Saturday 15th of August 2020

English Tamil
Advertiesment


එජාප බේරුම්කරණ කමිටුවේදී සජිත්ගේ කල්ලිය මස් රාත්තලම ඉල්ලයි


2019-12-11 16621

 

පොදු හතුරා අමතක කරයි


රනිල්ට එරෙහි ආත්ම ගත වෛරය එළියට පනියි


එජාපයේ වෛරක්කාරයා රනිල්ද,සජිත්ද..? 

 

(සුජිත් මංගල ද සිල්වා)

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත් වී එම තනතුරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දිය යුතු යැයි සජිත් ප්‍රේමදාස පාර්ශවය අවධාරණය කර සිටියි.

එම පාර්ශවය මේ බව අවධාරණය කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී බදාදා (11) පවති විශේෂ සාකච්ඡාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය, ඊට අදාළ විසඳුම් සහ පක්ෂයේ අනාගත ජයග්‍රහණ සඳහා වූ දේශපාලන උපාය උපක්‍රම යෝජනා කිරීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සය පුද්ගල කමිටුවක් පත් කර තිබෙන අතර සජිත් ප්‍රේමදාස පාර්ශවය සිය ස්ථාවරය මෙසේ අවධාරණය කළේ සිරිකොත මූලස්ථානයේදී බදාදා (11) රැස් වූ එම කමිටුවේදීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් එම කමිටුවට ලක්ෂ්මන් කිරිඇල්ල,වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ යන මහත්වරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් මලික් සමරවික්‍රම,රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මන්ත්‍රීවරුද ඇතුලත් වෙති.

අදාල කමිටු රැස්වීම ආරම්භයේදීම මලික් සමරවික්‍රම,රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල අවධාරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ වහාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් පන්නා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත් කර ගත යුතු බවය.

ඊට එරෙහිව කරුණු දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වන ලක්ෂ්මන් කිරිඇල්ල,වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ පෙන්වා දී ඇත්තේ මේ අවස්තාවේදී කළ යුත්තේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාද,එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයක් ඇති කර එහි ප්‍රධානියා ලෙස කරූ ජයසූරිය මහතා පත් කර ඒ මහතාද,පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද පෙරටු කර ගනිමින් වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී කර පුළුල් සන්ධානයක් යටතේ පොදු ලකුණකින් මහ මැතිවරණයට තරඟ කරමින් පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිනා ගැනීම විනා ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් උදුරා ගත්තා සේ පක්ෂයේ තනතුරු තාන්න මාන්න පසු පස හඹා ගොස් කොල්ල කාරීව ක්‍රියා කිරීම විසඳුම නොවන බවය.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා ලහි ලහියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කර මහා මැතිවරණ ප්‍රතිඵලයේ වගකීම ද ඔහු මත නො පැටවිය යුතු යැයි අවධාරණය කර ඇති රනිල් වික්‍රමසිංහ පාර්ශවය තරයේ කියා තිබෙන්නේ තව දුරටත් සජිත් ප්‍රේමදාස මහතා විනාශ නොකර 2025 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු මුල සිට ගොඩනැගිය යුතු බවය.

 

 

Advertiesment