෙන් පරාජය කොට විනාශ කිරීමෙන් පසුව සිංහල  වර්ගවාදී ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සදහා අලුත් සතුරකු කරළියට ගැනීම අවශ්‍ය වූ අතර ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ මුස්ලිම්වරුන්ය.

ප්‍රතිරූපය සකස් කිරීම

මෙවැනි වර්ගවාදී ව්‍යපෘතියකදී සතුරකු තෝරා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. සිය වර්ගයා තුළ සතුරා කෙරෙහි භීතියක්, වෛරයක්  කෝපයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතුවන ලෙස සතුරාගේ ප්‍රතිරූපය සකස් කිරීමක්ද කළ යුතුය.

නුතන සිංහල බෞද්ධ චින්තනයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි අනගාරික ධර්මපාලතුමා මුස්ලිම්වරුන් කෙරෙහි ක්‍රෝධයක්,වෛරයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතුවන බොහෝ දේ කියා තිබුණු අතර සතුරාගේ ප්‍රතිරූපය ගොඩගැනීමේ ව්‍යාපෘතිය සඳහා  ඒ ඉගැන්වීම ද  ප්‍රයෝජනවත් වන්නට ඇත.

ධර්මපාලතුමා මුස්ලිම්වරු හැදින් වුයේ හම්බයන් ලෙසය. හරක් මස් කණ මිනිසුන් (ඔහු හරක් මස් හැදින් වුයේ ගෙරි මස් ලෙසය )එතුමා හැදින් වුයේ වසලයන් ලෙසය. එසේම ධර්මපාලතුමා මුස්ලිම් ජනවර්ගය විග්‍රහ කළේ සිංහල බෞද්ධයන් ගසා කන  පරදේසක්කාර පිරිසක් ලෙසය. ඒ නිසා සිංහල අන්තවාදී න්‍යායවාදීන්ට මුස්ලිම් වර්ගයාට ප්‍රබල සතුරු ප්‍රතිරූපයක් ලබාදීම සදහා අලුතෙන් එකෙකු කරන්නට අවශ්‍ය වන්නට ඇත්තේ කරණා  කිහිපයක් පමණය.

මුස්ලිම් ජනග්‍රහණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් සිංහල බෞද්ධයන් සුළු ජාතියක් බවටත් මුස්ලිම්වරුන් මහා ජාතියක් බවටත් පත් වෙමින් තිබේය කියන අදහස ඔවුන් ඊට අලුතෙන් එකතු කරන ප්‍රධාන තර්කයක් වි යැයි කිව හැකිය. එම තර්කය පුපුරන සුළු තර්කයක් කිරීම පිණිස සිංහල ජනගහනය මර්දනය කිරීම සදහා මුස්ලිම්වරුන් සිංහලයන්ට විකුණන අදුම්වලට හා ආහාරවලට වඳ බෙහෙත් දමා දෙන්නේ යැයි කියන කතාවද මට එකතු කරන්නට ඇත.

සිංහල බෞද්ධයන් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි භීතියක් ,වෛරයක්  හා පිළිකුලක් ඒ මගින් ඇති කරනවාට අතිරේකව මුස්ලිම් වෙළදාම බිද දැමීමට වැදගත් අරමුණක් කර ගන්නට ඇත. සිංහල ජන ගහන වර්ධනයේ වේගවත් බිඳ වැටීමක් ඇතිවී සිංහලයන්ට සංක්‍යා බලයෙන් ලැබී තිබෙන විශාලත්වය නැති කොට මුස්ලිම්වරුන් සංක්‍යාවෙන් විශාලතම ජන වර්ගය බවටපත් කිරීමට හේතුවන ආකාරයට මුස්ලිම් ජන ගහනයේ ඇති විශාල වර්ධනයක් ඇති වී තිබෙන්නේ යැයි කියන කතාව කිසිම සත්‍ය පදනමක් නැති කතාවකි. මේ ගැන වන විශ්ලේෂණයක් මිට වසර හතරකට පමණ  ඉහතදී චානුක වත්තේගම විසින් රාවයට ද ලියා තිබුණි.

ජන ලේඛන හා සංක්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව 2017 වසර සදහා ලංකාවේ ජන ගහනය 22,409,381කි. වර්ධන අනුපාතිකය 0.913%කි. ජන ගහනයේ වාර්ගික අනුපාතිකයන් මෙසේය. සිංහල 74.9%කි. දෙමළ11.2% කි. මුස්ලිම් 9.2%ක්ද, උඩරට දෙමළ 4.2%ක් ද වේ. ජනවර්ග අනුව ජන ගහනයේ ඓතිහාසික විකාශනයට අදාළ දත්ත මෙසේය.

ජන ගහන වර්ග අනුව

 (1911 සිට 2012 දක්වා )

වර්ෂය සිංහල දෙමළ මුස්ලීම් උඩරට දෙමළ වෙනත්
1911 2,715,500 (66.13%)

528,800

(12.86%)

283,900 (5.70%) 531,010 (12.93%) 97,300 (2.39%)
1931 347,300 (65.45%) 548,900 (11.29%) 287,600 (5.46%) 818,500 (15.43%) 116,400 (2.38%)
1953 5,616,700 (69.36%) 884,700 (10.93%) 464,000 (5.73%) 974,100 (15.43%) 116,400 (2.38%)
1971 9,131,300 (71.96%) 1,424,000 (11.22%) 883,300 (6.55%) 1,174,900 (9.26%) 131,800 (1.04%)
1989 12,431,000 (73.92%) 2,124,000 (12.62%) 1,849,000 (7.42%) 873,000 (7.42%)   (0.88%)
2012 15,173,820 (74.88%) 2,270,924 (11.21%) 18,69,820 (9.23%) 842,223 (4.16%) 106,836 (0.52%)

එම සංක්‍යා ලේඛන අනුව බලන විට ජන ගහනයේ සිංහල පංගුවේද වර්ධනයක් මිස අඩුවීමක් සිදු වි නැත. 1911 දී ජනගහනයේ සිංහල පංගුව 66.13%ක්  වන විට 2012 වන විට එය 78.88ක් දක්වා වර්ධනය වි තිබේ. මුස්ලිම් ජන ගහනයේ ද  සාමාන්‍ය තරමේ වර්ධනයක් මිස ලොකු වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත. 1911දි, 5.70% ක ප්‍රමාණයක තිබූ ජන ගහනයේ මුස්ලිම් පංගුව 9.23% දක්වා වර්ධනය වී  ඇතත්, එයද සිදු වි තිබෙන්නේ ජන ගහනයේ වර්ධනයක් නිසා නොව දෙමළ ජන කණ්ඩායම් දෙක එකට ගත් විට ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් ලංකාව අතහැර යෑම නිසා ඔවුන්ගේ ජන ගහන පංගුවල ඇති වී  තිබෙන හැකිලීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

වඳ බෙහෙත් නාටකය

ඉන් පෙනෙන්නේ ලංකාවේ සිංහලයන්ට තිබෙන බහුතර බලය නැති වී මුස්ලිම්වරුන් ලංකාවේ බහුතරය බවට පත් වන තත්වයක් ඇතැයි කියන කතාවේ කිසිම සත්‍ය පදනමක් නැති බවය. ඊටම එකතු කර තිබෙන වඳ බෙහෙත් කතාව එම වර්ගවාදී වැඩ සටහනට ඇතුළත් පුපුරන සුළු අංශය ලෙස සැලකිය හැකියි. කෑමට දැමීම මගින් හෝ ඇදුම්වලට දැමීම මගින් මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි පෙති වර්ග හෝ රසායන ද්‍රව්‍ය නැත. එය විද්‍යාඥයන්ගේ ද පිළිගත් පොදු මතයයි.

වඳ බෙහෙත් කතාව අද ඊයේ සමාජ ගත කරන ලද අලුත් කතාවක් නොව, දැන් අවුරුදු හය හතක තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සංවිධානත්මක ආකාරයකින් පතුරුවා හරිමින් තිබුණු කතාවකි. ඒ අනුව මුස්ලිම් ඇදුම් සාප්පුවල විකුණන කාන්තා  යට ඇදුම්වලට සිංහල කාන්තාවන් වඳ කිරීමට හේතුවන රසායන ද්‍රවයක් දමා තිබේ. මුස්ලිම් අහාර  වෙළදසැල්වලින් සිංහලයන්ට දෙනු ලබන අහාරවලටද වඳ බෙහෙත් දමා තිබේ.එයින් අරමුණු කරන්නේ සිංහල ජාතිය වඳ ජාතියක් බවට පත් කිරීමය.

මෙය කිසිම සත්‍ය පදනමක් නැති, සිංහලයන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි වෛරයක්  හා පිළිකුලක් ඇති කිරීමේ දුෂ්ට අරමුණින් නිර්මාණය කළ බොරුවක් වුවත් එය සිංහල ජන මනස කෙරෙහි ඇති කර තිබෙන බලපෑම විශාලය. මා පසුගිය මාසයේ අවසන් සතියේ පුනරුදය වැඩසටහන් කිහිපයක් සඳහා අනුරාධපුරයට ගියෙමි. මා ගමන් කළ මෝටර් රථය පදවන ලද්දේ ගාල්ලේ ලබුදුව ප්‍රදේශයේ ත්‍රී වීලර්කරුවෙකි. වයස අවුරුදු තිස් දෙකක් පමණ වන ඉතාමත් ප්‍රියජනක අවිවාහක තරුණයෙකි. අනුරාධපුරයේ පැවති දිස්ත්‍රික් කමිටු සකච්ඡාවෙන් පසු දහවල් අහාරය සදහා බත් පැකට් ගෙනවිත් තිබුණේ මුස්ලිම් කඩයකිනි. ඉහත කී රියදුරු තරුණයා බත් කමින් තිබුණේ කැමැත්තකින් නොව ඕනෑවට එපාවට බව පෙනෙන්නට තිබුණි.

ආහාර ගෙන වෙනත් තැනක පැවැත් වුණු පුනරුද සාකච්ඡා සභාවක් සදහා වාහනයෙන් යමින් සිටියදී දහවල් ආහාරය ගැන මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. වඳ බෙහෙත් ගැන  ඔහු තමන් තුළ ඇති කර ගෙන තිබෙන බිය මට  නොවලහා ප්‍රකාශ කළේය. මම ඔහුට කරුණු පැහැදිලි කර දුන් විට තමන්ගේ මෝඩකම ගැන ඔහු අවංකව කණගාටු වුවා පමණක් නොව ඔහු ආපසු එනවිට අනුරාධපුරේ සිටින අපේ මුස්ලිම් නායකයාට කතා කොට තම කණගාටුව ද පළ කළේය.

මා එම රියදුරාගේ සිද්ධිය නිදර්ශනයට ගත්තේ දෙමළ සතුරා පරාජය කිරීමෙන් පසු තමන්ගේ පළමු සතුරා බවට පත් කර ගන්නා මුස්ලිම් ජන වර්ගයට එරෙහිව කරළියට ගෙන තිබෙන මුස්ලිම් විරෝධී ප්‍රචාරක වැඩ සටහන සිංහල වර්ගයාගේ ඇට ලේ මස්වලට කොතරම් විශාල ප්‍රමාණයකට කාවැදී තිබේද යන්න පෙන්නුම් කිරීම සහාය.

ඇත්ත වශයෙන්ම දැන් ලංකාව තිබෙන්නේ ඕනෑම මොහොතක 83 කළු ජුලිය වැනි, සමහරවිට ඊටත් වඩා විශාල මුස්ලිම් විරෝධී කෝලාහලයක් ඇති විය හැකි තත්ත්වයකය. මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිදාමය සැලකිය හැක්කේ මහා විනාශයකට පෙර සිදුවූ දෙයක් ලෙසය.එම ඓතිහාසික අනතුරු ඇගවීම තේරුම් ගැනීමට අවශ්‍ය තරමේ ප්‍රඥාවක් ලංකාවට තිබේද?

රටේ බංකොලොත්කම

වඳ බෙහෙත් කතාව  ආශ්‍රයෙන් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තවත් වැදගත් පැතිකඩක් අපට හදුනා ගත හැකිය. මෙම වඳ බෙහෙත් කතාව ඉතා මෑතකදී පතුරුවා හරින ලද කතාවක් නොව දැන් අවුරුදු පහ හයක් තිස්සේ ඒක දිගට සමාජ ගත කෙරෙමින් තිබූ බොරු කතාන්දරයකි.

මුස්ලිම් ජනයා එය දැන සිටියත් ඔවුහු ඊට ප්‍රතිචාර දක්වන තැනකට යන්නට බිය වුහ.මුස්ලිම් නායකයෝද නිශ්ශබ්දව අහක බලා ගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.රටේ ප්‍රධාන ආගමික නායකයන්ද මෙම මුස්ලිම් විරෝධී ප්‍රචාරක වැඩ සටහන නොදැන සිටියා විය නොහැකිය.ඔවුන්ද ඒ වරද නිවැරදි කළේ නැත.

වඳ බෙහෙත් කතාවේ හා ජන ගහන කතාවේ කිසිම සත්‍ය පදනමක් නැති බව රටේ උගතුන් දැන සිටියත් ඒ වරද නිවැරදි කරන්නට ඔවුන්ද මැදිහත් වුයේ නැත.ජන ගහනයට අදාළ විශේෂඥයන් එම කතාවේ ඇති පදනම්  විරහිතභාවය ජනතාවට පෙන්වා දිය යුතුව තිබුණු අතර වෛද්‍ය හා රසායන විද්‍යාඥයන් වඳ බෙහෙත් කතාවේ යථාර්තය මහ ජනයාට කියා දිය  යුතුව තිබුණි.එහෙත් ඒ අයද තමන්ගේ වෘත්තීය වගකීම් හා යුතුකම් ඉටු කළේ නැත.

“ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනද එම මුස්ලිම් විරෝධී උමතු වැඩ සටහන ගැන දැන සිටියේය.ඒ සියලුදෙනා එම වැඩ සටහනට අනියම් ලෙස උදව් කළා හෝ නිශ්ශබ්දව බලා සිටියා මිස මහ ජනයාට ඇත්ත කියා දෙන තැනකට ගියේ නැත.

යහපාලන ආණ්ඩුව හා එහි නායකයෝද එම විනාශකාරී වැඩ සටහන් ගැන දැන සිටියෝය.රටක ජිවත් වන කිසියම් ජන කොටසකට එරෙහිව ඔවුන් කෙරෙහි ද්වේශය, වෛරය හා පිළිකුලක් අති කරන ප්‍රචාරක වැඩ සටහන් පවතවා  ගෙන යෑමට ඉඩ නොදීම  ඕනෑම ආණ්ඩුවකට තිබෙන ප්‍රධාන වගකීමකි. එහෙත් යහපාලන ආණ්ඩුව එම උමතු වැඩ සටහන  සමාජගත වන්නට ඉඩ දී  බකං නිලා ගෙන බලා  සිටියා මිස එම වැඩ සටහන ව්‍යර්ථ කරන තැනකට ගියේ නැත.

රටේ සමස්ථ ක්‍රමය අවුල් වි හා බිද වැටි තිබෙන තරම ඉන් තේරුම් ගත හැකිය.නුවරින් කරළියට අවේ පෙරහැර නොව පෙරහැරේ කස කාරයන්  පමණය.

ඇති වෙමින් තිබෙන මෙම විනාශකාරී හා අශෝභන තත්ත්වය අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුත් ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම හා ඒ සදහා අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස් කම් ඇති කිරීමට අසමත්වීම නිසා ඇති වි තිබෙන අවලස්සන, භයංකර හා විනාශකාරී ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය.

රට ගමන් කරමින් තිබෙන්නේ ලොකු අරාජිකත්වයකටය. රටට අවශ්‍යය ව්‍යුහමය වෙනස්කම් ඇති කර ගැනීම සදහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීම ඒ තත්ත්වය වර්ධනය  වීම වැළැක්වීම සදහා යොදා ගත හැකි එක් පිළියමකි.එහෙත් එය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව අපේ නායකයන්ට තිබෙන්නේද ?

-වික්ටර් අයිවන්-

රාවය

 

Advertiesment